ඒක වෙනම ආතල් එකක්.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ස්පෝට්මීට් එකක්..?
මගෙ පළවෙනි වතාවට. හතර වසරෙන් ඉහල අයට නම් නිවාස හමුබුණා. රුහුණු, පිහිටි, මායා කියලා.
අපිට පොඩි පොඩි සෙල්ලම් තිබ්බා. මම කකුල් ගැටගහගෙන දුවන සෙල්ලමට සෙට් උණා මගේ පාට්නර් කාරයා දර්ශනයා.
පොඩ්ඩක් පුරුදුවෙන්න කියලා අපි දෙන්නා කකුල් දෙක ගැටගහගෙන දවසක් විතර හිටියා.
චූ කරන්න ගියෙත් එකට කකුල් දෙක ගැටගහලා නිසා අපි දෙන්නා එක කියුබිකල් එකේ ඉඳලා බැම්මට උඩින් දෙපැත්තෙ දෙකට ප්රක්ෂිප්ත කලා.
තරගෙ වෙලාව ආවා…
සැරසේන්…! එල්ලවේන්…!! යා….!!!
ගේමක්ම නෑ, එහා පැත්තෙ එකා හිටියද කියලවත් මතක නෑ ගෝල් එක පහු කලා. සමහරු මග වැටිලා දෙවෙනියා සංජයයි සංජීවයයි. උං දෙන්නා නිමුන්නු හින්දද මන්දා පුරුදු වෙන්නෙත් නැතුව ගානට දිවුවා. කකුල් ගැට ගහන්නැතුවනං උන් දෙන්නයි චම්පිකයයි එක්ක දුවන්න බෑ. කොන්ද දුන්න වගේ කරගෙන දුවනවා නෙමේ විදිනවා.. මීටර 100 කතාවෙ මුදලිහාමි වගේ.
පළවෙනි තෑග්ගට හම්බුනේ ප්ලාස්ටික් පෙට්ටියක්. දෙවෙනි තෑග්ග..?
දෙවෙනි තෑග්ගත් ඒකමයි.අපරාදෙ ඉක පුරාගෙන පුරුදු උනේ.අවුලක් නෑ ජීවිතෙට තරඟයක් දිනපු පලවෙනි වතාව.අන්තිම වතාවත් මේකම තමයි.
හතර වසරට ගිහින් නිවාස වලට බෙදුවට පස්සෙ උනත් මූලික වටයකින් වත් තේරුන්නෑ කියන්නෙ කිරීඩාව පැත්තෙන්නම් අනාගතයක් නෑ කියලා තේරුම්ගත්තා.
ඒ නිසා ස්පෝට්මීට් කාලෙට අපේ ක්රීඩාව උනේ කූරටියා කැලෑ අස්සෙ බංකර් හදාගෙන ලී කෝටු වලින් තුවක්කු හදාගෙන ළඟපාතින් යන කොටින්ට වෙඩි තියපු එක.
ලොකු වෙලා කවදාහරි කොටියෙකුට වෙඩි තියන එක තමා ඒ කාලෙ මගේ අනාගත බලාපොරොත්තුව.
අපේ ගෙදර ඕෆිග්රිඩ්. ලයිට් නෑ..වතුර නෑ.. ටෙලිපෝන් දැකලත් නෑ.. කොටින්ම එලාම් ඔරලොසුවක්වත් නෑ. උදේම කෑගහන කුකුලෙක් හිටියා. ආය බොරතෙලුයි ගල් අඟුරුයි තමා. උදේම නැගිටපු ගමං නිදිකිර කිරා ලිබ්බොක්කෙ දෙපැත්තෙන් කකුල් දෙක තියාන ඉඳගන්නවා ගිණිතපින්න. අම්මා හදලා දෙන කිරි එක කුප්පි ලාම්පු එලියෙන් නිදිමතේම බීපුවාම ඊළඟට චාජ් වෙලා එනවා ගානට.
මහවැලි ඉඩම් වල හදපු ගෙවල් නෙ, ලැට් එක එහා කෙලවරේ ළිඳ මෙහා කෙලවරේ. මුලින්ම ලැට් එකට දිවුවා..ලැට් බාල්දිය ගත්තා.. ළිඳට දිවුවා… වතුර පුරවගෙන ආයෙ ලැට් එකට. හදිසි අවශ්යතා කියලා දෙයක් මෙහෙ තියෙන්ඩ බෑ.
ඇලේ වතුර තිබ්බොත් ඇලට පැනලා මූන හෝදගන්නවා නැත්තං ළිඳෙන්. අයියා පොල්කටු අඟුරු දාලා කමිසෙ ඉස්තිරික්ක කරලා රස්නෙ ඉතිරිවෙලා තිබ්බොත් මාත් දෙතුන් පාරක් ඇනගන්නවා. නැත්තං ඕක ගානකුත් නෑ.
උදේට ඩබල් දාලා එන්නෙ අයියගෙ බයිසිකලේ. බොරළු පාරේ ගල්, ගොඩැලි, වලවල්, පාලම් පහුකරං එන ගමන අති සුන්දරයි බැලු බැලූ අත දිස්වන නිල්පාට කෙතවතු යාය දෙකංසෙං ගලන දාඩිය මුගුරු පවා අමතක කරවනවා.
උදෑසන එබී බලන ළා හිරු රැස් කියලා නෑ පිච්චෙනවා. පොඩි සැනසීමකට හරි කියලා තිබ්බේ කුඹුරු යාය මැදින් හමා එන හුළං පාර. බයිසිකලේ පාගන එකාට ඒ සැනසීමත් නෑ හුළං පාරකපාගෙන යන්න වැඩිපුර බර දාන්න ඕනේ. තද හුළං පාරකට හැඬල් එක කැපිලා වෙලට වැටෙන්න යන වාර අනන්තයි.
ඊළඟට පුංචි කඳුගැටෙත් එක්ක තියෙන පාලම. ආරම්භක ප්රවේගය තප්පරයට මීටරයයි. විස්තාපනය මීටර දෙකයි. පෘෂ්ඨයේ ආනතිය.. අනම්මනම් එක්ක පැඩල් එකට යොදන්න ඕන උපරිම තෙරපුම එකෙකුට දෙන්න බෑ. එතකොට අනිකත් කකුල පැඩල් එකෙන් තියලා සපොර්ට් එක දෙන්න වෙනවා.
ගණං හැදිල්ල ඔක්කොම හරි. අන්තිමට තිබ්බ පොඩි ගල් කැටයක් මිස්වෙලා. පාලම මුදුනට යද්දි ප්රවේගය බින්දුවයි. පාලම උඩ ඇට්ටිම්බෙන් දත් මැද මැද හිටපු පොඩි කොල්ලෙකුත් පෙරලගෙන අපි දෙන්නා පතබෑවුනා ඇලට.
දාඩිය දාලා නිසා සනීපයි.
ඔලුවෙ වතුර ටිකනම් ඉස්කෝලෙට යද්දි වේලුනා ඇඳුම් ටික තමා. අනික පොත් බෑග් එකෙන් තාමත් වතුර බේරෙනවා.
“මොකෝ මේ පන්තිය පුරා වතුර ” ටීච පන්තියට ආපු ගමං ඇහුවා
“මෙන්න මෙයා තමයි ටීච අපිනං නෙමේ” ඕක ඉතිං කිවුවත් නැතත් තේරෙනවා මගේ ඇඳුම් දැක්කාම.
“මොකෝ වතුර බෝතලේවත් හලා ගත්තද”
“නෑ ටීච”
“එහෙනං.”
“වැස්සට අහුවුණා.”
“වැස්ස? මේ ග්රීස්මේ ??”
“ඕ..”
හොඳවෙලාවට ටීච මගේ බොරුව පිලිගත්තා.
උපුටා ගැනීම: Dinesh Thilina

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!