මොකද්ද ළමයෝ මේ පැල වැවිල්ල ? . වත්තෙ ඉඩත් නෑ. අනික ඔච්චර මහන්සි වෙලා එළවළු වවන්න ඕනද? අපිට පොළෙන් ගන්න බැරියැ.
ගෙදර අය ඔය මොන දේවල් කිව්වත් මට පුදුම ආසාවක් තියෙන්නේ එළවළු ඇට ගෙනත් රැයක් පෙගෙන්න දාලා, ඒ ඇට කවර වල පැල කරලා, පස ඉරිතලාගෙන පුංචි පැල මෝදු වෙනවා බලන්න .
මේක මට හරිම සතුට ගෙනෙන දෙයක්. ඇට ඉන්දපු දවසෙ ඉඳලා දවසෙ කීප සැරයක් ගිහින් බලනවා “ගිරි” ඇවිල්ල ද කියලා .ඊලගට ගහ ටිකක් ලොකු වෙනකම් බලන් ඉන්නවා ඒතරම් හදිස්සියක් නැතුව .
ආපහු කලබලේ පටන් ගන්නෙ ගහේ මලක් එනකම්, ඊලගට පුංචි ගෙඩියක් එනකම්. ඊට පස්සේත් වැඩි කලබලයක් නෑ. ආසම හිතෙන්නේ ගස් පිරෙන්න එක එක එළවළු වලින් ගස් පිරිලා තියෙද්දි .
ඉන් පස්සේ හැම උදේම පටන් ගන්නෙ, කූඩයක් අරන් ගිහින් පැහිලා තියෙන මොනවා හරි ජාතියක් කඩන් ඇවිත් හැමෝටම පේන්න මේසෙ උඩ වට්ටියෙ තියලා තියෙනවා .
ඉතින් ගෙදර වර්ණනාව ඉවරයක් නෑ. “තාත්තාගෙ අත් ගුණේ තමයි දූටත් ඇවිල්ල තියෙන්නේ , අද දවල්ට වස විස නැති එළවළු , දැන් නම් හාල් විතරයි කඩෙන් ගන්න ඕනේ.”
ඇත්තටම “එළවළු ඇටයක්” කියන්නෙත් ආදරණීය “බලාපොරොත්තුවක්”.
උපුටා ගැනීම: සෙව්වන්දි ද සිල්වා