මේක ඇවිල්ල අපේ පැත්තෙ තියන ප්රසිද්ධ පන්සලක්. බොහොම හාස්කම් තියනව කියල කියන්නෙ. ඒ කතාව ඇත්ත ගොඩක් අය වඳින්න එන තැනක්. පන්සලේ තියනව දේවාලයක්. බාර වෙන්න, වෙච්ච බාර ඔප්පු කරන්න ඔක්කොටම එන්නෙ මෙතනට තමා. පූජ වට්ටි උස්සගෙන ඔලුව උඩ තියං එන්නෙ කට්ටිය බාර වෙන්න. දවසට දෙපාරයි කපුව සීන් එකේ ඉන්නෙ. ඒ ටයිම් බලල කට්ටිය පෝලිමේ දේවාලෙ ලඟ. පන්සල පහල තමා පළතුරු කඩ තියෙන්නෙ. එක එක මිල ගනන් වලට පළතුරු වට්ටි. බාරෙ ලොකු වෙන තරමට වට්ටිය ලොකු වෙනව. දෙවියො ඉස්සෙල්ල බලන්නෙ ලොකු වට්ටි දිහාලු. පළතුරු කඩේක එකෙක් කිව්වෙ. උගේනං මාකටිං පාර ඕවර්ම ගිහිල්ල. පොශ් අයට පොශ් පළතුරු තියපු වට්ටි. සාමාන්ය අයට මීඩියම් සයිස්. ඒ ආදී වශයෙන් පළතුරු වට්ටි පැකේජ පහල කඩවල් වලින් ලබාගන්න පුලුවන්. උදේට කඩ පිරෙන්න පළතුරු. හවසට කඩ හිස්, දේවාලෙ පිරෙන්න පළතුරු.
ඒවගෙමයි දේවාලෙ වටේ ඉන්නව රිලව් සෙට් එකක්. උං ඇවිල්ල දේවාලෙ අවට ස්ථිර පදිංචි කාරයො. පරම්පරා ගානක් එතනම හැදුන රිලා ජනපදයක් තිබ්බෙ. මුං මිනිස්සුන්ට පොඩ්ඩක්වත් බය නෑ. අතේ අරං එන පූජ වට්ටියට දෙයියොන්ට කලිං සොට් එක දෙන්නෙ මේ යක්කු. රිලා වදෙන් බේරෙන්න බැරි තැන, කොහොමහරි පූජා සෙශන් එක පටංගන්නකල් පූජ වට්ටි පරිස්සං කරන්න දේවාලෙ එක පැත්තක කැබින් ගහල ලොක් දාල තිබ්බෙ. පූජ වට්ටිය කැබින් එකට දාල ලොක් එක දැම්මම සමහර රිලා ඩෑල් වීදුරුවෙන් ඒක දිකා බලං ඉන්නව නිකං පූස මාලු ටැංකිය දිහා බලං ඉන්නව වගේ. කන්නත් ඕන, කන්නත් බෑ හැබැයි සමහර පරිනත රිලවු ලොක් එක ඇරල කැබින් ඇතුලට ගිහිල්ල වට්ටිය විතරක් ඉතුරු කරල එලියල එන්න තරං හපං. ඒවෙලාවට ඒක ගෙනාපු එකාගෙ ස්රද්ධාව පේනව මූන දැක්කම. රිලවුන්ගෙත් හෙනම ලයින්. අපි ගහන්න වගේ හැදුවොත් නියවගෙන උනුත් ගේමම ඉල්ලනව. නිකං රිලා දත් ඇඟේ තියාගන්නෙ නැතුව පාඩුවෙ ඌ කාල යනකල් බලං ඉන්නව ඇර වෙන කරන්න දෙයක් නෑ.
සමහර විසේස දවස් වලට බාර වෙන්න එන සෙනඟ වැඩී. පොඩි එඋංගෙ සිස්සත්තෙ ලං වෙද්දි. ඕලෙවල් ඒලෙවල් දවස් වලට දෙයියො හෙන බිසී. ඇයි එන එඋං ඔක්කොම පාස් කරන්න එපැයි. ඕලෙවල් විභාගෙ පටංගන්න කලි අපෙ අම්මටත් ඕන උනා මගේ සබ්ජෙක්ට් ටික පාස් කරන්න දෙයියන්ට බාරදෙන්න. මොකද මං පාඩං කරපු හැටි හොඳටම දන්නෙ අම්ම නිසා. මම ඕව විශ්වාස කලේ නෑ. අම්මට බෑ කියල දේවාලෙ ඉන්න කාලි මෑනියො ගෙදරට ගෙන්නවගන්න බැරිකමට එදා මම ගියා එතෙන්ට අම්ම එක්ක. ගෙදරින්ම පූජ වට්ටිය අම්මම හදල අරගෙන ගියේ බාර වෙන්න. අපි ගියේ හවස සෙශන් එකට. පුදුමාකාර සෙනඟක් එදා. කපුව ආව දේවාලෙ දොර ලඟට, කෝ බාර වෙන්න ආව අය ඇතුලට ආවනං. ඇවිල්ල හිටපු සේනාවම දේවාලෙ ඇතුලෙ. මක්කම ගියා වගේ එකාට එකා තෙරපෙනව. කපුවට ලඟින්ම ඉන්නෙ පොස් සෙට් එක. ඒකියන්නෙ පූජ වට්ටියට පන්දාහෙ දාහෙ කොල තියපු අය. මැද ඉන්නෙ පන්සීය අන්තිමට සීය කොල තියපු අය. ඔක්කොම ඇතුලෙ පැක් වෙලා පොශ් එවුංගෙ සෙන්ට් සුවඳයි, අනිත් එවුංගෙ දාඩිය ගඳයි, හඳුන්කූරු සුවඳයි, සාම්බ්රානි සුවඳයි එකට මික්ස් වෙලා මහා කුනුහබ්බ සුවඳක් ඒක ඇතුලෙ. විනාඩි දෙක තුනක් නහයෙං හුස්ම ගත්ත මම නහය පැත්තක තියල ගොඩ දාපු මාලුව වගේ කට ඇරං හුස්ම ගන්න පටංගත්ත. විස වායු ආග්රානය කරන්න බෑනෙ. කපුව දේසනාව පටන් ගත්ත, කෝ බලන්න ආව කාරනාවල් කියන්න බලන්න කිව්වම එක එකා ආපු සීන් එක කියනව. ලමයි ඕන කියල බාරවෙන්න, වාහනේ ගෙනාපු ගමන් යතුර තියල බාර වෙන්න, විභාගෙ ගොඩදාල දෙන්න කියල බාර වෙන්න. අල්ලපු ගෙදර එකාගෙ කරදරේ නැති කරන්න බාර වෙන්න, නානාප්රකාර බාරවිලි කෝටියයි. ඒ අස්සෙ වෙච්ච බාරෙ ඔප්පු කරන්න කියල ටියුබ් ලයිට් පොලු දෙකක් අරං ආපු එකෙක් ඒව කෙලිං තියං ඉන්නව පෙරහැරේ සේසත් ගෙනියන එකා වගේ. දෙයියො තිස්තුන්කෝටියටම හරියන්න බාර තොගයක් එදා. කපුව පටන්ගත්ත වැඩේ. මොනර පිහාටු මිටියක් ඔතල හදාගෙන හිටිය ගැජට් එකක් අතට අරං මෑන්ස් කියවන්න ගත්ත. දේව කන්නලව්ව. ඒ අස්සෙ එක එකා ආව කාරනා කියල ඒව ඉස්ට කරල දෙන්නය කියල මූ නට නටා කියනව. කියල අපේ පැත්ත් හැරිල මොනර පිහාටු ගැජට් එකෙන් ඔලු වලට කෙලින්න ගත්ත. ඉස්සරහම කපුව ලඟම ඉන්න එවුංට වදින්නෙ ගැජට් එකේ මිට හරියෙං. උංගෙ මූනු දැක්කම වදින පාරෙ සැර හිතාගන්න පුලුවන්. මැද හරියෙ උන්ට පිහාටු අගින් ලාවට වදිනව වනන පාරවල්. අන්තිමට ඉන්න එවුංට මොනවත් නෑ. උං ඔහේ වැදං ඉන්නව.
ටික වෙලාවක් කපුව කන්නලව්ව කරං යන අතරෙ එකපාරට සෙනඟ මැදිං මරවිලාප දිගෙන හූවක් එක්ක අත් දෙකක් ඉස්සුනා. නාගීන වගේ අත්දෙක හදාගෙන එකෙක් නටනව හරියට ඉලෙක්ට්රික් මෝල්ගහක් වගේ. දිඩි දිඩි ගාල ඌ ගැහෙනව. මම පුල් හොල්මං. ඌ හූ කිය කියා නටනව. කපුව නෙවේ නැවැත්තුවෙ කන්නලව්ව. කපුව කෑගහනව මූ ඊට හයියෙං හූ කියනව උඩ පැන පැන. මක්කම වගේ තදවෙලා හිටිය සෙට් එක යස අගේට ඈත්වෙලා… පිට්ටෙන්න මැද වගේ අර හිච්චි දේවාලෙ ඇතුලෙ අරූ දිග දාල නටනව. වැඳං හිටිය එකෙක් කිව්ව ඌට දේව ආරූඩයක්ලු. දෙයියො ඇඟට වහලලු. මූ නවත්තන්නෙම නෑ නැටිල්ල. කපුව හැරුන එකපාරට උගේ පැත්තට, හැරිල අර මොනර පිහාටු ගැජට් එකෙන් උගේ ඔලුවට නෙල නෙලා මොනවදෝ කියනව. ආරූඩ උන එකා නට නටා එලියට යන්න පටංගත්ත. ඒ අස්සෙ බාර වෙන්න ආපු ආත්තල සෙට් එකක් දෙයියන්ට වැඳගෙන ඉඳල ආරූඩ වෙච්ච එකා එලියට යනකොට යන පැත්තට හැරි හැරි සාදු සාදු කිය කියා වඳිනව හරියට කැරකෙන්න දාපු ටේබල් ෆෑන් වගේ. ආරූඩ උන මෑන්ස් වෙව්ල වෙව්ල උඩ පැන පැන එලියට යනව. කපුව ඒ පස්සෙන් පිහාටු වලිං ගගහ යනව. අපිත් ඒ පස්සෙං යනව.
මරුම වැඩේ උනේ දැං. එලියෙ ඉදං දෙකට කැඩුන පණුව වගේ ගැහෙන මූව දැකපු බිම හිටපු රිලව් සෙනික ගස් උඩට පැන්න. උන්ට මළ. එක එකා මූට නියවනව. මූ ගැහෙනව. උං නියවනව. මූ ගැහෙනව. රිලා සෙට් එකේ හිටිය ටිකක් ලොකු එකෙක් ආව පහල අත්තකට. මුගේ ලඟටම ඇවිල්ල දෙපාරක් විතර නියවල පැන්න ආරූඩෙගෙ ඇඟට. සාධු කිය කියා හිටපු ආත්තලාගෙ සාධුකාර නැවතුනා. මෙච්චර වෙලා ආරූඩ වෙලාය කියල ගැහි ගැහි හිටිය එකා කුනුහර්ප විද විද රිලවව එලවනව. ආරූඩෙ කොහේ ගියාද නෑ. රිලවට වැදුන පාරකට ඌ පැන්න ආයෙ ගහට. ආතුරේ දිහා ඔක්කොම බලාගෙන. ඌට තේරුනා බොරුව මාට්ටු කියල. හොඳට හිටිය එකා එකපාරට ආයෙ හූ කියල බොරු කලන්තයක් දාල බිම වැටුන. ඌ එක්ක ආපු දෙන්නෙක් පොර උස්සගෙන පැත්තකට ගියා. දෙවාලෙට ආපු ඔක්කොම එතනිං යනකං ඌ නෙවෙයි ඇස් ඇරියෙ. ලැජ්ජාව ඇස් දෙකෙන් වහගෙන ඌ මැරිල වගේ ඉන්නව. ආපු එවුං ඌට බැන බැන බාගෙට බාරවෙලා නිකං හිටිය.
ඌ නිසා මම ඕලෙවල් වලට ගත්තෙත් ඒ පහයි. බාරෙ උනේ බාගෙට නිසා දෙයියො පාස් කලේ බාගෙට.
(මේ කතාව කියන්න හිතුනෙ මේවගේ දෙයියො පාවල දීල අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ගරාගන්න මිනිස්සු තවමත් ඉන්න නිසා. ඒවගේම ඒව බොරු කියල දැන දැන තවමත් අපේ මිනිස්සු ඒවටම යන නිසා. කවදාවත් දෙවියො ඇත්තටම ඉන්නවනං මනුස්ස ඇඟකට වැහෙන්නෙ නෑ. ඒවගේ ටූ ෆිෆ්ටි වැඩ කරන එකක් නෑ දෙයියො. අපිට වැහුනොත් ආතක් පාතක් නැති මළපෙරේතයෙක් ඇරෙන්න)
උපුටා ගැනීම: Kasun Gimhana