මෙම සිදුවීම දැනට අවුරුදු 4කට පමණ පෙර සිදුවූ බව යන්තම් මතකයේ ඇත, එවකට මම ආයෝජන මණ්ඩලයේ ව්යාපාරයක සේවය කරමින් සිටියෙමි. අප ආයතනයේ තනතුරු කෙසේ උවත් වැඩක් කරන්නට පටන්ගත්විට සියලු දෙනාම එක හා සමානව වැඩ කරයි කොටින්ම කියනවා නම් සියල්ල සිටියේ හෙන ෆිට් එකෙනි.
ටික කලකට පසුව ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ විවිධ වෙනස්කම් ඇතිවිය, ඒ සමගම විදේශ රටකින් ආයෝජකයන් කිහිපදෙනෙක් දිනකට පසු හදිසියේ පැමිණෙන බවට අපට ආරංචියක් ලැබුණි. එයින් කලබලයට පත්වූ අපේ දේශීය අධ්යක්ෂකතුමා “දෙවියන්ට පමණක් කල හැකි කාර්යන් ” කිහිපයක් මට පැවරීය.
ඉන් ප්රථම කරුණ උනේ ෆැක්ටරියේ පොලොව කඩතොළුවී ඇති බැවින් එය තීන්තගා පිළිසකර කිරීමට කටයුතු කරන ලෙසයි, එය කිරීමට දේශීය අධ්යක්ෂකතුමාගේ හිතවත් බාස් කෙනෙක් එන බවත් ඔහුට රුපියල් පනස් දහසක ප්රතිපාදන ලබාදෙන ලෙසත් උපදෙස් ලැබුණි. මෙම මුදල කිසිසේත් ප්රායෝගිකව මා නොගෙවන මුදලක් උනත් කපටි අධ්යක්ෂක වරයාගේ ක්රියාකලාපය උහුලාගෙන සිටියෙමි.
සවස 3ට පමණ බාස් පැමිණ ඇතිබවට ඇමතුමක් ලැබී තිබුන නිසා මම කාර්යාලයේ සිට අධිවේගී මාර්ගය හරහා වහා එහි ගියෙමි. අඟල් තුනේ පින්සලක් එක අතකින් රැගෙන ෆැක්ටරිය අසල සීයා කෙනෙකු සිටගෙන සිටියේය, මම පැමිණ ෆැක්ටරියේ දොර අරිනවාත් සමගම හිසේ අත තබාගෙන “අනේ අපොයි මහත්තයෝ” කියලා බිම වාඩි උනි. එයට හේතුව උනේ එය වර්ග අඩි 12,000ක අධික විශාල බිම්ප්රමානයක පැය කීපයක් ඇතුලත තීන්ත ආලේප කිරීමට සිදුවූ නිසාය. කෙසේ හෝ ඔහුව කැමති කරවාගෙන තීන්ත ලබාදී මම නැවත කාර්යාලයට ගියෙමි,
රාත්රී 9ට පමණ මා නැවත යනවිට ඔහු යන්තම් කාමරයක ප්රමාණයක් ගා අවසන් කර නැවත ගම්බිම් බලයාමට සැරසී සිටියේය,ඔහුට මම කෙතරම් ඇවටිලි කරත්, “සල්ලිත් එපා මහත්තයයෝ මේ වැඩේ මට කරන්න බෑ” යන්න ඔහුගේ ඒකමතික තීරණය විය. මලකෙලියකි දැන් වැඩේ කැරකෙන්නේ මගේ ඇඟටය, පොල්ලෙන් හෝ කැත්තෙන් වැඩේ කිරීම මගේ ක්රියාකලාපයයි පනස්දහසක් ගසාකෑමට සිතු අධ්යක්ෂවරයාට හොද පාඩමක් ඉගැන්වීමට මම කල්පනා කලෙමි.
කාර්යාලයේ සිටි කොල්ලෝ සෙට් එකට කෝල් එකක් ලබාදී වහාම ජංගම දුරකථන ඔෆ් කරනා ලෙසත්, හෙට පාන්දර වනතෙක් ක්රියාත්මක නොකරන ලෙසත්, මොකෙක් හරි ක්රියාත්මක කර හසුඋවහොත් තනිවම ෆැක්ටරියේ තින්ත ගෑමට යවනා බවත් දන්වා බියගැන්විය.
බාස් සීයා ද පිටත්වී පැයකට පමණ පසු රාත්රී 10ට පමණ අධ්යක්ෂකතුමාට දුරකථන ඇමතුමක් ලබාදුන්නෙමි.
මම – “බොස් මාර ප්රශ්නේ මම උදේ 4ට එයාපෝට් යන්න ඕනි, එත් මේ බාස් ගෙදර ගියානේ “
බොසා – “මොකක්, දෙන්න ෆෝන් එක ඔය මිනිහට”
මම – “ඒ යකා මෙන්න දිව්වා පාරට, දැන් මොකද බොස් කරන්නේ ? ඌ තැනින් තැන ගාලා තියෙන්නේ පට්ට කැතයි, ඌ බීලද කොහෙද! “
බොසා – “ඔයා ඔතන ඔහොමම ඉන්න මම එන්නම්”
වහ වහා හනිකට පින්සල ගත්ත මම අඩි 20 20 ප්රමාණයේ කොටු කිහිපයක් ෆැක්ටරිය පුරාවට සලකුණු කලෙමි, තීන්ත ගෑ ප්රදේශ කිහිපයක් කොස්සෙන් ඇද විකුර්ති කලෙමි. තැනින් තැන තීන්ත බින්දු කිහිපයක් විසුරුවා දැම්මේමි. තීන්ත ගෑමට ගෙනා බුරුසු එකක් පමණක් ඉතිරිකර සියල්ල මාගේ වාහනයට දාගත්තෙමි. ෆැක්ටරියේ DB එක යතුරෙන් ඇර ප්රදේශ කිහිපයක බල්බ අක්රිය කලෙමි.
පැය බාගෙකට පමණ පසුව ලොක්කා ඔහුගේ කාරයේ පැමිණියේ පැනගිය බාස් සමගය, දැන් ලොක්කා සහ බාස් අතර ගෝරියකි.
ලොක්කා – “තමුසේ වැඩේ පුළුවන් කියලනේ බාරගත්තේ දැන් කරනවා, කොහේ යන්නද ?”
බාස් – “හරි මහත්තයා ගානනම් මම”
එලෙස පැවසූ බාස් සීයා ඉතාම අලසකමින් සෙමින් බුරුසුව බිම ඇතිල්ලීමට පටන් ගත්තේය. ලොක්කා බක පණ්ඩිතයෙකි බාස්ට බාස් වැඩේ උගන්වන්න යන බව මම නිරායාසයෙන්ම දැනගත්තෙමි.
ලොක්කා – “ඔහොම නෙමෙයි මනුස්සයෝ මෙහෙම සර සර ගාලා ගානවා, හෙමින් කලාම සතියක් මේක ගාන්න වෙයි”
බාසා- “උදේ ඉඳලා ගානවා මහත්තයෝ අත් දෙකේම ඇඟිලි රිදෙනවා එකයි යන්න බැලුවේ”
ලොක්කා – “දෙනවා ඔයි පින්සල, මම ගානනම්, මෙන්න මෙහෙම ගාන්නේ, මෙන්න මෙහෙම ගාන්නේ, මෙහෙම මෙහෙම”
එලෙස කියමින් ලොක්කා, ටයි පොල්ලද එල්ලාගෙන බිම ඇති බාල්දියක් උඩ වාඩිවී හොඳ ඇඳුම් පිටින් පොළොවේ තීන්ත ගායි, ලොක්කට දාහට නැගලාය. පැත්තක ලයිටුත් නැත. තව යකා නගියි.
මේක දැක්ක මම බාස්ගේ අඟල් තුනේ පින්සල ඉල්ලගෙන කවදාවත් තීන්ත ගාලා නැති විදිහට මිට මොලවලා දත් මදිනවා වගේ ගාගෙන ගියෙමි. එවෙලේම බොසා “ඔයා තීන්ත ගාන්න දන්නේ නෑ නේ!
ඕක බාස්ට දෙන්න පරක්කුවෙනවා” යැයි පැවසිය.
උරාගෙ මාළු ඌරගෙ ඇඟේ තබා කැපු මම රාත්රී 12ට පමණ මම කටුනායක එයාපෝට් යන්න පිටත්විය, පසු දින උදේ වෙනකම් ලොක්කා තීන්තගෑ බවත්, රාත්රී තුනට පමණ බාස්ට කොස්සෙන් ගැසූ බවත් පසුදින උදෑසනම ආරංචි විය.
උපුටා ගැනීම: Pasan Manulajith