දුම්බීම……. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ මතකය අනුව මගේ දුම්බීමට සෑහෙන්න දිගු ඉතිහාසයක් ඇත.. සියල්ලෝම මෙන් කුඩා අවදියේ බීඩියක් බී බැලීමේ ආශාව මට පාසලේ 6 ශ්රේණියේදී පමණ ඇතිවූ අතර ඒ පිලිබද කතාව වෙනමම ලිවිය යුතුය.. නමුත් ඒ ආශාව එක් වරකින්ම සංසිදී ගිය බැවින් නැවත බීඩියක් රස බැලීම කාලාන්තරයකින් සිදු නොකලෙමි..
පසුව සාමාන්යපෙළ වයසේ අගභාගයේදී අර්ධකාලීනවත් උසස්පෙලදී පූර්ණකාලීණවත් දුම්බීමට දැඩිව ඇබ්බැහි විය…
දුම වශයෙන් ගත්කල ඩන්හිල්, ඩන්හිල් ස්විච්, ඩන්හිල් ඩබල් ස්විච්, ගෝල්ලිෆ්…(ස්ට්රෝබෙරීස් සහ තවත් රසයන්),
බෙන්සන් ඇන්ඩ් හෙජස්, බ්රිශ්ටල්, වයිස්රෝයි, නැවිකට්,කැප්ටන්, ෆෝරෙස්, හා විශේෂයෙන් වැඩිපුරම තීරුබදු නොගෙවූ ගෝල්ඩ් සීල් වල සිට ගුදම්බරන් ඇතුලු නම් ගම් ජාතක කතා නොදත් විදේශ දුම්වැටි රාශියක් මාවිසින් පානය කර ඇති අතර එයට අමතරව මාවන්බීඩි,කැස්පර්බීඩි, තෝරබීඩි,ටොරින්බීඩි,ටොරින්ටොප්, ගිරවා බීඩි ඇතුලු නැව්ගල බීඩි ව්යාපාරයේ සියළුම බීඩි වර්ග හා ෆිල්ටරය සහිත රුවන් බීඩිද මේ මොහොතේ මතකයට නොනැගෙන බීඩිවර්ග රාශියකුත් මගේ පාවිච්චියට ගෙන තිබේ..
පහන් තිරය සව්කොලයේ ඔතා මෙන්ම හාබෙටිත් මයිල කොලත් ඔතා බීමද සිදුකර තිබේ..
එයට අමතරව පෙට්ටි සුරුට්ටු, කළුසුරුට්ටු,රම්බො සුරුට්ටු දේශීය හා විදේශීය සුරුට්ටු බොහෝ ප්රමාණයක්ද බන්ධනාගාර තුල ඔතනු ලබන අමු දුම්කොළ දමා පත්තර පිටුවල එතූ ලෝකල්ද ඇතුලුව ගත්කල මා නොකර තිබෙන්නේ යතුරුපැදියේ දුම්බටයට කටතබා ඉරීම පමණි..
මා පෙර ලිපියක විස්තර කල පරිදි තාත්තාගේ කඩයට වැලිමඩ සිට පැමිණි අර්තාපල් ගෝනි මැනින් මාකැට්ටුවට බාන්නාක් මෙන් හිටිඅඩියේ රාත්රියේදී අර තීරුබදු නොගෙවූ විදේශිය ගෝල්ඩ්සීල් සිගරට් ගෝනි ගෝනි ගොඩබෑම එකල සතියට දින තුනක් පමණ සිදුවූ සාමාන්ය සිද්ධියකි… එබැවින් ඒවායෙන් බන්ඩල් හතඅටක් ගැනීම මට අපහසුවක් නොවීය.. ඉදින් රාත්රියේදී මා යන ඕනෑම ගමනකදී රටසිගරැට් බන්ඩලයක් පිටේ ගසාගෙන යෑම මගේ සිරිතක් විය… ඒවා අනේපිඩු සිටානන් මෙන් සියල්ලන්ටෝම නොමිලේ ලබාදුන්නා මිස මුදලට විකිනීමක් සිදුකර නැත.. ඒ තරම් සුවිශාල ප්රමාණයක් නරි මා විසින් නහවා ඇත… අපි නාවා ගොඩින් තිබ්බ නරි විටෙක අපිටම හූ කියා ඇත..
රාත්රී ගමනක් ගොස් එන අතර තුර පට්ටිවිල තුන්මන් හන්දියේම නතරවී දුම්වැටියක් දැල්වීමට උත්සාහ කලවිට ගිනිපෙට්ටිය හැලී ගොස්ය.. නිවසට ගොස් තැම්පත්වීමට වඩා හන්දිය ආරක්ෂිත බැවින් දැන් මේක බොන්ටම ඕනෑය… ගින්දරත් නැත… උපන්දාසිට කරන ලද්දාවූ සියලුම පුණ්යකර්මයන් සිහිකර සත්යක්රියාවක් සිදුකලෙමි… “අහෝ දෙවියනි මා ඕනෑතරම් ආතල් දන්දී ඇත මට සිගරට් එකක් බොන්න ගින්දර නැත පිහිට වුව මැනවි..”… දෙවියන්ට ඇහුනාදැයි නොදනී…..
ඈතින් වේගයෙන් එන ත්රීරෝද රථයකි එ් තුල සිටියවුන් ශබ්දනගමින් කතා කරමින් ගිය අතර මා පසුකරනවාත් සමගම එහි සිටිය අයෙක් ඔහු⁣ පානය කර අවසන් වූ කොටය ගින්දරත් සමග එලියට විසික් කලේය..
බිම වැටුන සිගරට් කොටය සීසීකඩ විසික් වූ නමුත් ගිනිගන්නා දැල්ල කොටස රෝල්වී පැමිණ මගෙ කකුල් දෙක පාමුලම මහපාරේ දිලිසෙන්නට විය… තාරපාරේ හතර ගාතෙන් බිම දිගාවී මගේ දුම්වැටිය දල්වා ගත් මා සියළුම ඉශ්ඨදේවථා අනුස්මරණය කොට පින් දෙන්නට විය.. මගේ සත්යක්රියාව සාර්ථක වී දෙවියන් පිහිට උනේ ඒ ආකාරයෙනි….
එයින් පසු වාහනයේ ගිනිපෙට්ටියක් ලයිටරයක්.. නිවසේ කුස්සියේ, ජනේල් උඩ උලුවහු උඩ, වැසිකිලියේ, රාජකාරි ස්ථානයේ ලොකර් තුලත් වැසිකිලි තුලත් එකී මෙකී නොකී අතට හසුවන සෑම තැනකම ගිනිපෙට්ටි හෝ ලයිටර් තැබීමට මම ක්රියාකලේ නැවත ගින්දර නැතිව අපහසුතාවයට පත් නොවීමටය…
එකල මළගෙදරක නිදිමරන මගේ මිතුරන්ට මා පැමිණෙනවා දැකීම ලංකා දුම්කොල සංස්ථාවේ සිගරැට් අලෙවි කරන ජංගම රථය දුටුවාක් මෙන් ප්රීති ප්රමෝදයට පත්වන දර්ශනයකි.. කාලයක් මට ආමන්ත්රණය කරන නම “ගෝල්සීල්” විය..
වසර 16ක් එකදිගට භාරයක් ඔප්පු කරනවා මෙන් සිදුකල එම දුම්බීමේදී රසවත් සිදුවීම් බොහෝමයකි..
උසස්පෙල කරන අවධියේ වැඩිපුරම උපකාරක පන්ති වලට සහභාගී වූයේ කිරිබත්ගොඩ නගරයේය. අපි රන්චු පිටින් එකතුවී මුල් අවධියේ ප්රිස්කා බේකරියේ වැසිකිලිය ප්රධාන දුම්බීමේ කාමරය ලෙස යොදාගත් නමුත් සියළු දෙනා එකතු වී පාන් මිලදී ගෙන පාරිභෝගිකයන්ට නොමිලේ පරිහනයට ඇති සෝස් බෝතල් දෙක තුනම නැට්ටට හිදෙන තෙක් මිරිකා පාන් කෑම නිසා වෙළෙදාමෙන් ලැ⁣බෙන ලාභයට වඩා සෝස් වලට යන වියදම වැඩි බැවින් අප බේකරියට එනවිට එහි වේටර්වරයා සෝස් බෝතල් සියල්ල රැගෙන ඇතුලට ගියත් දුම්බීමට අවශ්ය නිසා අපේ පැමිනීම නතර නොවන බැවින් එහි සේවකයන් වැසිකිලි සියල්ල වසා දොරගුලු ලෑම හේතුවෙන් වෙනත් තැනක් යොදාගැනීමට අපට සිදුවිය..
එහිදී කිරිබත්ගොඩ සමනළ ක්ලබ් එක ඉදිරිපිට දෙවන මහලේ එවකට පැවති කායවර්ධන ස්ථානයට අපි විතැන් විය. එතැනට පැමිනෙන අයවලුන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එතැනත් අහිමිවූ නිසා දැනට ‘ද ලවර්’ වෙළෙදසැල පිහිටි ගොඩනැගිල්ල අවසානයේ ඇති නිවසකට යන අතුරු මාර්ගය ඒ සදහා යොදාගැනීමට අපි තීරණය කලෙමු..
නමුත් දින කීපයක් කරගෙන ගිය එම කටයුත්තට අදාල නිවස හිමි පුද්ගලයා මුලින් අවවාදත් දෙවනුව තර්ජනත් එල්ල කල නමුත් අපද ඒවා නොසලකා අපේ වැඩකටයුත්ත දිගටම කරගෙන යන ලදි… වඩාත් නුවනක්කාර වූ ඔහු දිනක් අප එම ස්ථායට යන විට මුළු කිරිබත්ගොඩ නගරයටම ප්රදර්ශණය වන සේ විශාල දැන්වීම් පුවරු දෙකක් ප්රධාන මාර්ගය අසල ලයිට් කණු දෙකෙහි සවිකල තිබූ අතර ඒවායේ “පාසල් ළමුන් දුම්බොන ස්ථානය” ලෙසත් දුම් බොන වේලාවල් පැහැදිලිව සදහන් කර තිබීමත් නිසා ඒ පැත්ත පලාත හෝ නොබලා ගමන් කිරීමට අපට සිදුවිය..
නිවැසියන් නිදාගන්නා තෙක් මැනික රකින නාගයාමෙන් බොහෝ පරිසමෙන් තබාගත් සිගරැට්ටුව ඝණ අන්ධකාරයේම කනපිට කට පැත්තට තබා ෆිල්ටරය පැත්ත පත්තු කිරීම නිසා “හෝස්”ගා ඇවිලී බීමට නොහැකි තත්වයට පත්ව කනස්සල්ලෙන් නින්දට ගිය අවස්ථාද බොහෝ ඇත..
පියාට පෙනෙන්නට පානය කර නැතත් මාගේ පියාගෙන් කිසිවක් වසන් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ.. පාසල් යෑමෙන් අනතුරුව කාලයකදී නොනගතය වෙලාවේදී කඩය තුලට යාම තාත්තා පවා නොකර අතර මටද තහනම් බැවින් අවදානමට පෙර සූදානම ලෙස මම සිගරැට් අරන් තබා ගැනීමට සිතීය.. එක වර්ගයකින් වැඩි ප්රමාණයක් ගැනීම මගින් සැකයට භාජනය වන නිසා එක් වර්ගයකින් තුන බැගින් ගෙන පොත් කියවන මේසයේ බිත්තිය පැත්තේ මේසය අගට වන්නට තබා මේසයට දැමූ රෙද්දෙන් වසා තැබීය…
අහෝ අවාසනාවක මහත.. නැකතට ආහාර අනුභවයට කෑම මේසය සූදානම් කිරීමට පියානන් මගේ පොත් සියල්ල ඉවත් කර පොත් මේසය ගෙන තිබේ… මේසය ගැනීමට පෙර රෙද්ද ඉවත් කිරීමේදී මේස ගැට්ට මත පිලිවෙලින් තබා තිබූ පතුරම් වැලක සිරිගත් සිගරැට් පේලියේ ගෝල්ඩ්ලිෆ් වල සිට බීඩි දක්වා අනුපිලිවෙලින් තබා තිබෙනු දැක තිබේ… නිවසට ගොඩවන විටම බොටුව මිරිකා අල්ලාගෙන “කාලකන්නියා බොන්න පුළුවන් ගානට ⁣ගනින්.. තෝ මොකටද මේ බීඩිත් අරගෙන..?” කියා විමසූ විට “නොනගතේ වෙලාවට විකුනන්ඩ ගත්තේ…හ්..” කියා ගැලවුනත් නොමිලේම දුන් කනේපාරවල් හතඅට අකමැත්තෙන් උවත් භාරගැනීමට සිදුවිය…
2009-2010 ත් යන වර්ෂයන් වනවිට දුම්පානය නිශ්පාදන හැකියා මායිම් වක්රයේ උච්චතම ස්ථානයට ලගාවිය. එ් වන විට විවාහ වී වෙනත් නිවසක පදිංචිව සිටි බැවින් පියාගේ කඩයෙන් පිනා ලැබුනු දුම්වැටි නොලැබීම නිසා අතින් වියදම් කර මිලදී ගැනීමට සිදුවිය. එහි ප්රථිපලයක් ලෙස එවකට ලක්ෂය ඉක්මවූ මාසික වැටුපක් හිමි රැකියාවෙන් මසකට රුපියල් දහපාලොස්දාහකට වඩා නිවසට රැගෙන යාමට නොහැකි වී සියල්ල රැකියා ස්ථානය ආසන්න කඩයට පුදන්නට සිදුවිය…
වැසිකිලියාමත් දුම්වැටියත් අතර ඇත්තේ පුපත් අඹුඩයත් මෙන් බැදීමකි.. දුමට ඇබ්බැහි වීමට ප්රධානම සාධක එකක් වූ එය සිගරැට්ටුවක් නොමැතිව වැසිකිලි ගොස් කොතරම් තැටමුවත් අවශ්යතාවය ඉටු නොවන තැන දක්වා පැමිණ තිබුනි..
කලක් මාත් ප්රිය බිරින්දෑත් බෝඩිමක පදිංචිව සිටි අවධියේ එහි වැසිකිලියට යටින් නිතරම වතුර වැදීම නිසා අඩි භාගයක පමණ කොටසක් දොරේ යටින් දිරාපත්ව කඩාවැටී තිබුනි. බිරින්දෑ රැකියාවට ගොස් නිසා කලිසම දොරෙහි වූ ඇණයේ එල්ලා නිවාඩු පාඩුවේ දුමක් උරන්නට ගත් මට හදිසියේ වතුර කරාමයක් ඇරෙන ශබ්දය ඇසුනත් ලගපාත බෝඩිමේ කව්රුන් හෝ වතුර ගෙනියන්නට පැමිණ ඇතැයි සිතා මම මාගේ පාඩුවේ අදාල කාර්යය කරගෙන ගියෙමි..
හදිස්සියේම දොර යටින් වූ සිදුරෙන් අංගසම්පූර්ණ රඹකදක් වන් ජලධාරාවක් එල්ලවූ අතර බොමින් සිටි දුම්වැටියත් දියබත්ව ඇගපුරා කඩාවැටී මගේ සර්වාංගයද නැහැවී යන පරිදි නිවැරදිම ඉලක්කයටම වතුර ගැහුවේ මොකාදැයි බලන්නට “කව්ද හු@$&” කෑගසාගෙන දොර හැර බලන විටම..ප්රිය බිරින්දෑ ඉනෙහි අත්දෙක බැදගෙන ඇස්දෙක ගොරොක් මද මෙන් කෝපයෙන් දල්වා රවා බලාසිටිනු දුටුවිට ඇරුනු වේගයට වඩා විදුලි වේගයෙන් දොරවසා කිසිවක් සිදුනොවූවා මෙන් නැවතත් වාඩි උනෙමි…
“ලැට් එහෙකට යන්ඩ නෑ සිගරට් ගඳ මගුල..” කියමින් ඇය කාමරයට ගියත් මා තවත් විනාඩි පහලොවක් පමණ වැසිකිලියේම රැදී සිටියේ අනතුරුදායක පරිසරය මදක් සමනය වන තෙක්ය.. එලියට එනවිටම වැලේ වූ තුවායෙන් හිස පිහදමින් වැසිකිලි ගොස් නොව නාන්නට ගියා මෙන් කාමරයට ගියෙමි..
කොතරම් දුම්පානය කලත් මවට පියාට හෝ බිරින්දෑට පෙනෙන්නට මා දුම් බී නොමැත.. නිවසේ සියල්ල නිදියනතෙක් සිට කළුවරේම අතපතගාමින් ගොස් මගේම ගෙදර සොරෙක් මෙන් හැසිරීමට මා දක්ෂය.. ගඳ ඒවියැයි බියට පේරකොල ගෝනි ගනනක් මාවිසින් කා ඇතිවාට සැක නැත.. දුම්බොන්නාට පේරකොළවල වටිනාකම කුඩාකල දුම්බිව් ඕනෑම කෙනෙක් දනී..
දුම්බීම රාත්රියේදී ඉතාමත් අධිකව සිදුවීමට හේ්තුව දීර්ඝ කාලයක් රාත්රියේදී පොත් කියවීමට ඇබ්බැහි වීම නිසා දැනටත් පාන්දර 3 පසුවන තෙක් නින්ද නොලැබී යාමයි.. මානසික පීඩනය වැඩි වූ සෑම අවස්ථාවකදීම වැඩි වැඩියෙන් දුම්පානය කිරීමට සිදුවිය. කාලයක් අපේ පුංචී මියයෑමෙන් පසුව එම නිවස මගේ් තනි පාවිච්චියට ගත් අතර නිවසේ් අරවුලක් හේතුවෙන් ජෝ්ගා නැමැති මගේ මිතුරෙක් රාත්රියේදී එම නිවසට විත් නිදාගැනීම පුරුද්දක් කරගෙන තිබුනි.
එකල පෙම්වතිය වූ මෙකල ප්රියබිරින්දෑ සමග අාරවුලක් හේ්තුවෙන් රාත්රි 8ට පමණ මම දුම්පානය අාරම්භ කල අතර ජෝගා රාත්රියේදී එනවිට මම දුම්වැටි පැකට් තුනකට වඩා පානය කොට සෑම තැනම අළු සහ ෆිල්ටර් කොට විසික් කිරීමෙන් කාමරය එකම දුම්කාමරයකට පෙරලා කෙසෙල්කැන් ඉදවන්නට මෙන් දුම් වැදි වැදී මුල්ලක ඉදගෙන සිටින විට මට බැනවැදී දොර ජනේ්ල් හැර කාමරයට අවශ්ය ඔක්සිජන් ලබාදුන් ආකාරය තාමත් අප දෙදෙනාගේ්ම මතකයේ ඇත…
දුමක් ඕනෑවූ විට වේලාසනින් අරන් තබන්නට අමතක වූ දිනවලදී බංඩාරවත්තේ රාත්රී කඩය වූ අමායා හෝටලයට සැතපුම් 6ක් පමණ පාපැදියේ පැද රැගෙන ඒමට මම කටයුතු කර ඇත අසනීපයකට බේතක් හේතක් ගන්නට බියගම ඉස්පිරිතාලයට එසේ බයිසිකලය පෑගූ බවක් නම් මතක නැත…. එසේ් කිරීමටද පිච්චිය නැතිවූ එක් රැයක කුස්සියට පැමිණි මා දුමක් සදහා සුදුසු යමක් සොයන්නට වූ අතර නිවසේ තේකොළ බෝ්තලය මට හසුවිය ඉන් සාමාන්ය ප්රමාණයේ සුරුට්ටුවක් ඔතාගෙන එක් කොනක් කටේ තබා පත්තුකලා පමණි ‘හෝ්ස්..’ ගා ඇවිලී රැව්ලෙනුත් කොටසක් පිච්චීම නිසා බිමට අතෑරුන සුරුට්ටුව කොරෝනාවට අල්ලන දුම් හට්ටිය මෙන් දුම්දමා අැවිලී ගියේ් කරගඳ දසත පතුරවමිනි…
එයට හේතුව හොදින් නිරීක්ෂණය කලවිට ලාඕජී වෙළෙද නාමය සදහන් තේකොල ඉතාම සියුම්ව කුඩුකොට තිබීම බව මට අවබෝ්ධ විය.. එම නිසා තේකොළ බෝ්තලය පසෙක තබා අළුත්ම සිලෝ්න්ටා පැකැට්ටුවක් කඩා එයින් සුරුට්ටුවක් ඔතා අත්හදා බැලුවෙමි එහි විශාල ප්රමාණයේ කැබලි වලට කැඩූ තේකොල විය… රැව්ලත් පුළුස්සාගෙන කල එම පරීක්ෂණය සාර්ථක විය.. දුම්කොළ නොමැති ඉතාම දුෂ්කර අවස්ථාවකදී සිලෝන්ටා තේකොල වඩාත් සුදුසු බව මම යෝජනා කරමි…
එයට අමතරව තවත් දිනක් රාත්රියේදී කොතරම් සොයා බැලුවත් ලාඕජී මිස සිලෝන්ටා නොමැති බැවින් කුස්සයේ හතර මුල්ල පිරික්සා බැලුවද ආදේශකයක් සොයාගත නොහැකිවිය… කුළුබඩු රාක්කයෙන් අවශ්යතාවය ඉටුනොවූ තැන සෑම තැනකම බැලුවත් එදානම් කිසිම දෙයක් සම්බ නොවීය.. බැරිම තැන එළවළු රාක්කවල පිරික්සා බැලීමේදී සතුටුදායක යමක් එහි විය.. එනම් වියලී කරකුට්ටම් වූ කරපිංචා කොළ අහුරක් එළවළු රාක්කයේ යටම තට්ටුවේ වැටී තිබීමයි…
එවාත් ප්රියබිරින්දෑගේ රෙදි කපන කතුරත් රැගෙන කුස්සියේ් කොට බංකුවේ හිදගෙන කෝ්ටු හා නැටි අහුලාදමා හොද ප්රමාණයේ එකක් හිරට ඔතා පත්තුකර දැල්වූ විට… ආහා…කරපිංචා පිලිස්සෙන ඉමිහිරි සුවඳ…. සිගරැට්ටුවක් මෙන් කටුක ගන්ඳයක් නොව කොත්තු දමන්නාක් මෙන් ප්රනීත සුවදක් වහනය වීම නිසා දුම්කොල නැති අවස්ථාවක වඩාත්ම සුදුසු කරපිංචා බව මා විසින් අත්හදා බලා අවබෝධ කරගන්නා ලදි….
කොතරම් දුම් බිව්වත් මහපාරේ දුම්පානයට ධෛරයක් අදටත් නැත. නමුත් එක් දිනක් සෙනග ගැවසෙනවා අඩු පාරක බෝක්කු ගැට්ටේ වාඩි වී ලෝඩ්පකීර් මෙන් දුමක් දමන විට මා පියාගේ මිතුරෙක් වූ හල්මුල්ලේ ධර්මෙ මාමා ඒ පාරෙන් යන්නට ආවේය.. ඔහු කොතැන කොහොම මා දුටුවත් “ආ පුතා කොහොමද ඉතිං..” කියා සුවදුක් විමසන්නෙක් උවත් එදා මගේ දුම්වැටිය දැක කරබාගෙන මගේ මුහුන හෝ නොබලා එතැනනින් ගමන් කිරීම නිසා බරපතල වරදක් කල බව මගේ හදවතට දැනෙන්නට වූ බැවින් මා ගමෙන් පිටවී එන තෙක්ම කිසිදු දිනක නැවත කැලෑවක මිස එලිපිට දුම්උරා නැත…
“කොළුවා ප්ලේන්ටියයි ගොල්ලිෆ් එකයි තියනව නම් උබව මරන්න හරි එක්කන් ගියෑකි බං ” කියන වැකිය ඕනෑ තරම් මිතුරන්ගේ මුවින් මා අසා ඇත..
ඕනෑම දුර ගමනක් බසයෙන් හෝ මොන රථයෙන් ගමන් කලත් නවත්වන ස්ථානය ගැන බල බලා යන්නේ නැවැත්වූ වහා දිව ගොස් දුමක් උරන්නටය… සීතලටත් උනුසුමටත් දුකටත් සතුටටත් බඩගින්නටත් උස්මුරුත්තාවටත් වශයෙන් ප්රතිවිරුද්ධ සෑම සිතුවිල්ලකම අවසානයේ දුම්පානයෙන් කෙලවර විය..
කාලකට ඉහත ගිය රැකියා ස්ථානයේ දුම්බීම සපුරා තහනම් වීම නිසා දින දෙකකින් මට එම ආයතනය තිත්ත විය.. දැනට රැකියාව කරන ආයතනයට පැමිණි මුල්ම දිනයේදී “දුම්බීමට සුදුසු ස්ථානය” නැමැති දැන්වීම් පුවරුව දුටු මා ප්රීතියෙන් පිනාගියෙමි… ඒ ස්ථානයට සුදුසු පරිදි සේවාමුරයේ වැඩපරීක්ෂක මහතා “යකෝ ඔහොම සිගරට් ගහල තෝ මැරිල යයි” කියද්දීත් ලරබෙන සෑම විවේකයකදීම මම දුම් ඉරුවෙමි..
ඒ ආකාරයෙන් බීඩියෙන් පටන් ගෙන ඩන්හිල් ඩබල් ස්විච් ගෝල්ලිෆ් ස්ට්රෝබෙරීස් වලින් දුම්පානයට සමුදෙන්නට හේතුකාරනා යෙදෙන්නට විය..
අධිකව කෙට්ටුවීම නිසා රුධිර පරීක්ෂාවකින් අනතුරුව ශරීරයේ තයිරොක්සින් හෝමෝනය වැඩිපුර ශ්රාවය වන බව හෙලිවීම නිසා ජයවර්ධනපුර මහ රෝහලේ දියවැඩියා හා අන්තරාස්රැත හෝමෝන පිලිබද විශේෂඥ වෛද්යතුමිය වූ මුතුකුඩ මහත්මිය සියල්ල පරීක්ෂාකර බලා ගැටළුවක් ඇත්නම් විමසන ලෙස ඇසූ විට..
“ඩොක්ට..මේක උනේ මොකක්හරි වැරදි පුරුද්දක් නිසාද..?”
“නැහැපුතා මේක සාමාන්යයෙන් සිද්ධවෙන දෙයක් බේත් බිව්වම හොදවෙයි.. ඇයි එහෙම ඇහුවෙ..?”
“නෑ ඩොක්ට මං විට කනව ගොඩක්..”
“ආ.. විටකෑම නිසා නෙමෙයි ඒත් තරුණ දරුවෙක්නෙ සීය කෙනෙක් වගේ විට කන්න එපා…”
“තව මේ…..”
“අහන්න අහන්න දරුවො..”
“මේ මේ ඩොක්ට ගුලි කාපු හින්දද දන්නෑ…”
“ගුලී….??? මොන ගුලිද මොර ගුලි..?”
“නෑ ඩොක්ට මේ මේ මදන මෝදක වාජීකරණ ගුලි…”
” ඔහෙට පිස්සුද ළමයෝ මොලේ හොද නැද්ද..? මේ නාකි පප්පෙක් වගේ.. ඕව නවත්තල දානවා..”
“ඩොක්ට එතකොට ගං@…”
“@$&&*@&–*%=&%% පුදුම මනුස්සයෙක්නෙ ඔහෙ ඇති ඔහොම ජීවත් වෙනවා.. දුම්පානය තහනම් හරිද කියන දේ නාහ සිගරට් හරි මොනවා හරි දුම් බිව්වොත් ඇස්දෙක ලොකුවෙලා ගෙඹිඇස් දෙකක් වගේ එලියට එයි මෙහෙ එන්ඩෙපා ඒව හොද කරන්න කියාන දැන්ම මේ මොහොතෙම නවත්තන්න.. තේරුනාද..?”
මමත් පිස්සානම් ඔළුව වනයි සේ හිස සොලවා ඒ උපදෙස් පිලිගෙන එන්නට නැගී සිටිය විට..” තව අරක්කුත් බොනවද..?” මම දත් විලිස්සුවෙමි… “ඒවත් වහාම නවත්තන්න.. දැන් යන්න ලබන මාසෙ එන්න..”
එසේ ජීවිතාශාව නිසා ගෙඹිඇස් ඇති කරගැනීමට නොකැමතිව මේ වසරේ මැයි මාසයේදී කාලාන්තරයක් තිස්සේ කල දුම්පානයට තිත තබන ලදි….. එකල රුපියල් දෙසීයක් ලග තිබුනත් දුමක් බොන්නට සිතෙන මට දැන් සමහර අවස්ථාවකදී පසුම්බියේ එකම රුපියල් 500ය සතියක් පමණ ගියත් තිබෙනු දැකීම සතුටට කාරනාවකි.. දුම්බීමේ තවත් රසමුසු දේ පසු කලෙක මතක් වූ විට ලියමි..විටක් සපමින් තැටමීම වඩාත් ලාභදායක බව මගේ සිතුවිල්ලයි….
මූලාශ්‍රය: Daham Kalyana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!