“එතකොට ආයෙ මං එක්ක කතා කරන්නෙ නැද්ද?”
“ම්ම්ම් නෑ”
“අනේ ඇයි එහෙම කරන්නේ?”
“මං කොහොමද කලින් වගේ ඔයාට කතා කරන්නේ?”
“ඇයි එහෙම කතා කරන්න බැරි?”
“කලින් විදියට කතා කරන්න බෑනේ ඔයාට අයිතිකාරයෙක් ඉද්දි. හොඳම දේ මම ඔයාව නොදැන හිටපු කාලෙට ආයෙම යන එක”
කැම්පස් ජීවිතේ හතරෙන් තුනක් ගෙවිලා ගිය අවුරුද්දේ නිදි නැති දවසක, පාන්දර වෙන්න හුවමාරු උන මෙසේජ් කීපයක් කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු ගානක් වෙලත් සමහර දවස් වලට සමහර දේවල් වලින් ඒ දවස ඉබේම හිතට ඇවිත් පැය ගණන්, වරු ගණන් මාව පිස්සෙක් කරනවා. තරිඳු දම්සර මගේ ආසම ගායකයා උනාට එයාගේ ප්රේම සජ්ජායනාවට මං නොහිතම වෛර කරනවා. ඇතුගල වෙහෙර සිංදුව ඇහෙන හැම වතාවකම ආයෙ ආයෙ අලුතෙන්ම මූඩ් එක වෙනස් වෙනවා. එදා එයාගේ ඉල්ලීමට ලෙක්චර් හෝල් එකේ දාපු ප්රේම සජ්ජායනාව එදා ඉඳලා කවදා ඇහුවත් මගේ හිතත් ඒ තාලයටම අඬනවා.
දවස් තිබුනා අපටත්..
දුරින් හිඳ මිමිනුව..
හදින් වෑහෙන ආලෙයෙන්…
අතින්වත් අත නොඇලුන…
ඉස්සර වගේම අදත් ලෙක්චර් හෝල් එකේදි මගේ නෝට් වල එයා ඇඳපු කාටුන් දිහා මං බලන් ඉන්නවා. ඕන උනාම මගේ පර්ස් එකේ තියෙන අපි දෙන්නගේ පින්තූරේ දිහා බලන් හූල්ලනවා. තාමත් නෝට් වල තියන් ඉන්න එයාට ලියපු කවි ආයෙ ආයෙ කියවනවා. දෙන්නට දෙන්නා දැනුන කාලෙ, හැමදේම සම්මත විදියට මට පළවෙනි අඩිය තියන්න ඕන තරම් කාලය එයා දීලා තිබුනා. අවුරුදු තුනක්ම! මල් පාරේ අත් පටලන් ඇවිදින්න, බංකුවකට වෙලා පැය ගණන් කතා කරන්න, ඉඳලා හිටලා එළියෙන් කන්න යන්න, මට ඕන නොවුනට එහෙව් ආදරයක් අනික් හැමෝටම ඕනෙ කියලා හිතන්න ඒ කාලේ මට අතපසු උන එක මගේ ජීවිතේ ලොකුම පසුතැවීම වෙයි කියලා මං කොහොම දැනන් ඉන්නද… එකම එක වතාවක් ට්රිප් එකක් ගිහින් ආපහු එන ගමනේ මගේ උරහිසට ඔලුව තියන් නිදාගෙන ඉද්දි වැදුන හුස්ම තාමත් මාව උණුසුම් කරනවා. අවුරුදු ගානකට දැක්කෙ නැති උනත් මට රිදෙයි කියලා දන්න නිසාම සමහරු එවපු එයාගෙ වෙඩින් එකේ පින්තූර දිහා බලන් වරු ගණන් කල්පනා කරනවා. වේල් එකෙන් වැහුනත් ලාවට වළ ගැහෙන හිනාව මං ඒ පින්තූර වල මවා ගන්නවා.
කැම්පස් ජීවිතෙන් ඉතිරි වෙලා ආපු සමහර නොබිඳෙන සහෝදරකම් අදත් කෝල් කරාම මට දෙහි කපනවා.
“කොච්චර කල් ඔහොම ඉන්නද හදන්නේ උඹ?”
“උඹට තාම ඇති උනේ නැද්ද ඕක”
“උඹට අවුරුදු තුනක් තිබ්බා ඒකිගෙන් අහන්න. දැන් බොරුවට පිස්සෙක් වගේ හැසිරෙන්න එපා”
“උඹ හිතුවද උඹ අහනකල් ජීවිත කාලෙම ඒ කෙල්ල බලන් ඉඳී කියලා”
මගේ කතාවත් කියාගන්න බැරි වෙලා නිරපරාදේ වැළලිලා ගිය තව එක කතාවක් විතරයි කියලා මමත් තාවකාලිකව හිත හදා ගන්නවා. මොන හීනෙට ගියත්, මොන ජයග්රහණය ලැබුවත් හැමදේකම අවසානෙට මං එයාට අන්තිමට දුන්න පොරොන්දුව මතක් කරනවා.
“අන්තිම පාරට පොරොන්දු වෙනවද එහෙනම්?”
“මොකක්ද?”
“මං නැති උනාට කමක් නෑ. හොඳට ඉගෙන ගෙන ක්ලාස් එකක් ගන්නවා කියලා පොරොන්දු වෙනවද? ආස කරපු හීන වලට යනවා කියලා?”
“ආස කරපු හීන තිබුනේ ඔයා එක්ක වෙද්දි මම කොහොමද තනියම ඒවට යන්නේ?”
“අනේ නිළමේ”
“හ්ම්ම්ම් හරි හරි. මං පොරොන්දු වෙන්නම්
“

සිටිය දා ඔබ ළඟට වී මට සෙනෙහසින්
නොකීවද මා හදේ හැඟුමන් පෙම් රසින්
නැගෙන තුරු සඳ ආයෙ අහසක අවපසින්
එදා වාගෙම තවත් ඉන්නම් මදහසින්
උපුටා ගැනීම: Nimesh Aththanayake