ලස්සන මතක වලින් පිරිච්ච මාර ලමා කාලයක් තිබ්බා මටත්. මගෙ පවුලෙ අයියලා දෙන්නයි මායි නංගියි. පොඩි පොඩි වයස් පරතරයන් තිබ්බෙ.
මං පොඩි කාලෙ දවසක් අපේ තාත්තම්මගෙ කාමරේ අල්මාරිය උඩ ලොකු සූකිරි බෑග් එකක් තිබ්බා. ලොකු සූකිරි කැට. දැක්කම ආසාවෙ බෑ. ඉතින් ඕක කන්න ආසාවක් ඇවිත් මමයි පොඩි අයියයි කතාවෙලා ( මට මතක විදියට මං අයියගෙ කරේ නැගලද කොහෙද ඒක ගත්තෙ)ඒක අරගෙන කෑල්ලක් කැවා.කියන්න සම්තෝසයි මිත්රවරුනි, මගෙයි අයියගෙයි දිව, තොල් පුපුරු ගහන්න පටන් අරන් හරියටම කටක් නෑ වගේ උනා. අපි මූණ පහළට කරගෙන ඉන්නවා කටින් කෙල බේරෙනවා. ඇත්තටම මං නම් හිතුවෙ මගෙ දිව දියවෙලා කියලා. සූකිරි කල් පැනපුවද කියලත් සැකයි. ඊට වඩා දැන් පණ බයේ ගැහෙනවා දිවක් නෑ කියලා. ඒ වෙලාවෙම දෙයියො ආවා වගේ තාත්තා ඇවිත් මොනවද කෑවෙ කියලා අහද්දි අපි අල්මාරිය උඩ පෙන්නුවා. අනේ සූකිරි බෑග් එක උඩ අහසින් පියාඹලා ගියා හිතවතුනි. බලනකොට ඒක සූකිරි නෙමෙයිලු.මට නම මතක නෑ හරියට මොකක්දෝ විද්යාත්මක් නාමයක් තියෙන්නෙ. (මට විද්යාව බෑ.)
අපේ තාත්ත කරේ වඩු වැඩ. ඔන්න දවසක් තාත්තා මඩුවෙ අල්මාරියක් හදලා දොරවල් හයි කරන්නෙ නැතුව කොහෙද ගිහින්. මායි නංගියි හැංගිමුත්තන් කරන්න ගත්තා. මං හැංගුනේ අර තාත්තා හදපු අල්මාරියෙ. ඒකට නැගලා හයිකරන්න කියලා පැත්තකින් තිබ්බ දොරත් කොහොමහරි උස්සන් ඇවිත් ලාවට වගේ වහගත්තා. නංගි ඇවිත් හොයනවා ඔන්න. මාව දැකලා එයා හිනාවෙවී අනිත් පැත්තෙන් නැග්ගා. එකපාරටම මට තේරෙන්න ගත්තා අල්මාරිය පියාඹන්න හදනවා වගේ. අන්තිමේ අල්මාරිය හිමින් හිමින් ඇලවෙලා පස්සට වැටුනා. අපි දෙන්නම ඇතුලෙ.පින කියන්නෙ ඒකෙ සපෝර්ට් එකට පිටිපස්සෙ බංකු කඳක් තිබ්බා. ඔන්න දැන් අල්මාරිය වැටිලා. හැබැයි බිමටම නෙමෙයි. බාගෙට. අපි දෙන්නා බය වෙච්ච පාර ගිහින් හැංගුනා. කොහේද පින්වතුනි, මම දොර පිටිපස්සෙ. නංගි අල්මාරියක් පිටිපස්සෙ.(ඒ කාලෙ මොලේ නෑ දෙයියනේ)කීයෙ ඉඳන්ද දන්නෙ නෑ හැංගිලා. ඔන්න තාත්තා ආවා. අම්බෝ ඒ කේන්තිය. අල්මාරියක් නිසා ඔච්චර මොකට කෑගහනවද, අපි දෙන්නට තුවාලයක් නෑනෙ කියලා ඉස්සරහට ගිහින් බය නැතුව කියන්න කියලා ඇඟේ ලේ කෑගහනවා. ඒත් කකුල් දෙක ගියේ නෑ හිතවතුනි. ඉතින් ගෙට ආපු ගමන් මං හොයාගන්න අමාරු තැනක හැංගුන නිසා මාව ඉක්මණටම හොයාගන්න පුලුවන් උනා තාත්තට. ඉතින් එහෙම උනා කියලා මං නිකන් ඉඳීද.නෑනේ. තත්තගෙ අතින්ම එක්කන් ගිහින් මං නංගි හිටිය තැනත් පෙන්නුවා. ඒකාලෙ ඉඳන් හැමදේම බෙදාගෙන කන්න අපි පුරුදුවෙලා හිටියෙ.

ඔන්න ආයෙ දවසක අපේ චූටි නැන්දගෙ වෙඩින් එකලු. ඉතින් ගෙදර කැවිලි හදපු ඒවා වලින් අතිරස මුට්ටියකුත් තිබ්බා පෙට්ටියක දාලා. ඉතින් වැඩේ කියන්නෙ මගුල් දවසෙ අතිරස නෑ කට්ටියට දෙන්න. මායි පොඩි අයියයි එකතු වෙලා මුට්ටියටම වැඩේ දුන්නා හිතවතුනි.

ඔහොම එකතුවෙලා ජරමරේට දේවල් කරාට කපන්න ඕනෙ තැන්වල මං එයාව කපපු අවස්තාත් තිබ්බා. පොඩි කාලෙ ඉස්කෝලෙ ගිහින් එද්දි පොඩි අයියගෙ ශර්ට් එක මඩ පාටයි. හැමදාම තාත්තගෙන් ගුටි කනවා. පස්සෙ ගෙදර ආපු ගමන් අයියා ශර්ට් එක හංගන්න ගත්තා. ඉතින් හිතෝතුනි මං කොහෙන් හරි ඒ ශර්ට් එක හොයාගෙන තාත්තට දීලා එයාගෙන් ලකුනු අරගෙන අයියට ගහනවා බලන් ඉඳලා සතුටු වෙච්ච හැටි මතක් වෙනකොට. අදටත් සතුටුයි. අයියත් මේ ගෲප් එකේ ඉන්නවා. මේක දැක්කොත් මට තව සතුටුයි.

ඒ දවස් වල අපේ තාත්තගෙ ජනප්රියම දඬුවම තමයි දණ ගස්සන එක. ලොකු අයියා වත්තෙ දණගහගෙන. පොඩි අයියා ගෙයි ඇතුලෙ දණ ගහගෙන. ඊට ටික වෙලාවකට පස්සෙ ලොකු අයියා ගෙයි ඇතුලෙ දණ ගහගෙන. පොඩි අයියා මිදුලෙ. දඬුවම උනත් කාටවත් අසාධාරණයක් නොවී සමානව බෙදිලා යන විදියට දෙන්න අපේ තාත්තා හරි දස්සයි.
ආයෙ දවසක් අයියලා දෙන්නා තාත්තා නැති වෙලාවක අඹ ගහේ නැගලා. ඔන්න තාත්තා එනවා. දෙන්නට බැහැගන්න වෙලාවක් නෑ. දුවගෙන ආපු තාත්තා ඔහොමම හිටපිය කියලා පොරව අරන් කපනවා ගහ. දෙන්නා ගහේ. අපි සතුටින් උඩ පනිනවා. දෑත බදලා අල්ලගන්න පුලුවන් ගහක් නෙමෙයි ලමයිනේ. හැබැයි තාත්තා හති දාගෙන කපනවා. වඳුරො දෙන්නා හූ තිය තිය අඬනවා. තාත්තම්මා දුවගෙන ආපු පාර අනේ මං දරුවෙක් වගේ හදාගත්තු අඹ ගහ කියලා දෑත බදලා කඳ බදාගෙන අඬන්න ගත්තු ගමන් තාත්තා පොරවත් විසිකරලා පැත්තකට උනා. කොහොම හරි කපපු තැනට මැටි ගහලා ගහලා තාත්තම්මා හදාගත්තු අඹ ගහේ තාමත් මල් එනවා යාලුවනේ.අඹ තමයි නැත්තෙ.

උපුටා ගැනීම: Rumesha De Silva