දෙතැනක පිපුණු මල් (කෙටි කතාව ) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සාගරව මුලින්ම මුණගැහුනෙ මං බෙහෙත් ගන්න කියල මහරගම ගියපු මුල් දවස්වල.අපි අඳුරගත්තෙ, කතා කරේ කොහොමද කියන එක ගැන මට වැඩි මතකයක් තිබුණෙ නෑ.ඒත් ඒක මේ ජීවිතේදි සිද්ධ වුණු සුන්දරම සිදුවීමක් විදියට අදටත් මං මතක් කරන්නෙ හිතේ පුරවගත්තු අසීමිත සෙනෙහසකින්.සාගරගෙ අක්කටත් තිබුණෙ පිළිකාවක්.ජීවිතේ හොඳම කාලෙදි එහෙම ලෙඩක් හැඳුණම ඒක කොයිතරම් වේදනාවක්ද කියන එක සාගරගෙත් , එයාගෙ අක්ක වුණු සුනීතගෙත් ,මගෙත් මූණුවල අඳුරු වලාවක් වගේ ඒ දවස්වල ඇඳිලයි තිබුණෙ.ඔපරේෂන් එකත් ඉවර වෙලා ගෙදර එන දවසෙ ඇස්වල කඳුළු පුරවගෙන ඉස්පිරිතාලෙන් එළියට ආපු හැටි මට අද වගේ මතකයි. අවලස්සන දළඹුවෙක් වගේ ඉඳල හෙමින් හෙමින් ලස්සන සමනලයෙක් විදියට තටු ඇවිත් පියාඹන්න හදනකොටම ඒ තටු ටික කපල දැම්ම වගේ හැඟීමක් මගෙ හිත පුරාවට රිදුම් දෙන්න පටන් ඇරන් තිබුණා.ඒත් ඒ හැම කඩාවැටීමක් අස්සෙම පුංචි බලාපොරත්තුවක් හිතේ කොණක පිපිල තිබුණෙ හරියට අපෙ ගෙදර වතුසුදු මල් ගහේ හැමදාම අලුත් මල් පිපෙන්නා වගේ.පුංචි දවස්වල අම්මගෙ ඔඩොක්කුවේ ඉඳගෙන ඒ මල් ගහ දිහා බලන් ඉද්දි නොදැනුණු බරක් පස්සෙ කාලෙක ජීවිතේට එකතු වුණ එක ගැන පුදුමයකටත් වඩා මට තිබුණෙ කලකිරීමක්. තාත්තගෙ පිංතූරෙ වටේට එල්ලන්න මල් මාලයක් හදාගන්න උදව් වුණු ඒ ගහ වටේට සුන්දරත්වයට එහා ගියපු කඳුළු කතාවකුත් එතිලා තිබුණා .
ඒ හිඩැස් එහෙමම තියාගෙන එදා ඉස්පිරිතාලෙන් එළියට ආවෙ අහම්බෙන් වගේ ජීවිතේට මුණගැහුණු සාගරගෙ අතේ උණුහුමත් පටලගෙනමයි.සාගරගෙ බැල්මක වුනත් තිබුණෙ පරිස්සම් සහගත බවක්.අත්තටු බිඳුණත් අනන්තයට හරි මාවත් එක්ක පියාඹන්න සූදානම් කියන පණිවිඩය මං සාගරගෙ ඇස් දෙකේ තිබිල කියවගත්තෙ තත්පරේට දෙකට.
දැනගෙන වුනත් ඒ නුහුරු හැඟීම විඳගන්න මං බ්ලවුස් එකේ කර යටින් ඇස් දෙක යැව්වා.මහරගමින් ගෙනාපු අමතක නොවන සිහිවටනය මෙය නොවෙයිද කියල හිත කඩා වැටුණෙ වම් පැත්තෙන් තනි වෙලා ඉන්න පියයුර දැක්කම.සුපුරුදු විදියට හැමදේම දැන් සමබර නෑ නේද කියන හැඟීම හිතට ආවා.ඒත් ජීවිතේ සමබර කරන්න සාගර අත්වැලක් වෙයි කියන බලාපොරොත්තුව ඇතිව මං සැනසුම් සුසුමක් හෙළුවා.
සුනීතා අක්කටත් දැන් හොඳටම සනීප විත්තිය මූණෙ හිනාවක් පුරවගෙන ඇවිත් සාගර කියපු විදිය මට අදටත් මතකයි.ඉස්පිරිතාලෙ ඉඳල ගියාට පස්සෙ එදා තමයි අපි මුල් වතාවට මුණගැහුනෙ සුබ පණිවිඩයකුත් එක්ක.ඊට පස්සෙ අපි ගොඩක් තැන්වලදි මුණගැහුණා.ඒ හැම දවසකම මං සාගරගෙන් අහපු ප්රශ්නයක් තිබුණා.හැමදාම වගේ එයාගෙ උත්තරේ වුණේ සර්වසම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නෑ කියන එක.ආත්මයම දිය කරන්න තරම් ආදරයක් සාගර ළඟ තියෙන බව මං ඒ ගෙවුණු කාලය ඇතුළත දැනගත්තා.
හිත් පෑරෙන,හිත් රිදෙන ඒ නපුරු සිද්ධිය වුණේ ඊට මාස හයකට විතර පස්සෙ.එදත් අපි මුණගැහෙන්න යොදාගෙන තිබුණු දවසක්.ඒත් එදා සාගර අපි වෙනදා මුණගැහෙන තැනට ඇවිත් හිටියෙ නෑ .කොහොම වුනත් සාගරට දැනෙන අඩුවක් මං ළඟ තියනව කියන ගෑනු හිත ඇහැරෙන්න ගත්තෙ එතකොට.වෙනදා නොදැනුන තරහක් සාගර ගැන ඇති වෙන්න මට ගියේ විනාඩි දෙකක් විතරයි.ඒක ඇත්තටම සුන්දර තරහක් කීවොත් හරි.ආදරේ උච්චතම අවස්ථාව නේද මේ තරහ ඇතුළෙ හැංගිලා තියෙන්නෙ කියන හැඟීමෙන් මං ඇස් තෙත් කරගත්තා.කලින් විදියට ආයෙත් ජීවිතේ සමබරතාවය ගිලිහෙන්න යන බවක් තේරුණත් ගෙදර වතුසුදු ගහේ හැමදාම පිපෙන මල් ටික මතක් වෙලා හිතට ධෛර්යයක් ආවා.සතියක් විතර ගත වෙලත් සාගරගෙන් පිළිතුරක් නැතිව යනකොට කොයි වෙලාවක හරි සාගර ඒවි කියල තිබුණු තදබල විශ්වාසය අතඇරුණු වීදුරුවක කැබලි ගානට බිඳිල ගියා.ඒක තවත් කුඩාවට කැඩුණෙ සාගරව හොයාගෙන එයාගෙ ගෙදරට ගියපු දවසෙ.දොර අගුල් දාපු ගෙදර සුනීතා ආක්කවත් සාගරවත් හිටියෙ නෑ.ලෝකයම නැති වෙලා ගියා වගේ රිදීමකින් මං ඒ දොරෝ ඔලුව ගහ ගහ ඇඬුවා.දොරේ විතරක් නෙවෙයි සාගර හදවතේ අගුලත් දාන්න ඇතියි කියන වේදනාවත් එක්ක මං එදා ආපහු ගෙදර ආවා.වතුසුදු ගහේ මල් වැටිලා තිබුණා.පුංචි කාලෙ අම්මගෙ ඔඩොක්කුවේ ඉදන් පරවෙලා වැටුණු මල් දිහා බලාගෙන ඉගෙනගත්තු ජීවිතේ පාඩම ආයෙත් සිහිපත් වුණා.
කාලය හරි ඉක්මනට ගෙවිල ගියා.යෝජිත විවාහයක් විදියට සිසිරත් එක්ක මං ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තා.දරුවෙක් නැතිව වුණත් පෙර පරිදිම මගෙ ජීවිතේ සිසිරගෙ ආදරෙන් සමබර වෙන්න පටන් ඇරන් තිබුණා.
අවුරුදු දහයකට විතර පස්සෙ ගෑනු කෙනෙක් මාව හොයාගෙන ගෙදරට ඇවිත් තිබුණා .පොත් එළිදැක්වීමක් ගැන කියල ඇරයුම්පතක් තිබුණු ලියුම් කවරෙ මට දුන්නෙ සිසිර .ඒක යටින් තිබුණෙ මට කවදත් හුරුපුරුදු සුනීතා අක්කගෙ නම .ඒත් සුනීත අක්කා කොහොමද මං ඉන්න තැන දැනගත්තෙ කියන ප්රශ්නෙ ආවත් ඊටත් වඩා සතුටකින් මගෙ හිත පිරෙන්න ගත්තා.අතීතයේ සුන්දර මුණගැහීමක මතකය ආයෙත් අලුත් කරගන්න ඒ වෙලාවෙ ගෙදර ඉන්න බැරි වුණ එක ගැන මං ගොඩක් දුක් වුණා.ඒ එක්කම අමතක කරන්න බැරි මතකයක් අකුණු එළියක් වගේ ඇස්දෙක වටේට කැරකෙන්න ගත්තා.
පොත් එළිදැක්වීමට සහභාගී වෙන්න කියල මං ඊළඟ ඉරිදා අදාල ස්ථානයට ගියේ කියපු වෙලාවටත් කලින්.හිතේ තිබුණු මොකක්දෝ තිගැස්මක් එක්ක මං එතැනට ඇදිල යන්න ඇතියි කියලයි ඒ දවස මතක් වෙනකොට අදටත් මට හිතෙන්නෙ.ඈත තියලම සාරියක් ඇඳගෙන හිටිය සුනීතා අක්කව මං අදුරගත්තා.
“මාලිකා දැන්ද ආවේ “
කිසිම දිනෙක අමතක නොවන සුනීතා අක්කගෙ ආදරණීය පිළිගැනීම ඉස්සරහ මං වෙනදටත් වඩා අසරණ වුණා වගේ දැනෙන්න ගත්තා.බොහෝ කාලෙකට කලින් සාගර සහ සුනීතා අක්කා ගැන තිබුණු කලකිරීම සහ කෝපය කාලයත් එක්ක පහව ගිහින් තිබුණු අවදියක සාගරත් පැමිණ ඇතැයි කියන විශ්වාසයෙන් මං වටපිට බැලුවා.ඒත් ඔහු පෙනෙන්න හිටියෙ නෑ.සිද්ධ වුණු හැමදේම සුනීතා අක්කා පොත් එළිදැක්වීමේ උත්සවය ආරම්භ වෙන්න කලියෙන් කියල ඉවර කරා.
“මල්ලි පත්තරේට ලියන දවස්වල ඉදලම එයාට වුවමනාව තිබ්බා එයාගෙ නමින් නවකතාවක් එළිදක්වන්න.ඒත් මගෙ අසනීප එක්ක එයාට ඒකට වෙලාවක් වෙන්කරගන්න බැරි වුණා.මල්ලි නැති වුණත් මල්ලි වෙනුවෙන් මේ පොත එළිදක්වන්න හිතුවෙ ඒකයි .මල්ලි ඇක්සිඩන්ට් එක වෙලත් කාලයක් හොඳට හිටියා.ළඟදි දවසක මල්ලි නැති වුණා .අපි හේතුවක් දන්නෙ නෑ.ඉස්පිරිතාලෙන් කීවෙ නහරක් පුපුරලා කියල”
සුනීත අක්කා ඒ ටික කීවෙ අන්තිමට .ඒ වෙලාවෙ සුනීත අක්කගෙ ඇස්වලට කඳුළු එනව දැකල මං අහක බලා ගත්තා.
“මාලිකා ගැන මල්ලිගෙ හිතේ අදහසක් තිබුණ විත්තිය මං දැනගත්තෙ මෑතක.”, සුනීත අක්ක ආයෙත් වචන ඇමිණුවා.
පොතේ පිදුම මං වෙනුවෙන් ලියල තියනව දැක්කම සුනීත අක්කගෙ කඳුළුත් ඇරන් මට අඬන්න හිතුනෙ උත්සවේ ඉවර වුණු වෙලාවෙ.ඔක්කොම ඉවර වෙලා මං ආපහු එන්න හදනකොට සුනීතා අක්කා මට කතා කරල පොඩි පොතක් අතට දුන්නා.ඒ දවස්වල මං සාගරට දුන්නු මගේ දින පොත කියල මං ඒක දැකපු හැටියෙම අදුරගත්තා. දවසක් මං එයාට පෙම් හසුනක් දෙන වෙලාවෙ කියවන්න ආසයි කියල සාගර දින පොත ඉල්ලගත්තට ආපහු දුන්නෙ නෑ නේද කියන කාරණෙත් මානසිකව සිදු වුණු රිදවීම් අස්සෙ මට අමතක වෙලයි තිබුණෙ.අසනීපෙන් හිටිය දවස්වල ලියපු පොඩි සටහන් ටිකක් ඇරෙන්න ඒකෙ වෙනත් වැදගත් යමක් නොතිබුණු බව විතරක් මගේ මතකේ තිබුණා.
“මල්ලි ඇක්සිඩන්ට් එක වෙලා කාලයක් එක්තැන් වුණාට පස්සෙ එයාගෙ වැඩ වැඩිහරියක් කරේ මං.මේක මල්ලිගෙ මේසෙ උඩ තියනව දැක්කෙ එතකොට.මාලිකාට මේක ආපහු දෙන්න හිතුවත් මල්ලි ඒකට කැමති වුණේ නෑ.මේකෙ අන්තිම පිටුවෙ මාලිකාගෙ ඇඩ්රස් එක බලාගෙන තමයි මං මාලිකාට පොත් එළිදැක්වීමේ උත්සවේ ආරාධනාව කරන්න ගියේ.ඒත් මාලිකා බැඳල සිසිර ළඟ ඉන්නව කීවෙ ගෙවල් ළඟ කෙනෙක්.පස්සෙ එයාගෙන්ම ගෙදර තියන තැන අහගෙනයි මං එදා මාලිකාව හොයාගෙන ආවෙ. මේක මාලිකා ඇරන් යන්න.මට කියන්න බැරි වුණ කාරණා ටිකකුත් මාලිකාට දැනගන්න පුලුවන් වෙයි”
සුනීතා අක්කා හිනා වෙලා ඒ දිනපොත මගෙ අතට දුන්නා.සාගර ලියපු නවකතා පොතයි ඒ දින පොතයි ඇරගෙන ගෙදර එන්න කලින් මං සුනීතා අක්කා දිහා එක පාරක් හැරිල බැලුවා.සුනීතා අක්කා මං ළඟට ඇවිත් මාව තුරුළු කරගෙන ටික වෙලාවක් ඇඬුවා.සුනීතා අක්කත් මහරගමින් ගෙනා සිහිවටනය ගැන මතක් වුණා.අපි දෙන්නගෙම සමානකමක් තියනවා කියන ආගන්තුක හැඟීම හිතට ඇවිත් මගෙ ඇස්වලත් කඳුළු පිරුණා.ලේ වලට එහා ගිය බැඳීමක් ඒ උණුහුමත් එක්ක මට දැනුණා .
පරණ මතකයත් එක්ක ආයෙත් ටිකක් තනිවෙන්න කියල හිතට ආපු වුවමනාවත් එක්ක පහුවදාම දින පොතයි,සාගරගෙ නවකතාවයි අරගෙන මං ගියේ මහගෙදර .පුංචි දවස්වල අම්මගෙ ඔඩොක්කුවේ ඉදන් කතා අහනකොට බලන් හිටිය වතුසුදු ගහ එතන තිබුණෙ නෑ.අම්මා නැතිවෙලත් අවුරුදු තුනක්ම ගිහින් කියන එක දූවිලි, මකුළුදැල් පිරුණු ගෙදර බඩු මුට්ටු ටික හීන් සීරුවේ මතක් කරල දුන්නා.
දුෂ්කර ජීවිතයක මතක අවුස්සන්න පුලුවන් සටහන් වගයක් ඒ දින පොතේ මං පෙරළෙගෙන ගියා.ඉස්පිරිතාලෙ ඉන්න මුල් දවස්වල මරණ බයෙන් ගැහුණු හැටි දිනපොතේ මුල් පිටුවල ලියවිලා තිබුණෙ මගේ බෝල අත් අකුරින්.
මෙතනින් එහාට මං මේ කියන කතාව ලියල තිබුණෙ මම නෙවෙයි සාගර.දින පොතේ හතලිස් තුන්වෙනි පිටුවෙන් පටන් ගත්ත ඒ කතාව සාගරගෙ කතාව.
“මාලිකාව මට මුණගැහෙන්නෙ අක්කට බෙහෙත් ගන්න මහරගම ගිය දවස්වල .අක්කා ගැන දැනුණු අනුකම්පාව ,ආදරය මාලිකා ගැන දැනුනෙ කොහොමද කියන එක අදටත් මට හිතාගන්න බෑ.සමහරවිට ඒ දෙන්නම ජීවිතේ හොයාගෙන මරණය පේන මානෙක තියන් එකම පාරක ගිය හින්ද වෙන්න ඇති.මට හිතෙන්නෙ ඒක අපි සංසාරෙන් අරගෙන ආපු බැඳීමක් කියල.අක්කට කලින් මාලිකා සනීප වෙලා ගෙදර ආවා.ඒ එන දවසෙත් මං ගිහින් හිටියා.මාලිකාගෙ ඇස්වල ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් තියන බව මට එදා පෙනුනා.වෙනදා නොතිබුණු ආදරණීය හැඟීමකින් මං එයාගෙ අත අල්ලගෙන හිටියෙ.කවදාවත් ඒ බැඳීම ලෙහාගන්නෙ නෑ කියන හැඟීම හෙලන ඇහිපිල්ලමක් ගානෙ ආයෙ ආයෙ කල්පනා වුණා.අක්කත් පස්සෙ කාලෙක සනීප වුණා.ඒ වෙනුවෙන් මටත් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වුණු නිසා ඒ කාලය ඇතුළත මාලිකාව මුණගැහෙන්න ඉඩක් මට ලැබුනෙ නෑ.ඒත් අක්කට දැන් හොඳයි කියන පණිවිඩෙත් අරන් මාලිකාව මුණගැහෙන්න ගියේ ,එදා ඉස්පිරිතාලෙ ඉදන් මාලිකා ගෙදර ගියාට පස්සෙ පළවෙනි වතාවට.ඊට පස්සෙත් අපි බොහෝ අවස්ථාවලදි මුණහැහුණා.ඒත් එක දවසක් පොරොන්දු වුන විදියට මට මාලිකාව මුණගැහෙන්න බැරිවුණා .එදා තමයි මං ටවුමෙදි මේ අනතුරට මුහුණදුන්නෙ.දණහිසට උඩින් දකුණු කකුළත් වැලමිට ආසන්නයෙන් දකුණු අතත් කපල තිබුණා මට සිහිය එද්දි.දවසක් මාලිකා අපෙ ගෙදර ඇවිත් තිබුණා .හරියටම එදා හවස තමයි ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන මං ගෙදර ආවෙ.අමාරුවෙන් කඩවල් කිහිපයක හොයල මං මාලිකාට ඇරන් දුන්න රෝස පාට කොණ්ඩ කට්ටක් එදා මාලිකා අපෙ ගෙදර බැරි කරල ගිහින් තිබුණා.ඒක නොතිබෙන්න මාලිකා ගෙදර ආපු බවක් මට දැනගන්න ලැබෙන්නෙ නැහැ.ඊට පස්සෙ මට මාලිකාව මුණගැහිල මේ ගැන කියන්න වුවමනාව ඇති වුනා.මාලිකා හැමදාම කියපු විදියට මට එයාගෙ ජිවිතේ සමබර කරන්න පුලුවන් වෙයිද කියන ගැටලුව ආවා.තනියම වැඩක් කරගන්න බැරි මම ආයෙත් මාලිකාට බලාපොරොත්තුවක් දෙනවද කියන කාරණාව ගැන දෙපාරක් හිතන්න සිද්ධ වුණා.දකුණු අතින් මාලිකාගෙ අත ආයෙ අල්ලගෙන එදා වගේ ඒ උණුහුම විඳින්න බෑ කියන වේදනාව හිතට ආවා. මාලිකා වෙනුවෙන් මං මාලිකාව අත් හරින්න එදා
තීරණය කරා.දවසක් මං මාලිකාව ටවුමෙදි දැක්කා.මාලිකා අලුතෙන් ජීවිතේ පටන්ගෙන ඇති බව මාලිකා ළඟින් හිටිය පිරිමි පුද්ගලයව දැක්කම මට හිතුණා.ඒ වෙලාවෙ වේදනාව මිශ්ර වුණු සතුටක් මගේ හිතට දැනුණා.එහෙම හැඟීමක් මගෙ ජීවිතේ පලමු වතාවට දැනුනෙ එදා.සුනීත අක්කා මේ දේවල් මුලදි දැනගෙන හිටියෙ නෑ.දවසක් හැම දෙයක් ගැනම සුනීතා අක්කට මං කිවා.සුනීත අක්කා මේ දේවල් ගැන මාලිකා එක්ක කතා කරන්න යන්න ලෑස්ති වුණත් මං ඒකට ඉඩ දුන්නෙ නෑ.මාලිකාව මේ ජීවිතේදි ආයෙත් මුණගැහිල එදා වගේ දුක සැප බෙදාගන්න බැරිවෙයි කියන සිතුවිල්ලත් එක්ක මං හැම බලාපොරොත්තුවක්ම අත් හැරියා.ඒත් මේ සංසාරේ කවදහරි අපි ආයෙත් මුණගැහෙයි කියන බලාපොරොත්තුවත් එක්ක මං මාලිකා ගැන හිතල හිත සැහැල්ලු කරගත්තා”
කියාගන්න බැරි වුණු මොකක්දෝ වේදනාවකින් මගේ ඇස්වල කඳුළු හැලෙන්න ගත්තා.වෙනදා වගේම සාගරගෙ දෑතෙ උණුහුම විඳින්න තිබුණනම් කියන හැඟීම මගෙ හිතට වද දෙන්න පටන් අරන් තිබුණා.ඒ එක්කම ගේ ඉස්සරහ වතුසුදු ගහේ මල් පිපෙන හැටි,හැලෙන හැටි හීනයක් වගේ මගෙ ඇස් ඉස්සර මැවිල පෙනුණා.එදා වගේම මම බ්ලවුස් කර යටින් ඇස් දෙක යැව්වා.වෙනසක් නැතිව සුනීත අක්කත් මමත් මහරගමින් ගෙනා සිහිවටනය කාටවත් නොපෙන්වා අපි පරිස්සම් කරගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියපු හැටි මතක් වෙලා සියුම් වේදනාවක් පපුව දිගේ දිව්වා.
එදා ඉස්පිරිතාලෙන් එළියට එනකොට ආදරණීය හැඟීමකින් අත අල්ලගෙන හිටපු සාගරගෙ ඇස් දෙක මගේ ඇස් ඉස්සරහ පෙනිල අයෙත් බොඳ වෙලා ගියා.
  උපුටා ගැනීම:   .…..කුසල් විජේසිංහ……

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!