ධීර් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇයි ඔයා ධීර් ට කැමති කියලා කවුරුහරි ඇහුවොත් මම කියන්නේ ධීර්ගෙ ගෙදර ලස්සන හින්දා කියලා.
ඇයි ඔයා ධීර්ට අකමැති කියලා කවුරුහරි ඇහුවොත් මම කියන්නෙ ධීර් කැත හින්දා කියලා.
මෙච්චර කාලෙකට කවුරුවත් එහෙම අහලා නැති වුණත් මම ම අහලා මම ම උත්තර දීගන්නවා.
ධීර් කවදාකවත් මට කැමති කියලත් නැති හින්දා මම මාවම නිදොස් කොට නිදහස් කරගන්න උත්සහ ගන්නවා.
__________________________________________
මද්දහනටත් සීතල මේ පැත්තට, රෑ වෙද්දී සීතල තවත් ටික ටික වැඩිවෙනවා. ඒ හින්දම මම ඔහුට තව ටිකක් ළං වුණෙමි.
ඇහැට පේන හැමතැනකම මළානික එළියක් තියෙන නිල් පාට බල්බ් දාලා. ඒ ලයිට් එළියට පාට පාට මල් දිලිසෙනවා. එක එක මල් වල සුවඳ මිශ්ර වෙලා දැනෙනවා.
හීනියට යන්තම් ඇසෙන නොඇසෙන මන්දගාමී සංගීතයක්. ඒක අමුතු ලෝකයක්. අපේ පෘතුවියෙන් ආලෝක වර්ෂ ගාණක් ඈතින් තියන නිල් පාට තරුවක අපි ඉන්නවා වගේ. වෙනමම ලෝකයක්.
සාමන්ය ලෝකේ ඇතුළේ හැංගුණ පුංචි ලෝකයක්.
“Magical moment with coffee”
ඇතුළු වෙන තැනම බෝඩ් එකේ රිදී පාට අකුරින් ලියලා තිබුණා.
සෙල්ෆි එකක් ගන්න හිතුණත් ඇතුළු වෙද්දිම තිබුණ ඡායාරූප ගැනීම තහනම් කියන බෝඩ් එක මතක් වුණ නිසා ඒ ආසාව අමතක කර දැමුවෙමි.
චායාරූප ගැනීමට හැකිවන්නේ විශේෂ අවස්ථාවකදී පමණක් බව මෙහෙට එන්නත් කලින් අහන්න ලැබුණේ දිය ඇල්ල අසලදී ය.
“ඔයා මට කලින් කාට හරි ආදරේ කරලා තියනවද?”
මම හිතුවෙවත් නැති වෙලාවක , මේ තරම් ලස්සන හැන්දෑවක ඔහු එකපාරටම ඇහුවෙ එහෙම.
සමහරවිට මේක වෙන්න ඇති එහෙම දෙයක් අහන්න හොඳම වෙලාව. ඔහුටත් මේ වෙලාවෙ කවුරුහරි මතක් වෙන්න ඇති.
එහෙම සම්බන්දයක් මට තිබුණෙ නැති නිසා දෙපාරක් නොසිතාම නෑ කීවෙමි.
ඔව් කීවද එහි ගැටළුවක් ඔහුට නැති බව මම දනිමි.
ඒ ප්රශ්නයම මටත් අහන්න හිතුණත් ඔහුගෙ උත්තරය ඔව් කියල දන්න නිසා නොඅසා සිටියෙමි.
_________________________________________
ධීර්ව මට හම්බුණේ ස්කෝලේ යද්දී.
ඒ කාලේ මම හිටියෙ දහයෙ පන්තියේ. ධීරුත් මගේ වයසෙමයි.
ඒ ජීවිතේ අලුත්ම අලුත් කාලයක්. කුලී ගෙවල් වල හිටපු අපි අපේම කියල ගෙදරකට පදිංචියට ගියපු අලුතමයී. තාත්තාට හැමදාම ඕනෑ වුණේ ගමක පදිංචි වෙන්න. තාත්තගෙ ආසාව නිසාමයි අපි ටවුන් එකෙ ඉඳල ගමකට ආවේ.
තාත්තා මාව ස්කූල් වෑන් එකකට භාරදුන්නේ මගේ ආරක්ෂාව වගේම පහසුව ගැනත් හිතලා.
ස්කූල් වෑන් එක තිබුණෙ අපේ ගෙවල් ළඟම. හැමෝටම කලින් වෑන් එකට නැගලා මම කැමතිම සීට් එකක වාඩිවෙනවා. ගොඩක් වෙලාවට මම ඉන්නෙ දෙවෙනියට තියන සීට් එකෙ.
ලොකු කුඩා පාරවල් වල ගිහින් අවසානේ ඉස්කෝලෙට යද්දි හතහමාරට කිට්ටුයි.
දෙවෙනියට වෑන් එකට නගින්නෙ ධීර්.
ධීර් ඉන්නෙ ගමේ කෙළවරක. අපේ ගේ ගාව ඉදලා ටිකක් දුරින් තියන පාරක.
ගඟත් එක්කම තියෙන රජයට අයිති කුඩා කැලෑවෙ මායිම වෙන්නෙ ධීර්ගෙ ගෙදරට යන පාර. ඒ පාර කෙළවර වෙන්න තියෙන්නෙ දිය ඇල්ලක්. ගඟෙන් එහා පැත්තෙ තියෙන්නෙ පුරාණ පන්සලක නටඹුන්.
දෙපැත්තෙම එක එක විදිහෙ ගස් තියන ඒ පාර අඳුරුයී. සීතලයී. උදේට කොහොමත් දැනෙන හීන් සීතල මේ පාරෙ යද්දි හිරිගඩු පිපෙන සීතලක් වෙනව.
ධීර් යන්නෙ ටවුමෙ තියන පිරිමි පාසලට.
වෑන් එක ධීර්ලගෙ ගෙදර ළඟට ගිහින් විනාඩි පහක් දහයක් එහෙම නැත්නම් ඊටත් වඩා වෙලාවක් බලාගෙන ඉන්නවා ධීර් එනකන්.
කොච්චර පරක්කු වුණත් ධීර් වෑන් එකට එන්නෙ හෙමීට වටපිට බල බල. ඕනෑවට එපාවට.
ඉස්සරලාම දවසෙ මම ධීර්ට ගුඩ් මෝනින් කීවා. ඊටපස්සෙ හැම දවසකම මුලින්ම ගුඩ් මෝනින් කීවේ ධීර්.
මට ඉස්සරහින් තියන සීට් එකේ වාඩිවෙන ධීර් ඉස්කෝලෙට යනකම්ම එකම ඉරියව්වෙන් ඉන්නවා. ජනේලෙන් එළිය බලාගෙන.
ධීර් කාටවත් ගුඩ් මොනින් කියන්නේ නැ.
ධීර්ටත් කවුරුවත් ගුඩ් මෝනින් කියන්නේ නැ.
ධීර් කියන්නෙ තනියම ඉන්න කැමති ගුප්ත ළමයෙක්. කවුරුත් ධීර්ව දන්නෙ ඒ විදිහට.
__________________________________________
“අපරාදේ ඔයාලගෙ තාත්තා ඒ ඉඩම් විකුණුවෙ. “
කවදාකවත් ඉඩම් ගැන කතා නොකරන ඔහු එසේ පවසද්දි මම ගැස්සී ගියෙමී. අප විවාහ වී අවුරුදු දෙකක් පමණ ය. ඒ අවුරුදු දෙක තුළදී ඔහු මෙසේ ඉඩම් ගැන කතා කළ පළමු අවස්ථාව එය විය.
“ඇයී ඔයා එහෙම කීවේ?”
“එහෙ ඉතින් ලස්සනයීනෙ. අපිට නිවාඩුවකට ගිහින් ඉන්න තිබ්බා. මගෙ යාලුවෙක් ළඟදී එහෙ තියන දිය ඇල්ලක් බලන්න ගිහින්”
“ඒකට ඉතින් එහෙ ගෙවල් ඉඩම් ඕනේ නෑනෙ. අපි ගිහින් එමු. “
මට ත් ගමට ගිහින් එන්න හිතිල ගොඩක් කල් නිසා මම කීවෙමී.
“එහෙනම් අපි හෙට යමූ.”
ඊයේ උදේ ඒ කතාවෙන් පස්සෙ තමයි අද උදේ ගමට ආවේ.
ගමම වෙනස් වෙලා. පාරවල් කාපට් කරලා. ගමේ මිනිස්සුන්ට වඩා වැඩිපුර ඉන්නෙ විදේශීය සංචාරකයෝ.
ගම සංචාරක කලාපයක් කර ඇති බව දැනගත්තද මෙතරම් දියුණු වී ඇතැයි නොසිතුවෙමී.
ගෙදරින් එද්දිම කෑම අරගෙන ආවෙ මෙහෙ කෑම ගන්න තැනක් නැතිවෙයි කියලා. ඉස්සර ගමටම තිබුණෙ එක සිල්ලක් කඩයක් විතරයී. ඒත් දැන් හැම තැනම කඩ තියනවා.
දියඇල්ල අසල අපි සිතුවාටත් වඩා වෙලාව ගත කර නැවත එනවිට තරමක් හවස් විය.
_________________________________________
මොන තරම් රටවල් වල ඇවිදලා එක එක විදිහෙ ගෙවල් වල හිටියත්, විවිධාකාර හැඩැති ගෙවල් දැක්කත්
ධීර්ගෙ ගෙදර තමා තාමත් මගෙ හිතේ මැවිලා තියන ලස්සනම ගෙදර.
මම හීන දැක්කා ඒ ගෙදර ඉන්න. ධීර් එක්කන්.
කෙනෙක්ට කියන්න පුළුවන් ඒ ගෙදර තමා ගමේ තිබුණ අපිරිසිදුම, අබලන්ම ගෙදර කියලා.
හැබැයී මීට අවුරුදු ගාණකට කලින් ඒක වෙන්න ඇති ගමේ තිබුණ හොඳම ගෙදර.
ඒක තට්ටු දෙකේ ගෙදරක්. ගමේ තියන ලොකුම ගෙදර. ඒ ගේ හැම අතටම විහිදිලා තිබුණා. අපේ ඉඩමටත් වඩා ලොකුයි ධීර්ගෙ ගෙදර.
උඩ තට්ටුව පාවිච්චියට ගන්නෙ නෑ කියලා හිතෙන්නෙ ඒ ජනෙල් කවදාකවත් ඇරලා තියනවා දකින්න නැති හින්දා. වහලෙන් උඩට තනියම ඉස්සිලා තිබුණ පුංචි කාමරයක් තිබුණා. පොඩිම පොඩි ජනේලයක් තිබුණෙ ඒකට.
ගේ වටේටම සරුවට වැවිලා තියෙන ලොකු ගස් හින්දා ඒ ගෙදර තිබුණෙ අඳුරෙ.
ගමේ කවුරුවත් ධීර්ලා එක්කන් හිතවත් සම්බන්ධයක් තිබුණෙ නෑ. අපි ගමට අලුත් නිසා එයාල ගැන කොහොම දන්නෙත් නෑ.
ඒ ගෙදර හොල්මන් තියනවා කියලා විතරයි ගමේ අය දන්නෙ. ඒ වත්තෙ කෝපි හැදෙන කාලෙට කෝපි කඩන්න යන අය තමා එහෙම කියන්නෙත්.
කෙනෙක්ට කියන්න පුළුවන් ඒ ගෙදර මූසල පාටයී කියලා. ඒත් ඒ මූසල පාටට මම කැමතියි.
වහළෙ පුරා ගිහින් තිබුණ වැල් වල කහ පාට, සුදු පාට මල් පිපිලා වහළෙන් පහළට එල්ලෙනවා.
බිත්ති වල සුදු පාටට වඩා පෙනුණෙ දියසෙවෙල් වල කොළ පාට.
ආරුක්කු, කණු කොරිඩෝ ඒ ගෙදර වටේටම.
අඳුරු පරිසරයක නිතරම ජනෙල් වහල තියන ඒ ගෙදර මම මනසින් ඇවිදින්න පුරුදු වුණා.
එහෙම ඇවිදිද්දි ගේ ඇතුළෙ තියන පුස් ගඳ මට දැනුණා.
පාර අයිනෙම තිබුණ මලබැදුණ, කැඩුණ ගේට්ටුවේ ඉඳලා තරමක් ඇතුළට වෙන්න තිබුණු ගෙදර ට යාර පනහක් විතර දුර ඇති.
ගේට්ටුවේ ඉදලා ගෙදරට යනකම් තිබුණ පොඩි පාරට දාපූ බොරළු වැහෙන්නම තණකොල වැවිලා.
ඒ පාර දෙපැත්තෙම පේළියට වවලා තිබුණෙ පදුරු ලෙස වැඩෙන ගස් වර්ගයක්.
මුලින් කප්පාදු කර ඇති බවට ලකුණු එම ගස් වල තිබුනත් දැන් නම් අපිළිවෙලයි.
ඉඩමෙ හැමතැනම වගේ තියෙන්නෙත් කෝපි ගස් නිසා මේ ගසුත් කෝපි කියලා හිතුවට ඒ කෝපි නෙවේ. දවසක්දා ඒ ගස් පිරෙන්න සුදු පාට මල් පිපිලා තිබුණ. ග්රැමෆෝන් වගේ පිපුණ ඒ මල් ලොකුයි.
ගස් පුරාම පිපිලා තිබුණ ඒ මල් මුලු ගෙදරම එළිය කරලා. ඒ වගේම පළාතම සුවඳ කරලා.
“අර මල් වල නම මොකක්ද?”
ඒ මල් දුටුව මුල්ම දිනයේ මම ධීර්ගෙන් ඇහුවා.
“නම නම් දන්නෙ නෑ.”
“ඒවා ලස්සනයි”
“ඒ වගේම සුවදයී. රෑට පිපෙන්නෙ. ඒ වෙලාවට ගොඩක් සුවදයී”
ධීර් උද්යෝගිමත්ව කීවා.
“ඔව් සුවදත් එනවා තමා. හරි ලස්සනයී. අනේ මේ හෙට එද්දි මට ඒ මල් දෙක තුනක් කඩාගෙන එන්නකො”
ලස්සන මලක් දැක්කාම කඩල ඒක පරවෙනකම් තියාගෙන ඉදලා පොතක් අස්සෙ දාන එක මගෙ පුරුද්දක්.
ඊට පහුවදා උදේම අපි යද්දි ධීර් ලෑස්ති වෙලා ගේට්ටුව ලග හිටියේ නිකන්ම නෙවේ. සුදු පාට මල් පොකුරකුත් එක්කන්. වෙනදට පරක්කු වෙන ධීර් එදා කලින්ම ආවා.
ඒ මල් පොකුර මට දෙද්දි ධීර් හිනාවුණා ලස්සනට. මම කවදාකවත් දැකලා නෑ ධීර් එච්චර සතුටින් ඉන්නවා.
හැමදාම උදේම ධීර් ඒ මල් අරගෙන ඇවිදින් මට දුන්නා. ඒ මල් මට දුන්නෙ ධීර් කියල කවුරුවත් දන්නෙ නෑ. මම ඒ මල් ඉස්කෝලේ මල් පෝච්චියකට දැම්මා. සමහර දවස්වලට පූජා කරා.
තුන්වෙනි ළමයා වෑන් එකට නඟින්න කලින් අපි දෙන්නා වචනයක් දෙකක් කතා කරනවා. ඒත් අනිත් අය ඉද්දි අපි ඉන්නෙ අඳුරන්නෙ නෑ වගෙ.
අපි කවදාකවත් එහෙම එකඟතාවයකට ඇවිල්ලා තිබුණෙත් නෑ. ඒත් ඒක එහෙම වුණා.
සමහරවිට ධීර්ට දැනෙන්න ඇති අනිත් අය ඉද්දි මම එයා එක්කන් කතා කරන්න කැමති නෑ කියලා.
ගමේ අය වුණත් කියන විදිහට ධීර්ගෙ ඔළුව එච්චර හොඳ නෑ ලූ.
ධීර්ට තිබුණ තද කළු පාට හම හැරුණම ධීර් සාමන්ය ළමයෙක්. හැබැයි ටිකක් නිහඬයි. ධීර්ගෙ සුදු පාට ඇස් කළු හම නිසා කැපිලා පෙනුණා. ධීර්ට තිබුණෙ බළල් ඇස් දෙකක් නිසා වෑන් එකේ පොඩිම ළමයි එයාට ටිකක් බයයී.
මල් පිපෙන වාරය ඉවර වෙද්දි ධීර්ලගෙ ගෙදර ආපහු පාළු පාටයි. ධීර් වෑන් එකට එන්නෙත් හොඳටම පරක්කු වෙලා.
මල් පිපෙන කාලයට ධීර් අනිවාර්යයෙන් මල් ගෙනාවා.
කාලයක් යද්දි ඒ මල් පොකුර මට වදයක් වුණා. මට ආයෙ මල් ගේන්න එපා කියන්නත් බෑ.
ධීර් දවසින් දවස මාව ධීර්ට ආකර්ශනය කරගත්තා.
මම ඔහුට බය වුණා. හැමෝම අකමැති නිසා ධීර්ට ආදරය කරන්න මම බය වුණා.
පාසල් ජීවිතය අවසන් වන තෙක්ම අවාරෙකට පිපෙන මලක් උනත් ධීර් අරගෙන ආවා.
__________________________________________
අපි ඒ සුදු පාට මල් පිපුණ මල් ගස් මැද්දෙන් අත් අල්ලාගෙන ඉදිරියට ගියෙමු.
ධීර්ගේ නිවස සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් දෙන බව දැනගත්තේ අද උදේ ය. ඒ ඉදිරියේ ඇති පාරෙන් දිය ඇල්ලට යන විටය. කොතරම් රෑ වුණත් මට ඒ නිවස තුළට යාමට අවශ්ය විය.
ධීර්ගේ නිවසෙහි ද අප වැනි ලංකාවෙ ආදරවන්තයින් කිහිප දෙනෙක් වෙයී. අනිත් සියළුම දෙනා විදේශිකයින් ය. බොහෝ දෙනා මෙහි නවාතැන් ගෙන සිටින අය බව පෙනෙයි.
සමහරවිට ධීර් ගෙදර විකුණන්න ඇති.
නිවසෙහි ඇති විශාල දොරින් ඇතුළට යාමට පෙර අපි කෝපි දෙකක් පමණක් මිළදී ගත්තේ ආහාර ගැනීමට තරම් බඩගින්නක් නැති නිසා ය.
“සල්ලි එපා සර්”
සුදු පාට අත්දිග කමිසයකිනුත් කළු කමිසයකිනුත් සැරසී සිටි සේවකයෙකු අපිට කීවෙ හිනාවෙමින් ය.
“ඇයි?”
“කෝපි එකකට සල්ලි ගන්නෙ නෑ අපි”
“ඇයි?”
“සර්ලා කෝපි බොන්න ම නෙවේනෙ ආව. ටිකක් නිදහසෙ කතා කරන්නනෙ. ඒකට සල්ලි එපා”
සේවකයා සිනාසෙමින් අහිංසකව කීවේ ය.
“කෝපි කෝප්පයක් නිකන් දුන්නට පාඩුවකුත් නෑ. බලන්නකො ඉන්න සුද්දො ගොඩ. අනික මේක තියෙන්නෙ කෝපි වත්තක් මැදනේ. මාර ලස්සන තැනක් හැබැයි.” සේවකයා පහුකරවිත් ඔහු මට කොඳුරුවේ ය.
ශාලාවෙ බොහෝ මේස පුටු තිබුණ ද සෙනඟ ද වැඩිය නැත.
බිත්ති පුරා විවිධාකාරයෙ පැරණි සිතුවම් ය.
ශතවර්ෂ ගණනක් අතීතයට ගියා හා සමාන ය. පිටතින් දුටුවාට වඩා එම නිවස ඇතුළත මනස්කාන්ත ය. පෞරාණික ගෘහභාණ්ඩ ඒ ශාලාවට අභිමානයක් එක් කර තිබුණි.
මම වටපිට බලමින්ම කෝපි උගුරක් ගිල දැමුවෙමි.
මා මෙතෙක් බී ඇති රසම කෝපි උගුර එය වේ.
සැබවින්ම මෙලොව වෙසෙන සෑම මිනිසෙක්ම එවැනි ප්රේමණීය සැඳෑවක කෝපි කෝප්පයක් හිස් කර තිබිය යුතුමයි.
________________________________________
“මම කැමති ඔයාලගෙ ගෙදරට. ඒක ලස්සනයී”
ඉස්කෝලේ ඇරිලා එද්දී අනිත් ළමයි සේරම බැහැලා ගියපු දවසක මම ධීර් ට කීවා.
“එහෙනම් එන්න දවසක”
“එහෙම එන්න පුළුවනැයි”
“ඇයි බැරි? දවසක එන්න කෝපි එකක් බීලා යන්න”
ධීර්ල ගේ තියන ඉඩම අක්කර විස්සක් විතර තියනවා කියල මම අහලා තියනවා. ඒ ඉඩම පුරාම තියෙන්නෙ කෝපී. ඒ නිසා ධීර්ලා නිතරම කෝපි බොනවා ඇති.
“මම ආසා නෑ කෝපි බොන්න”
මට ඒ ගෙදරට යන්න ඕනෑ වුණත් එහෙම යන්න හම්බෙන්නෙ නෑ කියල දන්න හින්ද මම එහෙම කීවා. කොහොමත් මම කෝපි බොන්න කැමති ත් නෑ.
“කෝපි බොන්න ආසාවක් ඕනේ නෑනේ”
“ඒවා තිත්තයී”
“ඔව්. ඒක හොඳයි එතකොට ගොඩක් වෙලා ටික ටික බොන්න පුළුවන්නෙ අපිට”
“අපේ ගෙදරින් මට එහෙම එන්න දෙන්නෙ නෑ. “
“ම්ම් ඒකත් එහෙමද ඔයාට එන්න පුළුවන් විදිහක් ගැන අපි හිතමුකො හෙමීට”
එහෙම කියලා ධීර් වෑන් එකෙන් බැහැලා ගියා.
“ඔයාට පුළුවන් දවසක එන්න. කෝපි එකක් බොන්න. මම බලාගෙන ඉන්නම්”
වෑන් එකේදී එයාව හම්බුණ අන්තිම දවසෙ මට කීවේ එහෙම.
“හරී එන්නම්කො එන්නම්කෝ”
එදා තමයි අපි දෙන්නා කතා කරපු අන්තිම දවස.
එදයින් පස්සෙ ධීර්ව හම්බුණේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. ඒ හම්බුනෙත් අහම්බෙන්, හදිස්සියෙන්. කතා කරන්න බැරි වුණා.
__________________________________________
තවත් ප්රමාද වීමට නොහැකි නිසා විනාඩි විස්සක් පමණ එහි සිටි අපි පිටවීමට සූදානම් වුණෙමු.
“සර් මිස් කැමති ඇති මල් වලට.”
එහි දොරින් පිටත් වන විටම එහි සේවකයෙක් අප දෙසට සුදු පාට මල් පොකුරක් දික් කළේය.
“ගන්න සර්. අපි හැමෝටම දෙනවා මේ කාලේ. ටික දවසක් තියාගන්න පුළුවන්”
සේසත් එය නොගෙන පුදුම වී බලා සිටියදී මම එය ගත්තෙමි.
ධීර් මට දුන්න මල් පොකුරක්මයී. වෙනසකට තිබුණේ මෙහි කුඩා රිබන් පටියක් ගැටගසා තිබීමයී.
“මේ හෝටලේ මිනිස්සුන්ට පිස්සුද මන්දා. කෝපිත් නිකන් දීලා මලුත් දෙනවා”
එසේ කියමින් සේසත් එම සේවකයාගේ අත්ලෙහි මුදල් නෝට්ටුවක් තබමින් පිටවී ආවේය.
රිබන් එකට අමුණා තිබූ කුඩා ආගන්තුක පතක් විය. අළු පැහැති පසුබිමෙන් රත්තරන් පැහැගත් අකුරින් magical moment ලෙස තරමක් ලොකුවට මුද්රණය කර තිබුණි.
මෙහි ඇති පහසුකම් හා දුරකතන අංකය කුඩාවට ඇත.
සේසත් වේගයෙන් වාහනය ගැනීමට යන නිසා මම විදුළි බුබුලක් යට නතර වී ඔහු එනතෙක් සිටියෙමි.
මම ආපසු හැරී ධීර්ගේ නිවස දෙස බැලුවෙමි.
ඒ දවස්වල වසා තිබූ උඩ තට්ටුවේ ජනෙල් සමහරක් අද විවර වී ඇත.
වහලයෙන් උඩට එසවී තිබෙන කාමරයෙහි කුඩා ජනේලය අප ඇතුළට යන විට වසා තිබුණද දැන් එය විවෘත වී තිබේ.
ඒ ජනේලය තුළින් මම ඒ දෙනෙත් දුටුවෙමි.
ඒ කාමරය තුළද නිල් පැහැති ආලෝකයක් විය. පපුව මත දෑත් බැදගෙන සෘජු ඉරියව්වකින් බලා සිටින ඔහුව දුටුවෙමි.
ඒ සියල්ලම දුටුවේ එක් මොහොතක පමණි. තත්පරයකටත් වඩා අඩු කාලයක්. මම ඒ දෙස බලනවාත් සමඟම එම ජනෙල් පියන නැවත වේගයෙන් වැසුණි.
මා සිතුවා වැරදිය. ඔහු නිවස විකුණා නැත.
මම ආගන්තුක පත නැවතත් හොඳින් බැලුවෙමි. එහි අනිත් පස යමක් ලියා තිබුණි.
“එනවා කියල දැනගෙන හිටපු නිසා එනකම් බලාගෙන හිටියෙ. ආයෙමත් පුළුවන් දවසක එන්න කෝපි එකක් බීලා යන්න”
නිමි.
උපුටා ගැනීම: Subhashini Rathnayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!