දික්කසාදය…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු සත්යම අත්දැකීමකි…
විවාහය කෙලවර වීමට ජීවිතවල බොහෝ කාරණා හේතුවිය හැක. කුලමල,ජාති, ආගම් භේද, සමාජ තත්වය පිළිබඳ හේතුකාරනා මෙන්ම නොයෙකුත් අදහස් නොගැලපීම් ඒ සදහා ප්රධාන කරුණු වන අතරම වැරදි වැටහීම් වැරදි හැසීරීම් වැනි හේතූන්ද බලපානා නමුත්….
මේ ඒ කිසිවක් නොවන සිඟිති හැසිරීම් ගැන කතාවකි..
මා විවාහවූ මුල් කාලයේ එනම් මීට වසර දොලසකට පමණ ඉහත. (මුහුණ බලා වයස බලා සාත්තර කීමෙන් වළකින්න) මගේ ගමට යාබද ගම වූ ගෝනවල ප්රදේශයේ මගේ බිරිඳගේ තාත්තාගේ නිවසේ වාසයට යන්නට සිදුවිය. එනම් එහි බින්න බෑනා වූ මට පෙර සෘෂිභාෂිත කාලයේ පටන් පැවත එන
“තෝ මේ දැන් පල මෙහෙන් ” කිවහොත් වැස්සේ පිටවීමට කුඩයක් රාත්රී අන්ධකාරයේ පිට වීමට විදුලි පංදමක් තිබුනේ නැතත් ඕනෑම කාලගුනයකට ඔරොත්තු දෙන පාපැදියක් වූ නමුත් එවැනි අවශ්යතාවයක් එකල පැන නැගුනේ නැත.
එම නිවස රක්ෂිතයක මධ්යයේ ඉදිකරන ලද අනවසර ඉදිකිරීමක් නොව්නත්. බස් රථයක් සදහා ළඟාවීමට නම් 1:50000 ග්රාමීය දල සිතියමක නිවස වටා අඳිනලද කවයක ඕනෑම ආසන්න මාර්ගයකට සැතපුම් දෙකක් පමන පයින් යෑම නියතියක් බැවින්, තාත්තා මුනගැසෙන්නටත්, කොළු රංචුව සමඟ පිස්සු නටන්නටත් මම නිතරම පාහේ මගේ ගමට යෑම් ඊම් කිරීමට පාවිච්චි කල මෙම පාපැදිය මට අජානීය අශ්වයා මෙන් වටිනා වස්තුවක් විය.
නිවාඩු දිනයන් හීදී උදෑසනම පිටත් වී, සන්ද්යාභාගය දක්වාම පිට්ටනියේ හෝ තාත්තාගේ නිවසේ ගතකොට අඳුර වැටෙන විටම වාගේ පෙරළා නිවසට ඒම මුල් කාලයේ නොවරදවා මැනවින් සිදුකල බැවින්
මා ප්රියබිරින්දෑද එය මැදිහත් සිතින් ඉවසා වදාරන ලද නමුත්… පහුපහු වෙද්දී කොහු වී පසුව කොසු ඉදල් බවට පත් වෙමින් උදේරැයින් පිටවී රෑදෙගොඩහරියක් ගෙට ගොඩවීම ගැන දොෂාරෝපන නගන්නට වූවාය.
මා කුඩාකල පටන් භාවිත කල එක් සිද්ධාන්තයක් තිබේ. එනම් සෙල්ලම් කිරීමට එළියට ගිය විට සවස 6ත්7ත් අතර ගෙදරට ගොඩවුව හොත් යම් ගුටිප්රමාණයක් ලැබෙනවා සේම එය රාත්රී දහය පසුවුවද කිසිදු වෙනසක් නොවන බැවින් “දැන් කොහොම ගියත් ගුටිකන්න එපැයි” සිතා දිය රත්වන තෙක් සැණකෙළියේ යෙදෙන කකුළුවෙක් වීමි. එයම බිරින්දෑටද ආදේශ කර “හයට ගියත් බැනුම් හතට ගියත් බැනුම් එකොළහට ගියත් ඕකම නොවැ” සිතා මගේ පිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන ගියේ කිසිදු වෙනසක් නොකරමිනි.
සරුංගල් වාරය උදාවූ අතර නිවාඩු දිනයේ නිවසින් පිටවී තාත්තලාගේ ගෙදර ගොස් එතැනින් පිට්ටනියටත් එතැනින් ගල්තලාවටත් එතැනින් වෙලටත් ආදී වශයෙන් මදින්මද දුර ප්රමාණය දුරස්වී සවස පහට පමන “අදවත් වේලාසන ගෙදර යන්න ඕනි” කියා සාදු සිතුවිල්ලක් පහල විය. කලාතුරකින් මතකයට නැගුණ බැවින් මමද වේලාසනින් නිවසට ළඟාවීමට පාපැදියේ නැගී පෙරළා නැවත නිවසට පදින්නට විය.
තාත්තලාගේ නිවසේ සිට සැතපුම් හතක් පමණ අපේ නිවසට තිබෙන බැවින් කාල නිර්ණය අනුව අද දින සවස පහයි තිහට සූර්යාලෝකය තිබියදී නිවසට ලගාවී, මා ප්රියබිරින්දෑගේ පැසසුම් ගුනවර්ණනා ආදර ගරුසත්කාර ලැබ ගැනීමේ පහන් සංවේගයෙන් මසිත පිනා යමින් යායුතු දුරින් බොහෝ ප්රමාණයක් ගෙවා අවසන් විය.
අවසාන සැතපුම පෙනිපෙනී අවසානම වතාවට අහස්ගැබ දෙසට නෙත් යොමු කලේ පෙර සසර පුරුද්දෙන් විය හැක. අහෝ…………. කෙතරම් සුන්දර දර්ශනයක්ද.. නෙත් පැහැර ගන්නා නේක නේක වර්ණ රටාවන්ගෙන් යුත් වර්ණ සව්කඩදාසියෙන් විචිත්රවත්ව සහ මනාකොට අලංකෘත කරන ලද අඩි 5ක් පමණ උස හීන්දැරි හැඩැති ශරීරයක් ඇති කව්ඩා සරුංගල් රාජයෙක් “සුළඟේ පා…වී…. මා වෙත ඒවී….. ඈ…..ඈ…….තින්….. සිහින විමානෙන් වදෝ……” නූලෙන් වෙන්වී වේගයෙන් පාවී එයි.
එක් බැල්මෙන් මේ කඩාගෙන එන සරුංගලයක් බව සහජ ඉවෙන් අවබෝධ කරගත් නිසා එක්වරම තිරිංග මිරිකුනේ මටත් නොදැනිය. මගේ දෑත් මට අකීකරු වී ඇති සැටියකි. හිටිපයින් නැවතී සරුංගලයේ ගමන් දිශාවට අනුවම බෙල්ල අංශක ගණනට කැ⁣රකැවෙන විට සරුංගලය මා පසුකොට හිසට ඉහලින් ගමන් කරනවාත් සමඟම ස්ව්යංක්රීයව පාපැදියෙන් බැසීමත් ඔසවා අනෙක් පැත්තට හැරවීමත් නැවත පාපැදියට නැගීමත් හිදගැනීමත් යන සතර ඉරියව්වම සම්පූර්ණ විය. මීළඟට ඇත්තේ හඹායාමයි… අදත් රෑ බෝවී මාප්රිය බිරින්දෑගේ දොෂාරෝපනයට ලක්වනු ඇති බව එවිටම සිහි විය.
“කමන්නෑ කොහොමත් බනිනවනෙ” සිතුවිලි දෙකක් මද වේලාවක් තර්ක කරණ අතර සරුංගලය ඈතට ඈතට ඇදෙන්නට විය.
දැන් අර ටිංටිං කාටූනයේ මිතුරු චෑන් සොයා හිම කන්දට ගිය අවස්ථාවේ මෙන් එක් පසෙක යහපත් සුරයා
“අදවත් වේලාසන ගෙදර යං” කියන විට අනෙක් පසින් අසුරයා
“හැමදාම බැනුම අහන උබට ඕක අළුත් දෙයක්ද. බලපන් කොච්චර ලස්සන සරුංගලයක්ද ආයි කවදා අල්ලන්නද බාං ඔන්නොහෙ යමං යමං” කියන්නට විය. හැමදාමත් මෙන් මං අසුරයාගේ බසට අවනත විය.
වරින් වර අහස දෙස බලමින් වෙට්ටු දමමින්… පසුකරමින් මහ කඳුවැටි ඕවිටි පාලු සොහොන්පිටි රඹර්වතු බඩවැටි….. ගල්මුල් වල පය හැපි හැපි වැටි වැටි……. සරුංගලය පස්සේම නැවතත් සැතපුම් දෙකතුනක් පැදගිය පසු.. අඳෝමැයි… මහා වෘක්ෂයක් මුදුනටම පතිතවිය. කළුවර වේලාව බැවින් සරුංගලය කිසිවෙකුගේ ඇසගැටී නැත.
මමත් සීරුවට නිවාඩු පාඩුවේ පාපැදිය ගසටම හේත්තුකොට තබාලා කලිසම මදක් බුරුල්කොට අත්තෙන් අත්ත ගසේ මුදුනටම නැග අතු අගිස්සක තිබූ බැවින් අත්ත කඩා සරුංගලය ප්රවේශමෙන් දෝතට ගෙන පහලට දැමුවෙමි. දිගු දුරක් ඇදී තිබූ නූල දුටුවිට “මේකත් ඔතා ගත්තනම් හෙටම උඩ යැව්වෑකි” අදහසින් කැඩූ අත්තේ අගට නූල ගැටගසා බිමට අත්හැරියෙමි. පහලට බැස සරුංගලය අතට ගෙන බැලූ විට කදිම සරුංගයක් බැවින් බැනුම් ගැන නොසිතා හඹාගොස් අල්ලා ගැනීම ගැන මහා ආඩම්බරකාර සතුටක් මසිතට දැනුනි.
“මේක දැකලා වේලාසන එන්න ඇවිත් මේක අල්ලන්න ගියා කිව්වම බනින එකක් නෑ” සැනසුම් සුසුම් හෙලමින් නූල් ඔතා පිලිවෙලින් රැලිත් හකුලා සේරුවෙන් පපුව හරහා සරුංලය ඇරෝ දුන්න දමන්නාක් මෙන් පැළඳගෙන නිවසට පිටත් වන විට රාත්රී 7ත් පසුවී වන්නට ඇත.
ලස්සනම සරුංගලයක් අල්ලා ගැනීමේ බොහෝ සතුටින් එම සතුට බිරින්දෑ සමඟින්ද බෙදාහදා ගැනීමේ අරමුණ පෙරදැරිව නිවසට ලගාවූ නමුත් වෙනදා මෙන් දොර විවරව තිබුනේ නැති නිසා දොරට තට්ටුවක් දැම්මේ ප්රියබිරින්දෑ ළඟ අහලපහලකට වත් ගිහින්දෝ සැකයෙනි.. ශබ්දයක් නැත… තවත් වරක් දෙවරක් තෙවරක් තට්ටු කරන විට ඉවසීමේ සීමාවද රතු ඉරට ලගාවිය. දෑත බදා දොර වෙත ඩොං ඩෝං දෙකක් තුනක් තඩිබාන විට
“ආපු දිහාක ගිහින් රෑටත් ඉදල එනවා හැමදාම බෑනෙ මේක කරන්න”
මිනිකිංකිනි හැඩවෙන ප්රියබිරින්දෑගේ වදන් මට නිවස තුලින් ඇසෙන්නට විය. “අහන්ඩකො අහන්ඩකො.. වේලාසන ආවා ලස්සන සරුංගලයක් දැකල ඒක පස්සෙන් ගියා. අල්ල ගත්තා. මේ ඇවිත් බලනවකො.”
ම්හු… හාවක් හූවක් නැත. මම නැවතත් දොරට තඩිබාන්නට විය…
හදිසියෙම දොර විවර විය. මා බලාපොරොත්තු වූයේ සිනහ මුසු ප්රසන්න බැල්මක් සහිත ප්රියබිරින්දෑගේ මුහුණ වුවත් ඇස් ඉදිරිපිට වූයේ චන්ද්රමුඛී දමිළචිත්රපටයේ ජෝතිකා යක්ශයාවේෂයෙන් සිටි යක්ෂනියගේ රූපයයි. ප්රියබිරින්දෑ ඉනෙහි අත් තබාගෙන කෝපයෙන් දෑස් නෙරවා බලා සිටී….. ජෛමාකාලීඊඊ…. මමද මුව පොව්වෙකු මෙන් ඉදිරිපස මල් ඇවරිය නෙරවා බලහත්කාරයෙන් සුහද සිනහවක් පා සරුංගලය පෙන්වා සිටියෙමි. අභාග්යකි.. සිහිනෙකින් වත් නොසිතූ අයුරින් ⁣දෑතම දිගුකර අලංකාර සරුංගලය උදුරාගත් ඈ එය කුඩුපට්ටම් කර කෑලි කෑලි ඉරා පැත්තකට විසිකර දැමුවාය.. මොහොතක් ගතවන තෙක් ස්වප්නයෙන් දකිනවා මෙන් සිටි මා පියවි සිහියට පත්වූයේ යක්ශයාවේෂයක්ද රැගෙනය. ඒත් සමඟම නැවත දොර වසා දමන ලදි. එතරම් පාපැදිය පාගා, ගස් නැග, පැය ගණනක් නූල් ඔතා අධික මහන්සියක් වී රැගෙන ආ අලංකාර සරුංගලය මින් නිමේෂයකට පෙර දෑස් අභියස කීතුකීතු වී දැන් කසල ගොඩකි. ලෝකය කෙතරම් අනිත්යද…
මුලින්ම මහා දුකක් සහ පසුව මාරයාවේශ වී කෝපයෙන් වියරුව “මම ආයි මේ ගෙදර එන්නෑ යකෝ මම යනව තෝ මං අච්චර මහන්සි වෙලා අරන් ආපු සරුංගලේ කුඩුකලා @#$@%@%… අම්මාපා මම තමුසෙව දික්කසාද කරනවා නැද්ද බලනවකො” කෝපයේ උපරීම සීමාවත් පසුකර දොරටත් තවත් දෙකතුනක් අතින් පයින් තඩිබෑමෙන් අනතුරුව නැවත පාපැදිය ගෙන පිටත් වූයේ කොහේ යන්නේද සිතුවිල්ලක් හෝ රහිතව බැවින් මදක් දුර විත් පාපැදිය නවතා කල්පනා කරන්නට විය. කෝප ගෙන පලක් නොවන බැවින් මද වේලාවකින් කෝපය පහව ගොස් ප්රකෘතියට පත්වීමෙන් අනතුරුව.
“ඕකිව බය කරන්න ඕන හොඳටම… ආය ඔය වගේ දේවල් නොකරන්න.. හිටපන්කො හොද පාඩමක් උගන්නන්ඩ”
ආදී සිතුවිල්ලක් ඒ වෙලාවේ පහල වූවද අව්රුදු 14ක විවාහ ජීවිතයේ කාලයාගේ ඇවෑමෙන් අදවන විට මා ප්රියබිරින්දෑ භය කිරීමට හෝ පාඩම් ඉගැන්වීමට හෝ උත්සාහ කිරීම කොහෙත්ම ඵලරහිත නිශ්ඵල කාර්යයක් යන පාඩම අත්දැකීමෙන් ප්රත්යක්ෂ කොටගෙන තිබේ.
මම එවෙලේම මිතුරෙකුට ඇමතුමක් ගෙන නිවසේ ප්රශ්නයක් බැවින් කුමක් කරන්නද සිතාගත නොහැකි බව කීවිට
“මෙහෙ වරෙන්”
පිලිතුර ඔහුගෙන් ලද නිසා ඔහුගේ නිවසට පිටත් විය. එදා සිට අද දක්වාත් රැකගත් ඒ මිතුරා කව්ද යන්න අදටත් මම එසේම නොකියා සිටිමි. මන්ද එය හෙලිකිරීම ප්රියබිරින්දෑගෙනුත් මගේ පියානන්⁣ගෙනුත් අදටත් ඔහුට බැනවැදීම් අසන්නට සිදුවිය හැකි බව මා හොදින් දන්නා බැවිනි. එහි ගොස් රාත්රී ආහාර ගෙන දුරකතනයද නිහඬ⁣ මුහුණත දමා මම සුවසේ නින්දට වැටී අවදිවනවිට පසුදා සවස තුන පමන වන්නට ඇත.
හත් දෙවියනේ… ජංගම දුරකථනයේ මගහැරුනු ඇමතුම් හාරසීය ඉක්මවා ලැබී ඇත. රැගෙන බැලූ විට කිසිදා නොදුටු ඉලක්කම් අතර හොදින් හඳුනන කැලණිය පොලිස් ස්ථානයේ අංකය දුටු විට ඉද්ද ගැසුවාක් සේ ඇදේ ඉන්දවිනි. ⁣සැලසුමේ කොතනක හෝ වරදක් ඇතිබව වහා අවබෝධ කරගත් නිසා සැනෙන් පියානන්ට ඇමතුමක් ගත්තෙමි.
“පුතේ ඔයා කොහෙද..?” කවරදාක හෝ නොමැති තරමේ කාරුණිකව තාත්තා මට ආමන්ත්රණය කරන නිසා වැරදි අංකයක් දැයි මේ මගේ පියාණන් නොවේදැයි නැවතත් බැලූ නමුත් අංකය නිවැරදිය.
“යාළුවෙක්ගෙ ගෙදර”
“මොකද වුනේ..?”
“මං සරුංගලයක් අල්ලගෙන ගියා. ලස්සන එකක්. එන්න රෑ වුනා කියල අරකි ඒක කුඩු කලා තාත්තෙ. මං මේ බය කරන්න හිතන් ඇවිත් හැංගිලා හිටියා “
“මුකුත් අව්ලක් නෑනෙ..?”
“නෑ නෑ අව්ලක් නෑ”
” එහෙනම් තොගෙ අම්@$#%@@%@.. ගන්නෙ නැතුව ගෙදර වරෙන්…”
කනට සුමිහිරි සුපුරුදු අසභ්ය වචන මාලාවත් සමග මේ නම් කතා කරන්නේ මගේම පියානන් බව සක්සුදක් සේ දැනගතිමි.
ඒ නිවසේ මිතුරාගේ අම්මාටත් ආයුබොවන් කියා කල උපකාර පුදසත්කාරයන් සදහා තුති පුදා තාත්තලාගේ නිවසට ගොඩවැදී කනපිරෙන්නට උක්ත ආක්යාත පද ගැලපීම් සහිතව හොදවැයින් පරිභවයන් අසා නැවතත් අපේ නිවසට ගියෙමි. සිදුව ඇත්තේ මගේ ප්රියබිරින්දෑ එවෙලේම කතා කොට මා රන්ඩුවක් නිසා නිවසින් පිටවූ බව තාත්තා දැනුවත් කිරීම නිසා පව්ල් ආරව්ලක් නිසා හටගත් ශෝකයෙන් මා දිවිතොරකර ගන්නට ගියායැයි අනියත බියක් තාත්තාට ඇති වීමයි…. නිවසට ගිය පසු ප්රියබිරින්දෑද මගේ අතුරුදන් වීම තුට්ටුවකට හෝ මායිම් නොකොට සුපුරුදු පරිදි තවත් නිහඬ පළිගැනීමේ සතියක පරිවාස කාලයකුත් ගතවූ පසුව මට මා කල වරදෙහි ප්රථිපල පෙරලා ලැබෙන්නට විය.
මා අතුරුදන්වී මට යම් අනතුරක් වූ බැව් සිතා තාත්තා විසින් මා වෙනුවෙන් කල භාරහාර පොරොන්දු ප්රකාරව ඉශ්ඨ කිරීමට මා හට බොහෝ කාලයත් ශ්රමයක් හා ධනයත් වියපැහැදම් කිරීමට සිදුවිය. ඒමතු කැලණිය පොලිස් ස්ථානය වෙත ගොස් මා අතුරුදන් බවට දැමූ පැමිනිල්ල සදහාද පෙනීසිට පොලිසියෙන්ද සැරවැර පරුෂ අවවාද අනුශාසනා යහමින් ලබා ගන්නට මට සිදුවිය. එහිදී මා මදක් පසෙකට කැඳවාගෙන ගිය උප පොලිස් පරීක්ෂකවරයෙක් මගේ කනට කර රහසින්
“$@%@%@ (පුරුෂ ලිංඝාර්ථ අසභ්ය වචනයකි) තෝ යන දිල්ලියක මොකාට හරි කියල පල.. තොපි වගේ පිස්සො හොයනවට වඩා අපිට දාහක් රාජකාරි තියනව බොල” ආදීකොට රෞද්රව නමුත් සිත්ගන්නා ලෙස තවදුරට වඩාත් පහදන ලදි. ප්රියබිරින්දෑට පාඩම් ඉගැන්වීමට යෑමේ අනිටු ප්රථිවිපාක මා එලෙසින් මනාකොට උගන්නා ලදි.
කාරණය එතෙකින් අවසන් වූවානම් යෙහෙකි.
පැමිණිල්ල දමා පෙරළා එන ගමනේ තාත්තා ගෝනවල ප්රදේශයේ ප්රසිද්ධ දේවාලයකට ගොඩවී අංජනමක් ආධාරයෙන් මා සිටි “ලොකේශන් චෙක් කිරීමක්” සිදුකොට තිබේ. එවිට ආරූඪයෙන් පවසා ඇති පරිදි මා නිවසින් පිටව ඇත්තේ සිහි විකල්ව බවත් තවත් හෝරාවකින් ප්රකෘතියට පත්වූ පසු මා නැවත ගෙන්වා දීමට නම් අබතෙල් කාලක් රැගෙන තුන් වරුව ඉක්මවෙන පසුදා සවස්භාගයේ පැමිණෙන ලෙසත්ය. ආරූඪය අවසන් වූ පසුද ‘අබතෙල් කාලෙන් මං ඕකව දෙපාමුලටම ගෙන්නලා දෙන්නම් ” ලෙස කපු මහතා දැඩිව අවධාරණය කර තිබේ.
⁣සියල්ල නිමවූ පසු තාත්තා මේ සිදුවීම පැවසීම නිසා මට නොයෙකුත් අනුචිත අදහස් සිත්හි ඉපිද පොර බදන්නට වූ බැවින් විය යුතු සියල්ල සිදුව අහවරව දැන් තවත් මොන කෙන්ගෙඩියක් වන්නට දැයි සිතා මගේ ගැටළුව තාත්තා වෙත යොමු කරන ලදි.
“මාව අබතෙල් කාලෙන් ගෙන්නල දෙන්නම් කිව්වෙ මිනිහට තාත්ත කිව්වෙ මං බයික් එකේ ගිහින් තෙල් නැතුව මග හිටල කියලද..? ඒත් එහෙනම් බුවා කියන්ඩ ඕන පෙට්රල් භාගයක් ගේන්න කියලනෙ..? ඇයි අබතෙල්..? බඩගාගෙන ගිහින් හන්දි අමාරුව හැදිලා දනිස්වල ගාලා ගෙන්නන්ඩද..? දැවෙන පස්න අප්පා මෙව්වා.. “
මෙම ගැටළු යොමුකරන සෑම අවස්ථාවකදීම තාත්තා අතට අසුවන ඕනෑම යමකින් එලව එළවා මට පහර දෙන්⁣නට උත්සාහ කරන්නට තරම් ඒ සාධාරණ ප්රශ්න වල ඇති බැරෑරුම් වරද කුමක්ද..? මම අදටත් ඒ උභතෝකෝටික ප්රශ්නය ගැන කල්පනා කරමි…
සරුංගලය කඩා බිඳදමන අවස්ථාවේදී කී නමුත් දික්කසාදය කරා නොගොස් ගැටළුව විසඳාගත හැකිවීම හේතුකොටගෙන
” සරුංගලයක් කුඩුපට්ටම් කිරීමේ හේතුවෙන් විවාහ ජීවිතයක් දෙදරා යයි”
කියා එකල පුවත්පත්වල තීරු ලිපියක් හෝ කතු වැකියක් ලෙස වාර්ථා වන්නටත්, ලංකාවේ අධිකරණ වාර්ථාපොත් අතර ඉතිහාසගත වන්නටත් තිබූ ස්වර්ණමය අවස්ථාවන් දෙකම මගෙන් ගිලිහී යන ලදි.
එතකොට සරුංගල් යැවිල්ල එතනින් වත් ඉවරයක් වුණාද..?
මොන පිස්සුද පිංවත තවත් කතා තියනවා ඉදිරියට……….
උපුටා ගැනීම: Ruwan Anuruddha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!