දුඹුරු ඇස් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එයාගේ දුඹුරු ඇස් මං මුල් වරට දැක්කේ පළමුවෙන් ම ඔෆිස් එකේ වැඩට ගිය දවසේ. කලු කොල්ලෙක්ට දුඹුරු ඇස්. මාව මොනතතරම් ගැස්සුනාද කිව්වොත් හුස්ම මොහොතකට නතර උනා. ඊතලයක් පපුව පසාරු කරගෙන යනවා වගේ දැනුනා.
තත්පරෙන් අහක බැලුනේ පළමු වතාවෙම ඇස් මූලිච්චි උන නිසා වෙන්නැති. ඔහු එතනින් යනකම්ම ඒ පැත්තවත් බලන්න බැරි තරමට මාව වෙව්ලුවා. ඔහු කතා කරන හඩ. හරිම මිහිරියි. වචන උච්චාරණය අහන් ඉන්න ආස හිතෙනවා.
හදවත ඩෝන් ගානවා. කර කර හිටියේ මොනාද කියලත් මට අමතක උනා. ඊට පස්සේ දවස් ගානකට මං ඔහුව දැක්කේ නෑ.
කිසිම කෙනෙක්ගෙන් ඔහු ගැන අහන්නත් බෑ. මං අලුතින් ආපු කෙනෙක් නිසා. ඔන්න ආයේමත් වැඩ ඉවර වෙන්න මොහොතකට කළින් ඔහු ආවා. ආයෙමත් ඒ දුඹුරු ඇස් මගේ ඉදිරියේ. මං ගොලු උනා. ඔහුගේ ඇස් මොනාදෝ කියනවා. ඒත් මගේ එක්ක වචනයක්වත් කතා කරේ නෑ. පරණ අයත් එක්ක කතාව. අඩුම තරමේ හිනාවක්. මට බෝඩිමට ගිහිල්ලත් මතක් වෙන්නේ ඒ ඇස් මයි. කවදාවත් දැකලා නෑ ඒවගේ ඇස් දෙකක්…..
මේක සිද්ද උනේ අවුරුදු ගානකට කළින්. මට තාමත් ඔහුව මතක් වෙනවා. අඩුම තරමේ ඔහු මුහුණු පොතේවත් නෑ.
ඒ සුන්දර මතකය ඔස්සේ මං ආයෙම කල්පනා කරා. මං වැඩට ගියපු දවස්වලමයි ඔෆිස් එකෙන් ට්රිප් එකක් යන්න ලෑස්ති උනේ. හැමෝටම නොමිලේ බස් ගාස්තුව හා කෑම. මං අලුතෙන් ගියත් මටත් යන්න අවස්තාව හම්බුනා. ඒ වෙනකොටත් එයා මගෙත් එක්ක හිනා වෙලාවත් නෑ. මං යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවකින් හිටියේ.
යන්න කියලා හිත කිව්වත් ලොකුකමට යන්නේ නෑ කියලා හිතා ගත්තා. දුඹුරු ඇස් තමයි බස් එකක් කතා කරේ. A/C බස් එකේ පොටෝ පෙන්වනවා කට්ටියට . මං ඉතින් මට අදාල නෑ වගේ හිටියා. අන්තිමේ දී හෙට ට්රිප් එක යනවනම් එයා මගේ ළගට මගෙන් ඇහුවා ඔයා එනවද කියලා . මං ගත්ත කටටම නැහ් ගෑවා.
එයාට එහෙම කිව්වට මං ට්ර්ප් එක යනවා කියලා අනිත් අයට කියලයි තිබ්බේ. එයාට එහෙම කියලා මං මොකද්දෝ සතුටක් ලැබුවා. අනිත් අයට නොපෙනෙන්න එයා කාඩ් එකක් මගේ ළගට තල්ලු කරලා යනවනම් කෝල් එකක් දෙන්න කියලා ගියා.
ඉතින් මං ට්රිප් එක ගියා. මාව දැක්කම එයාගේ ඇස්වල සතුට උතුරනවා.
මං එයාට කෙටි පණිවිඩයක් යැව්වා. මේ මං ආවා කියලා. එහෙම ඇරඹුන එයාගෙයි මගෙයි හිතවත්කම ට්ර්ප් එක නිසා ගොඩක් ළං උනා. දවස් තුනක් ත්රිකුණාමලය ප්රදේශයේ සංචාරය. පාසිකුඩා නෑවා. කෝණේශ්වරම් කෝවිලේ ගියා. බොස්ලා, මැනේජර්ලා කරටි කැඩෙනකම් බිව්වත් එයා බිව්වේ නෑ.
ඇත්තටම අපි යාලුවෝත් නොවන පෙම්වතුනුත් නොවන තරම් හිතවත් දුරකතනයෙන්. හැබයි මූනට අපි දෙන්නම කතා කරේ නෑ. එත් මං ආදරේ කරා ඒ වෙනකොටත්. මගේ මුලු හදවතම පිරිලා තිබ්බේ එයා නිසා. එයා කවුද කාගෙ කවුද මං කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ.
මං එයාගේ නම දැන ගත්තේ එයා මට විසිටින් කාඩ් එක දුන්න දවසේ. මට ඒ නම සිංහල නමක් නෙමෙයි කියලා තේරුනා. පළවෙනි බෝම්බය පිපිරුවා උනත් හදවතේ මං ඒක ඇහුවේ හෙමිහිට. ඔව් එයා දමිළ. ආගම කතෝලික හරිම ලස්සනට සිංහල කතා කරත් එයාට හ’ අකුර ශබ්ද කරන්න බෑ. හ වෙනුවට ශබ්ද වෙන්නේ අ. ඒකෙත් හරිම ලස්සන මිහිරි බවක් තියෙන්නේ . හදනවා නෙමෙයි අදනවා. මං එයාගේ සිංහල උච්චාරණය පුදුම තරම් රස වින්දා.
ගෙදරි න් කවදාවත් මේ සම්බන්දෙට කැමති නැති වෙයි කියලා හිතුනත් මට බැරි උනා එයාට ආදරේ නොකර ඉන්න. මං හිතින් පුදුම තරම් ආදරේ කරා. එයා මගෙන් මුකුත් ඇහුවේ නෑ. ඔෆිස් එකේ අය ඉස්සරහා මාත් එක්ක කතා කරේ නෑ.
සංස්කෘතිය යි ආදරේ යි අතරේ මං හිතින් සටන් කළා.
දවසක් එයා මට ෆෝන් එකෙන් කතා කරද්දී කිව්වා ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. මං හිතින් ඉපිල්ලුනා. එයාගේ ආදර ඇරයුම බලාපොරොත්තුවෙන් . ඔව් එයා කතා කරා කිව්වා මට.
මහ ගොඩක් ආදරෙයි. මං ඔයාට … ඒක මට ඇති උනේ ඔයාව දැකපු දවසෙමයි. පළමු මොහොතෙදිම.
ඒත් මං අසරණකමට කිව්වේ නෑ. ඔයා කැමති වෙයි ද දන්නේ නෑ කියලා.
මං පිළිගත්තා ඔහුගේ ආදරේ. හැම ප්රශ්නයකට ම මුහුණ දෙනවා කියලා හිතාගෙන. ඔහු මට ගොඩක් ගොඩක් ආදරේ කරා.
මට රස්සාවෙන් නතර වෙන්න කිව්වා. කෙල්ලෙක් විදිහට අවශ්ය හැමදේම අරන් දුන්නා. හැමදේම කළේ මගෙන් අහලා. එයාට පොඩි කාලේ ඉදලා අම්මා ඉදලා නෑ. අම්මා වෙන විවාහයක් කරගෙන. අම්මගේ ආදරේ එයා මගෙන් බලාපොරොත්තු උනා.
මාව බලන්න එයා 50 Km ක් විතර දුර ආවා. සති දෙකෙන් දෙකට ඉරිදට ආවා. මාත් පැය දෙකකට ගෙදරින් ශේප් වෙලා එලියට ගියා.
මාව ගොඩක් ආරක්ෂා කරා එයා. කිසිම අනවශ්ය දෙයක් මගෙන් බලාපොරොත්තු උනේ නෑ. ඉතින් මාත් හුස්ම තරමටම ආදරේ කරා.
එයාට තිබුනේ පුදුම ආකර්ශනීය පෙනුමක්. කෙල්ලෙක් උනත් දෙපාරක් බලයි. ඒ වගේම උස. උසට සරිලන මහත. අපි දෙන්න යද්දී කවුරු උනත් හොදට බලනවා.
ඔහොම කාලයක් ගෙවුනා. එයා ටිකෙන් ටික මගෙන් දුරස් උනා. මට ඒක දරාගන්න බැරි උනා. මං ඇඩුවා. එයා ළග ඉකි ගගහා ඇඩුවා. එයා මගේ කකුල් දෙක ගාව වැද වැටුනා එයාව අමතක කරන්න කියලා .
ඔයා ඉගෙන ගත්තු කෙල්ලෙක් , ගොඩක් ලස්සනයි . ඔයාට හොද මහත්තයෙක් හම්බෙයි. ආයේ එයාව හම්බෙන්නෙපා. කියලා මට සමු දුන්නා.
අහස තරම් මං ඇඩුවා. පිස්සියෙක් උනා. මගේ ෆෝන් එකවත් ආන්සවර් කරේ නෑ. නොකා නොබී ඉදලා කෝටුවක් උනා. ඒත් මං එයාට හැමදාම sms කරා. එයා කිසිම උත්තරයක් එව්වේ නෑ.
මාස තුනක් විතර ගෙවුනා. දවසක් එයාගෙන් කෝල් එකක්. මට දරාගන්න බැරි තරම් සතුටුයි.
මට සමාවෙන්න ඔයාට මෙහෙම දුක් දුන්නට. මට දරාගන්න බෑ ඔයා දුක් විදිනවා. මං ඔයාට ගොඩක් ආදරෙයි. මං කතා කරන්නම්. කියන වෙලාවක බලන්න එන්නම්. ඔයාගේ හිත හැදෙයි කියලා ඉවසන් හිටියේ. කියලා එයා කිව්වා.
ඔව් එයා නැති ජීවිතේ මගේ සතුට නැති උනා. මං හැම පෝයටම සිල් ගත්තා . පැයක් පිරිත් කිව්වා. ටිකෙන් ටික එයා ගැන තිබුන බලාපොරොත්තු අඩු කරගත්තා. කාලයක් ගතවුනා . අවුරුද්ද ක් විතර. එයා ඒත් මට කතා කරා.
අන්තිමේදී එයා වැඩ කරපු තැනින් අයින් වෙලා. එයාගේ ඔෆිස් ෆෝන් එක භාර දීලා. මට එයා ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබුනේ නෑ.
හිත හදාගෙන හිටියත් මට එයාව හැම මොහොතෙම මතක් උනා…..
අවුරුදු 4ක් ගෙවිලා ගියා. මං අද හොද රස්සාවක් කරනවා. ඉදලා හිටලා හිත අස්සේ රිදුමකුත් එක්ක ඒ දුඹුරු ඇස් මතක් වෙනවා. දුඹුරු ඇස් දෙකක් දකින් හැම වාරෙකම හිත පිච්චෙනවා. ඒත් කවදාවත් දුඹුරු ඇස් තියෙන කලු කොල්ලෙක් මං දැක්කේ නෑ.
දවසක් මුහුණු පොතේ මැසෙන්ජර් වලට හායි කොහොමද කියලා මැසේජ් එකක් ආවා. මං රිප්ලයි නොකර ඉන්නත් හදලා පොඩියට තියෙන ප්රොෆයිල් පික්චර් එකේ හුරුවට බැලුවා.. දෙය්යනේ එයා ආයේමත් .
ඔව් මං දෙපාරක් හිතුවේ නෑ. කෝල් එකක් ගත්තා. විස්තර කතා කරා. දැන් ඉන්නේ නුවර. ගිය අවුරුද්දේ කසාද බැදලා. සිංහල කෙල්ලෙක්. බබෙක් හම්බෙන්න ඉන්නවා කිව්වා. එයා මාව fb එකෙන් පස්සේ කාලෙක හොයලා. මං ඒ කාලේ හිටියේ වෙනත් නමකින්. දැන් තියෙන්නේ ඇත්ත නමා. ඉතින් දවසක් අහම්බෙන් මගේ ෆොටෝ එක දැකලා. ..
ගොඩක් වෙලා කතා කරා.. අන්තිමේදී එයා මගේ මුහුණු පොතේ අදටත් යාලුවෙක් විදිහට ඉන්නවා..
පසු සටහන
සත්ය කතාවකි. මගේ කතාවක් නොවන බව කරුණාවෙන් සළකන්න .
සමහර කරුණු ඉවත් කර කතාව ලියුවෙමි.
උපුටා ගැනීම: Thushari Liyanarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!