අද ඉතාම වෙහෙසකර දවසක්. ඒත් බ්රහස්පතින්දා බදුල්ලේ නිව් පේෂන්ට් ක්ලිනික් එක මං ආස තැනක්. ලංකාවෙ එක එක එක පැතිවලින් එන නානාවිධ මිනිස්සු මුණ ගැහෙන දවස අද…
පුරුදු විදිහට ක්ලිනික් එක කරගෙන ගියා… පිළිවෙළකට සරමක් සහ කමිසයක් හැඳගෙන මැදිවියෙ මනුස්සයෙක් ඉන්නව ඊළඟට වාඩිවෙලා. තලඑළලුයි. හීන්දෑරියි. බොකුටු කොණ්ඩෙ. ප්රසන්න පෙනුමයි…
දර්ශිකා ඒ මනුස්සයාව වාඩි කෙරෙව්ව. අපි ඔක්කොම හිටගෙන. පේෂන්ට් මාස්ක් එක ගලවල ලස්සනට නවල සාක්කුවෙ දාගත්ත විදිහට මට ආස හිතුන.
ඒක ගෙදර මහපු එකක්…
‘ආදරේ නෝන කෙනෙක් ඇති’ මට හිතුන…
“Sir, he requests replacement of missing anterior teeth” දර්ශිකා කියනව.
“Ok. We” ll see” කියල මම සායන පොත අතට ගත්ත. නම සෝමදාස කියමුකො. වයස හතලිස් නවයයි. අනිත් අතින් කට ඇරල බැලුව. ඉස්සරහ උඩු ඇන්දෙ දත් පහක් නෑ.
“කොච්චර කල්ද දත් නැතුව?” මං ඇහුව.
“අවුරුදු අටක්” සෝමදාස අහිංසක විදිහට හිනාවෙලා කීව.
“මොකද වුනේ? “
“බයිසිකලේ වැටුන මහත්තයො”
“ඉතිං අවුරුදු අටක් ඔහොම හිටියද? මං ඇහුවෙ ඕනවට එපාවට. මොකද එච්චර කල් හිටිය එකෙන්ම ඒ මනුස්සයාගෙ උනන්දුව අඩු බව තේරෙනව නෙ….
සමහර පේෂන්ට්ල එන්නෙ refer කරන වෛද්යවරයගෙ උවමනාවට. එහෙම පේෂන්ට්ලට ලොකු ප්රතිකාර පටන් ගන්න එකම නාස්තියක්…මම ප්රතිකාර ප්ලෑන් කරන කොටසෙ “Removable dentures” කියල ලියන හැටි දර්ශිකා බලන් හිටිය…
“අපි සියඹලාණ්ඩුවටත් එහා. ප්රයිවට් කරගන්න සල්ලියබාගෙ නෑ මහත්තයො.”
“හ්ම්”
“මේ ළඟදි දුව පෙන්නන්න සියඹලාණ්ඩුවට ගියාම එහෙ මහත්තය මාව දැකල කිව්ව පුලුවන් නම් බදුලු යන්න කියල.”
කතාව නවත්තල මං කට ඇරල බැලුව. කට පිරිසිදුයි. හැබැයි ඇතුලෙ දත් ඔක්කොම ගෙවිල. හොඳට අරක්කු බොන උදවියගෙ දත් එහෙමයි. දියවෙල යනව. ‘සල්ලියබාගෙ නැති වුනාට බොන්න අඩුවක් නෑ වගේ’ මං මටම කියා ගත්ත…
“දවසකට කොච්චර බොනවද?” මං ඇහුවෙ කටෙන් අල්ලගන්න.
“කටේ වත් තියන්නෙ නෑ මහත්තයො” සෝමදාස මගෙ දිහා කෙලින් බලාගෙන කීව.
“එහෙනං මොනවද මෙච්චර ඇඹුල්ජාති කන්නෙ?” දත් දිය වෙන්න ඊලඟ හේතුවක් ඒක…
ඒකට උත්තර දෙන්න කලින් සෝමදාසට අපූරු හිනාවක් ගියා. “කුඹුරු වැඩ කරන්නෙම සියඹලා කකා”
“ඒක මිසක්, සිගරට් එහෙම ?”
“කවදාවත් බීල නෑ මහත්තයො” සෝමදාසගෙ ඒ සත්යවාදී හඬට මට ලෝබ හිතුන…
“අරක්කු බොන්නෙත් නෑ..සිගරට් බොන්නෙත් නෑ..විට කන්නෙත් නෑ…සියඹලා කනව? ” මං ඇහුවෙ හිනා වෙවී…
“ඔව් මහත්තයො නෝනට ලොකු දූ හම්බ වෙච්ච දවසෙ හිතා ගත්ත උස්සවේකදිවත් ඕව කරන් නෑ කියල…ළමයි ටික හදාගන්න එපැයි පිළිවෙලකට”
මගෙ හිත කීරි ගැහුණ….පපුව පළල අතට ඇරන් අප්පච්චි කෙනෙක් කතා කරනව මට ඇහුණ….මං සෝමදාස දිහා ආදරෙන් බලන් හිටිය.
“ළමයි කී දෙනෙක් ඉන්නවද සෝමදාසට?”
” දූලම තුන්දෙනයි මහත්තයො. ලොකු කෙළී සාමාන්ය පෙළ ලියනව. මද්දුමී අටේ…පොඩ්ඩි පහේ…” උන්නැහැගෙ ඇස් ආඩම්බරයෙන් දිළිහෙනව. දූල ගැන කතා කරද්දි අප්පච්චිල එහෙම බව මම දන්නව….
“දූල හොඳට ඉගෙන ගන්නවද?”
“ඔව් මහත්තයො..දරුවන්ගෙ වැඩවලට සල්ලි උවමනා නිසා තමා දත්ටික හදාගන්නවත් නොගියෙ..මම නැතිබැරි මිනිහෙක්ම නෙවෙයි”
මේ මනුස්සයගෙ වචන ටික බණපදයක් වගේ…
ආදරණීය මිත්රවරුනි,
ඔය තමයි අප්පච්චිල…ඔය තමයි තාත්තල…
ලෝකෙ කොහෙ හිටියත්,
හමේ පාට සුදු වුනත්, කලු වුනත්, දුඹුරු වුනත්
දුප්පත් වුනත්, පෝසත් වුනත්
දූලට පුතාලට ආදරේ අප්පච්චිල ඔහොම තමයි…
“හරි, සෝමදාසගෙ කටේ ගෙවිල තියෙන දත්ටික ඔක්කොම පිලිවෙලට පුරවල ඉස්සරහ දත්ටික ස්ථිරව හයි කරල දෙන්නම්” මම කලින් ප්ලෑන් එක වෙනස් කරල “Full mouth rehabilitation “කියල අලුතෙන් ලියන හැටි දර්ශිකා බලන් හිටියෙ සතුටෙන්….
“ඒක සියඹලාණ්ඩුවෙ සියඹල කකා ගොවිතැන් කරන වාසනාවන්ත දූල තුන්දෙනෙකුගේ අප්පච්චිට නිදහස් සෞඛ්ය සේවයෙන් තෑග්ගක්”
“බොහොම පින් මහත්තයො” ඇස්වල කඳුළු පිරිච්ච සෝමදාසගෙ මූණ සතුටෙන් දිලිහෙනව. මං අපේ ඩොක්ටර්ස්ල දිහා බැලුව. හැමෝටම සතුටුයි…
ආදරණීය මිත්රවරුනි,
මං අරක්කු බොනවට විරුද්ධ මිනිහෙක් නෙවෙයි. මිනිස්සු විනෝදෙන් ඉන්නවට ඉරිසියා කරන මිනිහෙකුත් නෙවෙයි.
ඒත්, මං තමන්ගෙ විනෝදය තමන්ගෙ දරුවන්ගෙ යහපත වෙනුවෙන් කැප කරන තාත්තෙක්ට ගරු කරන්න බැරි නරුමයෙකුත් නෙවෙයි.
දරුපවුලට කන්න තියෙන තුට්ටු දෙක වියදම් කරල බීල ඇවිත් ගෑණිට තඩි බාන “දුප්පත්” මහත්තුරු ඉන්න රටේ “සෝමදාස” කියන්නෙ රත්තරන් මනුස්සයෙක්….
තමන්ගෙ දරුවගෙ වයසෙ ගෑණු ආදරේට අඹුකමට තියන් හුරතල් කර කර ගෙදර ගෑණිට දරුවන්ට ගොරවන ”පෝසත්” මහත්තුරු ඉන්න රටේ “සෝමදාස” කියන්නෙ පෙරුම් පුරන බෝධිසත්වයෙක්..
සරලවම, සියඹලාණ්ඩුවෙ දූල තුන්දෙනෙකුගේ අප්පච්චි අපූරු මිනිහෙක්…
උපුටා ගැනීම: ලක්මාල් කුලසේකර