දිව්‍ය භෝජනය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ එකයි තිහට ඉස්කෝලෙ ඇරුනට ගෙදර එද්දි වෙලාව හතර පහු වෙනවා හැමදාම. ස්කූල් බස් එකේ මගක් දුරට ඇවිල්ලා ආයෙමත් ඉතුරු දුර පාරෙ බස් එකක ඇවිල්ලා තවත් ටිකක් දුර පයින් ඇවිල්ලා ගෙදරට එනකොට හිතුනේම ඉක්මනට ලොකු වෙන්න ඕනි කියලා. ඩෙස්ක් එකේ ලොකර් එක අස්සෙ හොරාට අච්චු පොත් ටික දාලා එන්නෙ බස් එකේ ඒවා උස්සන් එන්න බැරිකමටමයි. ඔහොම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා යට ගවුම් පිටින්ම කුස්සියට දුවන්නෙ යකෙක් කන්න තරම් බඩගින්නක් ඒ වෙලාවට තියෙන නිසා. ඒ කාලේ කොරෝනා කියලා ලෙඩක් තිබ්බෙ නැත්තෙ අපේ වාසනාවට. නැත්නම් ගෙදර ඇවිල්ලා පොත් බෑග් අවුවෙ තියලා, ඇඳුම් ටික එලියෙම ගලවලා, එලියෙන්ම නාගෙන දවල් කෑම කන්න හදනකොට රෑට කෑම කන වෙලාවත් ඇවිල්ලා තියේවි.
කුස්සියට යන ගමන් අම්මාගෙන් අහන්නෙ ” මොනවද ඉව්වේ ” කියලා. ඒ වෙලාවට අම්මා දෙන උත්තරේ ” අලයි හාල්මැස්සොයි එකට දාලා” කියන එක වුනොත් මගෙ බඩේ බත් පිඟන් දෙක තුනකට ඉඩ හැදෙනවා. නාඩු හාල් බත් එක්ක එහෙම නැත්නම් තම්බපු හාල් බත් එක්ක අලයි හාල්මැස්සොයි එකට දාලා බොරේට හදන හොද්ද එක්ක බත් පිඟන් දෙක තුනක් ගිලලා දාන්න වැඩි වෙලාවක් ගත වෙන්නෙ නම් නැහැ.
සමහරක් වෙලාවට පිඟාන හිස් වෙන වතාවක් ගානේ නැගිට නැගිට කුස්සියට යන්න තියෙන කම්මැලිකම නිසාම අම්මා පොල් ගාන ලොකු මැටි කෝප්පෙට එකවර බත් කන්දක් බෙදා ගෙන අලයි හාල්මැස්සො හොදි යහමින් බෙදා ගෙන කනවා. වෙනත් වෑංජන කිසිවක් නොමැතිව මේ හොද්ද එක්ක විතරක් වුණත් අපි බත් කෑවෙ දිව්ය භෝජනයක් ලැබුණා වගේ.
කුඹුරෙ වැඩ කරන කාලෙට උදේ කයි බතට අලයි හාල්මැස්සො හොද්දයි පොල් සම්බෝලෙකුයි උයලා දුන්නම කුඹුරට ගෙනියන වැඩේ මං ඉතා කැප වීමෙන් කැමැත්තෙන් කරපු දෙයක්. කුඹුරෙ වැඩ කරන අය කාලා ඉවර වෙලා ඉතුරු වෙන කෑම ටික කුඹුරෙදිම කන එක මං ඊටත් වඩා කැමැත්තෙන් කරපු දෙයක්.
අපේ ගෙදර කොස් තම්බන දාටත් අලයි හාල්මැස්සො හොද්ද නම් වරදින්නෙ නෑ. කොහේ හරි ගමනක් ගිහින් ආ සැනින් නැතිනම් උයන්න වෙලාව පරක්කු වුණ දවසට අම්මා හදිසියෙ හදන අලයි හාල්මැස්සො හොද්දෙත් අපට දැනුණේ වෙනදට දැනෙන සුපුරුදු රසම තමයි.
ටික ටික ලොකු වෙලා ගමෙන් වගේම මගේ ගෙදරිනුත් ඈතට ගියාට පස්සෙ අලයි හාල්මැස්සො හොද්දෙ රසත් මගෙන් ටික ටික ඈතට ගිහිල්ලා. වැඩ රාජකාරි අස්සෙ කෑම බීම රටාවත් වෙනස් වෙලා. ඒත් අදත් නිවාඩුවක් ලැබුණු ගමන් ගෙදර දුවන්නෙ අම්මගෙ අතින් හදන අලයි හාල්මැස්සො හොදි එක්කලා තම්බපු හාලෙ බත් කටක් කන්නත් බලාගෙනමයි.
පිංතූරය අන්තර්ජාලයෙනි
උපුටා ගැනීම: Piyumi Iresha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!