මට මේ කතාව අහන්න ලැබුණේ මීට දින කිහිපයකට පෙර මා නිතර මුනගැසෙන මිත්රයෙක් හා දොඩමළු වූ විටයි. මෙහි කීමට තරම් කතාවක් නැති වුවත් මෙය ලියාතබන්නට හිතුවේ එක් අයෙකු හෝ මින් යමක් උගනීවි යයි සිතා.
අපි ඔහුට ගාමිණී යැයි කියමු. ගාමිණී සහෝදරියන් දෙදෙනකු සිටින පවුලේ දෙවෙනියායි. සාමාන්ය පවුලක දරුවන් වන ඔවුහු ටික කලක් සතුටින් ජීවත් වූවා. ඔවුන්ගේ පවුලට කණ කොකා හඩන්නේ ගාමිණී පාසලේ පළමු වසරට ඇතුළත් වන විටයි. එනම්, අකාලයේ ඇගේ මව කළුරිය කිරීම නිසයි.
මවගේ අභාවය ගැන ගාමිණී මතක් කරන්නෙ එතරම් ශෝකයකින් නොවේ. ඊට හේතුව මරණය ගැන එවකට ඔහුට තිබූ අවබෝධයේ ප්රමාණයයි. “අම්මාගේ මලගෙදර මට එච්චර ගානක් නෑ. අපට ඔනෑතරම් කන්න තිබුනා. අපි හොදට කාලා සෙල්ලම් කලා.” ගාමිණී කිසි ගානක් නැතුව ඔහේ කියාගෙන යනවා. ඔහුගේ අයියා ගැනත්, පියා ගැනත් ඔහු ටිකක් විස්තර කලා. තම බිරිදගේ වියෝවත් සමග ගාමිණීගේ පියා බොහෝ සෙයින් මානසිකව ඇද වැටී තිබුන බව මට ගාමිණීගේ කතාවෙන් තේරුම් ගියා.
බහුතරයක් පිරිමින් ගන්නා තීරණය, නොබෝ දිනකින් ගාමිණීගේ පියාද ගන්නේ ඔහුට දැනෙන්නට වූ කාන්සිය නිසාම විය යුතුයි. ඔහු නව මනාලියක් ගෙදරට කැන්දන් එන්න වූවා. මේ ගැන ගාමිණී කතා කරන්නේ එතරම් මනාපයකින් නොවේ. එහෙත් ඔහු සිය කුඩම්මාට කිසිවිටෙකත් වෛර නොකරයි. ඕ නපුරු තැනැත්තියක් නොවිය යුතු බව ඉන් මට තේරුම් ගියත්, ගාමිණීට සිය මවගේ අඩුව නම් දශමයකින් හෝ පිරවීමට ඕ හට නොහැකි වූ බව නම් පැහැදිලියි.
ගාමිනීගේ පියාට තනිවම පවුලේ බර ඇදගෙන යාමට අමාරු කාළයක් මේ අතර උදා වෙන්නේ, ගාමිණීලාට දැනෙනා දරිද්රතාවය තවත් ඉහල නංවමිනුයි. ගාමිණීගේ කතාවේ හරවත් කොටස දැන් මා අරඹන්නම්.
ගාමිනීගේ පියාගේ පවුලේ සාමජිකයින් ඔවුන්ගේ අසල්වාසීන් වූවා. ඉතින් ගාමිණීලාට සම වයසේ කොලු ගැටයින් කිහිපදෙනෙක් මේ නිසා ලගින් ඇසුරු කිරීමටත් ඔවුන් සමග පාසල් යාමටත් අවස්වථාව ලැබෙනවා. ගාමිණීලා බාලංශ කුඩා දරුවන්. සුවද හමන මකන කැබැල්ලට පවා ඔවුන් දක්වන්නේ පුදුමාකාර ආශාවක්. ඉතින්, සිය ඥාති සහෝදරයින් ලග මෙන්ම සිය අනෙක් මිතුරන් ලග ඇති නා නා ප්රකාර පැන්සල්, පාට පෙට්ටි ආදිය දෙස ගාමිණීලා බලන්නේ මහත් ආශාවෙන්.
ඔය අතර එක් දිනක් ගාමිනීගේ බාප්පා ගාමිණීලාගේ ගෙදරට එනවා. දරුවන් දෙදෙනා හුරතල් කරන බාප්පා ඔවුන්ගෙන් සමුගන්නට ප්රථම එක් ප්රශ්නයක් අසනවා. “පුතේ, ඔයාලට ඕනි දෙයක් තියෙනවා නම් කියන්න. මම ගෙනත් දෙන්නම්”. මෙතැන් සිට කතාව මම ගාමිණීගේ වචනයෙන්ම ලියන්නම්.
“බාප්පා එහෙම ඇහුවාම අපිට පුදුම සතුටක් ආවේ. අපි ආසා කරන ගොඩක් දේවල් තිබ්බා. අපි මතක් කර කර එක එක දේවල් කියන්න ගත්තා. එතකොට බාප්පා කොලයක් අරන් ඒවා ලියා ගත්තා. අපි ප්ලැටිග්නම් ඉල්ලුවා, පැන්සල් පෙට්ටි ඉල්ලුවා, කටර් ඉල්ලුවා මායි අයියයි දෙන්නා තරගෙට එක එක දේ ඉල්ලුවා. බාප්පා ඒ ඔක්කොම ලියා ගත්තා. බාප්පා ගියාට පස්සෙත් අපි හිතුවේ ඒ ගැනමයි. අපි දවස ගානෙ බලන් හිටියා. නින්දට ගියත් මතක් කරා. හැමදාම බලන් හිටියේ බාප්පා තෑගි ගේනකම්. ඒත් බාප්පා ඒවා ගෙනාවේ නෑ. අපි මාස හයක් විතර එකම විදිහට බලාපොරොත්තු තියන් බලන් හිටියා. ඒත් කවදාවත් බාප්පා ඒ තෑගි ගෙනාවේ නෑ”
වයස අවුරුදු 40ත් පසු කළ පියෙක් වන් මා මිත්ර ගාමිණී, තමාට නොලැබුණු බාප්පාගේ ත්යාගය ගැන මතක් කරන්නේ සිය මවගේ මරණය ගැන මතක් කරනවාටත් වඩා ශෝකයෙන්. ඒ ඔහුට වර්ථමාණයේ දැනෙන ශෝකයක් නොව, අතීතයේ ඔහුට දැනුන බලාපොරොත්තු කඩ්වීමේ වේදනාව වර්ථමාණයේ ඇති කරන ප්රථිබිම්බයයි.
දරුවන්ගේ සිත් ඉතා ලපටියි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉතා බොළදයි. අප නොහිතන ලෙස අප අතින් ඔවුන්ගේ සිත් තැලිය හැකියි. එබැවින් කිසිම විටෙක අප අතින් වැඩිහිටියන්ට සිදුවන් අත් වැරදීම් දරුවන් වෙත් සිදු නොවිය යුතුමයි.
උපුටා ගැනීම: Salinda Wijesundara