දියසේන මිත්‍යාව එදා සහ අද! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි
ලංකාද්වීපය බේරාගැනීමටත්, සුඛිත මුදිත කිරීමටත් පහළ වන්නේ යැයි කියන, ‘දියසේන’ නම් කුමාරයකු පිළිබඳ ලංකා ජන සමාජයේ මුල්බැස ඇති කුමක්දෝ ප්රවාදයක් නිසා වරින් වර නොයෙක් සේන ලා රජ කරවා මහත් අගතියක් අත් කරගන්නට මේ අවාසනාවන්ත රටට සිදු ව තිබේ.
එබැවින්, දියසේන කතාවේ පූර්වාපරසන්ධි ගලපා හුදී ජන මිත්යාදුර්මතය පහකරවීම ඉතා වැදගත් ය.
ඇත්ත වශයෙන් ම, මේ දියසේන කතාව පිළිබඳ පළමුවරට ලිඛිත සටහනක් හමුවන්නේ 15 වැනි ශතවර්ෂයේ ය. කෝට්ටේ ස වන පරාක්රමබාහු (1402-1467) පාලන සමයේ ලියැවිණැයි කියනු ලබන පැරකුම්බා සිරිත නම් රාජවර්ණිත කාව්යයයෙහි 116 වැනි පද්යය මෙසේ ය.
“කියග මගිය එනු කොහි සිට දද සමනොළ ගොසිනා
නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කල දෙදහස්‌ පන්සිය රජකු එතැයි දියනා
කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදිනා”
මේ කියන අන්දමට (බුද්ධොප්පාදයේ පටන්) වසර දෙදහස් පන්සියයක් ගිය තැන ‘දිය නා’ නම් රජෙකු එතැයි ප්රවාදයක් එවක සමාජයේ පැතිර තිබූ බවත්, ඒ රජ වනාහි ස් වන පරක්රමබහු ම බවත් ඉන් කියාපායි.
පැරකුම්බා සිරිත ලියැවුණු සමය වන විට රටේ ඇති ව තිබූ දේශපාලනික හා අර්ථික අර්බුදවලට අනාගත විසඳුමක් වශයෙන් මෙම ප්රවාදය ඇතිවන්නට ඇතැයි සිතිය හැකිය. මෙම කාල වකවානුව දක්වා ගෙවුණු සියවස් දෙකක පමණ කාලය ලංකා ඉතිහාසයේ වඩාත් දුෂ්කර ම කාල වකවානුව බව කීම අතිශයොක්තියක් නොවේ. මාඝගේ ආක්රමණයේ පටන් නැවත මහනුවර සමය ආරන්භ වන තෙක් ම ස්ථාවර රාජ්යයක් ගොඩනගා ගැනීම දුෂ්කර කාර්යයක් වූ අතර, ඒ වෙනුවෙන් නොයෙක් අත්හදාබැලීම් ද සිදු කරන ලදී. සූර්යවංශය වෙනුවට වන්නිවරු වෙත බලය සංක්රමණය වීම, කුඩා ප්රාදේශීය රාජ්යයන් ස්ථාපනය කරගැනීම, ඉන්දීය සම්භවයැති පවුල් වෙත රාජ්ය හා අධිකාරීමය බලය සමර්පණය වීම, පර්සියානු තුර්කි අරාබියානු චීන පෘතුගීසි ආදි නොයෙක් විදේශිකයන් සමඟ සම්බන්ධතා ඇති කරගනිමින් බලය තහවුරු කරගැනීමට කටයුතු කිරීම, ගොවිගමයන් අතට රාජ්ය බලය පැවරීම ආදි නොයෙක් අත්හදාබැලීම් සිදු වූ බව වටහාගත හැකිය. විශේෂයෙන් උතුරු කොටසේ බලසම්පන්න ව සිටි ආර්යචක්රවර්තී බලපෑම් ද සමස්ත රටවැසියා කෙරෙහි අයහපත් බලපෑම් එල්ල කළේ ය. කුරුණෑගල ගම්පොළ කෝට්ටේ රජවරුන්ට දාව අනියම් බිසෝවරුන් වෙතින් ලත් කුමාරවරු හෝ එසේ හඳුන්වාගනු ලැබූ තැනැත්තන් රට පුරා කුඩා බලප්රදේශ සකස් කරගනිමින් සිටි අතර, මේ සා ව්යාකූල ව පැවති භූමියක් ඒකච්ඡත්ර කොට පාලනය කිරීම විනා, වෙනත් විකල්පයක් නොමැති බව සමාජ මතය වන්නට ඇතැයි අපට සිතේ.
එබැවින් පොදුජන සමාජයේ වුවමනාව මත ගොඩනගාගත් කල්පිත චක්රවර්තී ප්රතිරූපය වූයේ ‘දිය නා’ විය යුතුය.
‘දිය නා’ යන්න අප වටහා ගත යුත්තේ ‘ලෝක නාථ’ යන අර්ථයෙනි. එනම් ලෝකයට ම පිහිටවන්නා යනු යි. නැතහොත් ‘චක්රවර්තී’ යන අර්ථයෙනි. මහා පරක්රමබහු (1153-1186) වෙත දීපචක්රවර්තී ආභිධානය ලබා දී ඇති පරිද්දෙන් තවත් දීපචක්රවර්තී කෙනෙකු බිහි වනු දැකීම ජනතාභිලාෂය වූවාට සැක නැත. පැරකුම්බා සිරිතේ අපේක්ෂාව ද එය යි. එවක සමාජයේ මුල් බැසගෙන තිබූ විශ්වාසයක් හෝ සමාජ අපේක්ෂාවක්, පැරකුම්බා සිරිතේ එන උක්ත පද්යයෙන් විදහා දක්වා ඇත. එනම් ‘දිය නා’ යනු අන්කවරෙකුවත් නොව, ස වන පරාක්රමබාහු බව යි.
ස වන පරාක්රමබහුගේ පාලන සමය තුළ උඩරට ඈඳාගැනීම, යාපනයේ ආර්යචක්රවර්තී පරදවා රාජ්යය ඈඳාගැනීම, විජයනගර් අධිරාජ්යයේ තීර්ථයක් ආක්රමණය කිරීම ආදි වශයෙන් ‘දීප ඒකච්ඡත්ර ව්යාපාරයක්’ ගෙන යන ලදී. මේවා ජනතාව විසින් අපේක්ෂා කළ මෙන් ම, ඔවුන්ගේ ඇස් නළලේ ඉන්දවූ සිදුවීම් වූවාට සැක නැත. පැරකුම්බා සිරිත කතුවරයා, දෙවරක් නොසිතා ම ‘දිය නා’ යනු ‘ස වන පරාක්රමබහු’ යැයි පවසන්නේ එබැවිනි.
දඹදෙණි අවදිය වන විට පැවති ජනසම්මත පිළිගැනීමක් අනුව රචනා වූ අනාගත වංසය මෙහි ලා වැදගත් වේ. බුද්ධභාෂිතයක් නොවන නමුත්, බුද්ධභාෂිතයක් යැයි හැඟී යන ආකාරයෙන් විල්ගම්මූල තෙරිඳුන් විසින් ලියා නිම කරන ලද එහි සඳහන් අන්දටම බුද්ධ කාලයේ සිට පන්දහසක් කල් ගිය තැන ශාසනය අතුරුදන් වීම ආදී ව්යසනයන් සිදු වීමට නියමිත ය. අනාගතයේ සිදුවෙතැයි කියන මේ ව්යසනය පිළිබඳව, දැඩි බෞද්ධ මතවාද දැරූ තත්කාලීන සමාජය කම්පනය වූවා නිසැක ය.
එතැන් පටන් ඉදිරියට පැමිණි කාලය තුළ දිගින් දිගට ම ඇතිවූ දේශපාලනික ව්යසනයන් ද සමඟ, පන්දහසක් කල් යන්නට මත්තෙන් මේ එළඹ තිබෙන්නේ එකී කල්පාන්ත සමය යැයි වටහාගැනීමක් තත්කාලීන සමාජයේ ඇති වූ බව පෙනේ. එබැවින් රට සහ ආගම බේරාගන්නා අනාගත වීරයෙකුගේ ආගමනය ගැන බලාපොරොත්තු ඇතිකරගැනීමට ජනතාව තුළ අනවරත පෙළඹීමක් ඇති වීම සාධාරණ ය.
කෝට්ටේ යුගය වන විට ජනප්රිය ව පැවති ‘අනාගත ගැලවුම්කරුවා’ පිළිබඳ පැවති බලාපොරොත්තුව කුළුගැන්වෙමින් ස වන පරාක්රමබාහු සමය වනවිට රටෙහි යම් තරමක සමෘද්ධියක් ඇතිවිය. එය දේශපාලනික ස්ථාවරභාවය හරහා ආගමික, ශාස්ත්රීය සහ ආර්ථික ක්ෂේත්රය හරහා ශීඝ්රයෙන් ව්යාප්ත විය.
කාලාන්තරයකට පසුව රටෙහි ඇති වූ මේ තාවකාලික සමෘද්ධිය සමකාලීන සාහිත්යකරුවන් විසින් ජනතාව වෙත ඒත්තුගන්වන ලද්දේ යථොක්ත කල්පාවසානයෙන් ලෝකය හෝ දේශය බේරාගැනීමට පහළ වූ රජුගේ යුගය වශයෙනි. එබැවින් ‘ලෝක නාථ’ හෙවත් ‘දිය නා’ යනුවෙන් හඳුන්වන ලද්දේ ස වන පරාක්රමබහු රජු ය.
“ගිය කල දෙදහස්‌ පන්සිය රජකු එතැයි දිය නා
කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදි නා”
‘දිය නා’ හෙවත් ‘ලෝක නාථ’ සංකල්පය, යනු ‘නාථ’ දේව සංකල්පයේ ම එක් ස්වරූපයක් බව ද වැඩිදුරටත් පෙනී යයි. රාජ්ය පාලකයා යනු බෝධිසත්වයෙක් ය යන සාම්ප්රදායික සහ පුරාණ මතය අනුවත්, මතු බුදුවන මෛත්රී බෝසතුන්ගේ වත්මන් ස්වරූපය යනු නාථ දෙවියන් ය යන මතය අනුවත්, 14 වැනි ශතවර්ෂයේ දී රට පුරා නොයෙක් ස්ථානවල බහුල වශයෙන් නාථ දේවාල ඉදිවීමත් යනු මේ ආශ්රිතව හඳුනාගත හැකි ප්රවණතාවන් ය. අභාග්ය සම්පන්න රාජ්යය මුදාගැනීමට රජුගේ වේශයෙන් පහළවන්නේ වෙන ම ‘ලෝක නාථ’ කෙනෙකු නොව, පොදු ව්යවහාරයේ නාථ දෙවි වශයෙන් පිළිගැනෙන මෛත්රී බෝසත් අවතාරය වශයෙන් ද සැලකෙන නාථ දෙවියන් ම බව අපගේ අදහස වේ.
“අතේ දේව ගන රන් මිණි කලස දරාලා
ගතේ චන්ද්ර සූරිය ආලෝක වඩාලා
මෙතේ කපට බුදුවෙන්නට විවරණ දීලා
රතේ පිටින් එන්ට මෙ මල් අස්න බලාලා
මුලු ලොව ලක්දිව හැම තැන කෙළිපුද අරගති
බැලු දිවසින් කරුණා කර බුදු බව සිහිවෙති
හලුකර අනවින දොස් හැම මල් වැහි වස්වති
ලෝක නාත සුරිදු තෙදින් මල් යහනට එති”
යනුවෙන් 1809 දී රචිත මල්යහන් පැදි පෙළක නාථ දෙවි මතු බුදුවන බවට වන අදහස කුළුගැන්වී ඇති අයුරු බලන්න.
14 වැනි සියවස වන විට නාථදේව වන්දනාව ඉතා ජනප්රිය තත්වයක පැවති අතර, ලංකාතිලක, ගඩලාදෙණිය, දොඩම්වල දේවාලය, මහනුවර නාථ දේවාලය, වේගිරිය නාථ දේවාලය, කැලණිය වශයෙන් නාථ දෙවියන් වෙනුවෙන් විශාල දේවාල සංඛ්යාවක් ඉදිවිය. මතු බුදුවන මෛත්රී බෝධිසත්වයන්ගෙ අවතාරයක් වශයෙන් සැලකුණු හෙයින්, රාජ්ය පාලනය සම්බන්ධයෙන් නාථ දෙවියන් වෙතින් ලැබුණේ ඉමහත් දායකත්වයකි. මහනුවර සමය වන විට රාජාභිෂේකය පවත්වන ලද්දේ ද නාථ දෙවියන් දෙස් කොට තබමිනි.
මහනුවර රාජධානියේ දේවාල අතර ද ප්රමුඛස්ථානයේ සැලකුණේ නාථ දේවාල යි. දිවිරීම්, සම්මුති ආදිය සඳහා ද නාථ දෙවියන් දෙස් කරගැනීම පැරණි සම්ප්රදාය විය. වර්ෂ 1415ට අයත් වේගිරිය ශිලාලේඛනයෙහි නාථ දෙවියන් හඳුන්වා දී ඇත්තේ ‘ලෝකේශ්වරනාථ’ ලෙසිනි. පැරකුම්බා සිරිතේ එන ‘දිය නා’ යනු ‘ලෝකේශ්වර නාථ’ හෙවත් ‘ලෝක නාථ’ ම බවට සාධාරණ විශ්වාසයක් මේ අනුව උද්ගත වෙයි.
මහනුවර යුගය වන විට ‘දිය නා’ හෙවත් ලෝකනාථ සංකල්පය, ‘දියසෙන්’ යන නමින් කලඑළි බැස තිබූ බව දෙවැනි රාජසිංහ (1629-1687) රාජ්ය සමයේ රචනා විණැ’යි සැලකෙන සුමන සූත්රය ඇසුරින් වටහා ගත හැකිය.
සුමන සූත්රය ද බුද්ධ භාෂිතයක් නොවේ. දිවාගුහාවේ දී සුමන සමන් දෙවියන් වෙනුවෙන් දේශනා කරන ලද්දකි. වසර දෙදහස් පන්සියයකට පසුව අධර්මයෙන් පිරීගිය ලක්දිව භාරගනු පිණිස දියසේන නම් රජු ඉන්දියාවේ සිට මහා සෙනඟක් ද සමඟ පැමිණීමට නියමිත යැයි ඉන් කියැවේ.
මේ වකවානුව වන විට නැවතත් රාජ්යය අස්ථාවර තත්වයක් කරා ක්රමික ව ගමන් කරමින් පැවති යුගයක් විය. පෘතුගීසි සහ ඕලන්ද බලය හේතුවෙන් නැවතත් රට බෙදී වෙන් ව පැවති අතර, ආර්ථික ශක්තිය ද ක්රමයෙන් දුබල තත්වයකට පත් ව තිබුණි. ස වන පරාක්රමබාහුට පසුව නැවතත් රට ඒකච්ඡත්ර කරන ලද්දේ දෙවැනි රාජසිංහ රජු විසිනි. එය ද ඉතා කෙටි කාලයක් සඳහා ය. කෙසේ වෙතත්, නැවත රට එක්සත් කිරීම සඳහා ලාංකීය පාලකයන්ට හැකියාවක් නොමැති බව වැටහීම නිසාදෝ ඉන්දියාවෙන් පැමිණෙන දියසෙන කෙනෙකු දක්වා ජාතික චින්තනය විතැන් වූ බව අවබෝධ කරගත හැකිය.
මා විසින් පිටපත් කරන ලද 1817 දී රචිත කාව්යයක දියසේන පැමිණ බ්රිතාන්යයන්ගෙන් ලක්දිව බේරාගන්නා බව සඳහන් කර තිබේ. ඒ අනුව, දියසේන පැමිණෙන්නේ තුසිත දිව්ය ලෝකයෙනි.
ඉන් මෑත, ලක්දිව පළමු අග්රාමාත්යවරයා වූ ඩී. එස්. සේනානායකගෙ නමෙහි DS යනු දියසේන යැයි ද එකල විශ්වාසයක් පැවතුණි. පසුව ඩඩ්ල ෂෙල්ටන් සඳහා ද එර ම ආදේශ විය. ආතර් වී. දියෙස්, කන්නන්ගර යනාදි සමකාලීන දේශපාලකයින් සඳහා ද දියසෙන් නම ආදේශ කිරීමට පුවත්පත්කරුවෝ උත්සුක වූහ. 2500 වැනි බුද්ධ ජයන්තිය සමඟ 1956 දී බලයට පැමිණි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යනු ද දියසෙන් කෙනෙකැ’යි මාධ්ය වාර්තාකරුවන් විසින් උත්කර්ෂයෙන් යුතුව වර්ණනා කරන ලදී. කොතලාවල රජයේත් බණ්ඩාරනායක රජයේත් අමාත්යධූර ඉසිලූ නන්දිමිත්ර ද සිල්වා හෙවත් ටිප්ටොප් සිල්වා ද කලක් තමා දියසෙන් යැයි කියාගත්තේ ය. ආර්. ප්රේමදාස ජනාධිපතිවරයා ද තමා දියසේන බව කියාගත් අතර, චන්ද්රිකා බණ්ඩාරනායක මැතිණියට ‘විහාර මහා දේවි’ යනුවෙන් ආභිධානයක් එක් වූයේ දියසේන යන පුරුෂොත්තම සංකල්පය කාන්තාවකට වලංගු නොවූ හෙයිනි. ඉන්පසු මහින්ද රාජපක්ෂ සඳහා ද යුද්ධාරම්භය සමඟ දියසෙන් පදවිය හිමි විය. කුමක් නෝ හේතුවකට මෛත්රීපාල සිරිසේන වෙත දියසේන නම ආදේශ නොවූ මුත්, ඔහුගේ අනුප්රාප්තික ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි නළල්පටක් සේ දියසෙන් නම බැඳීමට මැතිවරණ ප්රචාරණ ව්යාපාරකරුවන් විසින් කටයුතු කෙරිණි.
දේශපාලකයන්ට අමතරව, කලකට පෙර තඹුත්තේගම යෝධයා යැයි කී සාමාන්ය දරුවෙකුට ද ‘දියසේන’ යැයි ප්රචාරය ලබාදෙන ලදී. කලකට පෙර කලුතර දිසාවේ ද එවැනි ම දියසේන කෙනෙක් පහළ වූ බව අසා ඇත.
මේ සියල්ල කෙළවර, දියසේන යනු හුදු අවස්ථාවාදී දේශපාලන ව්යාපෘතින් හි තේමාවක් විනා කවදාවත් මිහි මට උපදිනා අයෙකු නොවන බව අවබෝධ කරගත හැකිවනු ඇත.
සාහිත්යකරුවන් සහ භික්ෂුන්/ගණින්නාන්සේලා විසින් ගොතා, පිලිවෙලින් පවත්වාගෙන එනු ලැබූ, පසුව ජනමාධ්ය විසින් විවිධ දේශපාලන ව්යාපෘති සඳහා අතිශයෝක්තිබර ව ගොඩනැගූ, සහ සියවස් ගණනාවක් පුරා අඛණ්ඩ ව රට රැවටූ, ‘දියසේන’ යනු හුදු මිත්යාවක් බව මේ අනුව පැහැදිලි වේ.
ලක්දිව පාලකයා යනු බෝධිසත්වයෙකු විය යුතුයැයි අනුරාධපුර මධ්ය යුගයේ දී ඇති වූ සමාජ සම්මතය කාලනුක්රමික ව, මෛත්රී බුදුන්ගේ බෝධිසත්ව අවතාරය යනුවෙන් ප්රකට වූ, නාථ දෙවියන් වෙත සමර්පණය වීමක ප්රතිඵලයක් වශයෙන් ‘දියසේන’ සංකල්පය සමාජගත වූ බව මින් වටහා ගත හැකි වනු ඇතැයි තවදුරටත් සිතමි.
ඉදින්, තව දුරටත්, දියසෙන් වැනි කල්පිත බහුබූත පාලකයන් එලොවින් සිට විත් රට බේරාගන්නා තාක් බලා සිටිනු වෙනුවට, බුද්ධියට ඉඩ දීමට තරම් සිංහල බෞද්ධ ජනතාව ශක්තිමත් කළ යුතු යැයි උදක් ම විශ්වාස කරමි. එමෙන්ම ‘දියසේන’ලා වෙනුවට මානවහිතවාදී නායකයන් අපට වුවමනා බව ඔවුන්ට පෙන්වා දීම අපගේ වගකීම ද වේ.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!