මේකත් මම ඉස්සර සේවය කරපු තැනක වුණ රස කතාවක්.
ඒක ඇඟලුම් ක්ෂේත්රයට අයත් කර්මාන්තශාලාවක්. මම වැඩ කලේ මානව සම්පත් අංශයේ. කාට හරි හයියෙන් කිවිසුමක් ගියත් ඒක බොහෝ විට මානව සම්පත් අංශයෙ වැරැද්දක් වෙන්න තියෙන සම්භාවීතාවය ඉතාමත් ඉහලයි. ඒක තමයි ලෝක නීතිය.
ඉතිං මේකෙ ඉන්න ඇගලුම් ක්ෂේත්රයේ රැකියාව කරන අය දන්නව ඇති බයර් විසිට් එකක් එනව කියලා දැන ගත්තාම තියෙන තත්ත්වය. බයර්ස්ල එන්නෙ ලබන සතියෙ නම් මේ සතියෙ ඉදල ඒකට සූදානම. ඉතිං මානව සම්පත් අංශයෙ අයට මේ වගේ වෙලාවට දවසට පැය 28ක් විතර වැඩ කරන්න සිද්ධ වෙනවා.
ඉතිං මේ කියන සිද්ධියෙදි මම තමයි හිටියෙ එන පිරිස වෙනුවෙන් සංග්රහ කටයුතු බාරව. මම උනාට ඒ ආහාරපාන සියල්ලම ඇනවුම් කරන්නේ ඒ අදාල ආයතනයේ නිෂ්පාදනය අංශයෙ කලමනාකාරයෙක්. ඒක අපිට ආදරේට කරන වැඩක් නෙමෙයි. තනිකරම කෑදර කමට එයාගෙ බලය පාවිච්චි කරල කරන වැඩක්.මෙතෙන්දි එයාට සහ එයාගෙ යාළු මැනේජර්ස්ලට ඕන දේවල් තමයි ඕඩර් කරන්නේ. මොකද ගොඩක් බයර්ස්ල ආවම කෑම කන්නෙ බොහොම ටිකයි. ඉතුරු ටිකට වග කියන්නේ මේ කියන මැනේජර්ස්ල සෙට් එක. කෑම ගෙන්නුවේ කොළඹ ප්රධාන හෝටලයකින්.
කොහොම හරි මේ කියන බයර්ස්ල කණ්ඩායමේ 15 දෙනෙක්.එයාල ජර්මන් ජාතිකයො. අර මැනේජර් මට කිව්වා මෙනු එක පෙන්නලා එයා තෝරපු කෑම වලින් 30 දෙනෙකුට කෑම ඕඩර් කරන්න කියලා.මොකද බයර්ස්ල කණ්ඩායමට අමතරව ආයතනයෙනුත් කිහිපදෙනෙක් එයාල එක්ක කෑමට සහභාගී වෙනවා. හැමදේම අකුරට තිතට කරල පුරුදු මම එදාම ඕඩර් එක දැම්මා අදාල දිනේට කෑම ටික ගේන්න කියලා.
දැන් බයර්ස්ල ආව දවස. ඒ වගේ දවස් වලට මේ මම වැඩ කරන ආයතනයමද කියලා සමහර වෙලාවට මටම හිතිල තියෙන වාර අනන්තයි..අප්රමාණයි. කට්ටියම ගිණි කසයො වගේ වැඩ. බයර්ස්ල ආව බව ආයතනයේ හැමෝටම දැනුවත් කරන්නෙ “හෙල ජාතික අභිමානේ” වගේ ගීතයක් මහා සද්දෙන් වාදනය කරල. ඒක ඇහෙන කොටම කට්ටියම දන්නවා සිද්ධිය. ඒ ගීතයට පුළුවන් මුළු ආයතනික සේවක මණ්ඩලය මීයට පිම්බ වගේ නිහඩ කරවලා උපරිම කාර්යෂමතාවයෙන් වැඩ ගන්න.
කට්ටිය බයර්ස්ල එන පෙර මග බලාන හිටියට හිතවතුනි මම එදා පෙරමග බලාන හිටියෙ දවල් කෑම ටික එකොලහටවත් කලින් ආයතනික බිමට සම්ප්රාප්ත වෙනකල්. අළුතෙන් ලේ පයින්ට් හත අටක් ඇගට දාල වගේ සුවයක් දැනුනා.ඈතින් පේන කොට හොටෙල් එකේ නම ගහපු පුංචි ලොරියක් ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට. “වෙනදට එන්නේ වෑන් එකක් වගේ එකක් කෑම ගේන්න. අද මොකද අනේ මේ ලොරියක්” ඒ මාත් එක්ක වැඩ කැරපු එකෙකුට තිබ්බ ප්රශ්නයක්.ලොරියක නෙමෙයි මේ වෙලාවෙ හැටියට අත් ට්රැක්ටරේක හරි කමක් නෑ..වෙලාවට කෑම ටික ආව එකයි මට වැදගත් වුණේ.
කෑම සූදානම් කරන්නේ ප්රධාන රැස්වීම් තියෙන කාමරේ. ඇදගෙන හිටපු සාරියත් කරට අරගෙන මම ගියා කෑම මේසෙ තියෙන තැනට.කාර්යාලයේ තේ හදන කෙනාවත් උදව් කරගෙන අර හොටෙල් එකෙන් ආපු අය ගෙනාපු කෑම එක එක මේසෙන් තියෙනවා.
මුලින්ම සූර පප්පලගෙ මැජික් අරිෂ්ඨ කල්දේරම වගේ සුප් කල්දේරම් දෙකක්. ඊට පස්සේ ලොකු තැටි වගේ, ඒව වල යටින් සලාද කොල..තක්කලි අරව මේව අතුරලා ඩුබායි වට්ටක්කා ගෙඩියක් දෙකට පලලා ඒවට එක එක ජාති පුරවලා ඒව අර තැටියෙ රවුමට තියලා.එක රවුමක පලු දහය ගාණේ තැටි තුනයි. ඊට පස්සේ එක එක විදියට හදපු පාන්. බෝල හැඩේට,කොටු හැඩේට,දිගටි හැඩේට. ඒව ලස්සනට වේවැල් කූඩ වල දාල. මේ ටික දකින කොට ඒසී එකේ උෂ්ණත්වය සෙල්සියස් අංසක 18ට දාල තිබුණ කාමරේ අතුලෙ මට ඉහින් කනින් දාඩිය වැක්කෙරුනා. දැන් ඉතිං කාපල්ලකො ඩුබායි වට්ටක්කා. එක අතකට කුරිරු සතුටකුත් හිත යටින් මතු වුණා. “මානව සම්පත් අංශයට බාර දීල තිබුණ කෑම වැඩේ මොන ඉලව්වකටද නිෂ්පාදන අංසෙන් කරන්නේ..ඔය කොරල තියෙන්නේ.”
ආයතනය පුරාම ඇවිදලා ඇවිදලා මහන්සි වුණ බයර්ස්ල සෙට් එක අර මැනේජර් එක්ක කෑමට ආවා. අපරාදෙ කියන්න බෑ මේසෙ උඩ තියෙන කෑම ටික මාරම ලස්සනයි. එතන හිටපු සුද්දියෙක් “සා වෑව්” කියලා කෑ ගහලා මේසෙ පොටෝ එකකුත් ගත්තා. මේසෙ දැකපු මැනේජර් ට්රයි කරපු කෙල්ල තමන්ගෙම යාළුවෙක් එක්ක යාළුවෙලා ඉන්නවා දැක්කාම ඇතිවන හැඟීම වගේ මූණ හදාගෙන අසරණ විදියට බලෙන්ම හිනා වෙලා ඉන්නවත් ඇස් කොනින් මම දැක්කා.
සුද්දො බිව්වෙ වැඩිපුරම සුප් එක. අර වට්ටක්කා කෑලි වැඩිම වුණොත් හතර දෙනෙක් කන්න ඇති. ඉතිං හිතවතුනි වට්ටක්කා බන්දේසි දෙකක්ම ඉදුල් කරන්නෙ නැතුවම ඉතුරු වුණා. හැමදාම වගේ ඉතුරු කෑම ටික කන්න බලාගෙන හිටපු සෙසු මැනේජර්ස්ලට ඉතුරු වුණේ අර දෙකට පලු ගහපු ඩුබායි වට්ටක්කා බන්දේසි දෙක විතරයි. “දැන් ඉතිං කාපල්ලකො වට්ටක්කා..ලොකු තැනට අදනම් වැරදිලා මචං..මොනව වුණත් මේව තරු පහේ තම්බපු ඩුබායි වට්ටක්කා” කිය කිය අන්තිමට කට්ටිය පරිභෝජනය කලා.
ස්තූතියි
උපුටා ගැනීම: අපර්ණා සෙව්වන්දි