දීම(කෙටි කතාවකි) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කාර්යාල වේලාව නිමවී මම පාරට බැස්සේ රිදුම් දෙන ගෙල අතගාමිනි. සැතපුම් භාගයකට පමණ ඈත ඇති අවන් හලක සරසවි මිතුරියක වන නදී හමුවීමට යොදාගත්තේ විකුම් නායකත්ව පුහුණුවට ලියාපදිංචි වූ දින සවසමය. නැතහොත් සෑමදාම කාර්යාලය ළගින් විකුම්ගේ රථයට නැග බෝඩිමට යාම හා ඇතැම් දිනවල මග නවතා අවන්හලකට යාම හැර වෙනසක් මගේ දින චරියාවේ සිදු නොවේ.
අද මා මුළු දවසම ගත කළේ මහත් ප්රබෝධයෙනි. සරසවි සමයේ ළගම මිතුරියක වූ නදී මාස ගණනකින් මට හමුවී නැතත් අප සේවය කරන්නේ ඉතා ආසන්නයේය. මා සති අන්තයේ නිවසට යාමත් ඇය පශ්චාත් උපාධියක් හැදෑරීමත් නිසා අපට හමුවීමට ඇති ඉඩ ඉතා අල්පය.
අද අප සැළසුම් කළේ පැය ගණනක් ගත කර රෑට රෑ වී නවාතැන්පළ වලට යාමටය. අප දෙදෙනාට කතා කරන්නට දහසකුත් දේ එකතු වී තිබේ.
විකුම්ගේ නිවසින් අපේ සම්බන්ධයට තරයේ විරුද්ධ වූ දින සිට මා කාලය ගත කරන්නේ දැඩි පීඩනයකිනි. පවුලේ එකම පිරිමි දරුවා වන ඔහු දෙමව්පියන්ට ඉතා ළැදිය. ඉතා අවිහිංසක ගති ඇති ඔහුට මා රිදවා ඉවත් ව යාමද කිසිසේත් කළ නොහැකි බව මම දනිමි. ඒත් මා දැන් පසුවන්නේ මේ දෙකට ඇදිල්ලෙන් හෙම්බත්වය.
අලුත විවාපත් වූ නදී දැන් දරුවකු බලාපොරොත්තුව සිටී.
ඉතින් අපට කතා කරන්නට බොහෝ දේ තිබේ.
———
ලතේ වීදුරුව තොළ ගාමින් කතාව ඇරඹුවේ මාය.
“විකුම්ට සති දෙකක ලීඩර්ෂිප් ට්රේනිං එකක්, බලංගොඩ පැත්තේ ඇඩ්වෙන්චර් පාර්ක් එකක. දෙකට ඇද ඇද ඉද්දි මමයි යන්නම කිව්වේ. නැත්නම් උදේ හවස එකම දේ එක එක විදිහට හිත හිත කිය කිය ඉන්නවා“
“උන්ගේ ගෙදරට බම්බු ගහගන්න කියලා බැදගනිං බං. මොන අඩුවක්ද උඹේ“
“ඇයි ඔය විකුම්ගේ අම්මා කියනවා කියන්නේ. එයාලගේ පරම්පරාවේවත් එකෙක් කරාවේ ගෙදරකින් වතුරවත් බීලා නෑ කියලා“
“අනේ එහෙනම් උං Chefලගේ උප්පැන්න බලලා වෙන්න ඇති රෙස්ටුරන්ට්වලිං එහෙමත් කන්නේ. විගඩං. විකුම්ගෙත් මෝඩකම බං ඔය ඔක්කොම උඹට කියන්නේ“
“ඒ උනාට නදී මට ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් හිතෙනවා. අපේ තාත්තිලා මගෙයි චරිත්ගෙයි අෆෙයාර් එකට කොච්චර විරුද්ධ උනාද?. ගොඩේ, සල්ලි නෑ, වතුපිටි නෑ අරවා මේවා කියලා. දැන් අපිටත් ආපිට හොදට හම්බවෙන්නේ ඒවම තමයි කියලා මට හිතෙනව“
“දැන් චරිත් කොහෙද බං? එෆ් බී වත් ඉන්නවා දැක්කේ නෑ“
“එයා එෆ් බී නෑනෙ ඉස්සර ඉදලා. එම් බී ඒ එකක්ද කොහෙද කරනවා මම හිතන්නේ. මට අවුරුද්දට එහෙම විෂ් කරනවා“
“තාම කෙල්ලෙක් නැද්ද?“
“මම ඇහුවේ නෑ, දැන් නං ඇති. දැන් අපි අවුට් වෙලත් අවුරුදු තුනක්නේ. මොනව උනත් හෙන ලකී කෙල්ලෙක්“
————–
මට සුසුමක් හෙළුනේ නොදැනුවත්වමය.
සරසවි කාලයේ ඉතා ළගින් ඇසුරු කළ මිතුරකු වූ චරිත් මගේ පෙම්වතා වූයේ දෙවන වසරේය. මගේ පවුලේ දැඩි අකමැත්ත හේතුවෙන් මම ඔහුගෙන් වෙන් වූයේ තෙවන වසරේය. නමුත් අදටත් මට දෙවියන් මැවූ පුද්ගලයා ඔහු බව මට නිතර සිතේ.
විකුම් මුණ ගැසුණේ රැකියාවට පැමිණි පසුය. ඉතා යහපත් ගති ගුණ ඇති විකුම් පිළිබද දැඩි සෙනෙහසක් පැවතුනත් යම් අඩුවක් මට දැනේ. චරිත් මෙන් මට සවියක් වීමේ හැකියාවක් විකුම්ට නැති බවත් මා ඔහුවද බලාගත යුතු බවත් නිතර මට සිතෙන්නකි.
නමුත් චරිත් සතු නොවූ සියලුම භෞතික, සාමාජිය වත්කම් සහිත විකුම් මගේ මව්පියන්ටද ආභරණයකි. ඔහුගේ පවුලෙන් මා ප්රතික්ෂේප වීම මමද ඔවුන්ද කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි.
———-
මගේ මව්පියන් සිතූ පරිදි මිතුරු සරසවි සගයන් “මිස් ෆැකල්ටි” ලෙස හැදින්වූ මගේ රුව දුටුවනම හෝ අපේ නිවස, වාහන, වතුපිටි දුටුවිට විකුම්ගේ මව්පියන් වහ වැටුණේ නැත.
චාරිත්රානුකූලව ඔවුන් අපේ නිවසට පැමිණ ගියාටත් පසුව ඥාතීන් ලවා විස්තර සොයද්දී දැන් අප කඩවත පදිංචි නමුදු පියාගේ මුල් ගම දකුණේ බවද අප කිසිදු තැකීමක් නොකරන කුලය පිළිබදවද ඔවුන් දැනගෙන තිබේ. වසර එක හමාරක් පමණ අප දෙදෙනාවද මගේ පවුලේ අයවද දවාලන ගින්න ඇරඹුණේ එතැන් සිටය.
වර්තමානයේ හෝ අනාගතයේ කිසිදු ලෙසකින් වෙනස් කරගැනීමට ඉඩක් නොමැති මෙවැනි දෙයක් නිසා දෙකට අදිමින් ගත වන මගේ තුරුණු ජිවිතය අපරාදේ යැයි මට සිතෙයි.
සිතේ කිසිවක් තබාගෙන පුරුදු නැති විකුම් ඔහුගේ අවංක කමට, අහිංසක කමට හෝ මෝඩ කමට අම්මා කියනා සියල්ල මට නොවලහා කියයි. කිසි දිනක ඇය හා එක් නිවසක දිවි ගෙවන්නට තබා ඇගේ මුහුණ වත් බලන්නට නොසිතන්නට මා දැනට අසා ඇති කතන්දර ප්රමාණවත්ය.
දැන් මා සිටින්නේ මේ හේතුවෙන් මානසිකව හෙම්බත්වය. නමුත් මා හා නොවෙනස්ව රැදුණු විකුම් රිදවීමද නෑදෑ සනුහරයම දන්නා ඔහු අතහැර වෙනත් කෙනෙකු හා පසු කලෙක හෝ විවාහ වීමටද මගේ සිත තවමත් නොනැමේ.
——————————————————————————————————————–
එදා මා කාලයකින් ගත කළ නිදහස් දිනයකි.
පාය භාගයක් පමණ ගිය පසු දෙපාර්ශවයේම කැමැත්තෙන් නදීගේ දරු ප්රසූතිය හා විකුම් තහනම් වචන කර සරසවි කාලයේ සිද්ධි වල ගිලී කිමිදී පණ යන තුරු සිනාවීමටද චිකන් ටික්කා, සබ්මැරීන්, පිගන් දෙක තුනක් හිස්කර බඩ උස්සා ගන්නට බැරි වී බෝඩිමට යන්නටද ලැබිණි.
සති දෙකක් මා විකුම්ගෙන් වෙන්වී සිටියේ අප සබදතාවය ඇරඹූවාට පසු පළමු වතාවට බැවින් සති දෙක ගෙවෙන විට මා පුල පුල බලා සිටියේ ඔහු එනතුරුය. ඔහු සිටි තැන දුරකථන සංඥා අඩු බැවින් මේ කාලයේදී අපට රිසි සේ කතා කරන්නටද නොලැබිණි.
මට අපේ සම්බන්ධතාවය නිදහසේ ආවර්ජනය කරන්නටද ලැබුණු අතර සති දෙක ගෙවෙන විට විකුම්ගේ අම්මාට බම්බු ගසන්නට කියා ඔහුවම බැදගන්නා තීරණයකට මම එළඹ සිටියෙමි.
ඉරිදා ෆේෂල් එකක් දමා විකුම් කැමති ඇදුමකින්ද සැරසී මම සදුදා රැකියාවට ගියෙමි. ඇති තරම් ව්යායාම කර අව්වේ නටා පැමිණි බැවින් ඔහු මදක් කෙට්ටු වී කලුවී බව මට දකිද්දිම පෙනුණි. මම දිවගොස් ඔහුගේ අතේ එල්ලුනෙමි.
——–
කෙසේ හෝ විකුම්ගේ මහා වෙනසක් මට දැනුණේ ඔහු හමුවී කතා කළ පළමු විනාඩි පහේදීය. එය මේ යැයි මට පහදා කිව නොහැකි වුවත් මා දැන සිටි විකුම්ගෙන් මා කිසි දිනක නොදැකි දුරස් බවක් ඇතිවී තිබෙන බව මට පෙනුණි.
“ඇයි අනේ මහන්සිද“
“ෆ්රී එකේ ඉදලා දැන් වැඩට ආවම එපා වෙනවානේ?“
වැනි සාමාන්ය ප්රශ්නවලින් ඔවුන්ගේ පිළිතුරක් හරිහැටි ගන්නට බැරි වූ විට මම “මොකද්ද හලෝ, ලස්සන කෙල්ලෙක්වත් ඇවිත් හිටියද ට්රේනිං එකට“ ඇසුවෙමි.
මද සිනාවක් නැගූ විකුම් “පිස්සුද ලසා, කොල්ලෝ විතරයි හිටියේ. හොද කොල්ලෝ සෙට් එකක් ඇවිත් හිටියා ලංකාව වටෙන්ම“ යැයි කීවේය.
අම්මාගේ දැඩි පාලනය යටතේ හැදී වැඩී ඇති විකුම්ට කිසි දිනක පාසල් වියේදී මිතුරන් සමග විනෝද චාරිකා යන්නට ඇගෙන් අවසර ලැබී නැත. ඒ නිසා යම් ගමනක් ගොස් පැමිණි වහා ඔහු ඒ පිළිබදව කතා කරන්නේ මහත් උද්යොගයෙනි. මෙවැනි විශේෂ පුහුණුවක සති දෙකක් ගත කර පැමිණ ඔහු ඒ පිළිබදව වැඩි කතාවක් නැති වීම මට මහත් කුකුසක් විය.
කෙසේ හෝ සතියක් දෙකක් යද්දි අපේ මිතුරන්ටද දැනෙන තරම් ඔහුගේ වෙනස ප්රබල විය. ඔහු වෙනදා මෙන්ම මා හා ආහාර ගැනීම හා සවසට මා බෝඩිමට ඇරලවීම කළද අප අතරේ සුහද කතා බහක් ඇති නොවූ තරම්ය. ටික දිනකින් මා නිගමනයකට එළඹියේ එක්කෝ ඒ සති දෙක තුළ විකුම් මා පිළිබදව හොදින් සිතා තීරණයක් ගන්නට ඇති බව හෝ ඔහුගේ අම්මා යම් ක්රමයකින් ඔහුගේ සිත වෙනස් කරන්නට කටයුතු කරන්නට ඇති බවය. නමුත් ඒ කිසිවක් මට කෙළින් නොකීම පිළිබදව මට දැනුණේ දැඩි කළකිරීමකි. කිහිප වරක් ඒ පිළිබදව විමසාද පිළිතුරක් නැති තැන මම උඹට එපා නම් මටත් එපා න්යායෙන් ඔහුව වැඩි ගණනකට නොගෙන කටයුතු කරන්නට සිතා ගත්තෙමි.
කුමක් වුවත් ආවේගශීලී නොවෙමියි සිතා සිටි වෘතය බිදෙන්නට ගියේ දින දෙකකි.
——–
විකුම් කාර්යාල වැඩකට පිටතට ගොස් සිටි වේලාවක මානව සම්පත් අංශයේ සේවය කරනා දිදුල මගේ අභ්යන්තර දුකරථනයට ඇමතුමක් ගත්තේය.
“ඒයි ලසා, උඹලා හොරන්ම බැදලා නුවරට යන්නද බං හදන්නේ? මේ විකුමා ඇනුවල් ට්රාන්සර් ඇප්ලයි කරලා තියෙන්නේ ගැටඹේ ඔෆිස් එකට“
“මොකක්?“
“ඇයි උඹලා දෙන්නම නෙවෙයිද ට්රාන්සර් වෙන්නේ?“
වහා දුරකථනය තැබූ මම මානව සම්පත් අංශයට ගොස් ඉල්ලුම් පත බැලුවෙමි. දිදුල කීවේ ඇත්තය. මා දන්නා විකුම් මෙවැනි කැත වැඩක් කළ හැකි කෙනෙක් බව මම හීනෙන්වත් සිතා සිටියේ නැත.
මා එතෙක් එය නොදැන සිටි බව තේරුණු දිදුල මහත් සේ කලබල වී විකුම්ගෙන් ඒ පිළිබදව නොඅසන ලෙස බැගෑපත් වුවත් මම වහා එතැනින් පිටවී විකුම්ට ඇමතුමක් ගත්තෙමි.
“හලෝ“
‘මේ විකුම්, ඔයාට මා එක්ක ඉන්න බැරිනම් හරි ඔයාගේ අම්මට ඕනි කුමාරිහාමි කෙනෙක් බැදගන්න ඕනි නම් හරි මගෙන් කිසි බාධාවක් නෑ. හැබැයි බලු වැඩ කරන්න එපා. ඔයාට නුවර යන්න ඕනි නම් මම අල්ලගන්නේ නෑ. හැබැයි අඩුගානෙ මට කියන්න යුතුකමක් තිබ්බා ඔයාට. මොකද මෙතන එවුන් තාම හිතන් ඉන්නෙ අපි දෙන්නා යාලුයි කියලනේ. ඒ හින්දා උන් මගෙන් එක එක ඒවා අහද්දි මට ලැජ්ජයි. අපි දෙන්නා අතරේ අෆෙයාර් එකක් නෑ කියලා කට්ටියට කියලා ඔයා ඕනි නැටුමක් නටාගන්න“
ඔහුගේ පිළිතුර අසන්නට නොනැවතී දුරකථනය තැබූ මම ප්රධානියාට පමණක් කියා නිවාඩු දමා පිට වුණෙමි. මම උවමනා වූයේ රිසිසේ හඩන්නටය. බෝඩිමේ ඇදට වැටුණු මම දුරකථනයද ක්රියා විරහිත කර සපත්තු දෙක ගලවා බිත්තියට දමා ගැසුවෙමි. මා හැඩුවේ විකුම් කළ දේට පමණක් නොවේ. චරිත්ද විකුම්ගේ මවගේ කතාද සියල්ල එක්වී මැවුණු මහා කදුළු ගංගාවකින් මගේ කොට්ටය තෙමී ගියේය.
සති අන්තයේ මම ගෙදර නොයා බෝඩිමේ නැවතුණෙමි. කෙසේ හෝ කල්පනා කර මම සදුදා සේවයට ගියේ සන්සුන් සිතිනි. විකුම් අල්ලා බැදගැනීමට මට බැරිය. කොතරම් සිත රිදුණත් ඔහුගේ අම්මා සමග සටන් කරමින් අනාගතය ගෙවන්නට මට අවශ්ය නැත. එසේ සිතා මම සන්සුන් වන්නට උත්සාහ කළෙමි.
එදා සිට මම විකුම් මගහැර බෝඩිමට ආවෙමි. වේදනාවට වඩා මට දැනුණේ ලැජ්ජාවය. කාර්යාලයේ ප්රසිද්ධ පෙම්වතුන් යුවළක් වූ අප වෙන්වූ පසු දැන් සියල්ලන්ගේම කතා බහට ලක්වන බව නොකිවමනාය. සිත දැඩි කරගෙන මම එදාට එදාට ජීවත් වන්නට තීරණය කළෙමි.
කෙසේ හෝ අප පිළිබදව විකුම්ගේ මවගේ පදනම් විරහිත අදහස් දැන සිටි බැවින් බොහෝ කාර්යාල මිතුරන් ගත්තේ මගේ පැත්තය.
එවැනි යක්ෂනියකගේ ලේලිය වනවාට වඩා මෙලෙස ඉවත් වීම හොද බව ඇතැම්හු මගේ මූණටම කීහ.
විකුම් අවශ්ය විට මා හා කතා කළේය. ඔහු මොකද්දෝ නොකියනා දෙයක් ඇති බව මට තවමත් දැනිණි. කොපමණ ඇසුවත් ඔහු එය කීවේ නැත.
ඔහු නුවරට මාරු වූ දිනයේ මම වැඩට නොගියෙමි. දැන් අපේ සම්බන්ධතාවය අවසන් බව ගෙදරද දන්නා බැවින් මම ගෙදර ගියෙමි. අම්මාත් තාත්තාත් එදා මට සැළකූයේ අත දරුවකුට මෙනි. ඔවුන්ට පෙනෙන්නට සිත දැඩි කරගෙන සිටි මම රෑ එළිවනතුරු නොනිදා හඩා වැටුණෙමි.
———-
මාස කිහිපයක් ගතවී ගියේය.
දිනක් මම කාර්යාලයේ සිට පාර පනින විට ඇස ගැටුණේ පුරුදු මුහුණකි. පදික වේදිකාවේ සිට මා දෙස බලා සිටියේ චරිත්ය.
පෑරුණු සිතින් සිටි මට ඔහු මග හැර යන්නට හැකිවූයේ නැත. මට එසේ අවශ්ය වූයේද නැත. වහා ඔහු වෙත ගිය මම එදා බෝඩිමට ගියේ පැය ගණනාවක් ඔහු හා ගත කර පසුගිය වසර කිහිපය ගෙවූ අයුරු කතා කිරීමෙන් පසුවය.
ඔහු විවාහ වී නැත. පෙම්වතියකද නැති අතර විකුම්ගේ හා මගේ සම්බන්ධතාවය බිද වැටුණු බව නදී ඔහු අමතා කියා තිබේ. ඔහු පැමිණියේ මගේ පියා හමුවී නැවත කතා කිරීමට අවශ්ය බවත් මා එයට කැමතිදැයි ඇසීමටත්ය.
සරසවි සමයේ ඔහු පෙළමින් තිබූ ප්රශ්න බොහොමයක් දැන් විසදී තිබේ. නංගී වෛද්ය සිසුවියක ලෙස සරසවියේය. යුරෝපා රටවල ආයතනවලට මෘදුකාංග නිර්මාණය කරන කුඩා ආයතනයක් ඔහු හා මිතුරන් දෙදෙනකු එක්ව පිහිටවා ගත්තේ සරසවියෙන් පිටවූ වහාමය. ඔහු කියනා ආකාරයට ලාභය ඉතා හොදය. නිවසක් සාදා වාහනයක් ගෙන අවසන්ය. මූලික අවශ්යතා සපුරාගෙන ඇති බැවින් නැවත මගේ අත ගන්නට උත්සාහ කරන්නට ඔහු සූදානම්ය.
පණ දීගෙන සිටි විකුම්ගේ ද්රෝහිකමෙන් මට පිරිමි ජාතියම එපාවී තිබිණි. නැවත කිසි දිනක අලුතින් කෙනෙකු හදුනාගෙන ඇසුරු කර ප්රේම කරන්නට මට හැකිවේයැයි මට සිතුණේ නැත. චරිත් මා දන්නා මා ආදරය කළ පුද්ගලයාය. මා වෙනුවෙන් වසර ගණනක් මා නොදැනුවත්වම වෙහෙස වූ පුද්ගලයාය.
ඔහු වෙනුවෙන් හැකි උපරිමයෙන් සටන් කළ යුතු බව මම සිතාගත්තෙමි.
මම රෑම අයියාට කතා කර විස්තර කීවෙමි. චරිත් පිළිබදව දැන සිටි ඔහු අප දෙදෙනා හමුවන්නට කැමැත්ත පළ කළේය. ඊළග දිනයේ සවස ඔහු අප හමුවන්නට ආවේ නෑනාද සමගය. අයියා හොදින් චරිත් හා කතාබහ කළ අතර තාත්තාට හා අම්මාට විස්තර කීමේ වගකීමද භාර ගත්තේ මගේ සිතට දැඩි සැනසිල්ලක් ගෙන දෙමිනි.
මා ඊළග දිනය නිවාඩු දමා ගෙදර ගියෙමි. එදා රෑ කෑමට අයියා ආවේ චරිත් පිළිබදව අම්මලාට හෙළි කිරීමටය. ඔවුන්ගේ ප්රතිචාරය සරසවි සමය හා සැළකූ විට අහසට පොළව මෙන් විය. පැයක් පමණ කතා කළ පසු තාත්තා සුසුමක් හෙළා මෙසේ කීවේය.
“දෝණිගේ හිත ආයෙ රිද්දන්න අපි කැමති නෑ. ඒ ළමයා මෙච්චර කල් ඔයා වෙනුවෙන් හිටියනේ. අරුන් වගේ අපිත් පල්ලෙහාට වැටෙන්න ඕන නෑ අඩුපාඩු හොය හොය. ඔයාලට අපිත් උදව් කරන්නම්. අර බෝවල මහ අම්මණ්ඩිට පේන්න මම ඔයාව රැජිනක් වගේ තියනවා දෝණි. ඒ පැත්තේ අම්මලා එක්ක දවසක් දාගෙන එන්න කියන්න“
මගේ කුඩා කොට්ටය සෑහෙන කලකට පසු සතුටු කදුලු, සැනසුම් සුසුම් පහස විදගත්තේ එදා රෑය. මම පාන්දර වන තුරු චරිත් හා දුරකථනයෙන් දොඩමලු වීමි. ඉන්පසුව සුවසේ නින්දට ගියෙමි. සදුදා ගොස් ඔහු දැකගැනීමට මම නොඉවසිල්ලෙන් සිටියෙමි. අයියා හා නෑනා පසු දින මා හා කැළණි පන්සලට ගියහ. ඔවුන් සිටියේද සතුටිනි. අපි රෑ වන තුරු පන්සලේ සිට රෑට පිටතින් කෑමද කා ආපසු ආවෙමු.
—————
මගේ ජීවිතයේ සිහිනමය සමයක් ඉන් පසු ඇරඹිණි. චරිත්ගේ හා මගේ පවුල් එකිනෙකා හා ඉතා හොද සම්බන්ධතාවයක් අරඹාවි හෝ කිසිදු ගැටළු නැති ජීවිතයක් මට ලැබේ යැයි මම බොරු බලාපොරොත්තු තබා නොගතිමි. ගැටළු පැන නැගුණේය. නමුත් මහමෙරක් මෙන් චරිත් මා අසල සිටි අතර ඔහුට මගේ පාර්ශවයෙන් වචනයකුදු හෝ වරදක් නොවන්නට මමද මට හැකි සැම දේම කළෙමි. තාත්තා මගේ විවාහය කර දුන්නේ මා කුඩා කළ සිට ආශාවෙන් සිටි සිහින මංගල්යයේ සියළු අංග ඇතුළත් කර දෙමිනි.
මට විකුම් සිහි වූයේ නැත කිවහොත් එය මුසාවකි. නමුත් ඔහු සිහිවී මා දුක් නොවූ බව කිව යුතුය. ඔහුට තම පවුලට ගැළපෙන හොද කෙනෙකු ලැබේවා යන ප්රාර්ථනය මිස මගේ සිතේ තරහක් නොවිණි. සැබැවින්ම චරිත් මට නැවත ලැබුණේ ඔහු මා දමා ගිය බැවිනි.
————-
විවාහයෙන් පසු මම රැකියාවට පැමිණියේ රැජිනක මෙනි. කාර්යාලයේ බොහෝ දෙනා විවාහයට සහභාගී වූ අතර ගෙනා කැවිලි සියල්ලන් අතර බෙදූ මම පරිගණකය ඉදිරියේ ඉදගෙන ඊමේල් බැලීමට පටන් ගතිමි.
විකුම්ගෙන් පැමිණි ඊමේලයක් එහි විය.
දැන් මගේ සිත සසල කරවන කිසිවක් එහි තිබිය නොහැකි බව දන්නා බැවින් මම පැකිළීමකින් තොරව එය ඇර බැලුවෙමි.
එහි වූයේ දිගු ලිපියකි. මදක් කියවද්දී මගේ ඇස් තෙත් කර, තිරය බොද කිරීමට සමත් වූ ලිපියකි.
“My dear Lasa,” ඔහු ලියා තිබුනේ ඉංග්රීසියෙනි.
“ඔයාටත් චරිත්ටත් මගේ සුභ පැතුම්.
මගේ හදිසි වෙන්වීම නිසා ඔයා මට වෛර කරනවා ඇති. ඔයා හොද කෙනෙක්. ඒ නිසා සිදුවු දේ ඔයාට හොදක්ම වන බව මම දන්නවා.
මගේ වෙනස්වීම ඇරඹුණේ ලීඩර්ෂිප් ට්රේනිං එකෙන් පසුව බව ඔයාට මතක ඇති.
ඔයා නොයෙක් වර මගෙන් ඇසූ හේතුව අද කියන්නම්.
ඔයාගේ හිත නිදහස් වෙන්න.
පළවෙනි දවසේ රෑ ප්රෝග්රෑම් එකක් තිබුණා. කැතාසිස් සෙෂන්.
ඇවිත් හිටපු දොළොස් දෙනාම කලුවර රූම් එකක රවුමට වාඩි උනා. අපේ ජීවිතයේ වැඩියෙන්ම දුක් වුන අවස්ථාව අපි කියන්න ඕන. පළවෙනි දවසේම මේක කරන්නේ අදුරන්නේ නැති අපි වැඩියෙන් විවෘත වන නිසා බවයි ට්රේනර් කිව්වේ. කට්ටිය ඒ ගැන අදහස් බෙදාගන්නවා. එක්කෙනෙක් කතා කළාම අනිත් එකොළොස් දෙනාම එයාගේ හිත හදනවා. අන්තිමට එතනින් නැගිටින්නේ පුදුම විදිහට එකතු වුණ දොළොස් දෙනෙක්ලු.
ගොඩක් අය අම්මලා, තාත්තලා නැති වුණ දවස් ගැන කතා කළා. ජීවිතේ අසාධාරණකම් වුන දවස් ගැන කිව්වා. ඔය අතරේ අන්තිමට හියෙ කොල්ලා තමන්ගේ දුප්පත්කම හින්දා, තමන් ආදරය කරපු කෙල්ල නැති වුන හැටි කිව්වා. තවමත් ඒ කෙල්ල නිසා මහන්සි වෙන හැටි, කෙල්ල කවදා හරි එයි කියලා බලන් ඉන්න හැටි කිව්වා. අන්තිමට ඒ කොල්ලා කියපු දේ මට අදත් ඇහෙනවා වගේ ලසා.
“ලසනි දැන් මැරි කරන්න යන්නේ. ඒත් කවදා හරි එයාට හයියක් වෙන්න මම හැදෙනවා. එයාට කවදහරි මාව ඕනි උනොත් මම ඉන්නවා.“ එතකොටයි මම දැනගත්තේ ඒ චරිත් බව. කියලා තියෙන්නේ ඔයා ගැන බව.
ඊට පස්සේ වත් එයා මම කවුද කියලා දැනගත්තේ නෑ. එයා හරි හොද කෙනෙක්. ඔයාට නැතිවුණේ අපරාදෙ කියලා මට හිතුණා ලසා.
අපේ අම්මා කීයටවත් අපි මැරි කරනවට කැමති නෑ. ඒ නිසා මම ඔයාගෙන් වෙන් වෙලා චරිත්ට අවස්ථාව දෙන එක ඒ වෙලාවෙ කරන්න තියෙන හොදම දේ බවයි මට හිතුනේ. අපි දෙන්නටම. අම්මාට රිද්දලා ඔයා ළගට එන්න මටත් බෑ. අපේ අම්මා කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
ඒ වෙනුවට ඔයාට ටිකක් හිත රිදුණත් ඔයාට වැඩිය හොද ජිවිතේකට යන්න පාර හදලා දෙන එක හොදයි. මම ජීවිතේ ගත්තු අමාරුම තීරණය ඒ.
මම ඔයාට ගොඩක් ආදරේ කලා ලසා. ඒක ඔයා දන්නවා. නමුත් මගේ ළග තියාගන්න එකෙන් අපි දෙන්නටම හොදක් වෙන්නේ නැති බව මම තේරුම් අරන් හිටියේ. චරිත් දැන් හොදටම ස්ටේබල්. ඔයාට බය නැතුව එයා එකක් හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්.
මම ඔයාගෙන් අයින් වුණ බව අනිවාර්යෙන් චරිත් දැනගන්න බවත් ඔයා ලබාගන්න එයා උත්සාහ කරන බවත් මම දන්නවා.
වෙඩිං එක මට ආරංචි උනා.
ඔෆිස් එකේ අයගේ ෆේස්බුක් අකවුන්ටවලින් ෆොටෝ දැක්කා. ලස්සන මනමාලි.
ඔය හිනාව හැමදාම ඔය විදිහටම තියාගන්න ලසා.
නැත්නම් මම කරපු දේ අපරාදෙ වෙනවා.
ඔයාගේ අඩුපාඩුවක් නිසා හෝ අම්මාගේ කීමට නැමිලා ඔයාව අත්හැරිය බව ඔයා හිතේ තියාගන්නවට මම කැමති නෑ.
මේක එව්වේ ඒ නිසායි.
සතුටින් ඉන්න.
මේ විකුම්.
උපුටා ගැනීම:  පවිත්රා අභයවර්ධන

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!