අපේ යාලුවො ටික ට්‍රේනින් පීරියඩ් එකේ මහඉලුප්පල්ලම චමරියේ ඉන්න කාලෙ, කොල්ලො ටිකත් එක්ක ආස්සරේට නිතර ආව ගිය අහල පහල යාලු මිත්තරයෙක් හිටියා.
‘ගණන් සාත්තරේ (ෆිසික්ස් නම් මොනවද ආයෙ)’ කියල ලියපු කතාංගයක ‘සයිමන් මල්ලී’ කියල හැදින්නුවෙත් අපේ මේ මලයම තමයි.
මේ කතාවත් ඒ යාලු මල්ලියගෙම මරු කතාවක්.
අපේ ඔය යාලුවෝ සෙට් එක හිටපු චමරියේ එක යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඒ දවස් වල වැඩ කලේ පාස්පෝට් කන්තොරුවේ.
ඔය දවස් වල අපේ මේ යාලු මලයට පාස් පෝර්ට් එක හදා ගන්න උවමනා වෙලා, ඒ ගැන චමරියේ අයියලට කියද්දි ඒ ගොල්ලො ඔය තොරතුර කියල, උදව්වක් ගන්න පුලුවන් වෙයි කියල තියෙනවා.
ඒ යාලුවත් කාරනය ගැන අක්කට කියල, අදාල පෝරමයකුත් ගෙන්වලා සයිමන් මල්ලිට දුන්නලු පුරවලා දෙන්න කියල
දැන් අපේ මේ සයිමන් මලයා ඇප්ලිකේෂන් එක ඩූලි ෆිල් කරලා, අත්සනුත් කරලා අපේ චමරියේ අර කිව්ව යාලු අයියාට භාර දුන්නලු පාස්පෝට් කන්තොරුවේ වැඩ කරන අක්කට ගිහින් දෙන්න කියලා.
අපේ යාලුවත් ඔය ඇප්ලිකේෂන් එක එයත් බල්න්නෙම නැතුව අක්කට ගිහින් දුන්නලු. වීක් එන්ඩ් එකේ ගෙදර ගිහින් ඊලඟ සතිය ආරම්භයේ යාලුව ආපසු මහඉලුප්පල්ලම චමරියට ඇවිත් සයිමන් මලය එනකල් හිටියලු.
මලය කරල තියෙන වැඩකට යාලුවගෙ අක්කගෙනුත් බැනුම් අහගෙන, යාලුවට මල පැනල ඉන්නේ.
හවසක,සයිමන් මලය චමරියට ආවහම, අපේ යාලුව දෝස් මුරේ පටන් ගත්තලු.
පාස්පෝට් ඉල්ලුම්පතෙහි අවසානයට ඉල්ලුම්කරුගේ අත්සන තබන්න කියල කොටු දෙකක් තියෙනවා. කොටුව පයින්නෙ නැතිව අත්සන තබන ලෙසත් ඒකෙම උපදෙසුත් දීලම තියෙනව.
කොටු දෙකක් තියල තියෙන්නේ අත්සන් දෙකකට වෙන්න ඇති කියලයි අපේ මේ සයිමන් මලය හිතලා තියෙන්නේ. ඒ හින්ද, එකම අත්සන කොටු දෙකේම තබනවා වෙනුවට, මෑන් අත්සන දෙවිදිහකයි කොටු දෙකේ තබල තියෙන්නේ.
“මොකක්ද මල්ලි අර කරල තියෙන වැඩේ? කොටු දෙකේ අත්සන් දෙකක් ගහල තියෙන්නේ?”
“ඉතින් අයියා, එක අත්සනක් නම් ඕනෙ, මොන මන්ගල්ලයකටද කොටු දෙකක අත්සන් ගන්නේ? මම ඒ කියල තියෙන විදිහටම කොටුත් පනින්නේ නැතුව කොච්චර පරිස්සමෙන්ද ඔය අත්සන් දෙක ගහගත්තේ”
“අත්සන තහවුරු කරගන්නනේ එහෙම කොටු දෙකක් තියෙන්නේ…. මනුස්සයෙකුගේ තියෙන්න ඕනෙ එක අත්සනක්නේ. එහම එක එක තැන් වල එක එක අත්සන් තියෙනවයැ.”
“මන් දන්නවයැ අයියා, පාස්පෝට් කන්තෝරුවේ උන් ඔච්චර කපටිකම් කරන්වා කියල. මොකක්ද අප්පේ, අපේ අත්සන එච්චරම ශුවර් නැද්ද උන්ට.
“එහෙම නෙමේනෙ මල්ලී. ඒ එක කොටුවක අත්සනක් තමයි පාස්පෝට් එකට ගන්නවා ඇත්තේ. ඒ අත්සන තහවුරු කරගන්න තව එකක් පාස්පෝට් කන්තොරුවේ ෆයිල් කරනවා ඇති….
මොනවා හරි වැඩක් කරනකොට මල්ලී අඩුගානෙ. දෙපාරක්වත් කල්පනා කරන්න ඕනනේ” කියල අපේ යාලුවා තරහෙන්ම අවවාදත් කලාලු.
“ඒකනේ අයියේ., දෙපාරකුත් හිතුවා තමා. වැඩේ කියන්නේ, දෙපාරටම හිතුනේ, කොටු දෙකක්ම අත්සන් කරන්න කියල දීල තියෙන්නේ, අත්සන් ජාති දෙකක්ම කියලනේ.”
කියලා සයිමන් මල්ලී උත්තර දුන්නලු.
ආනන්ද රණසිංහ
ඡායාරූප අන්තරජාලය ඇසුරෙනි.
උපුටා ගැනීම: Ananda Ranasinghe