අද නම් විවිධාකාර පාලම්ය. ගංගා මතින් දිවෙන පාලම්වලට අතිරේකව ගුවන් පාලම්ය. මහ ගංගා මතින් ඉතා දිගුව විහිදෙන යෝධ පාලම් අද නම් අරුමයක් නොවේ. එහෙත් තාක්ෂණය මෙතරම් දිගු දුරක් පැමිණ නොතිබුණු දහනව වන සියවසේ මුල් භාගයේ එතරම් හපන්කම් කරන්නට හැකියාවක් නොතිබිණි.
එහෙත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාට තමන් මෙහෙයවන යටත්විජිතයේ අනාගත අවශ්යතා පිළිබඳ දැක්මක් තිබිණි. තැනින් තැන බළකොටු ගොඩනඟාගෙන කැරලි කෝලාහල ඇති වූවොත් මර්දනය කරන ක්රමවේදය ඔහුට රුචි නොවීය. බළකොටු වෙනුවට රට පුරා විහිදෙන මාර්ග පද්ධතියක් ඵලදායි බව ආණ්ඩුකාරයා ප්රකාශ කළේය. එවිට කැරැල්ලක් ඇති වුවත් එය මර්දනය කරන්න මාර්ග පද්ධතිය ඔස්සේ ඉක්මනින් සේනා යැවිය හැකිය; බළකොටු නඩත්තු කරන්න යන වියදම නවතා දැමිය හැකිය. යටත්විජිතය තුළ වැවෙන ආර්ථික භෝග ඉක්මනින් කොළඹට ගෙනෙන ක්රමවේදයක් ද අනාගතයේ අවැසි වෙයි.
එඩ්වඩ් බාන්ස් මෙසේ කීවේලු: “ලංකාවට අවශ්ය එක පාරවල්ය. දෙක පාරවල්ය. තුන පාරවල්ය. සිය මාර්ග ප්රතිපත්තිය ඔස්සේ ආණ්ඩුකාරයාට මෝදරට මෙපිටින් කැලණි ගඟ ඔස්සේ පාලමක් තැනීමේ අවශ්යතාවක් තිබිණි. කොළඹ සිට මහනුවරට, කුරුණෑගලට, මීගමුවට යන පාරවල් විහිදෙන්නේ කැලණි ගඟ ඔස්සේය.
දහනවවන සියවසේ මුල (1822) අද මෙන් මෝටර් රථ වාහන නොවීය. එවැනි වාහන එන පාටක් පෙනෙන මානයක වත් නොවීය. ගොඩ බිමේදී අශ්ව කරත්ත, බක්කි කරත්ත ආදිය මඟී ප්රවාහනයටත් බර කරත්ත, බර බාග ආදිය භාණ්ඩ ප්රවාහනයටත් යොදාගැනිණි. එහෙත් ගඟ හරහා දැමෙන පාලමක් ප්රවාහනය බෙහෙවින් පහසු කරයි.
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා ඇතුළු පිරිසගේ අවධානය යොමු වී තිබුණේ කැලණි ගඟේ ප්රධාන තොටුපොළක් වූ තොට ළඟ කෙරෙහිය. අතීතයේ මේ තොටුපොළ ‘නාකොළගංතොට’ නමින් හැඳින්විණි. සීතාවක රාජසිංහ රජුගේ අණ පරිදි වික්රමසිංහ මුදලි පරංගි සේනාව නාකොළගංතොට දක්වා ලුහුබැඳ අල්ලාගෙන එකකුගේ කරපිට නැග පැමිණ රජු බැහැ දුටු බව රාජාවලියේ සඳහන්ය.
නාකොළගංතොට නාගුළුගම නමින්ද හැඳින්විණි. පාරු මාලයේ එන ජන කවියක් මෙසේය:
“දැක පිරියේ ගොස් නාගුළුගං තොටින
දුක හැරියේ දැක සලෙලුන් මත මතින
වත පිරියේ දුටු පමණට සිය ඇසිණ
කල එළියේ සිටි කත මුළු ලොව වටින”
නාකොළගම හා නාගුළුගම යන වහරෙන් බිඳීමෙන් දෝ ලන්දේසීහු තොටළඟ ‘පස්නාකලගම’ (Pasnaklegam) යනුවෙන් හැඳින්වූහ.පෘතුගීසි යුගයේ මේ ස්ථානය ‘පාසෝ ග්රෑන්ඩ්’ යන නමින් හැඳින්විණි. ඊට එපිටින් මෝදරට වඩා ආසන්නයෙන් පිහිටි තොටුපළ ‘පාසෝ බීට්ල්’ විය. පසුව පාසෝ ග්රෑන්ඩ් ‘ග්රෑන්ඩ් පාස්’ බවට පත් විය.
ගල් සහ ගඩොළු භාවිත කරමින් තනන ආරුක්කු පාලම් තැනීම ඒ වන විටත් බ්රිතාන්යයන් ලංකාවට හඳුන්වා දී තිබිණි. එහෙත් කැලණි ගඟේ ග්රෑන්ඩ්පාස් වැනි තැනකට ආරුක්කු පාලම් හඳුන්වා දීම ප්රායෝගිකව කළ නොහැකි විය. එබැවින් 1822 වැනි කාලයක තිබුණු තාක්ෂණයට අනුරූපී විසඳුමක් සෙවීම බ්රිතාන්ය ජාතික ඉංජිනේරුවන්ට පැවරිණි. වෙනස් ආකාරයක පාලමක් නිර්මාණය වන්නේ මෙම විසඳුම් සෙවීමේ කාර්යය මතය.
මෙසේ නිර්මාණය වූ පාලම හඳුන්වන ලද්දේ ‘බෝට්ටු පාලම’ නමිනි. කොළඹ ජනතාවට මෙම පාලම ‘ඔරු පාලම’ විය. මේ පාලම සඳහා සැලසුම සකස් කරන ලද්දේ බ්රිතාන්ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ලුතිනන් ජෙනරාල් ජෝන් ෆ්රේසර් විසිනි. ඔරු පාලම සඳහා යොදා ගන්නා ලද ඔරු ප්රමාණය 21ක් විය. මෙසේ නවතා තබන ලද ඔරු 21 මත අඩි 499ක් දිග පාලමක් නිර්මාණය විය.
ඔරු පාලම හේතුවෙන් එතෙක් යුද සේනාංක හා යුද ආම්පන්න නිතර පිටාර ගලන සුලු කැලණි නදිය හරහා ගෙන යාමේ අවදානම නතර විය. (කැලණි ගඟ හරහා අසුන් බැඳි කරත්ත හා ගොනුන් බැඳි කරත්ත ගඟෙන් එගොඩ කිරීමට සමත් ශක්තිමත් පාරු තිබුණු බව ද සඳහන් කළ යුතු ය). ‘ඔරු පාලම’ නැත හොත් ‘බෝට්ටු පාලම’ ඇතැම් විට ‘පාරු පාලම’ යන යෙදුම ද භාවිතා විය.
ගඟේ කෙළවරක වූ ඔරු දෙකකට අදාළ ලෑලි තට්ටු දවසට පැයක් ඉවත් කර තබන ලදී. ඒ ගඟ දිගේ එන පාරුවලට ඉඩ දීම සඳහාය. ගඟ පිටාර ගලන විට නම් ඔරු පාලම ඔස්සේ ප්රවාහනය අත්හිටුවීමට සිදු විය. ගංවතුර ගලන විට පාලමෙන් ඔරුවක් දෙකක් ගැලවී මුහුදට ගසා ගෙන යෑම නිතර සිදු වූ සිදුධියක් විය. බොහෝ විට ඒවා නැවත ගෙනවුත් පාලමට ඈඳන ලදි. ඔරුව කැඩී බිඳී ගිය හොත් අලුත් ඔරුවක් එකතු කරන්න සිදු විය.
නව වැවිලි ආර්ථිකයේ වැඩිමනත් අස්වනු කොළඹට ගෙනෙන ලද්දේ ඔරු පාලම හරහා ය. කොළඹ – නුවර දුම්රිය මාර්ගය උදෙසා දුම්රිය පාලමක් 1867දී තැනුණු පසු ඔරු පාලමෙන් ගෙන ආ වෙළඳ ද්රව්යවලින් කොටසක් එම පාලමෙන් ඇදෙන්න වන.
අවුරුදු 70ක පමණ කාලයක් තිස්සේ කොළඹට පැමිණි බර කරත්ත, අශ්ව කරත්ත ඇතුළු වාහනවල බර දැරූ පාරු පාලම වෙනුවට යකඩ පාලමක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ වන්නේ 1895දීය. ඒ එංගලන්තයේ බර්මින්හැම්හි සමාගමක නිෂ්පාදනයක් සේය. එංගන්තයේ නිෂ්පාදනය කොට ලංකාවට ගෙනැවිත් මෙහිදී පාලම සවි කොට ඇත. මේ පාලම වික්ටෝරියා රැජනගේ උපන් දිනය දා විවෘත කොට රැජනගේ නමින් නම් කරන ලදි.
වික්ටෝරියා පාලම විවෘත කිරීමෙන් පසු පාරු පාලම ගලවා දමන විට කොළොම්පුරේ බොහෝ අය ඒ පිළිබඳ කම්පා වූ බව සමන් කළුආරච්චි මහතා සිය ‘කොළඹ පුරාණය’ නම් ග්රන්ථයේ සටහන් කරයි. ඒ 1895 මැයි 25 දිනපතා ප්රවෘත්ති පුවත්පත ඇසුරෙනි:
“ඇඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් සාදවන ලද පාරු පාලම නාගරික සභාවේ ඉංජිනේරු තැන්පත් ස්කැලිටන් මහත්මයා විසින් අද උදේ හතට පමණ ලෑලි ගලවා දමනවා දුටිමි. බෙහෝ කාලයක් ලෝකයාට ප්රයෝජන වූ මේ පාලම අද තොටළඟින් තුරන් වීමෙන් තැබෑරුම්කාරයා පටන් අන්තිම සුරුට්ටුකාරයා දක්වා මහත් දුකට පත්ව සිටින බව කරුණාවෙන් කියමි. කඩයප්පන් කඩවල, ජාඩි කඩවල ස්ත්රීන්ගේ අද උදයේ දුක්ඛිත අඳෝනාව ඇසූ කාගේත් සිත් කම්පා නොවී යා ද…?”
ඔරු පාලම එසේ මෙසේ පාලමක් නොවේ. එය දශක හතක් තිස්සේ කොළඹට එන වාහනවල හා මගීන්ගේ භාරය ඉසිලීය…..
…………………අන්තර්ජාලය ඇසුරෙනි…………..


උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න