දිනය නම් මට හරියාකාරව මතක නැත නමුත් වර්ෂය 2015 පෙබරවාරි මාසයේ දිනයකි මහනුවර සිට යාපනය දක්වා දිවෙන බස් රථය තුල සෙනඟ එතරම් නොවූ නමුදු ආසන පිරී ඉතිරී යන තරම් දඹුල්ල නගරයෙන් මගීන් ගොඩ වන්නට විය මාතලෙන් බස් රථයට ගොඩ වූ මහළු පෙනුමකින් යුත් ද්රවිඩ පියෙක් කැකිරාව ආසන්නයේදී ඉදිරිපස අසුන තුලින් නැගිට ඉදිරියට ආවේය…
” මල්ලී මට පොඩ්ඩක් බඩ තමයි අමාරු පොඩ්ඩක් නතර කරන්න පුළුවන් ද “
මට කිසිවක් හෝ සිතීමට නොහැකි විය එහෙයින් මම රියදුරු තැන පෙන්වා
” අරයට කියන්න “
රියදුරු තැන තවමත් ඉලංදාරි වයසේ අපිළිවෙළට කොණ්ඩය වවා තොප්පියක් පැළඳ උන් කළු පැහැති පෙනුමකින් යුත් අයෙකි.බැලු බැල්මට ඔහු කෙරෙන් පිළිවෙලක් පෙනෙන්නට නැත..
” මල්ලී මට පොඩ්ඩක් බඩ අමාරුයි පොඩ්ඩක් නවත්තන්න පුළුවන් ද “
රියදුරු තැන හැරී ඔහුදෙස බැලුවේය.
” ඔයාට විනාඩි පහළවක් ඉවසන්න බැරිද විනාඩි පහළවෙන් තේ බොන්න දානවා “
රියදුරුගේ වචන හමුවේ හිස සලා ඔහු එය අනුමත කරන වගක් පෙන්නුවේය.නමුත් ඔහු හිටගෙනම උන්නේය.මිනිත්තු පහක් යන්නටත් මත්තෙන් ඔහු යලිත් ඇමතුවේ රියදුරු තරුණයාටමය…
” මල්ලී අමාරුයි මල්ලී “
රියදුරු තැන බස් රථය දකුණු පසට කොට අයින් කර නැවත්තුවේය.
” අන්න අර ගෙදරට යන්න ” ඒ රියදුරු මහතාගේ හඬය
ලිඳක් සහිත නිවසක් පෙනුණද එහි කිසිවෙකු හෝ පෙනෙන්නට උන්නේද නැත.මහලු මිනිසාට වැඩිදුර යන්නටත් පෙර මලපහ විය.
එහෙත් ඔහු වැසිකිළියට ගියේය.අප රියදුරාද බස් රථයෙන් බැස ඔහු පසු පස දිව්වේය.වතුර ඇද ඔහුගේ වැසිකිළිය අසලට ගොස් දුන්නේය.උදැල්ලක් රැගෙන මලපහ වූ තැන් ඇද වසා දැම්මේය.නිවැසියන් කිසිවෙකු හෝ පෙනෙන්නට උන්නේ නැත.විනාඩි 10 ක් පමණ ගෙවෙන්නට ඇත.සරමත් සෝදාගෙනම ඒ ද්රවිඩ පියා බස් රථයට ගොඩ වෙන්නට පෙර
“අයියා මෙයා පොඩ්ඩක් දොරේ තියන් යන්න තේ බොන කඩේට දාපුවාම නාන්න කිව්වා “
රියදුරු මහතා එසේ කිව්වේ සරම තෙත බැවිනි .මිනිත්තු දහයකින් බස් රථය මරදන් කඩවල පසුකොට තේ බීමට නැවැත්වීය.
“මල්ලී ඔයාට පින් මල්ලී කවදාවත් වරදින් නෑ “
ඒ මහළු පියා ලංගම රියදුරු තරුණයාට පින් දුන්නේය.
” අපිටත් අම්මලා තාත්තලා ඉන්නවානේ අයියා අපිත් වයසට යනවනේ අයියා…”
ඒ අපිළිවෙළට උන් තරුණ ලංගම රියදුරු ගේ මනුස්සකම මම දුටුවෙමි…අදටද මට එය මතක්වෙන වාර අනන්තය.ඔහු අද ලංගම තුල නැත.ඉන් ඔබ්බට ගිය රාජ්ය අංශයේ වැදගත් රැකියාවක රියදුරු මහතෙකු ලෙස රාජකාරි කරයි…ඉතා පිළිවෙලට සුන්දරව ජීවිතේ ගෙවමින් පවතී…ඔහු හමු වූ එක් දිනෙක මම එය මතක් කෙරුවෙමි..
” අයියා මට හිතෙන්නේ මට මේ ජොබ් එක ලැබුනෙත් ඒ මනුස්සයා මට පින් දීපූ නිසා කියලයි මට හිතෙන්නේ..”
මට ඔහු වෙන්නට එදින නොහැකි වුවත්.මම ඉන් උගත් දේ ඔහු පැවසූ දේමය…
උපුටා ගැනීම: Sasanka Wickramasinghe