“දෝණි,” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගෙතුලට ගොඩ වෙන දියණියව අනෝමා ආදරෙන් පිලිගන්නවා.
“අම්මේ”මඳ සිනාවකින් මූණ සරසගෙන කිව්වත් ඒ සුන්දර මුහුණට යටින් තියෙන අඳුරු වළාවක් අනෝමාට පෙනෙන නොපෙනෙන ගාණයි.
“කෝ ඩ්රැයිවර් ගියාද?”
“ඔව් අම්මේ..හවස් වෙලා සෝමසිරි ආයෙ ඒවි මාව එක්කන් යන්න”
දරුවෙක් මල්ලෙක් හිටියා නම් කෙල්ල ඔහොම තව් මැරිලා ඉන්නෑ කියලා හිතන ගමන් අනෝමාත් චංචලා ගාවින්ම පුටු සෙටියට බර වෙන ගමන්,ඇය විවාහ වෙලා ගෙදරින් පිට වුණු අවුරුදු තුනට දැනට සිය වතාවකට එහා අහන්න ඇති ප්රශ්න ය ආයෙත් අහනව.
“මහන්සිද දෝණි..ඈ දුවේ,තවත් බලන් නොහිට දොස්තර කෙනෙක් ගාවට වත් අපි යමුද..?”
සිවිලිමේ එල්ලෙන විසල් විදුලි පහණ දිහා හැඟීමක් නැතුව බලන් හිටි චංචලා අලුතෙන් දැක්කා වගේ අම්මා දිහා බලනව.
“මොන වදයක්ද අම්මේ.හැමදාම ඔය ප්රශ්නෙම.?ටිකක් ඔලුව සැනසිල්ලෙ ඉන්න මං මහ ගෙදර ට ආවම අම්මත් එක එකේවාම අහනවා.”
දියණිය තමන්ට පිටුපාලා උඩු මහලට නගිනකොට අනෝමාටත් බරට සුසුමක් පිට වුණා.අනිත් හැමෝගේමත් උවමනාව ට වඩා තමන්ගේ උවමනාවට,තම හොදම යෙහෙලියගේ පුත්රයා වුණ මහේල එක්ක මීට අවුරුදු 3කට උඩදී චංචලා දීග ගිය හැටි ඇයට මතක් වෙනව. මිත්ර කමටත් වඩා හොඳ බරසාර පවුලක් වුණ මහේලගේ පවුලට දියණිය බාර දුන්නේ ඇය සැප විඳිමින් සතුටින් ඉඳී කියලා අනෝමා හිතාගෙන වුණත් මේ අවුරුදු ගාණටම චංචලා හිනා වෙලා ඉන්නවා තමන් දැකලා නෑ නේද කියලා ඊළඟට අනෝමාට මතක් වුණා.
උඩු මහලේ තමන්ගේ කමරයට ගිය චංචලා ජනේලය අසළට ගිහින් වත්ත කෙලවරේම ඉදි කරලා තිබෙන අප්පච්චි ගේ සුවිසල් ලී මෝල දිහා බලාගෙන ඉන්නවා.උසට ගොඩ ගහලා තියෙන තවමත් ඉරපු නැති ලී කොටන් ගොඩවල් මැදින් ඇයට කෙලවරේම ඉදි කරලා තියෙන කාමර පේළිය මෙතනට යන්තමට පේනව
.ආව වාහනය නැවත හරවලා ඈ එනකොට ආවේ ඔතන ඉස්සරහින් ඇවිදගෙන.ඒ එනකොට ගිණුම් පොතකට ඔලුව බර කරගෙන හිටි ප්රසාන්ත් ගේ රුව ඇයට දැනුත් මතක් වෙනවා.ඔහු ඔලුව පොතට බර කරගෙන මහා විශාල රාජකාරියක් කරන බඳුව හිටියේ දුර ඉඳන්ම තමන්ව දැකලා වෙන්න ඇති කියලා ඇයට හිතුණ.අප්පච්චි ගේ සුවිසල් ලී මෝලේ සියළු ගිණුම් කටයුතු බාර වෙලා තිබුණේ ඔහුට.මනෝහරන් අප්පච්චි ලඟින් අයින් වුණේ ඔහුගේ පුතාව අප්පච්චි ට බාර දීලා.මීට මාස ගණනාවකට කලින් අප්පච්චි ලඟට ආව ප්රසාන්ත් ,මනෝහරන් තරමටම සේවකයෙක්ටත් වඩා පවුලට ලැදි විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙලා තිබුණා.
චංචලා මුලින්ම ඔහුව දැක්කේ මීට මාස ගණනකට උඩදි.දමිළ ජාතිකයන්ට උරුම තලෙලු පැහැයටත් වඩා කාල වර්ණයට ළඟ පැහැයෙනුත්,උස් තේජවන්ත සිරුරිනුත් යුතු ඔහු කවදාවත් ඈ දිහා සෘජුව බලලා නෑ.විවාහක ගැහැනියක් වුණ තමන් දිහා එක අතකින් ඔහු මොනවා බලන්නද කියලා චංචලාට හිතෙනව.ඒත්,අවුරුදු ගණනාවකින් තමන්ගේ හිත හොල්ලපු ඒ රුව දකින කොට, වලඳාපු හැඟීම් එකින් එක උඩට මතුවෙවී හිතුවක්කාරකම් කරනකොට , අසරණ වෙන හිතට තදින්ම තරවටු කරන ගමන් චංචලා ජනේලය වහලා දාලා ඇඳේ වැතිරුණා.
******************
“මං එහෙනම් යනවා අම්මේ.”
හවස සෝමසිරි ආයෙත් ආවට පස්සේ ,චංචලා අම්මටයි අප්පච්චි ටයි වැඳලා වාහනය ලඟට ඇවිදගෙන ගියා.
හිතට එකඟ නැතිවම කොච්චර ඔලුව පහත් කරගෙන හිටියත්,චංචලා කාර්යාලය ඉදිරිපසින් යද්දී ඈ ගාවින් නිතරම හමන ඒ විලවුන් සුවඳට මත් වුණ ප්රසාන්ත් යන්තමට හිස ඔසවලා බලනවා.නමුත් ඇය තමා දකින්න තත්ත්පරයකට දශමයකට කළින් ඔහු නැවතත් ‘රාජකාරියට’එළඹෙනවා.
මිනිසෙකු සමඟ යහන් ගත වූ බවක් තබා පිරිමියෙකු විසින් ස්පර්ශ කරන ලද බවක් හෝ නොහැඟෙන ඇයගේ සියුමැලි රුව දකින හැම වාරයකදීම,ඇය පළමුවෙන් දුටු ඒ දවසට වඩා තිගැස්මකින් අසරණ තරුණයා දුක් විඳිනව.නැවත ඈ දෙස නොබලමියි දැඩි කරගත් හිත හැමදාකම ඇය දුටු විට උණු වෙඬරු මෙන් දියවෙවී ගලා හැලෙද්දී ප්රසාන්ත් ගිණුම් පොතේ පිටු දිහා ඔහේ බලන් ඉන්නව.
චංචලා රැගත් වාහනය පිටවී ගියාට පස්සේ අනෝමා බර බැල්මකින් සැමියා දිහා බලනවා
“මොකද ” හැමදාමත් අහංකාර රැස් වළල්ලකින් ඔප වැටුණ බිරිඳගේ මූණේ අඳුර දැකලා සන්නස්ගල අහනවා.
“දෝණි කැමති නෑනෙ ඩොක්ටර් කෙනෙක් ගාවටවත් යන්න අනේ..දරුවෙක් හිටියා නම් ඔහොම මැලවිලා ඉන්නෙ නෑනෙ කෙල්ල.කොහෙද මේ ළමයි දෙන්නා කියන එකක් අහන්නෑනෙ”
අනෝමා අගස්ති මාලයේ ඇට අතගාන ගමන් කියනවා.
“අපෙ උවමනාවට බන්දලා දුන්නා මිසක ඒ ලමයගෙ කැමත්තක් අපි ඇහුවේ නෑනේ..දැන් මොනා කරන්නද.?”
සන්නස්ගල කියනකොට ඒ වචන වලින් කහඹිලියා ගෑවුණා වගේ ගැස්සිලා අනෝමා සැමියා දිහා බලනවා.
“ඈ…ඔයා කියන්නේ දුව අපි නිසා දුකින් කියලද.?”
“නැතුව.මට කොච්චර වත් හිතෙනවා කෙල්ලට ඔහොම වුණේ අපි නිසයි කියලා අනෝමා.!”
“ඇයි දෙයියනේ එයාගෙම හොඳට නෙවෙය් ද අපි හොඳ තැනකට එයාව බන්දලා දුන්නේ දෙමව්පියන් විදියට ?”
සන්නස්ගල උපැස් යුවල ගලවන ගමන් ගෙතුලට යනගමන් මෙහෙමත් කියනව.
“කෝ,දැන් සල්ලිකාර තැනකට කෙල්ල බන්දලා දුන්නා කියලා ඒකි සතුටින්ද ?ඔයා දැකලා තියෙනවාද දරුවෙක් තියා බැඳපු දවසෙ ඉඳන් වත් අපේ දරුවා එක දවසක් හිනාවෙලා ඉන්නවා..?මං දන්නෑ අනෝමා අපි දෙන්නා මොන ලෝකෙකට කෙල්ලව අත ඇරියද කියලා ..අනික තව දෙයක්.,,”
ඔහු ආපහු හැරුණා.
“වැඩි හරියක්ම ඔයාගේ උවමනාව ටයි අපි චංචලාව මහේලට බන්දලා දුන්නේ..කිසිම දෙයක් හොයලා නොබලා සල්ලි වලට කෙල්ලව අපි බන්දලා දුන්නා..අදටත් ඔයා පසු නොතැවුණත් මං ඒ ගැන සෑහෙන්න පසු තැවෙනවා.අපිට සල්ලි නෙවෙය් කෙල්ලව බන්දද්දී බලන්න තිබ්බේ..අපි දන්නෑ එයාලා අතර තියෙන ප්රශ්න මොනවාද කියලා .බන්දලා දුන්නට පස්සේ දරුවන්ගේ ජීවිතයට ඇඟිලි ගහන්න බෑ දෙමව්පියන් උන අපිටවත්..”
සැමියා කියන කතාවේ අමු අමුවේ හැන්ගුණ ඇත්ත දකිද්දී අනෝමා විපිළිසර වෙලා නිරුත්තරව බලන් ඉන්නවා.තවත් කල් බලා නොසිට චංචලාගේ ජීවිතයට තමා ඇඟිලි ගසා බැලිය යුතු බවක් අනෝමාට එවෙලේ හිතුණා.
‘මං එයාගෙ අම්මා.කසාද බැඳල ගියාට එයා තාම මගෙ දුව.වෙන්නේ මොනවාද කියලා මං ටිකක් හාරලා අවුස්සන්න ඕන” අනෝමා හිතනවා.
******************
හවස ඉඳන් වැටෙන්න ගත්තු පොද වැස්ස රෑ වෙනකොට ටිකක් වැඩිවෙලා.මහේල ව්යාපාරික කටයුත්තකට දුරකට ගිය නිසා චංචලාත් දවස් දෙකක් ඉන්න මහ ගෙදර ආවේ ඊයෙ..හෙට මහේල තමන් එක්කගෙන යන්න උදේම ඒවි.නින්ද අහලක වත් නොතිබ්බ නිසා චංචලා පහල කුස්සියට ගිහින් නෙස්ටමෝල්ට් එකක් හදාගත්තා.වැඩට ඉන්න මාග්රට් එකොළහත් පහු වෙලා නිසා නිදි ඇති කියලා සිතිවිල්ලේ චංචලා නෙස්ටමෝල්ට් එක බොන ගමන් කෑම මේසයේ ඉඳගෙන හිටියා.
වැටෙන වැස්සත් එක්ක සීතලට ඇඟ කිළිපොලා යද්දී ඇය තේ කෝප්පය වටා තදින් දෑඟිලි බැදගෙන අප්පච්චි ගේ කාර්යාල කාමරය වෙත ඇවිදගෙන ආවේ ආලෝකයක් දිස්වුණ නිසා.ඔව්,,ප්රසාන්ත් අප්පච්චි ගේ මේසය ඉදිරිපිට ඈට පිටුපාලා මොනවාදෝ ලියමින් හිටියා.
“මෙයා මොකද මහ රෑත් ඇහරගෙන”
චංචලා තේ උගුරක් බොන ගමන් හොඳට බලනකොටයි දැක්කේ ,ප්රසාන්ත් උන්නේ පොතකට නැඹුරු වෙලා බර කල්පනාවක බව.ඔහු ඊළඟට තවමත් විවෘත ජනේලෙන් එළියේ වැටෙන පොද වැස්ස දිහා බලගෙන හිටියා.ඔහු ඇඳ සිටි දුහුල් කමිසය අතරින් පෙනෙන ශක්තිමත් මස් පිඬු විදුලි එලියෙන් මනාව පෙනෙද්දී චංචලාගේ සියොලඟම තව පාරක් වෙව්ළුව.
“ප්රසාන්ත්” ඒ හඬින් තිගැස්සුණ තරුණයා පුටුවෙන් නැගිට්ටා නෙවෙය් නැගිට්ටුණා.කමිසයේ නොපියවුණ බොත්තම් පියවමින් ඔහු වහා බිම බලාගත්තා.
“මොකද තාම ඇහරලා?”
චංචලා තවමත් දොර ලඟ හිටගෙන ඉන්නවා.උත්තර නොදුන් තරුණයා ඇයට නැවත පිටුපාලා හරි හදිසියකින් පොත් පිලිවෙලකට මේසයේ අසුරන්න ගත්තා.
ප්රසාන්ත්ගේ කාමරය තියෙන්නේ නිවසෙන් පිට වුණත්,අප්පච්චි ගේ කාර්යාල කාමරය හරහා එයට සාලයේ ඉඳන් වුණත් යන්න පුලුවන්.
නෙස්ටමෝල්ට් කෝප්පය නිවිලා.පොද වැස්ස චංචලාට ඔච්චම් කරන්න වගේ ඇද වැටුණ…..
“ඇයි මට උත්තර නොදෙන්නේ..මොකක්ද ඔය අහන්කාරකම?”
යුවතිය අහද්දී ප්රසාන්ත් නිසොල්මන්ව ඇයට පිටුපාලා ජනේලෙන් එලිය ඒ පාර බලාගෙන ඉන්නවා.
චංචලා දෑසට නැගෙන උණු කඳුලක් ඔහේ කම්මුල දිගේ වැටෙන්න දෙන ගමන් , ඔහු අසලට ගිහින් ඒ උරහිසකට අත තිබ්බා.ඒ දෑතේ පහසින් තිගැස්සුණ ප්රසාන්ත්ගේ හද වතේ ගැස්ම පවා එවෙලේ පැහැදිළිවම චංචලාගේ සංවේදී අත්ලට දැණුන..
ඒත් එක්කම ප්රසාන්ත් ආපහු හැරිලා ඇයගේ උරහිස් වලින් අල්ලගත්තා.යුවතියගේ දෑසේ දිළිසෙන කඳුලු දිහා මොහොතක් බලා හිටි ඔහු කාර්යාලය හරහා ඔහුගේ කාමරයට ගොස් දොර වසා ගනිද්දී,චංචලා වැස්ස දිහා බලාගෙන ඔහේ හිටියා…..
****************
“මහේලට ටිකක් වැඩියි වගේ..” සන්නස්ගල කියද්දී අනෝමා බෑනා දිහා බැලුවා..
චංචලාගේ උපන්දිනයට සූදානම් කල සාදය නිසා නිවසේ සේවකයෝ පවා ඉන්නේ මඳසිහියෙන්.
“එයාට විතරක් නෙවෙය් ඔයාටත් වැඩියි වගේ..”අනෝමා කිව්වා..චංචලා ඇයගේ යෙහෙළියක් හා කථා කරමින් සිට ගෙතුලට ආවේ ඔවුනුත් නික්ම ගියාට පස්සේ.
“ඈ දෝණි.මහේලට හෙට මිනිස්ටර් හම්බෙන්න යන්න ඕන කීවා නේද උදේම.? මිනිහා කොහොමද ඩ්රයිව් කරන්නේ..ගෙදර යන්නමත් ඕනෙලු උදේට යන්න කිව්වම .වෙලාව මදි කියන්නේ මෙහෙ ඉඳන් පාන්දරට ගමන යන්න”
චංචලා දෙතුන් දෙනෙක් හා සිනාවෙමින් ඉන්නා සැමියා දිහා බැලුව.
“ප්රසාන්ත් එක්ක යවන්න.උදේට ප්රසාන්ත් එක්ක එන්න මන් වාහනයක් මෙහෙන් යවන්නම්.මහේල ඩ්රයිවර් කෙනෙක් එක්කවත් නෙවෙය් නෙ ඇවිත් තීන්නෙ..”
ඒ පාර සන්නස්ගලම තීන්දුව දුන්නේ චංචලාත් නැවත මහේල එක්ක අද නොයන බව කිව්ව නිසා.
ඔවුන් පිටත් වෙලා ගියාට පස්සේ,චංචලා කාමරයට ඇවිත් නාගෙන ඇඳුමක් මාරු කරගෙන පොතක් අතට ගත්තා.සාදයක් ගැනීමට කිසීම උවමනා වක් නොතිබ්බත් උදේ ආරාමයට දුන් දානයෙන් පස්සේ ,අප්පච්චි ගේ කැමත්තක් කරගන්න ඇය ඉඩ හැරියා.ඔවුන් එය සූදානම් කලේ ඇය වෙනුවෙන් වුණත් යුවතිය එයින් කිසීම තෘප්තියකට පත් වුණේ නැති වග දන්නේ ඇය විතරයි.
සඳලු තලයේ හාන්සි පුටුවේ පොත බලමින් හිටි චංචලාට එක් වරම ඇහරුණේ දොරට තට්ටු කරන හඬකින්.
“දෙයියනේ පාන්දර තුනත් පහු වෙලා.මට නින්ද ගිහින් කවුද මේ.”
ඇය් එහෙම්ම සඳලු තලයෙන් කාමරයට පිවිස දොර ඇරියා.කාමරයේ මද එලියක් විහිදුවන බල්බ් එලියෙන් ඈ ඉදිරිපස සිටගෙන සිටි ඔහුව ඇය නෙත් පුරා දැක ගත්තා.
“ප්ර…සාන්ත්?”
තරුණයා එක් වරම ඇගේ උරහිස් වලින් දැඩිව අල්ලගත්තා.රතු වූ නෙතින් යුතු ඔහුගේ දසුනෙන් චංචලා කැළඹුණා…
“මොකද මේ ප්රසාන්ත්?”
“මොකද මොකද…මොකද තමායි”
ප්රසාන්ත් වේගයෙන් කියවගෙන ගියා.”අරහෙම මිනිහෙක් එක්කද ඔයා අවුරුදු තුනක් පවුල් කෑවේ..?ආහ්…?ඇයි සර්ට කියන්න බැරි වුණේ ඔයාට…ඒ ඔයාගේ දෙමව්පියෝ නේද?මොනවාද මේ කර ගාත්තේ?
චංචලාගේ විමතියෙන් පිරුණ මුහුණ ඊලඟට බිමට බරවුණේ අමු අමුවේම දෑසට නැගි උණු කඳුළු එක්ක.
“මාට්ට කියන්න චංචලා!”
කිසිදු බයක් නැතිව සෘජුව තමාට නමින් අමතන ප්රසාන්ත් දෙස හිස ඔසවා බැලූ චංචලා ,ඊලඟට ඒ තමා වෙනුවෙන් නැගුණු හැගුමෙන් වේදනාවට ගැහෙන විසල් පපුවට තුරුළු වුණා.
ප්රසාන්ත් වැසුණු දොරට බරවී යුවතියගේ හිස පිරිමදින ගමන් කථා කරන්න ගත්තා.
“මං මහේලව ගෙදරට ගෙනීච්චාට පස්සේ මිනිහා මට කාමරය ක් පෙන්නලා කිව්වා උදේ ට ඔයාලගෙ අප්පච්චි වාහනය එවනකම් ඒකේ ඉන්නය කියලා.මං කාමරේට ගියාට පස්සේ මෙන්න මිනිහත් මගෙ පස්සෙන් ඇවිත් මාව බදාගෙන ඉඹින්ඩ හැදුවා.මං “මේ මොකද”කියල සැරෙන් ඇහුවාට පස්සේ මිනිහාගේ වෙරි හිඳුන ගාණයි.”සොරි මචාං සොරි…සොරි .කාටවත් කියන්නෙපා මචාං ප්ලීස් බං “කියාගෙන ලැජ්ජාවෙන් ඒ පාර යන්න ගියා.මං එවෙලේම පාරට ඇවිත් ඇවිදගෙන ආවා.පැයක් විතර පයින් එන්ඩ ඇති.හයර් එකක් ගිහින් ආපහු එන වීල් එකක් වාසනාවට හම්බුනා.ඒකෙයි මම ආවේ”
චංචලා ඉකිබිඳිමින් ඒ පපුවට වී හිටියා.අන් කවරදාකටත් වඩා ආරක්ශාවකින් ,හැගුමකින් තමන් වෙලා ගත්තා බඳු හැගීමක් ඇයට ඇති වුණේ.
“මාට්ට කියන්න..”ප්රසාන්ත් ඇයගේ මුහුණ දෝතින් අල්ලාගෙන අහද්දී තමා වෙනුවෙන් ඒ පිරිමි නෙත් වල නැගුනු කඳුලු එවෙලේ ඇය දැක්කා.
“මොනවාද..?”
“ඇයි එදා රෑ ඔෆිස් එකට ආවේ..ඇයි මා ලඟට ආවේ..ඇයි මට මුකුත් නොකිව්වේ..ඒ කිව්වා නම් මන් හැමදේම තේරුම් ගන්නවානේ..දෙයියනේ..මං කොච්චර නම් ඔයා ගැන හිතන්න ඇතිද..අර කාමරේට වෙලා තනියම….”
ප්රසාන්ත් ඇයව තමා වෙත නැවත ඇදගනිමින් පැවසුවා.
“දැක්ක දවසේ ඉඳන් මට නොදැක බැරි වුණේ ඔය මූන.ඔයා මැරි කළ කෙනෙක් නිසායි වැරද්දකට ඉඩ නොතියන්න මන් උත්සාහ කලේ.මාට්ට ටික කාලයක් දෙන්න..ටික කාලයක් චංචලා…!මේ හැමදෙයක්ම වෙනස් වෙන්න ඕන.”
ප්රසාන්ත් ස්ථිර හඬකින් පැවසුවා.
*********************************
දවස් සති ගණනින් ගෙවී ගියා..
තවත් එළෙඹි දවසක රැයේ උඩු මහලට එමින් සිටි චංචලා මග එහෙම්මම නැවතුණේ අඬ අඳුරේ පඩිපෙලේ හිටගෙන ඉන්න අනෝමාව දැකලා.අනෝමා වේගයෙන් හුස්ම ගනිමින් ඈ දෙස බලා හිටියා.
ඊළඟට වේගයෙන් දියණිය අඟට ආ ඇය චංචලාගේ මුව ළඟින් මිරිකා අල්ලා ගන්න ගමන් රහසෙන් වුවත් දැඩි හඬකින් සැර කලා.
“මොනවද චංචලා ඔයා මේ කරන්නෙ?”
කිසි දිනෙක තමාට නම කියා ආමන්ත්රණය නොකල මව දෙස චංචලා බලං ඉන්නව.
“කියනවා.ඈ.?වෙසඟනක් වගේ..ඔයාට මේකද දැන් අඩු වුණේ..කියනවා චංචලා..මහේල මොනවාද ඔයාට අඩු කලේ..?ඔයාට මේකද දෙයියනේ ඕන වුණේ…??”
චංචලා තවමත් නිහඬයි.
අනෝමා දියණිය අත හැර ,කෙස් ඇදගනිමින් එක් අතකින් පපුව තද කරගත්තා.
“අප්පච්චි දැන ගත්තාම මේවා මොකද වෙන්නේ.කියනවා චංචලා මට කියනවා..!!මොනවාටද ඔයා ප්රාසාන්ත් ගාවට යන්නේ..දෙයි හාමුදුරුවනේ !ඔයා මේ මොනාද කරගන්නේ..?”
“බොරුවට විලාප දෙන්න හදන්නෙපා අම්මේ..ඇත්ත මොකද්ද දැනගත්ත දාට තමයි ඔයාට දෙයි හාමුදුරුවෝ අහසින් පාත් වෙන්නේ..!”
“මොනවද මේ කතා..?වැරදි කරලා කියවන්නෙපා.අප්පච්චි ට කියලා ප්රසාන්ත් වත් අස් කරලා දානවා මම තව එක පාරක් හරි මේවා මෙහෙව් සිද්ධ උනොත් !”
අනෝමා දහදියෙන් නෑවී කෝපයෙන් ගැහෙමින් දුව දිහා බලන් ඉන්නවා.
චංචලා වේගයෙන් තමන්ගේ කාමරයට ගොස් දොර වහගත්තා.ඇයට කිසිදු බයක් දැනුනේ නෑ.මවගේ කඳුළු පරයා ඇයට සිහියට නැඟුණේ අවුරුදු තුනක විවාහ ජීවිතයකුත් ගත කල තමන් තවමත් කන්යාවක් වග ප්රසාන්ත් දැනගත් මොහොතේ තමන්ගේ වෙනුවට ඔහුගේ දෑසේ නැඟි කදුළුයි.
“අර වගේ මිනිහෙක් එක්ක ජීවත් වෙලා ,,,එක අතකින් ඒක පුදුමයක් වෙන්න දෙයක් නෙවෙය්නෙ ” ප්රසාන්ත් එවෙලේ කියූ හැටි ඇයට මතක් වෙනවා.
******
කාලය ගත වුණාට අනෝමා දැන් වැඩි කතාවක් නෑ චංචලා එක්ක.ප්රසාන්ත් නොදැක අමාරු වුණත් වෙනදා වගේ චංචලාට මහ ගෙදර එන එක ටිකක් අපහසු කාර්යයක් වුණේ අනෝමාගේ ඒ නුරුස්සනා හැසිරීම නිසයි.ඒ කොහොම වුණත් ,අප්පච්චි එක්ක අම්මා මුකුත් තවම කියලා නෑ කියලා ඈ දන්නවා.
“කිව්වත් මට කමන් නෑ..අවුරුදු තුනක් මං රැක්ක රහස එතකොට මං එලි කලොත් එයාලාමයි අමාරුවෙ වැටෙන්නේ..”
ඈ හිතුව.ඒ කොහොම වුණත් සන්නස්ගල ට ටිකක් අසනීපයි කිව්ව නිසා ඇය එක්තරා දවසක නැවත මහ ගෙදර ට ආවා.අනෝමා වෙනදා තරම් නොවුණත් ඈ හා කතා බහ කරනව.
“මං හෙට යන්නෙ.” චංචලා කිව්වට පස්සෙ අනෝමා හොරැහින් බලනව.
“මහේල හා කිව්වද.?”
“ඇයි මට වෙනදත් මෙහෙ ඉන්න එපා කියලා මහේල කියලා නෑනෙ අම්මෙ.හෙට උදේ එයා එයි එක්ක යන්න.”
අනෝමා නිරුත්තර ව බලන් ඉන්නව.
මහ රෑ නිවසේ දුරකතනය නාද වෙනවා ඇහිලා අඩ නින්දේ හිටි චංචලා ඇහැරුණා..අනෝමා එයට උත්තර දෙන හඬත් ඒත් සමගම ඇය විලාප දෙන හඬත් ඇහිලා චංචලා හවුස් කෝට් එකක් උඩින් දාගෙන පහලට දුවගෙන එනකොට ත් අප්පච්චිත් ප්රසාන්ත් තුත් අනෝමා ගාව .
“මොකද අනෝමා මේ..?”
අනෝමා අතින් රිසීවරය අත හැරිළා.යකෙක් දැක්ක ගාණට ගැහි ගැහි හැමෝගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බලනවා.
“මොකද අනෝමා”සන්නස්ගල ඊගාවට උස් හඬින් ඇහුවා උත්තර නැති තැන.
” පොලිසියෙන් කථා කලේ..”
“ඒ මොකටද..?” සන්නස්ගල අහනව..
“ඇයි ඇ..ඇයි දෝණි ඔයා අපෙන් මේවා හැඟුවේ මෙච්චර කල්?”
අනෝමා කෙල පිඬක් අමාරුවෙන් ගිලලා කතා කරනව.
“තමන්ගේ පුතාට කරදර කරනවා කියලා වත්තෙ වැඩ කරන මනුස්සයෙක් මහේලට බෝතලයක් බිදලා ඇනල…ළමයා ගෙදර ගිහින් කිව්වට පස්සේ ඒ මිනිහා මහේලව මරනවාම කියලා බීගෙන ඇවිත් ඇනල.හොඳටම බීලා නිසා පාර වැරදිල ටිකක් හීරිල මහේල බේරිල හොස්පිට්ල් එකෙලු!.අර මිනිහා පොලිසියට අරන් ගිහින්.!!””
සන්නස්ගල චංචලා දිහා ඔලුව උස්සල බැලුව.ප්රසාන්ත් කොනක බලන් ඉන්නව.
“කොහොමද රටට ලෝකෙට අපි මූණ දෙන්නේ දෙයියනේ.!!”
අනෝමා ක්ලාන්ත වෙලා ඊගාවට එතනම ඇදගෙන වැටුන.
********************
“අරකා මහණ වෙනවලු..”
“කවුද”
සන්නස්ගල අහනව.ගත වුණ මාස ගණනට පස්සේ දික්කසාද වුණ ගැහැනියකගේන් දකින්න බැරි තරම් සොම්නසකින් නිතරම හැඩ වුණ චංචලාගේ මුහුණ සන්නස්ගල ටයි අනෝමාටයි මෙවෙලේ මැවිලා පේනවා
“වෙන කා..වු..ද..”අනෝමා ඕනාවට එපාවට් උත්තර දෙනව.
“මහේල…මහණ වෙනවයි කියන්නේ..කරන්න ඕන හපන්කම් ඔක්කෝම කරලා ඉවර වෙලා,දැන් සාසනේට යනවලු.පන්සලේ හාමුදුරුවෝ ටික පරිස්සං කරන්නත් යන්න වෙයි කාට හරි.!”
“කට කට..ප්රවේසමෙන් අනෝමා “
සන්නස්ගල කිව්ව.
“මගෙ කට නැතුවට මොකෝ,රටේ ලෝකේ හැමෝම දැනගෙන ඉවරයි අපේ හිටපු බෑණගෙ කෙරුවා වල්..දැන් කටවල් වල ප්රවේසම් කරන්න දෙයක් කොහෙද තව?”
අනෝමා සුසුමක් හෙලලා චංචලා දිහා බලනවා.ඊලඟට සාරි පොටින් නහයත් හූරනව.
“දෙයියනේ මේ කෙල්ලට මීගාවට යන දසාව මොකක්ද..අපි මොන කරුමෙකටද අපේ එකම දරුවාව අතැරියේ?
අනෝමා වැලහින්න වගේ අඬනව.සන්නස්ගල හාන්සි පුටුවෙන් නැගිටලා පෝටිකෝව යට හිට ගන්නව.
ලී මෝල ඉදිරිපිට කාර්යාලයේ ගිණුම් පොත් වලට නැඹුරු වෙලා ඉන්න ප්රසාන්ත් ව සන්නස්ගල ට පේනව.චංචලා මිදුලේ ඔන්චිල්ලාවක ඉඳගෙන ඒ දෙස බලා හිඳින හැටිත් හිස ඔසවපු ප්රසාන්ත් ඇය හා සිනාසෙන හැටිත් ඊළඟට සන්නස්ගල දකිනව.
චංචලා ප්රසාන්ත් ට පිලිතුරු සිනාවක් පාලා අප්පච්චි දිහාත් අම්මා දිහාත් බලනව.
“කෙල්ලට නරක කලදසාවක් යන්නෑ අනෝමා..ඔව් මට ඒක ඉර හඳ වගේ විශ්වාසයි..”
අනෝමා කිසි දෙයක් හිතාගන්න බැරුව බලන් ඉද්දී උගුරත් පාදන ගමන් එහෙම කියලා තවත් එක පාරක් විතරක් ප්රසාන්ත් දිහා බලපු සන්නස්ගල උඩු රැවුල කරකවමින් ගෙතුලට යන්න පය එසෙව්වා.
************(නිමි)
උපුටා ගැනීම: Manik Singhawansha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!