“ඒඩ්රියානා ස්මිත් ” ගමේ ඉස්කොලේ දිලිනිලා,තිළිනිලා,සේපාලිකාලා,කුමුදුලා අතරේ අමුතු නමක්.ඒඩ්රී අපි ලේසියට කිව්වේ එහෙම. ඒඩ්රී නුවරිනුත් කිලෝ මීටර් ගානක් දුර ඉස්කෝලෙට එන්නේ,අළුතින් පත්වීම ලබපු ග්රාම සේවක නෝනගේ දුව විදිහට.කොළඹ ඉපදිලා හැදුන වැඩුන ඒඩ්රී ගේ තාත්තා මැලේ ජාතිකයෙක්.ඒඩ්රී ඇත්තටම සුරංගනාවියක්.ඒ කහ පාට හමක්,දිග කොන්ඩයක්,පුළුන් වගේ පිරුණු අතපය අවුරුදු පහළවක ගෑණු ළමයෙක්ට උවමනාවටත් වඩා වැඩියි වගේ. ඒඩ්රී පාඩුවේ හිටපු ළමයෙක්,ආදර ආරාධනා නම් ඒඩ්රී ළඟින් නිතර එහාට මෙහාට පියෑඹුවට ඒඩ්රී නෙවෙයි ගානකට ගත්තේ. ඉගෙන ගන්න වගේම,සිංදු කියන්න, කවි ලියන්නත් දක්ෂ ඒඩ්රී ඉස්කෝලේ අළුත්ම බලාපොරොත්තුව වුනේ නිකම්ම.කලාප තරඟ වලදි ඒඩ්රී නැතුවම බැරි කෙනෙක් වුනා.
මේ අතරෙදි එක දවසක් ඒඩ්රී ඉස්කෝලේ ආවේ නැහැ.එදායින් පස්සේ ඒඩ්රී කවදාවත් ඉස්කෝලේ ආවේ නැහැ.ඒඩ්රී පැනලා ගිහින්!. ත්රීවිල් පාර්ක් එකේ හිටපු සුනෙත් අයියා එක්ක!. සුනෙත් කියන්නේ නහර කාරයෙක්.හැබැයි පළාතටම හිටපු පෙනුමටම හිටිය කොල්ලා සුනෙත්.ඒඩ්රීට වඩා අවුරුදු දහයකටත් එහා වයසයි. “ඒ දෙන්නා හොඳට ගැළපෙන ජෝඩුව මොනවා වුනත්” අපි නම් හිතුවේ එහෙම. කාලෙත් එක්ක ඒඩ්රීව අමතකම වෙලා ගියා අපිට. ඒඩ්රී ගැන මතක තිබුණ එකම කෙනා මම වෙන්න ඇති. මොකද ඒඩ්රීගේ අම්මා තමයි මට ශිෂ්යාධාර ගන්න උදව් කලේ. ඉතිං මම කැම්පස් ගියත් ඒ උදව්ව අමතක කලේ නැහැ.
අන්තීමේදි මට ඒඩ්රීව ආයේ පාරක් හමුවුනා,මම පුහුණු වෙන නීතිඥතුමා ළගදි.පරණ හිටපු සුරංගනාවී වෙනුවට එතන හිටියේ පරණ වුන සාරියක් පටලගත්තු,වයසට වඩා තලත්තෑනි ගැහැණියක්. “ඔයා ඒඩ්රී නේද? මාව මතකද?”
“මම නිම්මි!අලවතුගොඩ ඉස්කෝලේ නිම්මි…”
ඒඩ්රී ගේ රවුම් ඇස් තවත් ලොකු වුනා,අත්දෙකන්ම මාව අල්ල ගත්තා. ගොරෝසු අත්! ඒවා සිනිඳු නෑ ඉස්සර වගේ.”ඇත්තටම ඒඩ්රී මොකද වුනේ??
“මම සුනෙත් එක්ක ගියේ අපි යාළුවෙලා මාසෙන් නිම්මි.ඒ කාලේ මම මහ ලොකු දැනුම් තේරුම් තියන කෙල්ලෙක් නෙවෙයි.අවුරුදු පහළවක කෙල්ලෙක්.තාත්තා අපිට ඕනා හැම සැප සම්පතක්ම දුන්නත් ආදරේ දුන්නේ හරි අඩුවෙන් නිම්මි.තාත්තගේ ආදරේ මම වින්ඳේ සුනෙත්ගෙන් කියලයි මට දැනුනේ.ඒ හින්දම මම සුනෙත් එක්ක ආවේ ඒ ආදරේට රැවටිලා.සුනෙත් කියන්නේ ඇත්තටම සල්ලාල මිනිහෙක් කියලා තේරුනේ මාස ගානක් ගියාට පස්සේ. එදා ඉදන් අපි සතුටින් හිටියේ නැහැ.
ඔය අතරේ මට දුවෙක් ලැබුණා. මම හිතුවේ සුනෙත් හැදෙයි කියලා එතකොටවත්.ඒත් එහෙම වුවේ නැහැ නිම්මි. මම ගාර්මන්ට් එකේ වැඩ කරලා හම්බෙන සොච්චමෙන් තමයි මගෙ කෙල්ලව හැදුවේ. කෙල්ල මම වගේමයි. හුරතල්.අහිංසකයි.ලස්සනයි .එයා මලක් ඇත්තටම”.
“ඉතිං ඔයාට තිබුනා ඒ මිනිහගෙන් අයින් වෙන්න?”
“පවුලම අතැරලා ආව මම දරුවෙක් එක්ක රුපියල් තිස්දහකින් කාලා බීලා ගෙවල් කුලී ගෙවන් ජීවත් වෙන්න විදිහක් නැති නිසා ඒ මිනිහගෙ වහළ යට මම හිටියේ නිම්මි.ඔය අතරේ සුනෙත් කර කර හිටපු වැඩෙත් නැතිවුනා. එක දවසක් ගාර්මන්ට් එකේදි මැශිමට අත අහුවෙලා මැහුම් දාගෙන මම ගෙදර ආවා.ඒ එද්දි………
ඒ එද්දි අර තිරිසන් මිනිහා තමන්ගෙම දරුවට කරදර කරනවා. මම දෙපාරක් හිතුවේ නැහැ නිම්මි.අතට අහුවුන මන්නෙන් උගේ පිට මැදටම කෙටුවා.උගේ විලාපෙට වත්තේ උන් නාවනම් ඌව මරලම නවතින්නේ මම. අන්තිමට මම හිරේ ගියා. දෝණි පරිවාසෙට දැම්මා නිම්මි.පස්සේ ඇප ලැබුනා මට.මේ ලෝයර් මහත්තයා තමා මට කතා කරන්නේ නඩුවට.මට මගෙ ජීවිතේම වැරදුණා නිම්මි.ඒත් මම දරාගත්තා..ඒත් මට දරාගන්න බැරි මගෙ අහිංසක දරුවගෙ ජීවිතේ මම නිසා නාස්ති වුන එක ගැන නිම්මි.
මට පුළුවන් වෙන ඕනම මොහොතක මම අරූව මරනවා !!!
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා…..
එහෙම වුනානම් ඒඩ්රී ගේ කතාව ඒඩ්රීයානා තරමටම ලස්සන වෙන්න තිබුණා.
උපුටා ගැනීම: Kalpana Kasthuri Arachchi