අද කතාවක් කියන්න තරම් මූඩ් එකක් නොතිබුනත් මේ කතාව කියන්නම ඕනා කියලා හිතුනා.
අදත් කියන්න යන්නෙ දේවාලෙ අත්තා ගැන කතාවක්. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඉස්කෝලෙ නිවාඩුවට ගම බලා ගියපු මට ඉන්නම ආසම තැනක් උනේ දේවාල අත්තලාගෙ ගෙදර. ඒකට හේතුව ඉතින් තේරෙනවනේ දීලා තිබුනු අසීමිත නිදහස තමයි ඉතින් හේතුව.
ඔන්න දවසක් මහා පාන්දරක මට ඇහෙනවා කවුරුහරි ගෙදර ඉස්සරහා ඉදන් කෑ ගහනවා..
අහස පලාගෙන එන්නලු.. මුහුද දෙබෑකරගෙන එන්නලු.. පොළව උඩින් එන්නලු.. සුවද මල් ජාති තියලා තියනවලු පහන් පත්තු කරලා දෙවොල ලෑස්ති කරලලු ඉතින් එන්නලු. සුවද මල් ගස් පිටින් ගෙනාවත් එන්න හිතෙනවා ද දෙයියනේ මහ පාන්දරක! අනේ මට නම් දැන් නැගිටින්න බෑ අනේ කියලා මන් කෙදිරිගගා කියලා අනිත් පැත්ත හැරිලා බලනකොට එහා පැත්තෙ නිදන් හිටපු අක්කත් නෑ. ( එයාට අපි අක්කා කීවට නෑකම නැන්දා. අත්තගෙ දුව. ) අම්මටසිරි එහෙනම් අක්කත් කලින්ම ගිහිල්ලා. මටත් දැන් මේ වඩින්න වඩින්න කියලා කියන්නෙ උදේ කිරි එක බොන්න වෙන්නැති කියලා ඇගමැලි එහෙම කඩලා යන්න හිතාගෙන ඇදේ වාඩි වෙනකොටම පිම්බා නේද කන රත් වෙන්නම හක් ගෙඩිය! යාල්දේවිය කන හරහා යන ගමන් කනට පිබලා වරෙං එලියට කිව්වා වගේ මාත් කෝමහරි පට පට ගාලා ඇදෙන් බැස්සා. මොනා උනත් තමන්ගෙ ගෙදර නෙමෙයි නේ. වෙන ගෙවල් වලට ගිහින් ඉන්නකොට අඩගැහුවාම යන්න වෙනවා ඉතින්.
ගියපාර කරපු වැඩවල හැටියට මේ පාර අත්තා අලුත් ගැජමැටික් එකක් හොයාගෙන දැන් විසිල් ගහන්නත් පටන් අරන් කියලා හිතාගෙන පිජාමා සූට් එක පිටින්ම කුනු කෙල පිහ පිහා දිව්වා දේවාලෙ දිහාවටම අඩගහන්නෙ මොකද බලන්න. ඒ පාරනම් අම්මටසිරි අප්පටසිරි වෙලා! මැස්සන්ට පුන්නක්කු විසික්කරලා වගේ පිරිමි ගොඩක් මිදුලෙ මැද! තනිකරම මහිල් ( මහිලා ගෙ විරුද්ද පදේ ) සමිතියක් වගේ. කට්ටියක් පොල් ගානවා. තව කට්ටියක් පොල් මිරිකනවා. ඕක දකිද්දි මගෙ කටට කෙල ඉනුවේ අද නම් දොදොල් කෑල්ලක් කන්න පුළුවන් කියලා. එව්වා පහු කරලා වළං මුට්ටි උඩින් පැන පැන දේවාලෙටම ගියා මන් අත්තා මොකද කතා කරන්නෙ බලන්න. ගිහිං කිව්වා මං ආවා කියලත්. ආවා කියලා කට අරින්න උනේ නෑ යන්න කිව්වා. අත්තා කිව්ව නම් දුක නෑ. ඒකත් එතන ලග හිටපු මාමෙක් මාව උස්සලා දේවාලෙ දොර ගාවින් තියලමායි යන්න කිව්වේ. එලියට දාලා ඉවර වෙලා යන්න කියන සිරිතක් තියනවද යකෝ! යන්න කියලා එලියට දානවා මිසක්. අනික මොන එහෙකටද එහෙනම් මට අහස පලාගෙන පොලව පලාගෙන එන්න කිව්වේ. කමක් නෑ දුකක් නෑ ඔයා සතුටින් ඉන්නකො සුදු මහත්තයා කියලා මාව උස්සන් හිටපු මාමටත් පින් දිලා මන් ගියා. යන ගමන් පොල් මිරිකන මාමාගෙ කනට නැමිලා
” මටත් දොදොල් කෑල්ලක් ඕනා ඈ” කියලා ගියා.
ඊටපස්සෙ ඉතින් මූන හෝදලා ලස්සන ගවුමක් ඇදලා එහෙම ගියා ආයෙත් ඉස්සරහට. කිරි අම්මා කොච්චර කවන්න හැදුවත් කෑවෙ බීවෙත් නැත්තේ තව ටිකකින් මට දොදොල් හම්බෙන හින්දා. දොදොල් කාලාම තේ බොමු කියලා හිතලා කෑම ප්‍රතික්ෂේප කරා. ඒ ගිහින් බලනකොට ඒ ටිකට මුට්ටියකට පොල් කිරි දාලා උස ලිපකුත් බැදලා පොල්කිරි උතුරනවා. පිරිමි ගොඩක් මැද්දෙ හිටපු එකම කෙල්ල හැටියට මගේ යුතුකම තමයි පිරිමි උයනකන් බලන් නොඉද හැන්දයි වලදයි මගෙ අතට ගන්න එක. ඉතින් එහෙම හිතලා භාන්ඩ හුවමාරු ක්‍රමෙට ආසාව මාමට දීලා මමාගෙ අතේ තිබුනු හැන්ද මන් ඉල්ලාගන්නකොට ඒ මාමා කට “උ” යන්නට බැන්ද රකාරාංශෙ කරගෙන උඩ බලාගෙන “” හම්බෙව් මෙව්වා හොව්දව් නැව්වා ගැව්වා ළව්වන්ට ” කියලා කිව්වා.
ටිකක් වෙලා කල්පනා කර කර ගස්ලබ්බක් කන දඩුලේනෙක් දිහා බලන් හිටපු මට ඕක තේරුනේ නැති හින්දා ආයෙත් පාරක් ඉල්ලලා තේරුමක් නැති බව තේරුම් අරගෙන, කුස්සියට දුවන් ගිහින් කිරිඅම්මගෙ පොල්කටු හැන්දක් අරන් දුවගෙන ආවේ හැදිගාලාම දාන්න කියලා. ඒ පාර ඇස් දෙක කොස් ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන අතෙන් එපා එපා කියලා පෙන්නුවා.
දැන්නෙ මට තේරුනේ! ගොලු අත්තට ගොලු බාසාව වගේ මේ මාමාට කතා කරන්න ඕනේ කට උල් කරාන රකාරාංස බාසාවෙන් කියලා, ඉතින් මාත් කට උල් කරලා
” හව්යෝ මව්ටත් දෙව්නව්කෝ ටිව්කක් හැව්දි ගාව්න “” කියලා ඉල්ලපුපාර මේන් යකෝ ගිංගග පිටාර ගැලුවා වගේ රතුම රතු කෙල වැස්සක් ටිකක් එහායින් තියෙන මල්ගහකට දැම්ම. ඊටපස්සෙ ඒ මාමා හොදට කට ඇරලා කිව්වා.
“”මේ දියියන්ට කිරි උතුරනවා මෙව්වා හොද නෑ ගෑණු දරුවන්ට කියලා.
” ඉතින් ඔව්වා දෙයියො තනියම කනවැයි! දෙයිගෑනිටත් දීලා තමයි කන්නෙ! අපේ ගෙදරත් අප්පච්චිට හම්බෙන කෑම අම්මටත් දීලා අපිටත් දිලා තමයි අප්පච්චිනම් කන්නෙ කියලා මන් කිව්වාම ඊටඑහා හිටපු තව මාමෙක් කිව්වා
” නෑ නෑ මේක විශේෂ අවස්තාවක්. ගෑනු අය මේවට අතදාන්න හොද නෑ කියලා. මට දැන් ඕක මාර ප්‍රශ්නයක්.
” ඉතින් සමහර දවස්වලට දෙයියන්ට කැවිලි තියෙන්නේ? එව්වා හදන්නෙ අපේ කිරි අම්මනේ? ඉතින් දෙයියන්ට මොකටද කිරි උතුරන්නේ? දෙයියන්ගෙන්නෙ අපිත් ඉල්ලන්නෙ කිරියෙන් පැනියෙන් අපිට උතුරන්න කියලා! එතකොට මොකද පොල් කිරි උතුරන්නේ? එතකොට පිරිමි දෙයියන්ට පිරිමි උයනවා නම් ඒ දෙවිවරුන්ගෙ ගෑනු කන්නෙ කොහොමද? එයාලට උයන්න ඕනෙ ගෑනු අයද? “”
තව ඔය වගේ ප්‍රශ්න ඉදිරිපත් කරාට සමහර සිද්දි නම් එවලෙ කට්ටිය විස්තර කරාට දැන් මතක නෑ මොනවද කිව්වේ කියලා. කොහොමහරි මන් හිතාගත්තා අපි කාලයක් තිස්සෙ උතුරපු කිරි දෙයියො දිව්‍ය බලයකින් ගබඩා කරගෙන තියාගෙන තමයි ජනවාරි පලවෙනිදට අපිට එක එක්කෙනා කිරියෙන් පැනියෙන් ඉතිරේවා කිව්වම දෙයියො අපිට බෙදලා දෙන්නෙ කියලා.
කොහොමහරි ඉතින් කතාවෙන් කතාවෙන් කිරි ටික ඉතිරෙද්දි මුට්ටිය බාගන්න රෙදි කෑල්ලක් ගෙනත් තියාගන්න මාමලා ටිකට අමතකවෙලා මේ මං දේවතාවිගෙන් තමයි ඒකට උදව් ගත්තේ. මාත් ඉතින් සැදැහැ සිතින් සාධු සධු සා… කියාගෙන ගෙට දුවලා පට ගාලා ඇදුම් වැටෙන් රෙදි කෑලි දෙකක් උස්සගෙන ආවා. අහ අහා ගේන්න වෙලාවක් නෑ නෙ අනේ හදිසි අවස්තාවක් නේ. කලු පාටින්ම රෙදි කෑලි දෙකක් උන්ඩි කොරගෙන ඇවිල්ලා ආරූඪ වෙලා ඉන්න දෙයියන්ගේ අතටම දෙන්න යනකොට වටේ පිටේ ඉන්න මාමලා මගෙන් රෙදි කෑලි දෙක ගන්න පොරකනව.
හහ්! ගෙට දුවලා රෙද්ද ගේන්න ඕනෙ මන්, දෙයියන්ට රෙදි ලකුනු දාගන්න යන්නෙ එයාලා!! එව්වා කොහෙද මාත් එක්ක කියලා යගුලිය බදාගත්තු රග්බි ක්‍රීඩකයා වගේ නොසැලී හැරි හැරී කෝමහරි දෙයියො ලගට ගිහින් දෙයියන්ගෙ අතටම රෙදි කෑලි දෙක දුන්නා. අම්මා… ඉතින් දැන් දෙයියෝ මන් දිහා බලාගෙන මල් වැහි දාවි කියලා වැදගෙනම උඩ බලාගෙන හිටියත් දෙයියන්ට කඩි කනවා වගේ නටන්න පටන් ගත්තා. ඕක දැකපු අනිත් මාමලත් දැන්න්ම් මේ දෙයියෝ හිත් පහාදෙගෙන නටන්න පටන් අරන් කියලා හිතලා සද්දෙටම කට්ටියම වදින්න පටන් ගත්තා.
නෑනෝ නුඹ පාල්.. නුඹෙ නැන්දා පාල් කියලා මේවර කෙලිය නටනවා වගේ නටපු දෙයියෝ නැටිල්ල නවත්තලා හිටගත්තේ නිකන් රුහුණු කුමාරිට කට්ටක් ඇනිලා හිටගෙන ඉන්නවා වගේ. කස්තිරම් අඩියක් අල්ල අල්ල හිටපු දෙයියෝ බාගෙට නැටිල්ල නැවැත්තුවාට පැත්තට තිබ්බ කකුල ගන්න අමතකවෙලා ඒ හිටපු විදියටම ඇදේටම නැටිල්ල නවත්තලා හිටගෙන අර මන් දුන්නු රෙදි කෑලි දෙක දෙග ඇරගෙන බලාන ඉන්නවා. එව්වා දැකපු මාමලා වැදිල්ල නවත්තලා තත්පරයකුත් දසම තුන් කාලකුත් නොසෙල්වී බලන හිටියේ නුවර වැවේ මාලු පාන් දිහා බලන් ඉන්නවා වගේ. මල් වැහි වැටෙනකන් කට ඇරන් උන්නු මාත් දෙයියොත් නැටුම් නවත්තලා මෙ බලන්නෙ මොකක් දිහාද යකෝ කියලා බැලුවම තමයි දැක්කෙ කිරි අම්මගෙ කලු පාට තනපටි දෙකක් කිරු මුට්ටිය අල්ලන්න උස්සන් ඇවිත් කියලා.
වෙච්චි දේට ඉතින් මක් කොරන්නද කියලා.. දේවාරූඩයෙන් බනින දෙයියන්ගෙන් සමාව ඉල්ල ඉල්ල මාමලා ටික කුස්සියේ හිටිය කිරි අම්මට එයාට අයිති වස්තූන් දෙක දීලා වෙන රෙදි දෙකක් ඉල්ලන් ආවා. වස්තූන් අතට ගත්තු කිරු අම්මා ලග පුටුවකට වෙලා විනාඩියක් විතර ඉදගෙන හිටියා.
අදත් කිරි අම්මා එහෙම ඉදගෙන ඉන්නවා හැබැයි දැන් විනාඩියක් නෙමෙයි පැයගානකට වැඩියි. එදා මිදුලෙ කිරි ඉතුරානට අද ඒ මිදුලේ සුදු කොඩි ඉස්සිලා. අත්තගෙ නිසළ දේහය සාලෙ මැද තියලා තියනවා.
ඉතින් මගේ ආදරණීය දේවාල අත්තේ.. ඔයාට අජරාමර නිවන්සුව! ඔයා ගැනම තව කියන්න කතා කොච්චර තිබුනත් මන් දන්නෙ නෑ ආයේ ඒ කතා කියන්න පුළුවන් වෙයිද කියලා. කතවක් අතරට ඉමෝජි දාන එක මේ සමූහයේ නීතිරීති වලට උචිත නොවුනත් මට සමාවෙන්න මෙහෙම දානවට කදුලු අතරින් ලිව්ව කතාවෙ අඩුපාඩුවක් තියනවා නම් සමාවෙන්න .
* ඉලංගසිංහ *