ඓතිහාසික නා ගැනීම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කතාව කියන්න කලින් විශේෂ දෙයක් කියන්න ඕන. මේක කියවලා කවුරුත් කේන්ති ගන්නවත්, කලබල වෙන්නවත් එපා. මොකද මේ සිද්ධිය මම පොඩි කාලෙ නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක් මිසක්, කිසිම ආකාරයක අපහසයකට කරපු දෙයක් නෙවෙයි.
මේක උනේ මතක විදියට ඉස්කෝලෙ 5 හෝ 6 වසරෙදි. ගොඩක් බෞද්ධ කතාවල, ජාතක කතාවල බුදුන් වහන්සේ වැඩ විසූ කුටිය හදුන්වන්නෙ “ගඳකිලිය” කියලනෙ. මට ඔය වචනෙ හෙන ම අවුල්. මම හිතුවෙම ගඳකිලිය කියන්නෙ ටොයිලට් එකට කියලා. ගඳකිලිය, වැසිකිලිය වගේ වචනත් සමානයිනෙ.
කොහොමින් කොහොමහරි අන්තිමේදි “ගඳකිලිය කියන්නෙ ටොයිලට් එක වෙන්නැති” කියන තැනට ම මගේ මනස හැදුනා. මම හිතුවෙ ඉතින් “බුදුන්වහන්සෙ උදෑසන ශරීරකෘත්ය සඳහා ගියාම, ඒ වෙලාවත් අපතේ නොයවා තුන්ලොව දෙස බලනවා ඇති. එහෙම බලද්දි තමයි ඔය අසරණ වෙච්ච සුණීත, සෝපාක වගේ අයව දකිනවා ඇත්තෙ.” කියලා.
මම ඉතින් ඒ වචනෙ තේරුම තනියම හොයාගත්ත නිසා යාලුවන්වත් දැනුවත් කරලා, උන්ගෙ ඔලුවලටත් ඒ වචනෙ තේරුම බලෙන්ම එබ්බුවා.
ඔන්න ඉතින් කාලයක් යද්දි ගම්පහ පැත්තෙ අපේ නෑ කෙනෙක් වෙන ආච්චි කෙනෙක් නැතිවෙලා අපේ පවුලම ඒ මලගෙදර ගියා. මළගෙදර වැඩ ඉවරවෙලා හත්දවසෙ බණ දවස ආවා. හාමුදුරුවො නමක් වැඩම කරලා දැන් ඒ හාමුදුරුවො බණ කියනවා. මාත් අම්මා ගාව වාඩිවෙලා අහන් ඉන්නවා.
හාමුදුරුවො බණ කතාවෙ එක හරියකදි “අපගේ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ ගඳකිලියේ ඉඳන් තුන්ලොව බලන කල්හී…” කියලා කෑල්ලකුත් කියවුනා. මට ඉතින් හරිම සතුටුයි. මොකද ඒ වචනෙ මම පොත්වලින් කියවලා තිබ්බට, හාමුදුරුවො කෙනෙක් බණකදි ඒ වචනෙ කියනවා මුලින්ම ඇහුනෙ එදා. අම්මගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් හිටපු මම, ඒ වචනෙ ඇහුන ගමන් එරමිණිය ගොතාගෙන සැඳැහැසිතින් වාඩිවෙලා බණ ඇහුවා.
දැන් ඉතින් බණ ඉවරවෙන වෙලාව. හාමුදුරුවො අන්තිමේදි ඇහුවා, ” අද බණ කතාව අහලා පිංවත් ඔබතුමන් ලා මොකක්ද තේරුම් ගත්තෙ?” කියලා.
එක්කෙනෙක් වත් “හුම්ම්..” කියන්නෙ නැති නිසා මම වීරයා වගේ අත ඉස්සුවා ඉස්කෝලෙ පුරුද්දට. අම්මගෙ ඇස් උඩ ගියේ හරියට අර the voice sri lanka එකේ තරගකාරයෙක් සිංදුවක් වැරදි පිච් එකකින් කියද්දි, කසුන් කල්හාරගෙ ඇස් උඩ යනවා වගෙ. මොකද අම්මා දන්නවා මම කට ඇරියොත් විනාසයක් තමයි කියලා.
“ඔව් දුවේ.. මොකක්ද?”
“සාදු.. බුදු සාදු ඇයි හැමදාම ටොයිලට් එකේ ඉඳන් ම ලෝකෙ දිහා බලන්නෙ?”
මම එහෙම ඇහුවා විතරයි අම්මා මගේ කට එයාගෙ අතින් වැහුවා. බණ අහපු හැමෝම අම්මා දිහා බලාගෙන. අම්මගෙ මූණෙන් අසරණකම බේරෙනවා. හාමුදුරුවන්ට හිනා.
“ඒ දරුවට කතා කරන්න දෙන්න. මොකක්ද දුවේ ඔයා කිව්වෙ? මොකක්ද ඒ ටොයිලට් කතාව.”
“ඉතින් සාදු, බුදු සාදු හැමදාම ගඳකිළියෙ ඉඳන්නෙ තුන්ලෝකෙ දිහා බලන්නෙ. ඒකයි ඇහුවෙ.”
හාමුදුරුවන්ට ක්ෂණික ව සිද්ධිය තේරුනා. වටාපතෙන් මූණ වහගෙන හිනා ත් උනා.
ඊටපස්සෙ,
“දුවේ. ගඳකිළිය කියන්නෙ ටොයිලට් එක නෙවෙයි, බුදු සාදු ඉන්න කුටිය ට, ශ්රී ගන්ධ කුටිය කියන්නෙත් ඒකට. තේරුනාද?”
එහෙම කියලා ඉවරවෙලා, මට හිනා වෙච්ච අයටත් සද්දයක් දැම්මා.
“දැන් මේ දරුවට හිනාවෙච්ච කට්ටිය පොඩිකාලෙ ඒ වචනෙ තේරුම දැනන් හිටියද. බලන්න ඒ දරුවගෙ තියෙන එඩිතරකම. කවුරුත් මගෙන් ප්රශ්න ඇහුවෙ නෑ.ඒ දරුවා විතරයි ඇහුවෙ.” කියලා මාව සෑහෙන්න උඩින් තිබ්බා. ඊටපස්සෙ ඉතින් එදා දවස මම හෙන ම ආඩම්බරෙන් හිටියෙ.
ඒත් ඒ ආඩම්බරේ එක දවසයි තිබ්බෙ. ඊට පහුවෙනිදා ඉඳන් අපේ අක්කා ඔය වචනෙ කිය කිය මට විහිලු කරන්න පටන් ගත්තා. මම වොෂ්රූම් යනවා දැක්කත් “ආ නංගි… ගඳකිළියට ද යන්නෙ?” කිය කිය අවුරුදු ගානක් යනකන් මට විහිලු කරා. මම ඉතින් ඒ වෙලාවට, අතට අහුවෙච්ච එකෙන් අක්කට දමලා ගහලා මගේ පාඩුවේ හිටියා. අදටත් හිටපු ගමන් අපේ අක්කා ඔය වචනෙ කියලා මාව නෝන්ඩි කරනවා.
ඒ සිද්ධියෙන් පස්සෙ මම ප්රසිද්ධියෙ ප්රශ්න අහන එක අතඇරලා දාලා මගේ පාඩුවේ හිටියා. මොකද ඉතින් ආයිත් අර වගේ නෝන්ඩි වෙලා අපේ අක්කට විහිලුවක් වෙන්න බෑනෙ.
ඔන්න ඕකයි මගේ මතක හිටින නා ගැනීම. (තවත් නා ගැනීම් අවස්ථානම් එමටයි ඉතින්.)
ඒ එක්කම මම ආයිත් කියනවා. මේක පොඩිකාලෙ වෙච්ච සිද්ධියක් නිසා කවුරුත් වැරදියට තේරුම් ගන්න එපා.
එහෙනම්, ජයවේවා.
උපුටා ගැනීම: Keshika Niwarthanie

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!