දිය කිදිරිය සේ සාගරේ.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පලවෙනි පෝස්ට් එකට ලැබුන සුන්දර ප්රතිචාර දරා ගන්න බැරිව මම දවසක් විතර හිටියේ පොළවෙන් අඩි කීපයක් උඩින්.. ගෙදර කා එක්කවත් වැඩි කතාවක් නැතිව සෙලිබ්රිටි ලෙවල් එකේ.. එත් ඉතින් කොයි දේත් තාවකාලිකයිනේ කියල ආයේ ඉතින් පුරුදු විදියට මහා පොලවට බැහැල පරිප්පුයි, පොල් සම්බෝලයි කරවල තෙල් දාලයි කාල දෙවෙනි කතාව ලියන්න ගත්ත…
අපේ ගෙදර ඉඳල මගේ කන්තෝරුව තියන කඩවතට බස් එකේ යනවට වඩා උදේ හවස අනුරාධපුරේ යන එක පහසුයි… පැය බාගෙකට එක බැගින් එන බස් එකක නැගල ගම්පහින් බැහැල ගාඩර් එකේ අනිත් පැත්තට ගිහින් ගම්පහ කොළඹ බස් එකකට නගින්න ඕන.. ඊට පස්සේ රියදුරු මහතායි කොන්දොන්ස්තර මහතායි දෙය්යන්ට මල් පූජ කරලා හඳුන්කූරු ගහල බුලත් විටක් එහෙම කාල කාගේ හරි ඕපාදුපයක් කියවල වටපිට බලල බස් එක ස්ටාර්ට් කරනකන් බලා ඉන්න ඕන.. ඊට පස්සේ බඩදරු අම්ම කෙනෙක් වත්තන් කරන යනවා වගේ පරෙස්සමින් බස් එක එලවාගෙන යන එක ඉවසන්න ඕන.. එතකොට ඉතින් අපි වගේ 8 ට වැඩට ඉන්න ඕන කට්ටියගේ රුධිර පීඩනය ඉහල යනවා. ඒ හින්ද අකාලේ මැරෙන්න ඕන නැ කියල අපේ මහත්තය පුරුදු වෙලා හිටිය මාව මිරිස්වත්ත හන්දියට ගිහින් දාන්න. ඔය දුර බස් එකක නැගල යනව කියල.. මොකද ඒවා turn එකේ අන්තිම හරියට එනකොට ඉගිල්ලිලා යන හින්ද..
එදා පොඩ්ඩක් පරක්කු උන දවසක්.. නඩුවක් ෆයිල් වෙන්නම පුළුවන් දවසක්.. ඒ හින්ද මම තීරණේ කලා ත්රී වීල් එකක යන්න.. ඔන්න එතකොටම අලුත්ම රතුපාට ත්රී වීල් එකක් නැවැත්තුව මගේ කකුල් දෙක ලගම.. යනවද…. අවරුදු විස්සක් වගේ පෙනුම තිබ්බ ත්රී වීල් හාදය මගෙන් ඇහුව.. යං යං කියාගෙන මාත් දඩිබිඩි ගාල ගොඩ උනා වාහනේට. නැග්ගට පස්සේ තමා දැක්කේ විස්තරේ.. ඇත්තටම මම එහෙම ත්රී වීල් එකක් දක්කමද කොහෙද.. එක මල් වත්තක් . හැමතැනම ප්ලාස්ටික් මල් වැල් එල්ලලා, දාර දිගේ ඇපල් මිදී දොඩම් වැල්, තව නත්තල් පප්පල වහලේ එල්ලිලා, නිල් පාට ලයිට් වටේට අල්ලලා.. limousine එකක් වගේ.. ඒ මදිවට සීට් එක දෙපැත්තෙන් තඩි බෆල් දෙකක් ඓශ්වර්යාගේ රූපේ අලවපු..
මාව කඩවතට දාන්න මම කිව්වා… හා පාර කියන්නකෝ.. මේකා කියපි.. නුවර පාරේ කඩවතට යන්න දන්නේ නැති එකෙක් ඉන්නවද හිතල ආයේ මෙයා මෙහෙ කෙනෙක් නෙමේ වෙන්න ඇති කියල “යන්කො මම පාර කියන්නම්” කියල මම කියනකොටම ටිලි ටිලි ටින් ටිලි ටිලි ටින් ටිලි ටිලි ටිලි ටින් ටින් කියල ජෝතිපාල මහත්තයගේ දිය කිදුරිය සේ සාගරේ සින්දුව මහා සද්දෙට පටන් ගත්ත.. අර දෙපැත්තේ තියන බෆල් දෙක මැද්දේ මම ගමේ musical show එක බලන්න ගිහින් ඉස්සරහම පුටුව හම්බ උනා වගේ .. ත්රී වීල් එකම දෙදරනවා.. ඕන එකක් අටට කලින් අරන් ගියොත් ඇති කියල කියල හිත හිත මාත් යනවා..
ඔන්න සින්දුව ඉවර උනා .. තව තප්පර පහ හයක් යන්න ඇති.. ආයෙමත් ටිලි ටිලි…දිය කිදුරිය සේ සාගරේ.. මේ මොන කෝලමක්ද කියල හිතුනත් සින්දුව රිපීට් වෙන්න ඇති කියල අමාරුවෙන් එකත් අහගෙන මම යනවා.. කොල්ල බොහොම සතුටින් වාහනේ එලවනව.. සින්දුව ඉවර උනා.. පොඩි විරාමයක්.. ආයෙමත් ටිලි ටිලි ටිලි කියල දිය කිදුරිය සේ .. යකඩෝ මෙහෙමත් වෙන්න පුලුවන්ද.. කොල්ලත් අමුතුයි වාහනෙත් අමුතුයි.. සින්දුවත් අවුල්.. ඔන්න ඒ වෙලාවේ මම ගැහැණු නුවණ පරික්ෂා කළා . මේක මාව කිඩ්නැප් කරන්න වත් හදනවද.. එත් ඉතින් මම වගේ කෙනෙක්ව කිඩ්නැප් කරන්න තරම් පිස්සුවක් තියනවාය කාටවත්.. ආයේ උස්සන් ගිහින් වකුගඩුවක් වත් ගලව ගන්න හදනවද.. එහෙමත් නැත්නම් මැදි වයසේ කම්මුල් වල ගැහෙන ගෑණු කෙනෙක්ව ඕනවෙලා නිදානෙකට බිලි දෙන්න.. .එහෙම එකක් වෙන්න බැරිද.. ඒත් මගේ එහෙම නෑ නේ.. හපොයි.. මම ප්ලැන් A B C හැදුව
ත්රීවීලෙන් පනිනවද.. බෑග් එක අරන් පනිනවද නැත්නම් දාල පනිනවද , අතක් පයක් කැඩුනට නම් කමක් නෑ .. එත් ඔය කාණු ගැට්ටක වත් වැදිලා හදිසියේ වත් අභාවප්රාප්ත උනොත්.. පත්තරෙත් වැටෙයි.. ඒ මදිවට උදේ උයල කුස්සියත් බාගෙට අස් කරලා අවේ.. මල ගෙදර ආපු අය කියයි කිසි පිළිවෙලක් නැති ගෑනියෙක් කියල.. අන්තිමට ඕන එකක් කියල මම අවම බලය . පාවිච්චි කරන්න හිත ගත්ත.. හොඳට රැල් බුරුල් ඇරලා ගොරෝසු කටහඩක් අරන් “මම ඉස්සරහා බහිනවා” කිව්වා.. කොල්ලට වගේ වගක් නෑ . මම තව ටිකක් සද්දේ දැම්ම.. “මාව ඉස්සරහ දාල යනවා”…. මගේ කටේ සද්දෙට බය වෙච්ච කොල්ල ඉද්ද ගැහුවා වගේ ත්රී වීල් එක නැවැත්තුව.. . මම දඩිබිඩි ගාල අඩුම කුඩුම ටිකත් අරන් වාහනෙන් පැන්න .. එත් ටික දුරක් හරි ආව හින්ද හයර් එක දෙන්න එපැයි.. ගාන කීයද? මම අර සද්දෙන්ම ඇහුව.. “සල්ලි එපා නිකන් එක්ක අවේ” මෙන්න මේක කියනවා.. “නිකන් එක්ක යන්න ඔයා හයර් දන්සලක් වත් දෙනවද.”. මම මම එහෙම කියාගෙනම පර්ස් එකෙන් නෝට්ටු කොළ දෙකක් කොල්ල පැත්තට විසි කරලා ඒ එක්කම ආපු නිට්ටබුව බස් එකකට නැග්ග.. ඒ වෙනකොට පස්වෙනි වතාවටත් දිය කිදිරිය සේ සාගරේ.. play වේවි තිබ්බ..
උපුටා ගැනීම: Roshani Senarath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!