දරුවන් පාසල් නොයවන ශ්‍රී ලාංකික විද්‍යාඥ පවුල (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පාසල් යන වයසේ දරුවන් නිවසේ රඳවා ගැනීම නීති විරෝධි කාරණයක් බව ඔබ දන්නවා ඇති. ඉතින් සෑම දරුවෙක්ටම අධ්‍යාපනය ලැබීමට අයිතියක් පවතිනවා. නමුත් අද වෙද්දි අපේ අධ්‍යාපන රටාව තරගකාරි එකක්ව තියෙනවා. දරුවා තුන වසරේ සිටම ඒ තරගකාරී බවට හුරු කරනවා. එය සැබැවින්ම දරුවන්ට වගේම දෙමාපියන්ටත් ගෙන එන්නේ පීඩාවක්. අද අපේ දෙමාපියන්ගේ වගේම ගුරුවරුන්ගේ අරමුණ වෙන්නේ 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කඩයිම් ජයග්‍රහණය.

ඒ වගේම පොඩි වයසේ සිටම අනෙක් අය හා තරග කරන්නට උගන්වන මේ අධ්‍යාපනය තුළින් සමාජයට දායාද කරන පුද්ගලයන් කිසිදිනෙක සාමූහිකව වැඩ කරන පිරිසක් වෙන්නෙ නැහැ. ඉතින් මේ විභාග තුන මුල් කරගත්තු අධ්‍යාපන විකෘතියක් අපේ රටේ පවතින්නේ. පාසලක සාර්ථකත්වය පවා මනින්නේ මේ විභාග ප්‍රතිඵලවලින්. දරුවෙක් පවා දක්ෂ ද අදක්ෂ ද තීරණය කරන්නේ විභාග ප්‍රතිඵලවලින්. විභාගවලින් ඇත්තටම මනින්නේ කෙනෙක්ගේ ස්මරණ ශක්තිය. එය එක් අතකින් යහපත් වුණත් එයින් දරුවන්ගේ මනසට හානි වෙනවා. දරුවන්ගේ ළමා  කාලය ඔවුන්ට අහිමි වෙනවා.

ඒ වගේම මේ විභාග මානසිකත්වය නිසාම බොහෝ දරුවන් සියදිවි නසා ගන්නට පවා පෙළබෙන අවස්ථා ඔබ අසා ඇති. දැක ඇති. ඉතින් ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයක් මෙතුළින් සිදුවෙන්නේ බොහෝ අඩුවෙන්.ඉතින් ලෝකය ජයගත්තු සැමදෙනාම උසස්  අධ්‍යාපනය ලැබූ අය නොවන වග මතක තබා ගතයුතුයි. ඉතින් අද මේ ගොඩනැගී තියෙන අධ්‍යාපන රටාව නිසාම පාසල් යවන්නටත් දරුවන් අමතර පංතිවලට සහභාගී කරන්නටත් සැම දෙමාපියෙකුම උනන්දු වෙනවා නේ.

ඉතින් ලංකාවේ අනෙක් බොහෝ ක්ෂේත්‍රවල වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයත් වෙනස් විය යුතු බව පිළිගන්නට වෙනවා. නමුත් මේ අධ්‍යාපන රටාවේ යම් යම් අඩුපාඩු නිසාම පාසල් අධ්‍යාපනයෙන් දරුවන් බැහැර කිරීම කොතරම් සාධාරණ ද යන්න නම් ගැටළුවක්. අධ්‍යාපන රටාව සංශෝධනය විය යුතු වුණත් පාසල් අධ්‍යාපනය දරුවෙකුට සෑම අතින්ම අවශ්‍ය දෙයක්. නමුත් මෙන්න මේ සාම්ප්‍රදායික පිළිවෙතට එරෙහිව තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙනස්ම පිළිවෙතක් තෝරාගත් පවුලක් ලංකාවේ ඉන්නවා.ඉතින් ඔවුන් තමන්ගේ දරුවන් තුන් දෙනාම පාසල් යවන්නේ නැහැ. ඔන්න අද කතාව වර්තමානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ඒ ශ්‍රී ලාංකික පවුල ගැන.

වත්තල ප්‍රදේශයේ සිය දරුවන් සමඟ වාසය කරන මේ යුවල විශේෂ විද්‍යාඥ යුවලක්. ඔවුන් දෙදෙන ගැන කතා කළොත් ඔවුන් උරග සහ උභය ජීවී විෂය ගැන මනා දැනුමක් ඇති විද්‍යාඥයන් දෙපළක් වන අතර ඔවුන් මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතු වික්‍රමසිංහ. ඔවුන් දෙදෙනා මේ වෙද්දි නව ජීවීන් විශේෂ 26 ක් ලෝකයට හඳුන්වා දී තියෙන අතර තව ජීව විශේෂ 100 ක් ලොවට හඳුන්වා දෙන්නට අදාල පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටිනවා. උභය ජීවී විශේෂඥයෙක් වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිඳ සහ දරුවන් සමඟ වනගතව මේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කීහිපදෙනෙක් ඇතුළත් මේ කණ්ඩායම දශක දෙක හමාරක් තිස්සේ වන ජීවී පර්යේෂණ කටයුතුවල නිරත වෙනවා.

ඒ වගේම ඔහු දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙතට ගොස් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිය දැනුම බෙදා දෙනු ලබනවා. මේ වන විට නව උරග විශේෂ 15 ක් , උභය ජීවී විශේෂ 11 ක් , වසර 135 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් තිබුණු බවට විශ්වාස කෙරුණු ජීවීන් තිදෙනෙකුත් සිය පර්යේෂණ ඔස්සේ ලෝකයට හඳුන්වා දෙන්නට සමත් වුණා.මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම සොයා ගන්නා සතුන් නව විශේෂ බවට තහවුරු කරන්නට අදාළ ජාන විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ නෙතු වික්‍රමසිංහයි.

මෙන්ඩිස්ගේ සොයා ගැනීම් අතර විශේෂ වුණේ 2012 වසරේ දී ලොවට හඳුන්වා දුන් ගිලීමලී රක්ෂිතයෙන් හමුවුණු රන්වැල්ලේ ගස් ගෙම්බා.මේ ගෙම්බා සොයා ගිය ගමනේ දී මෙන්ඩිස් ගෙම්බා පසුපස ගියේ කැලයට තමා සමඟ ආ සිය බිරිඳවත් අමතක කරමිනි. ඔහුට තම බිරිඳ  ගැන සිහිවී තිබුණේ පසුදා උදෑසන. ඉතින් මේ ගෙම්බා නිසා නෙතුට මහ කැලයේ තනිව ගත කරන්නටත් සිදුවුණ බව ඔහුගේ බිරිඳ පවසා සිටියා.

කොහොමවුණත් මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා යුනෙස්කෝ සංවිධානයේ මධ්‍යම කඳුකරයේ ස්වාභාවික ලෝක උරුම ව්‍යාපෘතිය සහ ජාතික සත්වෝද්‍යානයේ උපදේශකයෙක් ලෙස ද කටයුතු කරන අතර 2016 වසරේ දී ප්‍රකාශයට පත් කල Repertoire කෘතියට රාජ්‍ය සම්මාන දෙකක් දිනා ගන්නටත් සමත් වුණා. ඒ වගේම ජෛව විවිධත්වය උදෙසා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2017 වසරේ දී වනජීවී පර්යේෂණ සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානයත් 2013 ද ඔහු හිමි කර ගත්තා.

ඉතින් ඒ විද්‍යාඥ යුවලට අමත, ගගන පුතුන් දෙදෙනා සහ අරංග නමින් දියණියක් ද සිටිනවා. ඉතින් සුවිශේෂීම කාරණය තමයි මේ දරුවන් පාසල්වලට ඇතුළත් නොකිරීම. සිය දරුවන්ට සොබාදහම තුළින් ජීවිතාවබෝධය ලබාදීම ඔවුන්ගේ අරමුණයි.ඒ දරුවන් දවසේ වැඩි කාලයක් සර්පයන් සහ උභය ජීවීන් සමඟ ගත කරන අතර කුඩා දියණිය පවා සර්පයන් ස්පර්ෂ කරන ආකාරය විස්මිතයි.පුතුන් දෙදෙනා මෙන්ඩිස් සමඟ දුෂ්කර පලාත්වලට ගොස් සර්පයන් පිළිබඳව දේශනා සඳහා සහභාගී වෙයි.මේ පුංචි විද්‍යාඥයන් වටපිටාවෙන් සොයාගත් සත්ත්ව විශේෂ තුනක් ලෝකයට අලුත් සතුන්. ඉතින් මේ දරුවන් පාසල් නොයැවීම ගැන ඔවුන් දරන්නේ මෙවන් අදහසක්.

“අපේ පළමු දරුවා පවුලට එකතු වෙද්දි අපි මේ තීන්දුව අරගෙන තිබුණා. ලංකාවේ නීතිය අනුව දරුවෙකුට අධ්‍යාපනය ලබා නොදීම තමයි වැරැද්දක් විදියට සලකන්නේ. පාසලකට ඇතුළත් නොකිරීම වරදක් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතා ගත්තා අපිට ඇති දැනුමෙන් දරුවන්ට ගෙදරදීම අධ්‍යාපනය ලබාදෙන්න ඕනෑ කියලා.”

“අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ දැඩි තරගකාරී තත්ත්වයක්. ඒ තුළ ළමයි ආත්මාර්ථකාමි පැත්තටයි යන්නේ. අපේ ළමයින්වත් ඒ පැත්තට ඇදල දාලා ඔවුන්ගේ නිදහස නැති කරන්න ළමා කාලය උදුරා ගන්න අපිට ඕන නැහැ .දරුවෙක් දැනුමින් සන්නද්ධ කරන්න ඕන වෙලාවක පුළුවන්.ඒත් හැකියාවන් හා ආකල්ප එහෙම දෙන්න බැහැ.”

ඔවුන් ඒ පිළිබඳව තවදුරටත් පවසා සිටියේ තමන්ගේ දරුවන්ට මග පෙන්වන්නේ තමා කැමති ක්ශේත්‍රයක්  විනෝදාංශයක් කරගෙන ඉන් සමාජ මෙහෙවරක් ද කරමින් කටයුතු කරන ලෙසයි. නෙතු වික්‍රමසිංහ මහත්මිය කාලයක් පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස ද සේවය කළ බව වාර්තා වන අතර ඇය පවසන්නේ අද ගුරු භවතුන් සිරවී සිටින්නේ වසර 50 ක් පැරණි අධ්‍යාපන ක්‍රමයක බවයි. විෂය නිර්දේශයට පමණක් කොටු කර තබා ගන්නට වැඩි බරක් යොදා ඇති බවයි.

“අද බලන්න මොන්ටිසෝරි අධ්‍යාපනය දිහා.. එතැනින් කරන්නේ මොකකහරි වැඩක් දීලා කෑගහන්න එපා. දගලන්න එපා කියලා දරුවන් එකම විදියට තියා ගන්න එක. ඉස්කෝලේ ආවමත් කරන්නේ ඕකමයි. හැබැයි හත වසර විතර වෙද්දි ස්ටේජ් එකට නග්ගවලා කතා කරන්න කියනවා. පුංචි කාලේ ඉඳලම කතා කරන්න නොදීපු ළමයාට බල කරනවා කතා කරන්න කියලා.මේක තමයි අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරැද්ද.” ඒ මෙන්ඩිස් මහතාගේ අදහසයි.

ඉතින් මේ ක්‍රමය තුළ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙන බවට ඔවුන්ට ඇති සහතිකය කුමක් ද යන්න ඔබටත් සිතෙන්නට ඇති. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන නෙතූ වික්‍රමසිංහ පවසා සිටියේ “මට ඒ ගැන පොඩ්ඩක්වත් බය නැහැ. හොඳම උදාහරණය තමයි මෙන්ඩිස් අයියා. බලන්න  අද එයා ඉන්න තැන.” යනුවෙන්.

ඉතින් ඔවුන් පවසන විදියට ඔවුන්ගේ ලොකු පුතු සංගීත විෂයට වගේම තාක්ෂණ විෂයට කැමති බවත් දෙවනි පුතු සත්ව විශේෂ අධ්‍යයනයට කැමති බවත් ඔවුන් හඳුනා ගෙන ඇති බවයි.  ඒ වගේම වික්‍රමසිංහ පවුල ඉගැන්වීම් කටයුතුවල නිරත වෙන්නේ  නිවසම පාසලක් කරගෙනයි. මේ පාසලට අසල්වැසි හිතවතුන්ගේ පාසල් යන දරුවන් වගේම නොයන අයත් ඉගෙනුම ලබනවා. “මේ දරුවන් ලොකු මහත් වෙද්දි ඒ දැනුමෙන් විභාගවලට ලියන්න වුණත් පුළුවන් වේවි. පෞද්ගලික අයදුම්කරුවන් හැටියට විභාගවලට පෙනී සිටින්න තහනමක් නැහැනේ.” යන්න ඔවුන් තවදුරටත් පවසා සිටියා.

ඉතින් මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතු වික්‍රමසිංහ යන දෙදෙනා අධ්‍යාපනය නිසාම ලෝකය දිනාගෙන ඇතත් තම දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි කිරීම ගැන ඇතැම් අය සුභවාදී අදහස් දරන්නේ නම් නැහැ. මොකද දරුවෙක්ට පාසල් ජිවිතය කියන්නේ නැවත කවදාවත් ලබාගන්න බැරි හරි අපූරු සුන්දර කාලයක්. අධ්‍යාපන රටාව යල් පැනගිය එකක් බවත්, එය අද කාලයට අවශ්‍ය ආකාරයට සකස් විය යුතු බවත් බැහැරලිය නොහැකි සත්‍යක්. නමුත් ඒ නිසාවෙන්ම දරුවන්ගේ සුන්දර පාසල් කාලය අහිමි කිරීම කෙතරම් සාධාරන ද යන්න ඔබත් සිතා බලන්න.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!