දේදුනු (කෙටි කතාවකි) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
2012 ජනවාරි
රජික අසීරුවෙන් දෑස් හැරගෙන සිටියේ තුම්මුල්ලෙන් බලංගොඩ බසයට නැග අසුනක අයිනේ ඉදගන්නා තුරු පමණි. කිරුළපනදී ටිකට් කැඩීමට ආ කොන්දොස්තරට ඔහුගෙන් මුදල් ගැනීමටද දෙතුන් පාරක් හයියෙන් කතා කරන්නට සිදුවිය.
අවසාන සෙමෙස්ටරයේ අග බැවින් පසුගිය සතියම ගෙවුණේ විවිධ මොඩුයුලවල පැවරුම් නිම කර ලබාදීමටය. වාර්තා, ගණනය කිරීම්, ඉදිරිපත් කිරීම්, කණ්ඩායම් වැඩ ආදි සියල්ල එක්වූ විට ඒ දින කිහිපයේම නිදා ගන්නට වූයේ පැය දෙක තුනකි.
අවසාන පැවරුම පෙර දින රාත්රි දොළහට පෙර ආචාර්යවරයාට ඊමේලයකින් යැවූ රජික අතට අසුවූ ඇදුම් කෑලි කිහිපයක් බෑගයට ඔබා හයට එලාර්ම් තබා ඇදට වැටුණේ ස්ටඩි ලීව් සතියේ පළමු දින දෙකවත් නිවසේ ගත කර නැවත පැමිණෙන්නට සිතාය.
නේවාසිකාගාරයේ නැවතුණහොත් රස්නයද මදුරු කරදරයද කොල්ලන්ගේ ඝෝෂාවද මැද සුව නින්දක් ලැබීම ඉතා අසීරුය.
ඇහැලියගොඩ නිවසේ රජික නිදා ඉන්නා වේලාවට අම්මා රූපවාහිනියේ හඩ වැඩි කිරීමට පවා කිසිවකුට ඉඩ දෙන්නේ නැත. දවසක් දෙකක් ඒ ආදරයේ සිසිලේ වෙලී සිත නැවුම් වූ පසු නැවත පාඩමට සූදානම් වීමට පැමිණිය යුතුය.
—–
තමන් අසල කවුරුන් හෝ හිදගත් බව රජිකට දැනුණේ නුගේගොඩදීය. හැරී බලා ඒ ලාබාල කෙල්ලක යැයි දැකගත් වහා ඔහු තවත් වීදුරුව අයිනට විය. සරසවි කණ්ඩායමේ හෝ පහළ කණ්ඩායමක සිසුවකු බසයේ සිටින්නට ඉඩ ඇත.
අවසන් වසරේ සිසුන් පිටව යන විට තෙවැනි වසරේ සිසුන් ලබාදෙන “ගොයිං ඩවුන්” උත්සවයේදී ජ්යෙෂ්ඨයන්ගේ නානා විධ වීඩියෝ ඉදිරිපත් කිරීම සිදුවේ.
තමන්ට අද ඇති නිදිමතත් සමග මේ කෙල්ලගේ ඇගට වත් වැටෙනු මොකෙක් හෝ වීඩියෝ කරගත හොත් ගොයිං ඩවුන් එකේදී රෙදි නැතිව එන්නට වන බව දන්නා රජික තම උකුලේ තිබූ බෑගයද දෙදෙනා මැද්දට යන්තම් වැටෙන්නට තබාගෙන නැවත වීදුරුවට හිස තබාගත්තේය.
ඔහුට නැවත ඇහැ ඇරුණේ කවුරුන් හෝ ඔහු හිස තබා සිටි ජනේලය විවර කරන්නට තැත් කරනු දැනීය. හිස එසවූ ඔහුට ඒ යාබද අසුනේ සිටි යුවතිය බව පෙනිණි. ඔහුගේ නින්ද කැඩුණු බව දුටු ඈ සමාව අයදින සුළු සිනාවක් පෑවාය.
“සොරි පොඩ්ඩක් ජනේලෙ අරින්න හැදුවේ”
“ආ ඉන්න, මෙතනට එනවද?” වහා වීදුරුව සම්පූර්ණයෙන් විවර කළ රජික ඇසුවේ ඇයට වමනය යන්නට එන්නේ දැයි සිතාය.
“නෑ නෑ කමක් නෑ” ඇය වුවමනාවෙන් එබී වීදුරුවෙන් පිටත බලනු රජිකට පෙනිණි. ඒ පහත්ගම බව ඔහු දැනගත්තේ පිටත කඩවල පුවරු වලිනි. ඔහු මද වේලාවක් අවදියෙන් සිටි බව යුවතිය බලා සිටියාය. ඇයට තමන් ආසාවෙන් බලා සිටි දෙය ඔහුටද පෙන්වන්නට සිතිණි.
“අර දේදුන්නක් පායලා”
රජික හැරී ඇය දෙස බැලුවේ විමතියෙනි. නාදුනනා කොල්ලෙකුට දේදුනු පෙන්නන්නට මේ කෙල්ලට පිස්සුදැයි ඔහුට සිතිණි. ඔහු ඇගේ මුහුණ හරිහැටි දුටුවේ එවිටය. ඒ මූණේ එළිය දුටු විට ටිකක් පිස්සු උනත් කමක් නැතැයි ඔහුගේ ඉලන්දාරි සිතට සිනාවක් නැගිණි.
මල් වැනි කෙල්ලන් අඩියෙන් අඩියට සිටිනා සරසවියේ පවා මෙවන් රූමතියක් දුටු බවක් ඔහුට මතක නැත.
ඔහු නැවත හැරී ජනේලයෙන් පිටත ඇය පෙන්වූ දෙස බැලුවේය. අහසේ ලස්සන දේදුන්නක් පායා ඇත.
“අවුරුද්දකට සැරයක් වත් දේදුන්නක් පේන්නේ නෑනේ. ඒ හින්දා මම දැක්කොත් ළග ඉන්න අයට පෙන්නනවා” කෙල්ල කියන්නේ ලැජ්ජාවෙනි. තමන් අන්තිමට දේදුන්නක් දුටු දිනක් හෝ තැනක් මතක නැති බව රජික සිහි විය.
දේදුන්නක් පායන විට එළියට පැන “අව්වයි වැස්සයි නරියගෙ මගුලයි” කියා නැටු පැටි කාලයෙන් පසු දේදුන්නක චමත්කාරය බලන්නට ඉසිඹුවක් තිබුණේද නැත.
“තැන්ක් යූ, මාත් සෑහෙන කාලෙකින් දැක්කේ”
දුරකථනය නාද වූයේ රජික ඇය හා කතා කරන්නට සිතා මදක් ඒ පැත්තට හැරෙන විටමය. ඇමතුමට පිළිතුරු නොදී අවසන් කරන්නට සිතා එය සාක්කුවෙන් ගත්තද “ඩොක්ටර් විජේවර්ධන” යි තිරය මත සටහන් වී තිබෙනු දුටු ඔහු වහා “සර්” කියා එය සවණට තබා ගත්තේය.
ආචාර්යවරයා කතා කළේ පසුගිය සතියේ මැද රජික දුන් පැවරුමක් ගැනය. රජිකගේ පැවරුමද සරසවි කණ්ඩායාමේ තවත් සගයකු වන සමීරගේද පැවරුම් සියයට සියයක් එක සමාන වීම ආචාර්යවරයාට ගැටළුවක් වී ඇත. වඩාත්ම පුදුමය සමීරගේ පැවරුමේද ශිෂ්ය අංකය ලෙස රජිකගේ අංකයම ලියා තිබීමය.
මෙලෝ සිහියක් නැති අපතයකු වන සමීර තමන් දුන් පැවරුම කොපි කරන විට අමතක වී තමන්ගේම අංකයද ලියන්නට ඇති බව රජිකට වහා වැටහිණි. ඔහු දෙන්නාම බේරනේනට කිව හැකි විවිධ දේ සිත සිතා පිළිතුරු දෙන විට එහා අසුනේ සිටි යුවතිය බෑගයද කුඩයද අතට ගන්නා අයුරු දුටුවේ ඇස් කොණිනි. ඔහුට ඇය නවතාගන්නට හැටියක් නොවිණි.
ආචාර්යවරයාගේ දැඩි දොස් රජිකගේ කනට ඇසුණද සිතට නොගියේ බසයේ ඉදිරිපසට ගොස් ඇය හැරී බැලූ බැල්මෙන් ඔහුගේ සිතම පිරී තිබූ නිසාය. කොස්ගම හන්දියෙන් ඇය බැස ගොස් ටික වේලාවකින් ඇමතුමද අවසන් වූයේ සිසුන් දෙදෙනාටම පැමිණ ඩොක්ටර් විජේවර්ධන හමුවන්නට කීමෙන් අනතුරුවය.
රජික දුරකථනය නැවත සාක්කුවේ දමා පිටත බලා ගත්තේ කණස්සල්ලෙනි. බසයෙන් ඈ බැස ගිය බැවින්දෝ ගගන හැඩකළ අනංග දුන්නද නොපෙනී ගොස් තිබේ. තමන්ටද බසින්නට තිබුණූ බව ඔහුට සිතුණේ එවිටය.
තවත් නම් තමන්ගේ ජීවිතය කිසි දිනක පෙර පරිදි නොවනු ඇති බව ඔහුට සිතෙන්නට ගත්තේ ඇය බැසගත් තැන පසුකර බසය ගමන ආරම්භ කිරීමත් සමගය.
——
අවසන් සෙමෙස්ටරයේ කුමන ප්රතිඵලයක් පැමිණියද තමන්ගේ දෙවන පෙළ සාමාර්ථය වෙනස් නොවන බැවින් රජික විභාගය කළේ ඕනෑවට එපාවටය.
ඔහුට සියල්ලටම වඩා උවමනා වූයේ නැවත කොස්ගම යාමටය. ඇය ඒ අවට ගම්මානයක කෙල්ලක විය යුතුය. සියල්ලන්ම බසයට නගින්නේ කලුඅග්ගල හන්දියෙනි. දින දෙක තුනක් එතැන රස්තියාදු වී හෝ ඇය සොයාගත යුතුය.
දිනක් දෙකක් හන්දිය අවටද අවට ගම්වලද මෝටර් සයිකලයෙන් සැරිසරා, මෙහෙයුම සාර්ථක නොවූ බැවින් රජික මාසයක් මුළුල්ලේ සෑම සති අන්තයකම එහි ගියේ රැකියා අයුදුම්පත් සැකසීම අතරතුරය.
නමුත් කිසි දිනකත් ඔහුගේ නෙතින් එදා මිදුණු ඇය ඔහුගේ නෙත ගැටුණේ නැත. ආයාසයෙන් සිහි කරන්නට යන විට ඇයගේ සොදුරු මුහුණද ඔහුගේ සිතෙන් මැකෙන්නට යන බව ඔහු සිහි කළේ ශෝකයෙනි.
—————————-
2012 සැප්තැම්බර්
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්රදර්ශනය රජික මෙතෙක් කිසිවිටිකත් මග නොහැරිඅවස්ථාවකි. නමුත් මෙතෙක් පොත් ගන්නට ලැබුණේ අම්මා දෙන මුදලකින් පමණි. මෙවර පළමුවෙනි වැටුප ලෙස ඉලක්කම් හයක මුදලක් ලැබුණු බැවින් ඉන් නෝට්ටු කොළ හතරක් හිතේ හැටියට පොත් ගැනීමට වෙන් වූයේ අම්මලාට තෑගි බෝග ගැනීමට මුදල් වෙන් කළ වහාමය.
රජික ඇයව අහම්බයෙන් දුටුවේ විදර්ශන හා මියුසස් කුටිවලින් ගැනීමට ලියාගත් පොත් සියල්ල සොයාගෙන මලු දෙකක බහා අත රිදෙද්දී ඉදගන්නට තැනක් සොයමින් සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවෙන් පිටතට ආ විටය.
පොත් ඔසවාගෙන දුවන්නටත් නොහැකිය. මහා සෙනග අතරේ ඇය නැවත සැගව යා හැකි යැයි සිත බියක් උපන් බැවින් ඔහු “දේදුණු “කියා කෑගැසුවේ ඇය එයටවත් හැරී බලාවියැයි සිතාය.
පාසලේ කැඩෙට් කණ්ඩායමේ සාජන් ලෙස පිට්ටනියටම ඇසෙන්නට කෑගසා පුරුදු ඇති ඔහුගේ හඩට බොහෝ අය හැරී බැලුවෝය. ඇයද හැරුණාය. කෑ ගැසූ තැනැත්තා දකිද්දි ඇගේ මුහුණ ලස්සන හිනාවකින්ද ඔප වැටිණි. ඇය වහා තම පොත්ද ඔසවාගෙන ඔහු වෙත ආවාය.
සිතේ උතුරා යන සතුට රජිකගේ මුව ගොලු කර තිබිණි. ඇය ලැජ්ජාවකින් තොරව ඔහු අසලට පැමිණ ඒ දෑසට එබී තම සිනාව තවත් ටිකක් හැඩ කරගත්තාය.
“කොහොමද මගේ නම හොයාගත්තේ?”
——————–
2014 මැයි
හුන්නස් ෆෝල්ස් හෝටලයේ සුන්දර කාමරයක තම සුන්දර මනාලියගේ හිසකේ විලාසිතාව ඉවත් කරන රජික කැටපතින් පෙනෙන ඇගේ දෑස දෙස බලා අඩ සිනාවක් පෑවේය. ඇගේ ලස්සන දෙගුණ තෙගුණ වී අද දවස පුරාම දුටු බැවින් ඔහුගේ සිතද නෙතද ලා මත් ගතියකින් වෙලී ඇත.
“අපරාදේ මම හිත හිත හිටියේ අද දේදුන්නක් පායයිම කියලා”
“ඇයි ළග තියෙන දේදුන්න මදි වෙලාද, ආයෙ ඔය වෙන වෙන දේදුනු බලන්න තියාගන්න එපා රජී?”
—–
2019 අගෝස්තු
රජික තම අතේ පැටලී තිබුණු දහදිය වැකුණු කුඩා අත තදින් අල්ලා ගෙන සිටියේය.
පාර්ලිමේන්තුව අසල පිහිටි මේ ක්රීඩාංගනයට බොහෝ පිරිස් පැමිණෙන්නේ සරුංගල් යැවීමටය.
දුව අල්ලාගෙන සිටින්නේ ඉදිරිපස මග දෙපස ඇති කඩයකින් ඇයම තෝරාගත් මාලුවකු හැඩයේ රෝසපාට සරුංගලයකි. ඇය එය අල්ලාගෙන එහා මෙහා දුවයි.
නෙක වර්ණයෙන් සැරසුණු කුඩාවුන් අතරේ ඇය අතරමං වුවහොත් සොයාගැනීම පහසු නොවේ. රජික ඇය පසුපසම සිටියේ ඒ නිසාය. ඔහු අහසේ අඩක මතුවූ දේදුන්න දුටුවේ සරුංගලය යන දෙස බලන්නට දෑස යොමු කරන විටය. ඔහු වහා දුව වඩාගෙන ඇයට එය පෙන්වූයේය.
“අන්න පැටියෝ මගේ මැණික සෙල්ලම් කරනවා බලන්න අම්මි ඇවිත් බලාගෙන ඉන්නවා”
 උපුටා ගැනීම:  පවිත්රා අභයවර්ධන

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!