අපේ කටුබැද්දෙ ගෙදර ගේ වටේට ඔය පොල්, තැඹිලි, අඹ, ඈඹරැල්ලා වගේ ගස් කීපයක් තිබ්බා. ගැරෑජ් එක පැත්තට පට්ට ලොකු දෙල් ගහකුත් තිබ්බා. නිර්මලා ටිකාක් ඈතින් බදුදීන්ගේ නෑයෙක් වෙන හින්ඳද මන්ඳා ගස් වල අතු කපා දැමීම වගේ වැඩ වලට හරිම ප්රියයි. හොඳ වෙලාවට පොල් ගස් වල හැම තැනම අතු නැති හින්ඳා උන් බේරිලා හිටියා. ඒත් ගස් යන එකෙක් ආවොතින් අඩු ගානේ පොල් හනසුවත් උගුල්ලන්න ඌව ගහේ යවනවා. මම විහිලුවට කියන්නේ උන්ව ගස් යවලා ඔයා පහල ඉඳන් බලනවා කියලා. ‘ඊයා වනචරයා’ කියල මට බනිනවා.
අර දෙල් ගහටනන් අතවත් තියන්න එපා කියල මම කියලා තිබ්බේ. මොකද මම ඒ දෙල් ගහේ අඩි තුනක විතර උසින් දෙකට බෙදිලා යන දෙබලේ නැගලා තේ එකක් එහෙම බොන්න ආසයි. ඩාවින් කිව්වනේ අපි පැවත එන්නේ වාරයොන්ගෙන් කියලා. ඒක වෙන්නත් ඇති මයෙ හිතේ. ඉතින් කොහොම හරි දෙනවක හාමිනේ විතරක් විජයගෙන් බේරුනා වගේ දෙල් ගහ විතරක් බේරිලා තිබ්බා. දවසක් එහා ගෙදර අන්කල් අපිට කිව්වා ‘අනේ පුතේ මේ දෙල් කොල අපේ වහලෙ පීලි බ්ලොක් කරනවා අපේ පැත්තට තියන අතු පොඩ්ඩක් කපල දානවද?’ කියලා. ඉබ්බ දියේ දාද්දී ‘ඇන්නෑවේ හාමිනේ’ කිව්වහෙ නිර්මලත් එකතැන රෝද කරනන් තුනක් විතර ගහල කිව්වා ‘හරි. මම නියෙමෙට වැඩේ කරන්නන්’ කියලා. උඹල දන්නවනේ ඉතින් දෙල් ගස් හෙන මහතයිනේ අපේ ගෑනු බැඳල අවුරුදු හතරක් පහක් ගියාම වගේ. මේ දෙල් ගහත් පට්ට මහතයි. අතුත් ලොකුයි. ඒ මදිවට මදුරුවොත් පිරිලා ගහ වටේ. අනික ඉතින් අපේ නෝනා දෙල් ගහ එක්ක කොහොමත් තිබ්බේ රනිල්-මයිත්රී ආදරයක්නේ.
ඔන්න ඉතින් සිරිත් පරිදි මාත් බත් පැකට් එකයි උදැල්ලයි ඇරන් වැඩට ගියා උදේම කිස් එකක් එහෙම දීලා. ගෑනිට පොඩි කට කොනකින් හිනාවක් ගියත් කියලා හිතෙනවා මට ඒත් ඉතින් ඇහුවෙ නෑ. ‘අප්පච්චි දෙල් ගහ එහෙනන් මම කපනවා ඈ’ කියලත් කියනව වගේ ඇහුනා. අතු කැපීමට එකඟ වෙලානේ තිබ්බේ කොහොමත්. ඒ හින්ඳා මාත් යන්න ගියා. හවස වැඩ ඇරිලා ආවා. ඇවිත් ගේට්ටුව අරින්න කාර් එකෙන් බැස්සා. අපේ ගැරෑජ් එක තියෙන්නේ ගේ පිටි පස්සේ. මිදුල දිගේ යන්න ඕනෙ කාර් එකේ ගැරෑජ් එකට. යකෝ ගේට්ටුව ඇරල බලද්දි මෙන්න අපේ මිදුල නිකන් පේරාදෙනියේ බොටෑනිකල් ගාඩන් වගේ කොලම කොල පාටින් බැබලෙනවා. දෙල් අතු එකා උඩ එකා කරනම් ගහමින් හිනා වෙනවා!! දෙල් ගහ තුන්කාලක් විතරම බිම මිත්රවරුනි!! ගගේ මහ කඳයි අතු තුන හතරකුයි විතරක් තුශ්නිම්භූතෙන් හිටන් ඉන්නවා කෙලින් අතට බූසෙට තිබ්බ විග් එක අහක් කරපු රන්ජන් වගේ! මගේ අප්පච්චි හිටෝපු දෙල් ගහ හපොයි..
කාර් එක තියා බුල්ඩෝසරේකටවත් යන්න බෑ දැන් මිදුල හරහා. කපපු අතු සීසීකඩ මිදුල පුරා. මම එතනම තිබ්බ කාර් එකේ බොනට් එකේ ඉඳ ගත්තා. නිර්මලා හිනා වේගෙන එනවා එයාගේ ලස්සනම හිනාවෙන් මුව සරසන් ඇයි ඉතින් මට මල පැනල කියල දන්නවනේ. ‘මොකද මොට්ටියේ මේ කරේ?’ ඇහුවා තරහින්. ‘අයියෝ සිම්පල් දෙයක් අනේ. ඉස්සෙල්ලා කාර් එක ඔය පාර අයිනේ නවත්තලා එන්නකෝ මිස්ටර් ගේ ඇතුලට’ කියල කිව්වා. ඔය තොඳොල් දාන්නේ ගෑනු වැරදි කරපුවහම. මාත් ඉතින් කාර් එක එලියෙ නවත්තලා ඇවිත් ඇහුවා ‘හරි දැන් මේක කැපුව කියමුකෝ. ඇයි ඒත් මේ අතු මෙතන. උන් ඇතු ගෙනිච්චි නැද්ද?’ කියලා. ‘මිස්ටර් සුසන්ත, මට පොඩි වැරදීමක් මේ නෙගෝශේෂන් එකේදී වුනා. උන් දෙන්නෙක් දෙල් ගහේ අතු ගානට ගාන කිව්වා. මම හෙට්ටු කරලා හෙට්ටු කරලා ගාන බාගයක් වගේම අඩු කර ගත්තා. ඒත් ඉතින් මම හිතුවේ උන් ඒ අතු සුද්ද කරලම යයි කියලා. අනේ උන් අතු ගාන කපලා යන්න ගියානේ නෝනා අතු අදින්න අපි කතා වුන් නෑනේ’ කියලා!
පහුවදා නිවාඩුවක් දාලා මිනිස්සු ගෙනත් අතු ඇද්දුවා බන්. වානරයොන්ගෙන් පැවත ආවත් ඒ විදියටම ඉන්නත් බෑනේ.
උපුටා ගැනීම: Susantha Pethiyagoda