(සැබෑ චරිතයක් සහ ඒ හා ඈඳුනු සත්ය සිදුවීම් ගොන්නක් පාදක කොටගෙන නිර්මිත මනඃකල්පිත පබැඳුමක් බව කරුණාවෙන් සලකන්න.)
මලයාඩි වැවට වැහි බිංදු වැටෙනව මං බලං හිටියෙ මහ හිස් බැල්මකින්. ඒ වැහි බිංදු වැව්තලේ පුරා වැටෙනකොට, හරියට පුංචි පුංචි මුතුකැට දාස්ගණනින් ඉහිරිලා රිදී මාගලක පොලා පනිනව වගෙයි මට පෙනුනේ. එවේලෙ ඒ ලස්සන මං ඇස් දෙකෙන් වින්දට, හිත ඇතුලට ඒ ලස්සනේ සතුට කාන්දු වුනේ නෑ. සොබාදම් අම්මගෙ පුංචි පුංචි හැඩහුරුකම් වලත් සැඟවුණ අපූරු සෞන්දර්යයන් හොයල සතුටු වෙන විදිය ගැන, යාලුවන්ටත් දේශනා දෙන මගේ ආත්මය පුරා මහ මුඩුම හැඟීමකුයි ඒ වෙලාවෙ තිබුනේ.
ඒ වැහිබිංදු වලට නොතෙමි, හිරිකඩ වල හීතල විතරක් විඳ විඳ පොල්අතු හෙවිල්ලපු තානායමේ ආලින්දෙ උණුහුම් තේ කෝප්පයක් තොල ගගා හිටියට, මගේ පපුවෙ පැත්තක් සැරින් සැරේ ඇදුං කෑවා. මේ මහ වැස්සෙත් ‘ඩොක්ටර්’ වැව් තාවුල්ලට මෙපිට මහ සියඹලා ගහ යට තෙමි තෙමී ඉන්නව ඇති. රෙදි කෑලි ගුටි ගුටි අතේ පයේ පටලව ගෙන අවුරුදු ගාණක් හිඟුරානෙයි, මලයාඩියෙයි කොල්ලන්ගෙ උසුළු විසුළු එක්ක ජීවත් වෙච්චි ‘ඩොක්ටර්’ට නං මේ වැස්ස මහ අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති. මේ තෙමිල්ල ගාණක්වත් නැතුව ඇති. ඒත් මගේ හිත ඇතුලෙන් ලතෝනි දුන්නෙ ඒ අහිංසකයට නොදැනෙන ඒ මහා වේදනාව මගේම කරගෙන.
තිස්ස ඉරුගල්බණ්ඩාර බෙලාරුසියාවෙ මින්ස්ක් විශ්වවිද්යාලෙ වෛද්ය උපාධිය හමාර කරල ලංකාවට ආවෙ “ඩොක්ටර් තිස්ස ඉරුගල්බණ්ඩාර” වෙලා. උසස් පෙළින් ඉහළින්ම සමත් වෙලා පේරාදෙණියෙ වෛද්ය පීඨයට යන්න වරම් ලැබුවත්, තිස්ස කැමති උනේ වැඩිදුර අධ්යාපනයට පිටරටකට යන්න. ඒ හින්දම ඉල්ලුම් කරපු රුසියානු මිත්රත්ව පදනමේ පූර්ණ ශිෂ්යත්වෙට කිසිම දේශපාලන බලපෑමක් නැතුවම තිස්සව තේරුණා. අවුරුදු පහක් කියන්නෙ මහ කාලයක් නොවුණත්, රුසියාවේ ගතකරපු ඒ ජීවිතය, තිස්සගේ සිතුම් පැතුම් බොහෝ සෙයින් වෙනස් කරා.
නුවර රදළ පැලැන්තියෙ පවුලක කොල්ලෙක් උනාට කුල මාන්නය තඹේකට මායිං නොකරන මනුස්සයෙක් බවට තිස්ස පත් උනේ ඒ ලබපු කොමියුනිස්ට් පන්නරයට. හැබැයි තිස්සගෙ තාත්තා බොහොම දරදඬු කුල මාන්නෙන් ඔළුව උදුම්මගත්තු පාරම්පරික වංශවතෙක්. තමංගෙ එකම පිරිමි දරුවා රුසියාවෙ ගිහිං කාටත් නොකියම සුදු බවලතියක් කරගහ ගෙන ගෙදර එයි කියල මේ කුලීන දෙමව්පියො නං හීනෙන්වත් නොහිතන්න ඇති. හැබැයි මේ පුහු කුල මාන්නෙට පයින් ගහන්න ඕනෙයි කියන විප්ලවකාරී චේතනාව හින්දමද කොහෙද, තිස්සත් ඒ වගේ ජීවිතේ වැදගත් තීරණයක් දෙමව්පියන්ගෙ අනුදැනුමකින් තොරව ගන්න හිතුවේ.
කොහොම උනත් අම්මගේ ආදරේ උණුහුම හින්ද තිස්සටත්, ඔහුගේ අලුත් සුදු මනමාලිටත් ඉරුගල්බණ්ඩාර වලව්වෙ දොරවල් ඇරුනට, අප්පච්චිගෙ රැවුම් ගෙරවුම් එක්ක ඒ වහල යට වැඩිකලක් ඉන්න තිස්සට ඕනෙ කමක් තිබුනේ නෑ. පේරාදෙණිය ඉස්පිරිතාලෙ තාවකාලික පත්වීම අතෑරලා, හිඟුරාන සීනි කම්හලේ රජයේ බෙහෙත් ශාලාවේ වෛද්යවරයෙක් විදියට රැකියාවක් ලබා ගත්තේ ඒක හින්දමයි. පේරාදෙණියෙ රෝහලේ ඉඳල සුවපහසු ජීවිතයක් ගත කරන්න පුලුවන් උනත්, මේ හද්ද පිටිසර ජීවිතයකට තිස්ස විතරක් නෙමෙයි, අලුත් සුදු කුමාරිහාමි අල්යෝනාත් කැමති උනා.
කර්මාන්ත පරිශ්රය තුල තමන්ට හිමි වූ නිල නිවාසය වෙනුවට, එයින් පිටත මලයාඩිය ගම්මානය සමීපයේ නිවසක් කුළියට ගෙන, එය අළුත්වැඩියාවට ලක්කර පදිංචි වීමට තිස්ස සහ අල්යෝනා තීරණය කරේ, දෙදෙනාම නිදහස හා පෞද්ගලිකත්වය අගය කරපු නිසා. කොන්ක්රීට් ගොඩනැගිලි වලින් වටවෙච්ච පරිසරයක ජීවත් වෙනව වෙනුවට සොබාව සෞන්දර්යයත් එක්ක ජීවත් වෙන්න, මේ ජෝඩුවගෙම තිබ්බ ප්රියතාවය හින්දමත් ගමෙන් ටිකක් එපිටහට මලයාඩිය වැවට ළංවෙන්න ජීවත් වෙන්න මොවුන් තෝරගත්තා.
බිරිඳටත් එයාගෙ සුදුසුකම් වලට හරියන රැකියාවක් සීනි සංස්ථාවෙම සොයා දීමට තිස්ස බලාපොරොත්තු උනත්, සිංහල භාශාව අල්යෝනාට ඒ වෙනකොට හරිහමං තරමකට බැරි නිසා, ඒක හිතන තරං ඉක්මනට කරගන්න පුලුවන් කමක් ලැබුනේ නෑ. තිස්ස වැඩට යද්දි, අල්යෝනා ගෙදරට වෙලා කම්මැලි කමේ හිටියා. පස්සෙ පස්සෙ මේ සුදු තරුණිය තනියම හරි, වැඩට හිටපු දෙමළ කෙල්ල ‘මාරි’ එක්ක හරි ගමේ ඇවිදින්න පුරුදු උනා.
අල්යෝනට තිබ්බෙ ලා දුඹුරුයි රත්තරං පාටයි කලවං වෙච්ච අක්බඹරු කොණ්ඩයක්. ලා කහපාට පැහැපත් මුහුණ අතපය. තදනිල් ඇස්, දිගටි නහය, හීනි රෝස පාට තොල්. මේ නාරි රූපෙ දකින ඕනෙම දෑසකට දැනුනේ අමුතු සිහිලසක්. කොටින්ම කියනව නං අල්යෝනා මේ මහ කැලේට සුරලෝකෙන් ගොඩ බැහැපු දිව්ය අංගනාවක් වගේ උනා.
හවසට වැඩ ඇරිලා ආවම තිස්සත් අල්යෝනත් එක්ක වැව් ඉස්මත්තෙ ගල්පොත්ත උඩට හැන්දෑ සුව විඳින්න යනවා. එහෙම ගල්පොත්ත උඩ ඉඳගෙන මේ බෙලාරුසියන් රූමතීව තුරුළු කරං ඉන්නකොට දැනුන උණුහුමට තිස්ස ඇබ්බැහි වෙලයි හිටියේ. හැන්දෑ හිරු රැස් කැදලි අල්යෝනගේ කොණ්ඩෙට වැටිලා රත්තරං පාටින් දිදුලන කොට, ඒ බූසි කොණ්ඩෙ අස්සෙ අතරමං වෙන්න වලිකන හිත තිස්ස නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්. මින්ස්ක් නුවර ස්වීස්ලච් ගංතෙර නිදහසේ රඟපු පෙම්කෙළි මේ පිටිසර මලයාඩි වැව් ඉස්මත්තෙ තහනං බව, තිස්ස ඒ මුරණ්ඩු තරුණ හිතට ඒත්තු ගැන්නෙව්වේ පුදුම ආයාසෙකින්.
දවසක් වැවට ගිහින් ජෝඩුව ආපිට එමින් හිටියා. තමන්ගෙ අතක වෙලිලා හිටපු සදාදරීගේ සියොලඟ උනුහුම එවේලේ තිස්සට ඉවසන්න බැරි උනා. තිස්ස අල්යෝනගෙ නළලතට දයාබර හාදුවක් දුන්නේ මේ යුරෝපීය තරුණියගෙ සංකර හිත අවුස්සමින්. ඇය තිස්සව කිටි කිටියේ වැළඳ ගත්තා. අතරින් පතර ගොම්මන් කළුවර ගලායන වෙලාවේ, දමනය කරං හිටපු තිස්සගෙ ඉලංදාරි හිතත් දෝරෙ ගලන්න ගත්තා. වැලි පාරට ඔබ්බෙන් තිබුන ගොමුවෙන් වැහුන මහ සියඹලා ගහ හෙවනේ මේ අන්තර්ජාතික ප්රේම වෘතාන්තයේ තවත් අලුත් පරිච්ඡේදයක් ලියැවුනා.
බැද්දට පායපු පුරහඳ වගේ වෙච්චි මේ සුදු තරුණිය ගම්මුන්ට මුලින් මුලින් හරි අමුත්තක් උනා. හැබැයි ඇගේ කරුණාවන්ත කල්ක්රියාව හින්දම ගමේ කාගෙත් හිත දිනාගන්න අල්යෝනට වැඩිකාලයක් ගියේ නෑ. වෛද්යවරයෙක් නොවුනත් වෛද්ය ක්ශෙත්රයේම උපාධියක් තිබුන අල්යෝනා පුලු පුලුවන් විදියට ගමේ මිනිස්සුන්ග්ව් ලෙඩට දුකට උදව් කරා. මලයාඩියෙ ගම්මුන්ගෙ ආදරණීය “සුදු දොස්තර නෝනා” වෙන්න අල්යෝනට ටික කාලෙකින් පුලුවන් උනා. තිස්සගෙ වැඩත් එක්ක ඔහුට නම් ගම්මුන් එක්ක ලොකු සම්බන්ධයක් ගොඩ නගාගන්න බැරි උනා.
සබ්බසත දුක්ඛසරණ දේවදූතියන්ටත් මලපෙරේත දිස්ඨි වැටෙනවාලු. මලයාඩියේ මලපෙරේත හැත්ත උනේ, නසරානි ඉලංදාරි තුන්හතර දෙනෙක්ගෙන් හැදුන කල්ලියක්. ගමේ ගොඩේ මොනම අලුගුත්තේරු වැඩක් උනත්, මෙවුන්ගෙන් එකෙක් අනිවාරතේ ඒකට සම්බන්ද වෙලා හිටියා. අල්යෝනා ගමේ ගොඩේ ඇවිදින්න යද්දි, ඉටිරූපෙ වගේ හැඩ රත්තරං පාට ඇඟ පසඟට මේ කොලු හැත්ත හොරෙන් හොරෙන් හැංගිලා බලං ඉඳං කෙල හලන්න පුරුදු උනා.
තිස්සටයි අල්යෝනටයි මේ කැලෑබද පරිසරයේ සිරි නරඹන්න තිබ්බේ බලවත් කැමැත්තක්. තිස්සට සතිඅන්තෙ අනිවාර්ය නිවාඩු නැති උනත්, නිවාඩු දවස් වල දෙන්නත් එක්ක තිස්සගෙ ක්ලැසික් හොන්ඩා ස්කූටරේ නැගල හිඟුරානේ උක්යායවල් මැදින් වැටුණු පාරවල් දිගේ වගේම, දමන එරගම අම්බලංඔය දිහෑ නිල්ල පීදුනු කුඹුරු මැදින් යද්දි මේ රැඩිකල් ජෝඩුව වින්දේ පුදුමාකාර මානසික නිදහසක්.
ඒත් එක්කම තිස්සත් අල්යෝනාත් ඔවුන්ගෙ හිරිමල් ප්රේමයේ උපරිම නිදහස සොබා අසිරි මැද ඉඳහිට විඳින්නත් පුරුදු උනා. එහෙම වෙලාවට හවස්වරු වලට වැවට ගිහින් උවමනාවෙන්ම ගොම්මං කළුවර පොළව ඉඹින කං දෙන්නා පරක්කු උනේ, මහ සියඹලා ගස් හෙවණෙ ප්රේමාලිංගනයට ඇබ්බැහි වෙච්ච හිංදමයි. ගමෙන් ඈතට වෙන්න තිබුණ නිසා, ගොම්මං වැටුනයින් පස්සෙ ඒ පැතිවල කවුරුත් වැඩිය කරක් නොගහන බව ජෝඩුව දැන උන්නා. හැබැයි අල්යෝනාගෙ පස්සෙන් එන පැපරාසි අහේනිකාරයො ගැන මේ දෙන්නා හාංකවිසියක්වත් දැනං හිටියෙ නෑ.
ඔය අතරෙ අහම්බෙන් වගේ දවසක් මේ ජෝඩුව පස්සෙ ගිය එක කොල්ලෙකුට, වැව් තාවුල්ලෙන් එපිටහ බැදි කුට්ටියට රිංගන ජෝඩුව ඇහැ වැටුනා. අඹ ගැට වලට පොලු ගහද්දි පැණිවරකයක් බිම වැටුන වගේ කොල්ලන්ගෙ පෙරේත කම ඉහවහා ගියා. පහුවෙන් පහු ඉඳහිට හරි මේ ගොම්මං සෙල්ලං බලාගන්න කොල්ලො රෑන ජෝඩුව පස්සෙන් වැටිල හිටියෙ හරියට මුංකැවුං රොඩ්ඩට වහන පැඟිරිත්තො වගේ. හැබැයි මේ අහිංසක ජෝඩුවට නං ඒ ගැන කිසිම නිනව්වක් තිබ්බේ නෑ.
මෙහෙම මේ දේවල් දෙතුන් විටක් දැකපු කොල්ලන්ගේ අමන ආසාවට සීමාවක් තිබ්බෙ නෑ. “මේ විලිසංගයක් නැති සුදු සක්කරවට්ටමගෙන් අපිටත් වාසියක් ගන්න පුලුවන් වෙයි” ය කියල මුං හිතුවා. ඔහොම හිතපු මුං ටික, මුලින් මුලින් බොරු ලෙඩ කියාගෙන දවල් වරු වලට අල්යෝනගෙන් බෙහෙත් ගන්නයි කියල ගෙදරට ගියා. එහෙම ගිහින් මොන දහංගැට ගැහුවත්, අල්යෝනා එවුන්ට සැලකුවේ ගමේ කාටත් සලකන ගාණට. දවසක් මේ එක කොල්ලෙක් අල්යෝනාගෙ අතින් අල්ලලා
“මං නෝනට ආදරෙයි නෝනා” කිව්වම,
මුන්ගෙ අලුගුත්තේරු කං නොතේරෙන අවිහිංසක සුදු තරුණිය ගැටගහ ගත්තු සිංහලෙන්,
“මම්මත් උම්බලට ගොඩ්ඩක් අදරෙයි” කිව්වෙ ලස්සනට හයියෙන් හිනාවෙමින්.
කොල්ලන්ට අල්යෝනාව නම්ම ගන්න බැරි වෙච්ච තැන, “මේ ගෑණියි මිනිහයි යහතින් ඉන්නකල් අපිට ඔනෙ වැඩේ කරගන්න බැහැයි” කියලයි උං හිතුවේ. මෙහෙම හිතපු මේ අලුගුත්තේරු රැල මේ ආසිරිලත් ආදරය කඩන්න අමුතු වැඩක් සැලසුම් කරා.
දවසක් තිස්ස ගෙදර එන වෙලාවක් බලල, පිලිකන්නෙ ඉඳලා තිස්සට පෙනෙන්න නොපෙනෙන්න එක කොල්ලෙක් කැලේට දිව්වා. මේක දැකලා කලබල වෙච්ච තිස්ස, උගේ පස්සෙ පැන්නුවත් අල්ලගන්න හම්බ උනේ නෑ. ආයිමත් ගෙදරට ඇවිත් අල්යෝනගෙන් ඇහුවම, ගේ ඇතුලේ හිටපු අල්යෝනා ඒ ගැන හාංකවිසියක් දැනං හිටියෙ නෑ. පලවෙනි පාර ඔය සිද්දිය හිතෙන් අත ඇරියට දෙවෙනි තුන්වෙනි පාරටත් ඔය සිද්දියම උනාම, තිස්සගෙ හිතේ සැකයේ බීජයක් මුල් අදින්න පටන්ගත්තා.
ඔය අතරෙම මේ කොලු රැල විසින්ම ගමේ කටකතාවක් පැතිරෙව්වා, සුදු දොස්තර නෝනා ගමේ කොල්ලෙක් එක්ක ඇයි හොඳයි කං පවත්වනවයි කියාලා. සීනි කම්හලේ වැඩ කරපු ගම්මුන්ගෙන් තිස්සටත් ඔය කතාව කනට වැටුන දා ඉඳං, ජෝඩුව අතර නොහොඳ නෝක්කඩු ඇතිවෙන්න පටන් ගත්තා. ගමේ මිනිස්සුන්ට බෙහෙත් දෙන එක නතර කරන්නයි කියල තිස්ස අල්යෝනාට සැර උනා. සැමියා කියන පදේට නටන කුලෑටි බිරිඳක් නොවිච්ච අල්යෝනාත් මුරණ්ඩු උනා.
ගමේ ගොඩේ කතා ගැන හාංකවිසියක් නොදැන හිටි සුදු තරුණියට, තිස්සගේ මේ වෙනසත් එක්ක විවාහයේ සතුට ක්රමයෙන් වියැකෙන්න පටන් ගත්තා. ප්රේමාලිංගන විතරක් නෙවෙයි, දෙන්නා අතර ගමන් බිමන්, කතා බහ පවා සීමා උනා.
පරණ මතකයන් වල අතරමං වෙන්න තිස්ස, වැව් තාවුල්ලට මෙපිට සියඹලා ගහ යටට ඉඳහිට ගියා. ඔහොම ගිය එක දවසක සියඹලා ගහ අද්දර කටුගාලක තිබ්බ කාන්තා යට ඇඳුමක් දැකපු තිස්සට, ඒක තමන්ගෙ බිරිඳගෙ බව අඳුරගන්න අපහසු උනේ නෑ. තිස්ස කෝපයෙන් වෙව්ලුම් කෑවේ, මේ ඔක්කොම දේවල් ගමේ වනචර අසමජ්ජාති තුන් හතර දෙනෙක්ගේ සැලසුම් සහගත වැඩ කියලා නොදැන.
එදා රෑ තිස්සගේ කසාද ජීවිතේ අන්තිම රෑ බවට පත් උනේ, කාටවත් කරදරයක් නොකරපු අහිංසක අඹුසැමියන්ගේ පූර්ව කර්මයක් පඩිසන් දෙමින්. ඉවසුම් නැතිව මාරාවේශයෙන් ගෙදරට ගොඩවුනු තිස්සගේ ගුටිබැට පූජාවට අල්යෝනා ලක්වෙද්දි, මේ කසාද ජීව්තය අතහැර යන්නට තීරණය කරනවා හැරෙන්නට ඇයටත් වෙන තෝරාගැනීමක් නැති උනා. පසුදා තිස්ස රැකියාවට පිටත ගියායින් පස්සෙ, අල්යෝනා ලියුමක් ලියා තියලා තමන්ගෙ අත්යාවශ්ය බඩු බහිරාදිය ටිකක් විතරක් අරගෙන ඒ ගෙදරින් එළියට බැස්සේ සදහටම ලංකාව අතඇරලා තමන්ගේ මව්රටට යන්න තීරණය ගෙනමයි.
අල්යෝනාගෙ හැරයාමත් එක්ක තිස්සගෙ මානසික මට්ටම එන්න එන්නම පිරිහෙන්න ගත්තා. නිතර නිතර මලයාඩි වැව ගාව ගල්පොත්තෙ හරි, මහ සියඹලා ගහ යට හරි වාඩි වෙලා පැය ගණං කල්පනා කර කර හිටියා. ටිකෙන් ටික රැකියාවට යන්නට පවා හොඳ සිහියක් නැති ගාණට තිස්ස පත් උනා. අල්යෝනාගෙ ඇඳුම් සිප ගනිමින් අඬන්නටත්, ඒ ඇඳුම් පොදියක් ගුලි කරගෙන සියඹලා ගහ යට කාලෙ ගෙවන්නත් තිස්ස පුරුදු වෙනකොට, මේ උගත් කුලවත් මිනිහා සදාකාලික මානසික රෝගියෙක් වෙලා ඉවරයි.
නුවර දංගොල්ලෙ ඉරුගල්බණ්ඩාර වලව්වෙ “ඩොක්ටර් තිස්ස ඉරුගල්බණ්ඩාර” කාලයත් එක්ක, මලයාඩියෙ කවුරු කවුරුත් දන්න “ඩොක්ටර්” පිස්සා බවට පත් උනේ, කාලකණ්නි අමනයින් කීප දෙනෙක්ගේ මහ පොළව නූහුලන පව්කාර කම් හින්දා. ඒ පව්කාරයින්ට වෙච්ච දෙයක් හරි හැටියකට මට කොහෙන්වත් දැනගන්න හම්බ නොවුණත්, ඒ කරපු පවට උන් විඳවල මැරෙන්න ඇති කියලයි මගේ හිත අදටත් කියන්නේ.
තමන්ගේ වරදින් තමන්ගෙන් සමුගත්තු ආදරවන්තිගෙන් ඈත් නෙවෙන්න, ඒ ආදරවන්තිගෙ සුවඳ ගෑවුණ ඇදුම් පොදියක් තුරුලු කරන් හිටපු පුරුද්දට තාමත් “ඩොක්ටර්” අදටත් වැරහැලි රෙදි කීපයක් ගුටි වෙන්න අතේ පයේ ගැටගහ ගෙන ඒ ප්රේමණීය මහ සියඹලා ගහ යට වාඩි වෙලා, අල්යෝනාගෙ මතකයන් එක්ක වෙනම ලෝකෙක අතරමං වෙලා ඉන්න දසුන, මගේ පපුවෙ කොනක ඇදුම් කන රිදුමක් එක්ක හැමදාටම තැන්පත් වෙලා තියේවි.
උපුටා ගැනීම: තීක්ෂණ වීරසිංහ 
