සුදු සාරිය ඇඳලා කොණ්ඩ ගුලියක් ගහලා ත්රීවිල් එකකින් තනියම ඇවිත් උසාවිය ළඟින් බහිනකොට මගේ කකුල් වෙව්ලන්න ගත්තා. හැමෝගෙම සතුටු සිනා මැද්දේ දීගෙක ගිය මම අද, ඒ දීගෙන්ම වෙන් වෙන මොහොතේ මාව අරන් යන්න කවුරුත් ආවෙ නැති එකට මං සතුටු වෙනවා. විඳින දුකක් අනිත් අය ඉස්සරහ විඳිනවට වඩා මං තනියම විඳ ගන්න එක හොඳයි කියලා මට හිතුණා.
දෙනෝදාහක් මිනිස්සු ඉන්න උසාවි භූමියේ කාත් කවුරුත් නැතිව අසරණව වෙව්ලන කකුල්වලින් ඇවිද ගෙන යන මගේ ගමන් මඟ හරස් කරලා නැවැත්තුවේ මං දන්න හුරු පුරුදු වාහනේ. රියදුරු ආසනයෙන් මලිත් දොර ඇරගෙන ඉස්සරහින් බහිනකොට ඊටම අනෙක් පැත්තෙන් බැස්සෙ මගේ කසාද අයිතිය සඳහටම මට නැති කරපු තැනැත්තිය. පපුව ඇතුලෙ ඇවිලෙමින් තිබ්බ ගින්දර තව තවත් ඇවිලුණේ ඒ ගින්දර නිවා ගන්න කිසිම මාර්ගයක් මට නැති කරගෙන. ඇස් කොණින් මං දිහා බලපු මලිත් මාව දැක්කා නොදැක්කා වගේ මාව මඟ ඇරලා යද්දි මට මතක් වුණේ මගේ ආදරේ ඉල්ල ගෙන මාව හොයාගෙන එද්දි එක දවසක්වත් මාව මඟ හැරපු නැති ඒ ආදරේ.
එක පාරක් ආදරෙන් පැරදිලා ආදරේ කරන්න බයෙන් ඉන්නකොට තව පාරක් ආදරේ කරලා දුක් විඳින්න මම කැමති වුණේ නැහැ. ඒකයි, මලිත්ගේ ආදරේ මම මඟ හරින්න ගත්තේ. ඒත්, මොකක්දෝ මන්දා හේතුවකට සමහරවිට සංසාරයේ පතාගෙන ආපු හින්දද මන්දා මලිත්ගෙ ආදරේ ළඟ මගේ හිත නතර වුණා. කවදාවත් මට දුකක් දෙන්නෙවත්, මාව දාලා යන්නෙවත් නෑ කියන පොරොන්දුව උඩ මං එයාට ආදරේ කරන්න ගත්තා. අවුරුදු හතරක් ආදරේ කරලා අවුරුදු හතරක් ගෙවපු ඒ කසාද ජීවිතේ අන්තිම පරිච්ඡේදය තව ටිකකින් ලියවෙන්න ගන්නවා.
කසාදෙන් පස්සෙත් දශමයකින්වත් අඩුවක් නොතිබුණු අපේ ආදරේ අඩුවකට කියලා තිබ්බේ අපිට දරුවෙක් නැති එක විතරයි. වෙන්න ඕනි හැම තැනකටම ගිහින් භාර හාර වුණත්, යන්න ඕනි හැම දොස්තර කෙනෙක් ළඟට ගියත් මගේ ශරීරයේ දෝෂයක් හින්දා මට දරුවෙක් හදන්න බැහැ කියලා ඒ හැම තැනකින්ම කිව්වා. ඒ ගැන මුලදි මලිත්ට ඒ තරම් ගාණක් තිබ්බෙ නැහැ. දරුවෙක් නැති වුණාට අපිට දරුවෙක් හදා ගන්න පුළුවන් කියන මතයෙමයි එයා හිටියේ. ඒ හේතුව හින්දා කවදාවත් මං වෙනුවෙන් තියෙන එයාගේ ආදරේ අඩු වුණේ නැහැ වගේම එයා ආදරේ අඩු කරන්නෙ නැහැ කියලත් පොරොන්දු වුණා. දරුවෙක් නැහැ කියලා හිත් අගිස්සෙ හැම වෙලේම කොනිත්තන වේදනාව අඩු වුණේ මලිත්ගේ ඒ ආදරේ හින්දා.
ඒත්, හැමදේම වෙනස් වෙන්න මහ කාලයක් නොගියේ මලිත්ගෙ වෙන සම්බන්ධයක් මගේ ඇස් දෙකට අහු වෙද්දියි. ඒ වෙද්දිත් මලිත්ගේ පුංචි පුංචි වෙනස්කම් මට දැනිලා තිබ්බත් මං ඒ දේවල් එයාගෙන් අහන්න නොගියේ පිරිමි හිතක් වුණත් කාටවත් නොකීවත් ලොකු වේදනාවක් එයාගෙ හිතෙත් තියෙන හින්දයි. ඒ වේදනාව අස්සෙ මාත් රණ්ඩු කරලා එයාගෙ ඒ වේදනාව දෙගුණ තෙගුණ කරන්න මට ඕනි වුණේ නැහැ. ඒත්, අන්තිමට හැමදේම කණපිට පෙරලිලා තියෙනවා කියලා දැන ගද්දිත් මං ගොඩක් පරක්කු වැඩියි.
ඒ වෙනකොටත් ඒ ගැණු කෙනාගෙ බඩට මලිත්ගෙන් දරුවෙක් ඇවිත් තිබ්බා. මගේ තිබ්බ එකම දුර්වලකම අන්තිමට මට හැමදේම නැති කරන්න මූලික වෙලා තිබ්බා. පුළුවන් තරම් තනියම හැමදේම දරාගෙන මං තනියම ඇඬුවා. දවස් ගණන් ඇඬුවා. රැයවල් නිදි නැතිව ඇඬුවා. ඒත්, ඔළුව අත ගාලා අඬන්න එපා කියන්නවත් කවුරුත් මගේ ළඟ හිටියේ නැහැ. අඩුම තරමේ මලිත්වත් මගේ ළඟ හිටියේ නැහැ.
අන්තිමට ඒ දවස උදා වුණා. මලිත් මගෙන් දික්කසාදය ඉල්ලුවා.
” නිර්මලා, අපි ඩිවෝස් වෙමු ” එයාව දාලා යන්න තරම් පුළුවන් කමක් මා ගාව තිබ්බෙ නැහැ.
” අපි ඒ දරුවා හදා ගන්න ගමු මලිත්. ඒ ඔයාගෙ දරුවනේ “
” බෑ. එහෙම කරන්න බැහැ ” කියපු මලිත් මං ගාවින් ඈත් වෙලා යන්න ගියා.
කොයිතරම් කීවත්, ඇවටිලි කළත් මලිත් මාව දාලා යන්න ගත්තු තීරණය වෙනස් කළේ නැහැ. අන්තිමට මමත් හෙම්බත් වුණා. බලෙන් කාවවත් ළඟ තියා ගන්නවත්, බලෙන් ආදරයක් ළඟ තියා ගන්නවත් ඕනි නෑ නේද කියලා අන්තිමට මට හිතුණා. අමාරුවෙන් වුණත් මලිත්ගෙ සතුට වෙනුවෙන් මාත් දික්කසාදය දෙන්න කැමති වුණා. හැබැයි එතනදි වැරදිකාරිය වෙලා තිබ්බෙ මං. මං අනාචාරයේ හැසිරුණා කියලා මං එතනදි වැරදිකාරිය වෙලා තිබුණා. ආදරේ කරපු හිතකට, තමන් ආදරේ කරපු කෙනාව එහෙම වරදකට පටලවන්න පුළුවන්ද කියලා මට පුදුම හිතුණා. මේ මගේ මලිත්ම ද කියලා මට වෙලාවකට සැක හිතුණා. මං ඇරෙන්න මගේ වටේ තියෙන හැමදේම වෙනස් වෙලා තිබ්බා. ඉතින්, මං වෙනුවෙන් මඟ රැකපු ඒ හිතේ තිබ්බ ආදරෙත් වෙනස් වෙලා තිබ්බා. එයාගෙ සතුට වෙනුවෙන් මං අන්තිමේ වැරදිකාරියක් වුණා.
” ඔබතුමිය මේ සම්බන්ධයෙන් වැරදිකරුද? නිවැරදිකරුද? “
” වැරදිකරු ස්වාමීනී “
දික්කසාදය ලියවුණා. නීතියේ දෙවඟනගේ ඇස් වැහිලා හින්දා මේ අවනඩුව එතුමියට පේන්න නැතුව ඇති. ඒ හින්දා අන්තිමට අවුරුදු ගාණක ආදරයක් දෙපැත්තකට වෙන් වෙලා ගියා. ඒත්, අඩුම තරමේ යන්නම් කියලවත් යන්න පුළුවන් කමක් එයාට තිබ්බා නම් මේ තරම් දුකක් හිතේ නතර නොවෙන්න ඉඩ තිබ්බා. පුංචිම ඉඟියක්වත්, පුංචිම හැරිලා බැලිල්ලක්වත් නැතිව එයාගේ වාහනේ එයා යන්න ගියා. ඒක පුංචි තිතක් වගේ නොපෙනී යනකන් ඇස් දෙකෙන් බේරෙන කඳුළු මැද්දෙන් බලාගෙන හිටපු මම ආරාමය දිහාවට යන්න පාද එසෙව්වා.
උපුටා ගැනීම: Lima Dharmasena