දයා ගුණැති හදවත් (කෙටි කතාව) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉර අවරට යන සවස් වරුවේ ආලින්දයේ හාන්සි පුටුවේ වාඩිවී සති අන්ත පුවත්පත් විස්තර උපැස් යුවල ආධාරයෙන් එකිනෙක පිරික්සා වෙහෙසෙන පෙරේරා මහතා වෙත පැමිණි පෙරේරා මහත්මිය කිරි තේ කෝප්පය පිළිගන්වා පසෙකින් වූ මල් ලියකම් කළ කණුවට බර වී ඈත අහස දෙස නෙත් යොමු කළාය. සැදෑ අහසේ වළාවෝ වර්ණවත් සළු පිළි දවටා බැස යන හිරුට සමාචාර කළෝය.
“නෝනා, අපි එහෙනම් ගිහිං එන්නැයි කියලා”
කිරි එතනා පෙරේරා නෝනාට පැවසුවාය.
“හොඳා. හෙටත් උදෙන්ම ආවනම්.හෙට ලොකු බේබි එනවා කිව්වා. මොනවා හරි විශේෂ කරලා උයමනක් කාරිය කරන්ටත් තියෙනවා”
“හොඳමයි. නෝනා .. මං සුනංගු නොවී උදැහැනැක්කේම එන්නංකෝ.”
කියමින් කිරි එතනා අඩියට දෙකට ගමන ඉක්මන් කළාය.ලන්ද කෙළවර ගුරු පාරින් වංගුව හැරෙනවාත් සමඟම පොඩි දූ ඊයක වේගයෙන් ඈ වෙතට දුව ආවාය.
“ආත්තම්මේ …. මොනවාද මට ගෙනාවේ…” පොඩි දුව හුරතල් වූවාය.
“යමු පුතේ ගෙට…”
කිරි එතනා ඉස්තෝප්පු කෑල්ලේ පුටු කබලේ වාඩි වී වලව් ගෙදරින් රැගෙන ආ පාර්සලය දිග හරින ගමන් කතා කළාය.
“අද මාළු ඇඹුල් තියල් දැම්මා නෙව..එයින් මෙන්න අපේ පංගුව.”
” මේං ලොකු නෝනා දුවට අයිසින් කේක් කෑලි දෙකකුයි, ඉගුරු දෝසි පැකට් එකකුයි දුන්නා.”
පොඩි දුවගේ මුහුණ විකසිත විය.
” හෙට ලොකු බේබි එනවා, නොවැ කොළඹ රටේ ඉඳලා දූ දරුවො එක්ක. මම පාන්දරින්ම වලව් ගෙදර යන්ට ඕනෑ….දූත් ලැහැස්ති වෙන්න.දුවවත් එක්ක එන්නැයි කියලා ලොකු නෝනා කීවා මට.. “
කිරි එතනා ඇඟ පත සෝදා බුදුන්ට පාන තබා රෑ බත පිළියෙල කරන්නට වන්නී උණු උණු බත් ,පොල් සම්බෝල ,වලව් ගෙදර මාළු තියල් සමඟ සප්පායම් වී මිණිබිරියත් සමඟ නිදන්නට වූවාය.
“හෙට ඉරිදා . පාන්දරම අවදිවන්න ඕනෑ. පෙරේදා පහළ කොස් ගහින් කඩා ගත් පොලොස් ගැට දෙක ඇරන් යනවා, ලොකු බෙිබි පොලොස් මාළුව කන්න හරි මනාපයි කියලා ලොකු නෝනා කියනවා මං අහගෙන.”
කිරි එතනා හීනෙන් මතුරන්නට වූවාය.
කිරි එතනා තම මිණිබිරිය සමඟ වෙසෙන්නී , ඇගේ දියණිය රන්මලී මැද පෙරදිග රැකියාවට ගොස්ය. සති අන්තයේදී කිරි එතනා ලොකු නෝනාට අතලෙහෙසි කරන්නට වලව් ගෙදර යයි. සතියේ දිනයන්හි පොඩි දුව පාසල් යන නිසාවෙන් ඈ එළවළු කොරටුවේ වැඩ පළවල නිරතවේ.ලොකු නෝනාට සතියකට හරියන්න පොල් ගා තුනපහ මිරිස් සාදා ගන්න උදව් දී දර පලා රැස්කර ඉවුම් පිහුම් කරදීමෙන් ඈ සති අන්තය ගෙවා දමයි.
පොඩි දුව ඉගෙනුම ලබන්නේ තුන ශ්රේණියේය.සෙනසුරාදා, ඉරිදා පහළ ගෙදර සඳලතාගේ දෝණි නිමාලි , පොඩි දුවට පාඩම් වැඩ කියා දෙයි. එදාට සඳලතා පොඩිදුවට දහවල් අහර වේල ලබා දෙන්නේ ඇගේම දියණියකට වාගේය. එනිසා කිරි එතනාට නිස්කාසුවේ වලව් ගෙදර වැඩ පළ කරදී කීයක් හරි හරිහමිබ කරගත හැකිය.කොහොමත් සඳලතා හා රන්මලී කුඩා කල පටන් ගජ මිතුරියන්ය. රන්මලී රට රස්සාවට යනවිට පොඩි දුව ඇහැක් වගේ රකින බවට සඳලතා රන්මලීට පොරොන්දු වූවාය.
පාන්දර ජාමේ සැවුල් අඬහැරයෙන් පිබිදුන කිරි එතනා පොඩි දුවව පුබුදුවා තමන්ද ලක ලැහැස්තිවී ඉර එළිය නැඟෙන්නට ප්රථම වලව් ගෙදර පා තැබුවාය.ලොකු නෝනාගේ අනු දැනුම ඇතිව කිරි එතනා දහවල් කෑම මේසයට කහබත්, කජු මාළුව, වම්බටු මෝජු, අල තෙල් දාලා, පරිප්පු මිරිසට,රුහුණු අච්චාරුව, මාළු ඇඹුල් තියල් , පොලොස් මැල්ලුම සමඟ බැඳපු පපඩම් සකස් කළාය.උදාසන එකොළහට පමණ ලොකු බේබි, නිර්මලා බේබි හා ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය යෙහන්සා බේබි අළුත්ම මෝටර් රියකින් පැමිණියෝය.
“පංකාදු කෑම ටික” ලොකු බේබි, කිරි එතනා පැසසුවේ කෑම කා අහවර වනවාත් සමඟය.
පොඩි දුව යෙහන්සා බේබි සමඟ මිතුරු වූවාය. දෙදෙනා කෙළි දෙලින් මුළු හවස් වරුවම ගත කළෝය.
යෙහෙන්සා බේබි අත පය චලනය කිරීම විනා මුවින් කිසිඳු ශබ්දයක් පිට නොකළාය. පොඩි දුව යෙහන්සා බේබි සමඟ හොඳින්ම කුළුපග වූවාය. පොඩි දුව ලස්සනට කව් ගී ගයද්දී යෙහෙන්සා බේබි උද්යෝගයෙන් ඊට සවන් දුන්නාය. වැඩිහිටියෝ ද තුටු පහටු වී දැරියන් දෙදෙනා දෙස බලා සිටියෝය.
කිරි එතනාට නොසෑහෙන සේ ස්තූති කරන නිර්මලා බේබි පෙරළා යන්ට පිටත් වන මොහොතේ කිරි එතනා අත මුදල් කවරයක් තැබුවාය. සියල්ලෝම ආචාර සමාචාර පවත්වා සමුදෙන්නට තිබියද්දී යෙහන්සා බේබි තම මව පියා අනුකරණය කරමින් ආච්චි , සීයාට දණ නමා වැන්දාය.ඇගේ මුවින් පැහැදිලිව “සාදු සාදු “යැයි පිටවුණි. අදහා ගත නොහැකිය. මෙතෙක් කල් කිසිඳු ශබ්දයක් පිට නොකළ දරුවා බහ තේරීම , නිර්මලා බේබි සිය දියණිය වඩා ගෙන තුටු කඳුළු වගුරන්නට වූවාය.
ලොකු බේබි කිරි එතනා දෙස බලමින්;
“අපි දුවව කී දාහක් නම් ඩොක්ටර්ස්ලාට පෙන්නන්න ඇත්ද.. කිසි කෙනෙකුට කරන්න බැරිව තිබූ දෙයක් තමා අද මේ දූ මගේ දරුවාට කර දුන්නෙ.මම මේ දුවගෙ ඉගෙනුම් බර පැන ඔක්කෝම දරන්න පොරොන්දු වෙනවා. මේ කළ දේ මගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ තියේවි.” යැයි හැඟුම්බරව පැවසුවේය.
“දරුවන් ගේ හිත් වල කරුණාව උතුරනවා, දරුවන්ගේ හිත්, වැඩිහිටි හිත් වගේ කිලිටි වෙලා නෑ.මල් වගේ දරුවන්ට මේ ලෝකයේ දයාව පිරි හදවතින් කළ නොහැකි දෙයක් නැහැ”
ලොකු නෝනා ද ලොකු බේබිගේ කතාව අනුමත කරමින් පැවසුවාය .
කිරි එතනා පොඩි දුවගේ හිස අත ගෑවාය.
කොහේදෝ සිට හෙන්දිරික්කා මල් සුවඳක් පාවී නැහැඟ තෙත් කරන්නට වූයේය. අමුත්තෝ මෝටර් රථයේ නැඟී කොළඹ බලා ඉගිලුනේ නැවත ළඟදීම හමුවන අටියෙනි.තෑගි මල්ලක් සමඟ කිරි එතනා පොඩි දුව සමඟ නිවෙසට ගෑටුවාය. සැදෑ හෝරා ගෙවා දමමින් තරු ආකහේ එනිනෙක මෝදු වෙන්න ළං වූයේය.
“ආත්තම්මේ .. ආන්න පහන් තරුව”
පොඩි දුව බටහිර අහසේ දිස්නෙ දෙන කාන්තිමත් තාරකාව පෙන්වූවාය. කිරි එතනා තවමත් නෙත රැඳි තුටු කඳුලු ඇතිව අහස දෙස බැලුවාය.
නිමි~~
***********************************************
(ඡායාරූපය අන්තර්ජාලයෙනි )
උපුටා ගැනීම: Manoji De Silva

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!