එක දවසක්….. …… (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොයිතරම් කාර්යබහුල දවසක් උනත් ලැබෙන දුරකතන ඇමතුම් වලට පුලුවන් විදියට උත්තර දෙන්න මං වග බලා ගත්තා. අද දවස විතරක් නෙමෙයි, හුඟක් වෙලාවට හැම දවසක්ම ඉතින් ගෙවෙන්නෙ මෙහෙමයි. හුරුපුරුදු අංකයක් තිරයෙ ඇඳච්ච නිසා වැඩ ටික චුට්ටක් පැත්තකින් තියලා ෆෝන් එක අතට ගත්තා .
“ගුඩ් මෝනිංග් නංගි… මං විමංග ….
සියඹලාන්ඩුව බ්‍රාන්ච් එකේ… මතකද දන්නෑ…”
“අනේ් මතකයි අයියෙ… ඉතින් කියන්න…”
“මගෙ කස්ටම කෙනෙක් එයි… ඩිපොසිට් එකකට… මං කිව්වා ඔයාව හම්බවෙන්න කියලා…. කමක් නෑ නෙ…”
“කමක් නෑ අයියෙ… මං බලන්නම්….”
“ඉතින් කොහොමද මේ දවස්වල ….???”
මහා කතාවක ආරම්භය සනිටුහන් කරමින් ඔහු ඇසූ පැනයෙන් පලායාමට මම වෑයම් නොකලෙමි. ආගිය තොරතුරු කතා කරමින් අප විනාඩි දහයක් හෝ පහලවක් පසු කරන්නට ඇත.
“ඔයා මේ වෙලාවෙ බිසී ද… ….. ….. ??? ”
“නෑ ලස්සන කටහඬක් ඇහෙන නිසා තියන්න මොකද්ද වගේ…”
“අයියා කොහෙද ඉන්නෙ … තාම යන ගමන් නේද”
“හ්ම්ම් … කමක් නෑ… ඔයා තියලා වැඩ කරන්නකො…”
ඔහු කීවේ හිතකින් නම් නොවේ…
“ම්ම්ම් … මට ලොකු වැඩක් නෑ… මං ඉන්නද ලයින් එකේ අයියා ඔෆිස් එකට යනකන්…?”
*********
වලාකුලු බැම්මට ඉහලින් අහස දෙස බලාගෙන ඔහු එදවස සිහිපත් කරයි…. ඔහු මගේ වම් අත්ල දැඩිව අල්ලා එය පපුවට තුරුලු කොට සිටියේ ය…
“ඇයි එදා ඔයා එහෙම ඇහුවෙ…. ඔයා එහෙම ඇහුවෙ නැත්තන් මේ විමංග මෙච්චර දුර ඉඳලා මහරගමට දුවගෙන එන එකක් නෑ මේ ඔයා ව බලන්න… ”
“ඉඩෝරෙට මහ වැස්සක් ම ඕනෙ නෑ… සමහර වෙලාවට පුංචි පින්නකටත් පුලුවන් ඒ ඉරි තලපු පොලොවට සැනසිල්ලක් වෙන්න …. ඔයත් හරියට ඒ වගේ… කොහේදෝ ඉඳන් ඇවිත් අද මගෙ මුලු ජීවිතේම වෙලා…. ඔයා දන්නෙ නෑ මැණික මං ඔයාට කොච්චර ආදරේද කියලා…. අද මට ජීවත් වෙන්න තියන එකම හේතුව ඔයා… හෙට දවස ගැන හිතන්න තියෙන බලාපොරොත්තුව ඔයා…. ඇත්තමයි ඔයා නොයින්න මං මේ හැමදේම දාලා දුර ඈතකට ගිහින්….. ”
මගේ අත්ල මත සීතල දෙතොල් තබා ඔහු කීවේය…
දහසක් වැඩ කටයුතු පසෙක ලා හිටිහැටියේ නුවර ඒමට අදහස දුුන්නේ ඔහුය. ගමනට පමණක් එකඟ වූවා මිස මා ඊට හේතු කාරනා නොවිසීමි. ඔහු මට සැබැවින්ම ආදරය කරනා බව මා දන්නා මුත් පෙරලා ඔහුට ආදරය කිරීමට මට නොහැකිව තිබිණ . මේ වෙනකෙකු වූවා නම් මේ වන විටත් මුහුණ වත් නොබලන්නට සිතෙන ලෙස මා ඔහුට අමතා තිබෙනු නොඅනුමානය . එහෙත් විමංග හට මා කෙදිනකවත් නපුරු වී නැත. මට ප්‍රේම කල සියල්ලෝම මගේ දෝෂ දර්ශනයට ලක් වූවා පමණි . කිසිවෙක් තුල මා සැබෑ ආදරයක් නොදැකීම ඊට හේතුව වන්නට ඇත . එහෙත් විමංග වෙනස්ය. එකම ආයතනයක ශාකා ද්විත්වයක වැඩ කරන අප වසර අටක පමණ හඳුනන්නෙමු. එහෙත් හිටි හැටියේ ඇති වූ සංවාදයක් අපව කාන්දම් බවට පත් කරාවී යැයි අප දෙදෙනාගෙන් කිසිවෙකුත් නොසිතන්නට ඇත.
“මෙච්චර මට උදව් කරන කෙල්ලව මං තාම දැකල නෑනෙ…”
” ඉතින් මං දැකලත් නෑනෙ”
“එක අතකට අපි කවදාවත් නොදැක ඉන්න එක හොඳයි ”
“ඇයි ඒ?”
“මාව දැක්කට පස්සෙ ඔයාට මාව එපා වෙයි… අනිවාර්යයෙන්ම ….”
“ඇයි ඔයා හිතුවද මං ඔයා ශාරුක් ඛාන් කියලා හිතාගෙන කතා කරනවා කියලා ….”
“නෑ නංගි අපි කවදාවත් දකින්න ඕන නෑ . කවදාවත් නොදැක ඇතිවෙච්ච සදාකාලික බැඳීම් ලෝකෙ තියනවා . අපි දෙන්නත් ඒ වගේ වෙයි…”
නොදැක ඉන්නට ගිවිසුම් සැදුවේත් ඒවා කඩා බිඳදමා මා නොදැක නොඅසා ඉන්නට බැහැ කීවේත් ඔහුමය…. කතා කරමුද… හම්බෙමුද…. කොහේ හරි යමුද… ආදී නොයෙක් දේ හමුවේ මා ඔහුට අවනත වූවා මිස ඒ කිසිවකට හේතු කාරනා අසා නැත. ඒ දෙවරක් නොසිතා විශ්වාසය තැබිය හැකි, මිහිපිට කළුනික ක් වැනි මිනිසෙක් , පිරිමියෙක් ඒ ශරීරය තුල සිටින නිසා විය යුතුය.
ඔහු සංසාරයේ කොයි යම් හෝ භවයක මා ප්‍රාර්ථනා කරනා බව අප ලං වූ දා සිට අනේක වාරයක් මට පවසා ඇත…
“ඔයා මහ පුදුම කෙල්ලෙක්… පුදුම කෙල්ලෙක්….
මෙච්චර කල් ඇයි මැණික ඔයා මට හම්බුනේ නැත්තෙ…. ඇයි මගේ ජීවිතේ මෙච්චර දේවල් වෙනකන් හිටියෙ… මට ඔයාගෙන් වගේ ආදරයක් කාගෙන්වත් ලැබිලා නෑ මගෙ මැණික …මට… මට ඒක දරාගන්න බෑ… ඔයා ඇත්තටම මැණිකක්… මගෙ ලඟ තිබ්බත් නැතත් මැණික මැණිකමනෙ ඉතින්… ඔයාව කවදාවත් ඇති වෙන්නෙ නෑ…
ඔයා නිඳහසේ විඳින්න පුළුවන් කෙල්ලෙක්….
ඇත්තමයි…. මේ ආත්මෙ විතරයි ඔයා මට අයිති නැත්තෙ… උපදින කොයිම ආත්මෙක හරි මට ඔයාව ඕනෙ… ආයෙනම් කාටවත් දෙන්නෙ නෑ සුදුනෝනා ඔයාව…… මට ඔයාව නිදහසේ විඳින්න… ඔය හිනාව, කතාව, ඔය ඇස්, ඔය හුරතලේ, ඔය සුවඳ, ඔය ගතිගුණ , මනුස්සකම, ඒ සේරටම වඩා ඔය ලස්සන හිත අරගෙන එන්න…. අනේ චුට්ටක් වත් වෙනස් වෙන්න එපා. ඔය විදියටම එන්න…… ඔයා හැමදේම තියෙන සුන්දරම සුන්දර කෙනෙක්…. ඒකනෙ මං මගෙ කෙල්ලට මැණික කියන්නෙ…. ඒකනෙ ඉතින් හැමෝම මෙන්න මේකට ආදරේ…. මට මේ ආත්මෙදි ඔයාව ඉල්ලන්න බෑනේ… මං එක බැලමකින් වත් එහෙම කරන්නෙත් නෑ ….. මොකද ඒ තරමටම මං ඔයාට ආදරේ නිසා…..”
කඳුළු පුරෝගෙන ඔහු එසේ කී වාර ඕනෑතරම් ය… මා කෙරෙහි කුමනාකාරයක හැඟීමක් තිබුනද ආමන්ත්‍රණයේ පටන් ස්පර්ශය දක්වා ඔහු ඉඟියකින් වත් මට වරදක් සිදුකර නැත…
ඔහු මට ලෙයින් උපන් දරුවෙකුට, එක කුස උපන් සොයුරියට නොවේ නම් බිහිකල මව්ට හා සමානව ආදරය කරයි….
‘මාත් අයියට ආදරෙයි…. හුඟක්…. අයියට දැනෙන තරම විතරක් අයියා දැනගත්තම ඇති. මොකද මං ආදරේ බව වත්, ඒ කොයිතරම් ද යන්නත් කවදාවත් මං ඔයාට කියන එකක් නෑ. මොකද මාත් ඔයාට හුඟක් ආදරේ නිසා…. ‘
මම මට ම කියාගත්තෙමි.
ඔහු ප්‍රිය කරන්නාවූ සියල්ල මා සතුවත් මා ප්‍රිය කරන්නාවූ සියල්ල ඔහු සතුව තිබීමත් අප මෙතරම් ලං කල හේතුව වන්නට ඇත. ඔහු ප්‍රේමයෙන් පරාජිත විය යුත්තෙකු නොවේ. මා ඔහුගෙන් ආදරය සඟවා තැබීමට උත්සහවන්ත වන්නේද ඒ නිසාවෙනි…. ඒ පරාජිත හැඟීම ඔහුට නොදැනෙන්නටය… අන් සියල්ලන්ටම මට ආදරය කිරීම නිශ්ඵල බව පවසා ඇතත් මම විමංග ට කෙදිනකවත් එසේ කියා නැත්තෙමි….
මට ඔතරම් ආදරය කරන්නට එපා යැයි ඔහුගෙන් ඉල්ලා නැත්තෙමි…. සමහරවිට මා කෙදිනවත් එසේ නොකියනු ඇත . මන්ද යත්, මගේ පියා කෙරෙහි තරම් විශ්වාසය තැබිය හැකි, මගේ පියා අභිබවූ ශ්‍රේෂ්ටයෙකු වූ ඔහුගේ අසීමාන්තික ප්‍රේමය හමුවේ මා සැබැවින්ම දුබලයෙකු ලෙස හැඟෙන නිසාවෙනි…..
“අපි මේ වැව වටේ ඇවිදිමු ද….”
නුවර වැව දෙසට අත දිගු කරමින් මම ඇසුවෙමි…
“හා…. 🙂”
තවමත් පපුවට තද කොට සිටි මගේ අත ලිහිල් කරමින් ඔහු දෙපසට හිස සැලීය….
මම එ් දකුණතට බර දී ඔහේ පියවර තැබුවෙමි……
කාත් කවුරුත් නොමැති තැනකදි
අතින් අල්ලා ගෙන හෙමින්
යන්න එනවද නුවර දවසක
මාත් එක්කම මගෙ ලඟින්….
එකම ඇරයුම නුඹ මගෙන් කල
ලන්න බෑ ඉවතට ඉතින්
උරණ වී හෙට මාත් එක්කලා
පරවේවි රොබරෝසියන්…..
රූ…..

 

උපුටා ගැනීම:  Rushi Rushi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!