මගේ_ළමා_කාලය
සුන්දර මෙන්ම අසුන්දර දේවල් වලින් පිරුණ මගේ ළමා කාලය ජීවිතේ පාඩම් බොහොමයක් කියා දුන්නා.
අද කියන්නේ ඒ කතාන්දර වල පළමු කතාව
දෙමාපියන් ගුරුවරු වූ නිසාම බොහෝ දේ හිමි වූ මෙන්ම අහිමි වීම්ද ඒ තුළ පිරී තිබුණා.
සුන්දර දේවල් වලින් පටන් ගන්නද අසුන්දර දේ කියන්නද කියල තාම හිත දෙගිඩියාවෙන් පිරිලා.
සුන්දර දේවල් අහන්න කවුරුත් ආස වුනත් මේ අසුන්දර කතාව කියලම අනෙක් කතා කියන්න හිතා ගත්තා .
මම ගමේ ඉස්කෝලෙන් නගරෙ ඉස්කෝලෙට එන්නෙ හයේ පන්තියට. හරිම සබකෝලෙන් අපි පන්තියෙ හැම දෙනාම හිටියේ කවුරුත් අඳුන්නන්නේ නෑ. ඇයි ඔක්කොම අලුත් ළමයිනෙ .
.මම ඉස්සර වෙලාම කතාකරල යාලු උනේ සුනීතා කියල හරි අහිංසක පාට ළමයෙක් එක්ක. එයා අහිංසක වගෙම යාලුවෙන්න තව හේතුවකුත් තිබුනා.
ඒ තමයි අපි දෙන්න ළගම තිබුණ රතු පාට සූට්කේස් .
ඔබට මතකද ඒ කාලේ පොත් අරන් යන්න තිබුණ සූට්කේස්..අන්න ඒවා තමයි.
සුනීතටයි මටයි තිබුනෙ එකම විදිහේ රතු පාට සූට්කේස්.
අලුත් පන්තියෙ ගැහැණු ළමයි ඉදගත්ත පැත්තෙ තුන්වන පේළියේ
තමයි අපි දෙන්නට ඉදගන්න ලැබුණෙ.
මගෙ දෙපැත්තෙන් දකුණු අත් පැත්තෙ සුනීතා .වම් අත පැත්තෙ සන්ධ්‍යා.
අපේ පන්ති බාර ඩයස් ටීච පැන්ෂන් ගන්න ළංවුන කෙනෙක් වගේ මතකයි.හැබැයි ටිකක් සැරයි ගොඩක් කරුණාවන්තයි. ටීච අපිට ඉගැන්නුවේ සිංහල.
එක දවසක අපේ පන්තියට අපේ අලුත් ගණන් සර් ආවා
.එතකොට මම හිටියෙ අලුත් පොත් ඉඹ ඉඹ.
මගේ වැඩේ අලුත් පොත් ඉඹිනව සූට්කේස් එක අරිනව පොත් දානව වහනව.හැමෝටම
සූට්කේස් තිබුනෙ නැති හින්ද ගොඩක් ආඩම්බරයෙන් තමයි මම පන්තියෙ හිටියෙ.
ගණන් සර් ආපු ගමන් කළු ලෑල්ලෙ ගණන් ලියලා හා ලමයි මේ ටික ලියා ගන්න කිව්ව . තව ටික වෙලාවකින් ගණන් ටිකක් ලියලා කිව්වා හා දැන් මේ ගණන් ටික හදාගෙන ඇවිත් පෙන්නන්න…කියලා.
ඇත්තමයි..සූට්කේස් පිස්සුවෙන් හිටිය මට ඒ ගණන් මොකවත් තේරුණේ නෑ.
. හැබැයි මං දැක්ක සුනීතා අපූරුවට ගණන් ටික හදනව.මං ඉක්මනට සුනීතගෙන් බලාගෙන හැදුවා.සන්ධ්‍යා මගෙන් බලාගෙන හැදුවා. සුනීතා රතු පෑනෙන් හැඩ වැඩ දදා ඉන්න අතරෙ අපි දෙන්න වීරයෝ වගෙ එත් බයෙන් සර්ට පොත් පෙන්නන්න ගියා.
ඉස්සරවෙලාම මම පොත පෙන්නුවා..
.හම්මෝ සර් තරහෙන් වැරදි දාගෙන දාගෙන ගිහින් මගෙ බඩ මැද්දෙන් ඇදල මාව හෙලෙව්වා එහාට මෙහාට කීප සැරයක්ම මට ලැජ්ජයි දුකයි..ඉන්ඩ බෑ ඇඩෙනවා .
මගෙ පොත විසිකරපු සර්, සන්ධ්‍යාගෙ පොත අතට ගත්තා.
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, එයාගෙත් ඉතින් , ඔක්කොම වැරදී කියල ඔයාලත් දැන් දන්නවා නේ.
ඒත් සර් එයා දිහා හොඳට බැලුවා ,
ආ මොකද මොකද මේ. .ගණන් ටික වරද්ද ගත්තේ කියල අහමින් ආදරෙන් එයා දිහා බලනව.
එයාගෙ අතින් අල්ලගෙන ආ ලස්සන සුදු බබෙක්නෙ…කොහෙද ඉන්නෙ අරක මේක අහන්න ගත්තා . ඒ සේරම වුනේ මම ඉස්සරහා.
මට ඉන්න බෑ ඇඩෙනවා .
හෙමිහිට මං මගෙ පුටුවට එනකොට මුලු ඉස්කෝලෙම මට එපා වෙලා ඉවරයි.
මගෙ ජීවිතේ මම කවදාවත් ඒ වගෙ තත්වයකට පත්වෙලා තිබුණේ නැහැ.
මම අදක්ෂ ලමයෙක් නොවෙයි .නමුත් ඒ අලුත් ඉස්කෝලෙට ගිය මුල් දවස් වල මට ඉගෙනගන්න මනසක් එතකොට හැදිල තිබුණෙත් නෑ.
ගුරුවරයා අලුතෙන් ආ ලමයින්ට දැනෙන්න පන්තිය ආරම්භ කලෙත් නෑ.ඒත් මට මගෙ ජීවිතේටම ගණන් කියන විෂය එපා වුණා
ගණන් විතරක් නෙමේ ජීවිතේ ම එපා වුනා.
එදා මම ගෙදර ගියේ ආයෙ ජීවිතේට ඉස්කෝලෙ යන්නෙ නෑ කියල හිතාගෙන. ගමේ ඉස්කෝලෙදි හැමදාම පළමු තුන්දෙනා අතර හිටිය මම කවදාවත් මේ විදිහෙ හිත රිදීමකට භාජනය වෙලා තිබුනෙ නෑ.
සර් මට බැන්නට ගැහුවට වඩා මගෙ හිතේ දුකයි තරහයි දෙකම ගණන් සේරම වැරදි සන්ධ්‍යාට ආදරේ කරන්නත් මගෙ බඩෙන් අල්ලල හොලවන්නත් හේතුවුන නිසයි.
ගුරුවරියක් වුන අම්ම එදා මගෙ හිත හදපු හැටි මට තාම මතකයි..ඒත් අදටත් මට ඒ බඩේ ගණන් සර් අල්ලපු තැන රිදෙනව . ඒ සර් හීනෙන් පෙනුනත් මට මොකක් හරි කරදරයක් වෙනවා .මම දැන් දන්නවා ඒ මගේ හිතේ එදා ඇතිවුන හැගීම හින්දා කියල ..ඒත් එදා ඇතිවුන වේදනාව කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.
ඒ පුංචි හිතට එදා සිදුවුන රිදීම කිසිම දවසක මම දරුවෙකුට දෙන්නෙ නෑ කියල ටිකක් ලොකු වෙනකොට මම හිතා ගත්තා .
අම්මා ගේ බල කිරීම නිසා මම ඉස්කෝලේ ගියත් හයේ පන්තියෙ ඉන්නකම් මම හිටියේ මළානික ළමයෙක් විදිහට ..
මම ගණිත ගුරුවරියක් විදියට මේ රටට ලෝකෙට දරුවන් දහස් ගණනක් ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් මග පෙන්වල දායාද කරල තියෙනවා ..
මම කුඩා කාලෙ ඒ වින්ද කටුක අත්දැකීම කිසිම දරුවෙකු දුන්නෙ නෑ..ඒ හැම මොහොතකම තව තවත් දරුවන් ට ආදරේ කළා .මග පෙන්නුවා..
ඒ දරුවන් ලස්සනට ජීවත් වෙනවා දැක්කම ඒ සතුට කවදාවත් මිල කරන්න බැරි උතුම් අමිල මෙහෙයක් වගෙම ඔවුන්ගෙන් පෙරළා ලැබෙන ආදරය ගෞරවය ජීවිතේ තව තවත් ලස්සන කරනවා කියල මට හිතෙනවා .
ගුරුවරයෙක් කියන්නේ සම්පූර්ණයෙන්ම අනාගතයක් .දරුවන් දෙමව්පියන් ළගට ලෝකය දැනගන්නේ ගුරුවරයාගෙන්.
ඒ සියල්ලටම වඩා මිනිසත්කම ආදරය, දයාව,කරුණාව මග පෙන්වන්නේ ගුරුවරයා
ඉතින් ඒ ගුරු භූමිකාව ලස්සනට රඟ පෑවෙ නැත්නම් අනගතය ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුලුවන් .
පුංචි මල් කැකුළු පිපෙන්න වතුර පෝර දාන්න මිසක් ඒ මල් කැකුළු පරවෙන්න දෙන්න හොඳ ගුරුවරෙකුට කවදාවත් බෑ.
දරුවන්ට මානසික වද දුන්නොත් ඔවුන්ගේ අනාගතේ අඳුරු වෙනවා විතරක් නෙමෙයි මුළු ලෝකයම අඳුරු වෙනවා කියලයි මම හිතන්නෙ
උපුටා ගැනීම : Priyangani Kumari Wijayarathna