කොණ්ඩේ දිගට වවලා, සුදු ගවුම ඇඳන් අපි දැක්කම යන්තම් හිනා වෙලා බිම බලාගෙන ඉස්කෝලේ ගිය ඒ අක්කව මට තාම මතකයි. වැදගත් විදිහට දරුවෝ ලොකු මහත් කල ඒ අම්මා තාත්තා ඒ අක්කා ගැන තබා තිබුනේ ඉහළ බලාපොරොත්තු. ඒත් සාමන්ය පෙළ විභාගේ ඉවර වෙනකොටම මෙයා ප්රේමයක පැටලිලා. ඔහු ඇයට වඩා අවුරුදු දහයකින් පමණ වැඩිමහල් අයෙක්.
මේ මනුස්සයා අහිංසකව හිටිය අක්කගේ හිත කොහොම හරි වෙනස් කරලා, අවුරුදු දහඅටක්-දහ නවයක් වෙනකොටම පෝය දවසක පැනලා ගිහින්. අනේ ඒ තාත්තා අර මනුස්සයාගේ යාළුවන්ගේ ගෙවල් වල, කඩවල් වල රස්තියාදු වෙවි දුව හෙව්ව තරම්. සමහරු ඒ තාත්තට බොරු කියලා අතත ඉන්නවා මෙතන ඉන්නවා කියලා ඒ මනුස්සයා කඩයක් ඉස්සර ඇඩුව හැටි මං ඇස් දෙකෙන්ම දැක්කා.
අක්කා පැනලා ගියාට මොකද රඟේ තෙරුනේ මෙයාට හැමතැනම ගෑනු ඉන්න බව දැනගෙන ඊටත් වඩා ලොකුම සිද්ධිය, ඔහු කසාඳ බැඳලා දරුවෝ දෙන්නෙක් ගේ තාත්තා කෙනෙක් බව දැනගත්තම. ආපසු ගෙදර එන්නත් බෑ එයා එක්ක ඉන්නත් බෑ අක්කට. මුල් දවස්වල ආදරෙන් හිටියට පස්සේ පස්සේ ගෑනු පස්සේ යන්නත් බීලා ඇවිත් එළිවෙනකම් කරදර කරන බවත් අම්මට තාත්තාට ආරංචි වෙලා තිබුනා. භද්රයෞවනයේ සිතට දැනුනු ආදරය ගැන දුරදිග නොහිතා ඇය ඉතාමත් අමාරු අඩියකට වැටුනා.
මේ කරදර අස්සේ ඇයට දුවෙක් ලැබුනා. ඊට පස්සේ අම්මයි තාත්තයි අක්කව ගෙන්න ගන්න හැදුවත් ඇය සිය මහ ගෙදරට නොගොස් ඒ අසලම නිවසක කුලියට ආවා. සමහර විට ගෙදර රණ්ඩු නිසා අම්මට තාත්තට තවත් කරදරයක් වෙයි කියලා වෙන්න ඇති. මට මතක විදිහට ඇය බැංකුවක පුහුණු වෙන්න ගියා ඒ දවස් වලම. ඇගේ අම්මා සැරින් සැරේ ඇවිත් දරුවා බලාගත්තා.
මනුස්සයාගේ කරදර නම් එමට තිබුනා. දවසක් මේ අක්කගේ දිගට තිබුනු කොණ්ඩේ කපලා. බීලා ඇවිත් තවත් බොන්න සල්ලි ඉල්ලලා. ඒ අක්කගේ තාත්ත නම් පුදුම තරහකින් හිටියේ ඒ මනුස්සයා එක්ක.
වෙනදාට ගේ ඉස්සරහින් හිනාවෙලා ගිය අක්කා. කොණ්ඩේ කැපුවට පස්සේ ස්කාෆ් එකක් බැඳ ගෙන අහක බලාගෙන යනවා. අපි එයාගේ කරදර දන්න නිසා අහක බලා ගෙන ගියා කියලා තරහක් නෑ. කරදර එනකොට මිනිස්සුන්ගේ හිත් ගල් වෙනවා. කොහොම හරි අක්කා බැංකුවේ පුහුණුව ඉවර කලාම බැංකුවට බඳවා ගෙන තිබුනා.
එයාගේ ගේ ලඟ හිටියා බොහොම නිවිච්ච අයියා කෙනෙක්. තමන්ගේ පාඩුවේ. බැදලත් නෑ. හැබැයි එයා අර අක්කට පුළු-පුළුවන් විදිහට උදව් කරලා තියෙනවා. එළවළු ටිකක් ගෙනත් දෙන්න. දරුවා එයාගේ ගෙදර ගිහින් දුන්නම ටිකක් බලා ගන්න වගේ දේවල්.
ඉතිං මේකට කතන්දර කියන මිනිස්සු තමන්ගේ දේවකාරිය ලෙස සලකන කතන්දර හැදිල්ලේ යෙදිලා අපුරුවට කතන්දර හදලා දැක්කා වගේ කනින් කනට පතුරුවනවා. ඒ අක්කට හම්බවෙන ගුටි ප්රමාණය තවත් වැඩි වෙනවා. අර අයියටත් බැනලා තියෙනවා මනුස්සයා. ඒයා ඒව නෑහුන ගානට ඉඳලා.
මේ අක්කට සහෝදරයෝ හිටියට ඒ අය මේවට මැදිහත් උනේ නෑ වගේම. එයාලා බැඳලා වෙන පළාත් වල පදිංචි. අපිව හම්බවුනාම අනේ අපේ නංගි විහින් දාගත්ත කරදරේ කියලා ඒ අයත් දුක් වෙනවා. ඕව හරි යයි පස්සේ කියලා අපිත් ඒ හිත් හදන්න බලනවා.
කාලයක් මේ අක්කව දැක්කේ නැ. ගේ ඉස්සරහින් යන්නෙත් නෑ. පස්සේ ආරංචි උනා ඒයාගේ මනුස්සයා එයාව වෙන පළාතකට එක්ක ගෙන ගිහින් කියලා. දුවත් ඉස්කොලෙන් අස් කර ගෙන. දවසක් හදිසියේම අපි දැක්කා. ඒ අක්කයි එයාගේ මනුස්සයයි. හිනාවෙවි අපේ ගේ ඉස්සරහින් යනවා. ආයෙත් කොණ්ඩේ දිගට වැවිලා. දුව නම් හිටියේ නෑ. අපිත් සතුටු උනා දැන් දෙන්නා හොඳට ඉන්නවා කියලා. හිතේ තරහක් තිබුනත් අම්මයි තාත්තයි සැනසීමක් ලබන්න ඇති. මනුස්සයාගේ වෙනස්වීමට. මට හිතුන විදිහට එයාලා අම්මවයි තාත්තවයි බලන්න එන්න ඇති.
මේ කථාවේ ඒ අක්කගේ ගෙ ලඟ හිටිය අයියා එයාට කරපු උදව් වලින් සිත පැහැදුනු පසුව ඈ මෙහෙම හිතන්න ඇති කියලා මට හිතුනා නිසා මේ පදවැල් බැන්දේ මම.
අනේ මින්දද විද්ද හීසර
භද්ර යෞවනයේ…..
තෙතක් නොමැතිම හිතක් පටලා
ඇයි කලේ දොසක් නුඹ විදලා
සිහිනයක දැවටි – හී සරය රිදුනි
පෙම ගියා විසිරි…//
නෙලාගෙන රොන් රැනකින්
රැගෙන ගොස් සඳ පානකින්..
වෙලාගත් සලෙලුකම් මැද
බමන මත ගෙන රළුම රෑයකට
බිලි උනේ හී-සර ඇවිත්…//
සැබෑ පෙම දැයි නොදනිතත්..
වැට එහා හිනැහෙන හිතක්..
බෙදාගත් හැටි මගේ දුකත්.
මන්ද ඒ හද මඟ හැරුනේ හීයට
කියන් මින්දද මට ඇවිත්…//
අනේ මින්දද විද්ද හීසර…
උපුටා ගැනීම: Indraka Nishantha Dissanayake