සාම විනිසුරු බෙනජා විඩුප් මහතා සිය පයිප්පය උරමින් කාර්යාලයේ දොරකඩ හිඳගෙන සිටියේය. කුම්බර්ලෑන්ඩ් කඳු පෙළට ඉහළින් වූ දහවල අහස දිස් වූයේ අඳුරු නිල් පැහැයෙනි. මෝඩ හඬකින් කෙකර ගාමින් පිහාටුවල ලප සහිත කිකිළියක් පාළු මාවතේ පහළට ඇවිද යමින් සිටියාය.
කිරි කිරි හඬ නැඟුණු රෝද වලින් සිහින් දූවිලි වළාවක් නංවමින් කරත්තයක් පරිසරයේ නිහඬතාව බිඳිමින් මාවතේ පහළට ගමන් කරමින් තිබුණි. කනාටු ගොනකු විසින් අදින ලද කරත්තයේ දෙපැත්තෙහි
රැන්සේ බිල්බ්රොa සහ ඔහුගේ බිරිය හිඳගෙන සිටියහ. කරත්තය විනිසුරුගේ කාර්යාලය ඉදිරිපිට නැවතුණු අතර බිල්බ්රොa යුවල ඉන් එළියට බැස්‌සාහ. විනිසුරුවරයා පාවහන් යුවළ පය ලා ගෙන ඔවුනට ඇතුළු වීමට ඉඩ දුන්නේය.
අපි දෙන්නාට.. පයින් ගස් අතරින් හමා යන සුළඟක් බඳු සිහින් හඬකින් ගැහැණිය කතා කළාය. ‘දික්‌කසාද වෙන්න ඕනෑ.’ ඇය හැරී සිය සැමියා දෙස බලමින් පැවසුවාය. ‘දික්‌කසාදයක්’ රැන්සේ එය නැවත කීවේ දුක්‌මුසු ලෙස හිස වනමිනි.අපිට තවදුරටත් එකට ඉන්න බැහැ. මං දන්නවා, එකිනෙකා ගැන බලන්නෙ නැතුව ගෑනියෙකුටයි මිනිහෙකුටයි පාළුවෙ අර කන්දෙ ජීවත් වෙන්න බැහැ. ඒත් මේකි වල් බැළලියක් වගේ ගොරොවන කොට මිනිහෙක් කොහොමද එකට ඉන්නෙ.’
විනිසුරු තැන නිහඬව සිය නීති පොත පෙරළා ඇස් කණ්‌ණාඩිය පිස දමන්නට විය.
‘දික්‌කසාදය දෙන එක මට අදාළ එකක් නෙමෙයි. ඒ වුණාට සාම විනිසුරකුට දෙන්නෙක් කසාද බන්දන්න පුළුවන්නම් උන්ව වෙන් කරන්නත් පුළුවන් වෙන්න එපැයි. මේ කන්තෝරුවෙන් දික්‌කසාද තීන්දුව දීපුවාම ඉහළ උසාවියෙන් ඒක අනුමත කරනවා’
රැන්සේ බිල්බ්රොa සිය කළිසම් සාක්‌කුවෙන් කුඩා මල්ලක් එළියට ගෙන එය අඩියෙන් අල්ලා ගැසුවේය. ඩොලර් පහේ නෝට්‌ටුවක් මේසය මතට වැටිණ.
‘වලස් හමකුයි, නරි හම් දෙකකුයි විකුණුවා.’ ඔහු කීවේය. ‘ඔච්චරයි අපි ළඟ තියෙන්නෙ.’
‘දික්‌කසාදයක් ලියාපදිංචි කරන්න මේ උසාවිය අය කරනවා…’ විනිසුරු තැන පැවසුවේය. ‘ඩොලර් පහක්.’ ඔහු නෝට්‌ටුව නොසැලකිල්ලෙන් සාක්‌කුවට දමා ගත්තේ එය ඔහුට එතරම් ලොකු මුදලක් නොවන සේ පෙන්වීමට මෙනැයි රැන්සේට සිතිණ. ඉන්පසු විනිසුරු තැන කඩදාසියක් ගෙන එය දෙකට ඉරා මැදින් කාබන් කොළයක් තබා බිල්බ්රොa යුවළගේ දික්‌කසාද තීන්දුව ලියන්නට විය. බොහෝ වේලා ගෙන එම කාර්යය නිම කළ ඔහු නැගිට එය හඬනඟා කියෑවීය.
‘සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ප්රකාශ කරන වග නම්
රැන්සේ බිල්බ්රොa හා ඔහුගේ භාර්යාව වූ අරියෙලා බිල්බ්රොa යන දෙදෙනා අද දින මා ඉදිරියෙහි පුද්ගලිකව පෙනී සිට ඔවුන් දෙදෙනා තව දුරටත් එකිනෙකාට අවංක නොවන බවද, ආදරය නොකරන බවද හා අවනත නොවන බවද හොඳ සිහි කල්පනාවෙන් යුතුව ප්රකාශ කරන ලදුව පළාතේ සාමය හා නීතිය පිළිබඳ රෙගුලාසිවලට අනුකූලව දික්‌කසාද තීන්දුව ලබා ගන්නා ලදී. දෙවියන් වහන්සේ ඔවුනට උදව් කරන සේක්‌වා. අත්සන් කළේ බෙනාජා විඩුප්, පියඩ්මොන්ට් පළාතේ සමාදාන විනිසුරු තැන, ටෙනසි ප්රාන්තය.’
ඉන් පසුව දික්‌කසාද තීන්දුවේ කාබන් පිටපත විනිසුරු තැන විසින් රැන්සේට දිගු කරන ලද්දේය. ‘විනිසුරුතුමනි,’ අරියෙලා මැදට පැන එයට බාධා කළාය. කඩදාසිය තාම එයාට දෙන්න එපා. ඊට කළින් මගේ අයිතිවාසිකම් මට ලැබෙන්න ඕනෑ. මට මගේ වන්දිය ලැබිය යුතුයි. ගෑනියෙක් අතේ කීයක්‌වත් නැතිව මිනිහෙකුගෙන් දික්‌කසාද වෙන එක කොහොමටත් හොඳ දෙයක් නෙමෙයි. මං හිතන් ඉන්නෙ හොග්බැක් කඳුකරයේ ඉන්න මගේ සහෝදරයා එඩ් ළඟට යන්න. මට සපත්තු ජෝඩුවකුයි තව දේවල් ටිකකුයි ගන්න තියෙනවා. රැන්සෙට දික්‌කසාදෙට මුදල් තියෙනවානම් මට වන්දි දෙන්නත් මුදල් ඇති.’
ගැහැනියගේ දෙපා වල පාවහන් නොමැති බවත් හොග්බැක් කඳු මාර්ගය රළු බවත් විනිසුරුට කල්පනා විය. ‘අරියෙලා බිල්බ්රොa’ ඔහු ඇසීය. ‘ඔබ කීයක් බලාපොරොත්තු වෙනවාද වන්දිය විදියට?’
‘මට අවශ්යයි’ ඇය පිළිතුරු දුන්නාය.සපත්තුවලටයි අනෙක් ඒවා සේරමටයි ඩොලර් පහක්.’
‘ඒ ගාන අසාධාරණ නැහැ.’ විනිසුරු කීවේය.රැන්සේ බිල්බ්රොa, දික්‌කසාද තීන්දුව නිකුත් කිරීමට පෙර ඩොලර් පහක් අරියෙලා බිල්බ්රොa මහත්මියට ගෙවන ලෙස මෙම උසාවිය නියෝග කරනවා.’
‘මං ළඟ සල්ලි නැහැ.’
රැන්සේ බර හුස්‌මක් අදිමින් පැවසීය.තිබුණු සල්ලි සේරම තමයි ඔබට දුන්නෙ’
‘වෙන්ඩ ඇති. නමුත් ඔබ උසාවියට අපහාස කරමිනුයි ඉන්නෙ.’ විනිසුරු තැන කණ්‌ණාඩියට ඉහළින් බලමින් කීවේය.
‘මට හෙට වෙනතුරු කල් දුන්නොත්..’ රැන්සේ බැගෑපත් විය.මම කොහෙන් හරි හූරගෙන අරගෙන එන්නම්. මම එහෙම මඟාරින කෙනෙක් නෙමෙයි.’
‘හොඳයි, හෙට වෙනතුරු පමණයි.’ මඳක් කල්පනා කළ විනිසුරු තැන එයට එකඟ විය. ඉන්පසු ඔහු පහත් වී පාවහන් බුරුල් කරන්නට විය. රැන්සේ ඉදිරියට නැවී විනිසුරු තැනට ස්‌තුති කොට ආපසු යාමට මඟට බැස්‌සේ ය. ‘මම අද රාත්රිය ගත කරන්න පහළ සියා මාමාගෙ ගෙදරට යන්නයි හිතුවෙ.’ රැන්සි තමාටම කියා ගනිමින් කරත්තයට නැඟ තමන් පැමිණි පැත්තේම හිඳ ගත්තේය. අරියෙලා නිහඬවම අනෙක් පැත්තේ හිඳ ගත් අතර ඉන්පසු කරත්තය අලස ලෙස වීථියේ පහළට ගමන ආරම්භ කෙරිණි.
ඉන්පසු බෙනජා විඩුප් සාම විනිසුරු තැන පයිප්පය දල්වා ගෙන පුටුවෙහි දිගා වී පත්රය කියවන්නට විය. කුම්බර්ලෑන්ඩ් කඳු පෙළට ඉහළින් සඳ නැග එමින් තිබුණි. ආහාර ගැනීම පිණිස නිවසට යායුතු බව විනිසුරු තැනට කල්පනා විය. ඔහු කන්දෙන් එහා පැත්තේ පිහිටා තිබූ සිය නිවසට යාම පිණිස වීථිය හරහා ගොස් පටු මාර්ගයට අවතීර්ණ වූයේය. දෙපසින් වැවී වියනක් ලෙසින් මාර්ගය ඉහළින් වැසී තිබූ ගස් හා පඳුරු නිසා පටු මඟෙහි වූයේ අන්ධකාරයකි. ඉඩ තිබූ තැනින් තැනින් සඳ එළිය මාර්ගයේ තණ පත් මතට පතිත වී තිබුණි. විනිසුරු තැන හුරු පුරුදු මඟෙහි සැකයෙන් තොරව ගමන් කරමින් සිටියේය.
හදිසියේම පඳුරු අතරින් මතු වූ මිනිසෙක් පාර අහුරා සිට ගත්තේය. ඔහු පැළැඳි හිස් වැසුම මුහුණ ආවරණය වන සේ අසාමාන්ය ලෙස පහළට ඇද තිබූ අතර තුවක්‌කුවක් විනිසුරු තැන දෙසට එල්ල වී තිබුණි.
‘උඹ ළඟ තිබෙන සල්ලි වහාම දීපං’ මිනිසා පහත් හඬින් එහෙත් දැඩි ස්‌වරයෙන් පැවසීය.උඹට පේනවනෙ, මගෙ ඇඟිල්ල කොකා වටේ ගිහිල්ලයි තියෙන්නෙ.’
‘මගෙ ළඟ තියෙන්නෙ ඩොලර් පහයි’ උගුර කට වියළී ගිය විනිසුරු තැන වෙව්ලමින් පැවසීය.
‘ඒක රෝල් කරපන්.’
විනිසුරු නෝට්‌ටුව සාක්‌කුවෙන් ගෙන වෙව්ලන දෑතින් නෝට්‌ටුව රෝල් කළේය.
‘දැන් තුවක්‌කුවෙ කටට ඕක ඔබාපං’
ඔහු වහා දෑතින්ම එම අණ ඉටු කරන ලද්දේ ය.
‘හරි. දැන් යන දිහාක මකබෑවියං’යි කී මිනිසා එක්‌වරම පඳුරු අතරින් නොපෙනී ගියේය. විනිසුරු තැනට සිදුවූයේ කුමක්‌දැයි සිහි එළවා ගත් පසු මතක් වූයේ වහාම පණ බේරා ගෙන නිවස වෙත දිවිය යුතු බවය.
පසුදා උදෑසන කරත්තය පෙර පරිදිම පැමිණ විනිසුරු තැනගේ දොරකඩ නවත්වන ලදී. බින්බ්රොa යුවළ කරත්තයෙන් බැස කන්තෝරුවට ඇතුළු වූ අතර විනිසුරු ඉදිරියේ ඩොලර් පහක් රැන්සේ විසින් අරියෙලාට දෙන ලද්දේ ය. මෙවේලෙහි විනිසුරුගේ දෑස් විශාල විය. නෝට්‌ටුවේ රෝල් කර තිබී දිග හැරි ලකුණු පෙනෙන්නට තිබුණු අතර කිහිප තැනක මලකඩද ගෑවී තිබුණි. විනිසුරු කිසිවක් නොකියා රැන්සේට දික්‌කසාද ලියවිල්ල දුන්නේය. ගැහැණිය නිහඬව බලා සිටියාය.
‘ඔයා කරත්තෙත් අරගෙන ආපසු ගෙදර යන්න.’ අරියෙලා රැන්සේට පැවසුවාය.රාක්‌කෙ උඩ පෙට්‌ටියෙ පාන් ඇති. දඩයම් බල්ලගෙන් බේරා ගන්න මං බේකන් ටික මුට්‌ටියට දාලා වැහුවා. රෑට ඔරලෝසුව වයින් කරන්න අමතක කරන්න එපා.’
‘ඔයා එඩ් අයියලාගෙ දිහා යනවද?’ රැන්සේ පහත් ස්‌වරයෙන් විමසුවේය.
‘රෑ වෙන්න කළින් එහාට යාගන්න වෙයි. මං හිතන්නෙ නෑ ඒ අය මාව සාදරයෙන් පිළිගනියි කියලා. ඒ වුණත් මට වෙන යන්න තැනක් නැහැ. ඕහ්. දුර යන්න තිබෙන නිසා ඉක්‌මන් කළොත් හොඳයි. එහෙනම්
රැන්සේ ගුඩ් බායි, ඔයාට අවශ්ය විදියට.’
‘මම දන්නෙ නෑ කවුරුත් දඩයම් බල්ලට ගුඩ් බායි කියන්න උවමනාද කියලා. ඒ වුනත් ඔයාට ඉක්‌මනට යන්න ඕනෙ නම් මට එහෙම කියන්න උවමනා නැහැ.’
අරියෙලා කිසිවක් කීවේ නැත. ඇය ඩොලර් පහේ නෝට්‌ටුව හා දික්‌කසාද ලියවිල්ල ප්රවේශමෙන් නවා හැට්‌ටය තුළ රුවා ගත්තාය.
දෑස් මානයේ අතුරුදන් වූ නෝට්‌ටුව දෙස විනිසුරු බැගෑපත් දෑසින් බලා සිටියේය. ඔහුගේ ඊළඟ වචනවල මහත් අනුකම්පාවක් රැඳී තිබුණි.
‘පරණ නිවසේ තමුසෙට පාළුවෙ ඉන්න වෙයි රැන්සේ’ ඔහු පැවසීය.
‘ඒක පාළු වුණාවෙ.’ රැන්සේ පිළිතුරු දුන්නේය.මිනිස්‌සුන්ට පිස්‌සු හැදිලා උන් දික්‌කසාද වෙනකොට ඔබට ඒක නවත්වන්න බැහැ.’
‘අනෙක් අයටත් දික්‌කසාද වෙන්න ඕනෑඅරියෙලා පැවසුවාය.’ ඒ ඇරත් කාටවත් ඕනෙ නැහැ කා එක්‌කවත් ඉන්න. කවුරුත් කවදාවත් ඒක කිව්වෙ නැහැ. මම දැන් එඩ් අයියගෙ දිහාට ගියා නම් හොඳයි.’
‘කාටවත් බැහැ අර පරණ ඔරලෝසුව වයින් කරන්න’
‘මං ඔයත් එක්‌ක ඇවිත් ඒක වයින් කරලා දෙන්න ඕනෙද
රැන්සේ?’
රැන්සේගෙන් හැඟීමක් පළ වූයේ නැත. නමුත් ඔහු තම හැඩි දැඩි හස්‌තයෙන් ඇගේ සිහින් අත අල්ලා ගත්තේය.
‘ඔයා ඒ ඔරලෝසුව වයින් කරන්න අරියෙලා’
‘ඔයාත් එක්‌ක මගෙ හදවත අපේ ගෙදර නැවතිලා රැන්සේ’ අරියෙලා නැළවෙමින් කීවාය.මං තවත් ඒ වගේ පිස්‌සු වැඩ කරන්නෙ නෑ. අපි දැන්ම යමු, සවස් වෙනකොට අපට ගෙදරට යාගන්න පුළුවන් වෙයි.’
විඩුප් විනිසුරු තැන ඔවුන් නැවැත්වීය.
‘ප්රාන්ත රාජ්ය නීති රීති උල්ලංඝණය නොකරන ලෙස ටෙනසි ප්රාන්තයේ නාමයෙන් මම නුඹලාට නියෝග කරනවා. ආදර හදවත් දෙකක නැවත එකතු වීමට උසාවිය විරුද්ධ නොවූවත් ප්රාන්තයේ අභිමානය රැකීමට මේ උසාවිය බැඳී සිටිනවා. නුඹලා තවදුරටත් සැමියා හා බිරිඳ නොවන බවත් නීතිමය ලියවිල්ලකින් නුඹලා දික්‌කසාද වී ඇති බවත් මේ උසාවිය නුඹලාට නැවත මතක් කරනවා. කරුණු එසේ හෙයින් විවාහ ජීවිතයේ ප්රතිලාභ විඳීමට නුඹලාට අවසරයක් නොමැති බව මෙම උසාවිය දන්වා සිටිනවා.’
අරියෙලා රැන්සේගේ අත තදින් අල්ලා ගත්තාය. මේ වචන වලින් හැඟෙන්නේ ඇයට ඔහු අහිමිව යන බව හා තමන් ජීවිතයටම පාඩමක් ඉගෙන ගැනීමට යන බවක්‌ද?
‘කොහොම වුනත්..’ විනිසුරු තැන සෙමින් පැවසීය.’මේ උසාවිය දික්‌කසාද ලියවිල්ල අයින් කරන්න සූදානම් කරලායි තියෙන්නෙ. මේ විවාහය උත්කර්ෂයට පත්කරන්න උසාවිය ලෑස්‌තියි. එම උත්කර්ෂ ක්රියාවලිය සඳහා මේ උසාවිය ඩොලර් පහක් අය කරනවා.’
අරියෙලා සිනාවක් පෑවාය. වහාම හැට්‌ටය තුළට අත දමා නෝට්‌ටුව ඉවතට ගෙන විනිසුරු තැනට දුන් ඇය රැන්සේගේ අත තරයේ අල්වා ගෙන නැවත විවාහ වීමේ වගන්තිවලට සවන් දුන්නාය. ඒවා අවසන් වූ වහාම යුවළ නැවත කඳුකරය බලා පිටත් වූහ.
සාම විනිසුරු බෙනජා විඩුප් ආපසු දොරකඩට පැමිණ සුපුරුදු පුටුවේ වාඩි වී පයිප්පය නැවත දල්වා ගත්තේය. ඔහුගේ මුහුණ සැහැල්ලු සිනහවකින් ඔප වී තිබුණි. අතේ රැඳී තිබූ ඩොලර් පහේ නෝට්‌ටුව ඇඟිලි තුඩෙන් අතගෑ ඔහු එය ප්රවේශමෙන් කෝට් සාක්‌කුවට ඔබා ගත්තේය. පෙඳයේ ලප සහිත කිකිළිය මෝඩ කෙකෙරය ගාමින් නැවත වීදියෙහි පහළට ඇවිද යමින් සිටියාය.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි