දෙවන විවාහය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” කලින් බැදපු එකියක්ලු.ඔය ලොකු කෙල්ල ඒකිගෙ නෙමෙයිලු. පොඩි කොල්ලො දෙන්න ගුණේට තාත්ත තාත්ත කීවට උන්ගෙ තාත්ත ගුණේ නෙමෙයිලු. “
” ඕකිගෙ මිනිහ දාල යන්ඩ ඇත්තෙ ඕකිගෙ කට හින්දමයි”
” හත් දෙයියනේ! පොඩි කොල්ලට අවුරුදු තුනක් විතර ඇති.මේකි මේ තරම් ඉක්මනට ආපහු දීගෙක එන්න හිත හදා ගත්තෙ කොහොමද?”
” ඕකිට තව මිනිහෙක් ඇති.පෝන් එක කනේමයි.”
” කලින් මිනිහට හරියට සැප දෙන්න නැතුව ඇති “
“කන්තෝරුවෙත් ඇති කවුරු හරි.පද්ද පද්ද යන්නෙ ඒකනෙ.අම්මේ.. පුසුඹ.පඩිය මදි ඇති සැන්ට් පව්ඩර් වලට “
ගෙදරට අඩුවැඩිය ගේන්න ගිය වෙලාවට හන්දියේ කඩේ ළග ඇහෙන කතා වලින් සුමනාවතීගෙ හිත හොදටෝම පෑරිලයි තිබුණේ.කතන්දර අහන්න ආපහු නම් කඩේ යන් නෑ.ගුණේට කියලම ගෙන්න ගන්නවා.
” ඒත් ඉතින් එයා කවදද තෝරල කරල බඩුවක් ගත්තෙ”
පිටින් පේන අයට සුමනෙගෙ කතාව එහෙම උණාට ඇතුළාන්තය ඊට බොහොම වෙනස්.
සුමනෙ දාසත් එක්ක ඇගෑලුම්කම් පාන්න ගත්තෙ ඉස්කෝලෙ හතේ පංතියෙදි.කාලය ඉගිලිලා යනකොට දාස ආරක්ෂක අංශේ රැකියාවකට ගියා.සුමනෙ කන්තෝරුවක රස්සාවක් හොයා ගත්තා.දාසගෙත් සුමනෙගෙත් ඇයි හොදයියට සුමනෙගෙ අම්ම නම් කැමති උණේම නෑ.
” ඔය ජාතියෙ උන්ට හිතක් පපුවක් නෑ.කපල ගගේ මුහුදෙ දැම්මත් මම නම් ඔය දීගෙට කැමති නෑ.”
ඒත් සුමනෙගෙයි දාසගෙයි ඇයි හොදයිය අම්මගෙ වචනෙට නතර උණේ නෑ.සුමනෙ වෙන කටයුත්තකට කැමති වෙන්නෙත් නැති හින්ද ඒකි ගෙදරටම නාකි වෙයි කියල බයට සුමනෙගෙ අම්ම අන්තිමේදි අකමැත්තෙන් හරි දාසට කැමති උණා.
ඔන්න ඉතින් ජයට මගුල් කාල ඒ කාලෙ හැටියට මගුල් පිංතූර දෙකකුත් අරන් රාමු කරල බිත්තියේ එල්ලුවා.කොල්ලො දෙන්නෙක් හැදෙනකම්ම යන්තන් රාමු වෙලා හිටපු දාස තවත් රාමු වෙලා ඉන්න හිතුවෙ නෑ.රාජකාරි කරන දිහාවෙන්ම වෙන ගෑණියක් යාලු කර ගත්තා.
ඒකෙ අවසාන ප්රතිඵලේ උණේ හරියකට ඇවිදින්ඩ වත් බැරි වයසෙ ඉන්න පොඩි කොල්ලයි ලොකු එකයි එක්ක සුමනෙ ආපහු මහ ගෙදර ආපු එක.එදා ඉදන් සුමනෙට ඇණුම්පද ගොඩයි.
” මම උඹට කිවුවනෙ කලින්ම.ඔය දීගෙ හරියන් නෑ කියල”
” බලාපන් උඹ හින්ද හිච්චි කොල්ල වත් කසාදයක් කරගෙන ගෑනියක් ගේන්නෙ කොහොමද මේ ගෙදරට”
” දෑහෙ මූණෙ තියාගෙන පැටව් හැදුවට වැඩක් නෑ.මහ එකාගෙ ජානනෙ.පැටවුත් කවද හරි අවලමේ යයි.”
” කෙලියෙ.ළමයිගෙන් සැලකුම් බලාපොරොත්තු වෙන්ඩ එපා. උන් පවුල් පන්සල් උණාම උන්ට වෙනම ලෝක තියෙනවා.උඹ දවසක තනි වෙයි.”
” උඹට අදටත් වඩා මිනිහෙක් ඕනි ළමයි ලොකු වෙලා උඹ වයසට ගියාම..”
” බලපන් උඹේ අප්පච්චි.මට ලෙඩක් උනොත් මං ගැන කොච්චර වද වෙනවද? ආණඩුවෙ ඉස්පිරිතාලෙට මාව කවදාවත් තනියම ඇරල නෑ.ඔක්කොම අඩුම කුඩුම උන්දැ ගෙට ගෙනත් දානව.එක රැයක් මාව තනි කරල ගියේ නෑ.උඹල හම්බ වෙන්ඩ මම ඉස්පිරිතාලෙ ඉද්දිත් ඉස්පිරිතාලෙ ඉස්සරහ බංකුව උඩ බලා හිටිය.”
” අපේ ඇස් පියවෙන්ඩ කලින් කාව හරි හොයා ගනින් කෙලියේ.නැත්තන් සැනසිල්ලේ මට මැරෙන්ඩ වත් බෑ”
” අපි නැති කාලෙක උඹ තනි වෙයි.දැන් මටයි අප්පච්චිටයි අසූවත් පැනල”
” ගෑණියෙක්ට නමට හරි පිරිමියෙක් ඕනි බන්.නැත්තන් කපුටො වහනව වැඩී”
සුමනෙ මාස ගාණක් කල්පනා කළා.බේරිල්ලක් තිබුණේම නෑ.දාසගෙ හොදම යාලුවගෙ ඉදන් දාසගෙ කාර්යාලෙ ලොක්කගෙනුත් සුමනෙට කතන්දර.අඩුම ගාණෙ කන්තෝරු යන බස් එකේ කොන්දොස්තරගෙන් වත් නිවනක් නෑ.ඒ විතරක්ද කන්තෝරුවෙ පිරිමි පරාණ.කඩේට ගියොත් මුදලාලි.
ඔය අතරෙ මහ රෑට දොර ජනෙල් වලටත් තට්ටු වැටෙන්න ගත්තා.පොඩි එකාට අවුරුදු දෙක හමාරක් ඇති.සුමනෙ තීරණයක් ගත්ත..ආපහු දීගෙක යන්න.
ඒත් සුමනෙට තිබුණු එකම බය ළමයි දෙන්නට වෙනස්කමක් වෙයි කියලා.
සුමනෙගෙ අප්පච්චි තමයි සුමනෙට ගුණේව හොයල දුන්නෙ.ගුණේගෙ නෝන පපුවෙ අමාරුවකින් නැති වෙලා ..එක කෙළියක් හිටියා.
ගුණේ සුමනෙව හම්බ වෙච්ච පළවෙනි දවසෙම සුමනෙගෙන් ඉල්ලුවේ එක දෙයයි.
” මට වෙන මොනවා නැතත් කමක් නෑ.මගෙ කෙලීට හොද අම්මෙක් උණොත් ඒ ඇති.”
සුමනෙත් එදා තනි හිතට හිතුවෙ ” මටත් මොනව නැතත් කමක් නෑ.මගෙ කොල්ලො දෙන්නට හොද තාත්තෙක් උණොත් ඒ ඇති.” කියලයි.
පද හදන උන්ට ඕනි පදයක් හදා ගන්ඩ කියල සුමනෙ කරවල කෑල්ල තව ටිකක් හොදට පිච්චෙන්න ගිණි අගුරු ටික බෝ කළා.
උපුටා ගැනීම:  කේ.ස්වර්ණමාලි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!