මං හිතන්නේ, එතකොට එයා හිටියේ 12 වසරේ. මම යන්තම් ඕලෙවල් කරනවා. යන්තම් කිව්වේ, මම හිටියේ 10 වසරේ නිසා. එයා අපේ අල්ලපු ඉස්කොලේ. යන එන මඟදී තමා ඉතින් අපි දකින්නේ. සෞඛ්ය පොතේ මොනවා තිබ්බත් ඔය කාලෙනේ එක එක සිතුවිලි හිත් අස්සේ දෝරේ ගලලා පිටාර යන්නේ.
මං හිතන්නේ එයයි මායි අතරත් උනේ එහෙම දෙයක්. ඔන්න පෙම් පුරාණේ පටන් ගත්තේ ඇස් වලින්. එයත් බලනවා, මාත් බලනවා. ආයේ එයා බලනවා. මං වෙන දිහාක් බලනවා. ඔන්න මං බලනවා. මිනිහා මං දිහාම බලන් ඉන්නවා. අම්මේ ඉතින් මං ඒ ඇස් වලින් පෙම් පුරාණෙම ලිව්වා. විශ්වාස කරන්න අපි එක වචනයක්වත් කතා කරලා නෑ.
බොරු ඕන නෑනේ. මේ කෙල්ලත් ඉතින් කොල්ලගේ ඇස් හොය හොය තමා උන්නේ. ඔන්න දවසක් සාහිත්යය සමිතිය නිසා මං ඉස්කොලෙන් ආවේ පැය භාගයක් පරක්කු වෙලා. මං හිටියේ අයිතිකාරයා මඟ දාලා ගිය බැලි පැටික්කියෙක් ගානට. ඒ ඉතින් වෙනදා ගෙදර යන බස් එක මඟ ඇරුන නිසා නම් නෙවී. ඇස් කතාව මඟ ඇරුන නිසා.
ඉතින් මං ගොනා නැති උන කරත්ත කාරයා වගේ බිම බලාගෙන ටවුන් එකට තියෙන කිලෝමීටර් එකාමාර ගෑටුවා. වෙනදා විනාඩි 15න් යන ගමන එදා පැය භාගයකට එහා මං ගෑටුවා.
කරුමේ එන්නේ පස්සේ පන්නන් කියන්න වගේ, තිබ්බ එකම බස් එකත් ලෝඩ් වෙලා යන්න සුදානමින් තිබ්බේ. මාත් ඉතින් නිකා හිටියේ නෑ දුවලා ගිහින් එල්ලුනා ෆුට් බෝඩ් එකේ. දන්නවද, සමහර දේවල් අහම්බයක්ම වෙන්නේ නෑ. ඒත් මෙන්න බොලේ අරයත් ඇවිත් එල්ලුනා ඒ ෆුට් බෝඩ් එකේම.
ඔන්න ඉතින් මගේ කොණ්ඩේ එයාගේ ඔරලෝසුවේ පැටලෙනවා. එයා හිමිහිට ඒක ගලවනවා. මං ඇස් දිහා බලන්න බැරි කමට එයාගේ ඔරලෝසුව දිහා බලනවා. එයා හිනා වෙනවා. මාත් හිනාවෙනවා. එක විකාරයයි ෆුට් බෝඩ් එකේ.
මම හිටියේ මට නිකම් හෙනයක් ගැහුවා වගේ. කොයිතරම් ශොක් උනාද කිව්වොත් ඉන්නේ බස් එකේ ෆුට් බෝඩ් එකේ කියලවත් මතක් උනෙත් නෑ. පස්සේ කොන්දා අපි දෙන්නව ඇතුලට තල්ලු කලා.
එයා උන්නා මගේ ගාවම අර සුපුරුදු හිනා ඇස් වලින්. මාත් හිනා උනා. හදවත ගැහුනේ ඇස් කතා නවත්තලා හිනා කතා පටන් ගනීදෝ කියලා. ඔව් එච්චර තමයි. එයා කතා කලේ නෑ. මට නම් කතා කරගන්න තියා කට ඇර ගන්නවත් බැරුවයි හිටියේ. ඉතින් ඇස් කතා හිනා කතා විතරමයි.
කොල්ලෙක් තමයි ඒත් එයාට තිබ්බේ කෝෆී මල් හිනාවක්… හරියට නිකම් අහම්බෙන් දැක්ක පින්න මලක් වගේ එයා.
මං ආස උනා කෝෆී මල් වලට. උදෑසන පින්නේ පිපුණු ලස්සන පින්න මල් වලට. පින්න මල්.. රෝස මල් වගේ ලස්සන මල් ජාතියක්. දැන් කෝෆී මල්, පින්න මල් දෙකම හොයා ගන්න නෑ එයා වගේ..
මං හිතන්නේ එයා ඒලෙවල් ලිව්වා. මාත් ඕලෙවල් ලිව්වා. ඊට පස්සේ දෙන්නට දෙන්නා දැක්කෙම නෑ. එයාට වෙච්චි දෙයක් අදටත් මං දන්නේ නෑ. එදා කතා කලා නම් කියලා තැවෙන වාර නම් අනන්තයි. හිත හදා ගත්තා එයා නොකියම පිටගම් ගිහින් කියලා. පිටගම් ගියා කිව්වේ එයාලා පවුල පිටින්ම වෙන ගමකට ගියා කියන එක. වැරදියට හිතන්න එපා. එයා එහෙම නෑ.
එයා කොහේ ඉන්නවද මොනවා කරනවද දන්නෙත් නෑ. මේ ගෲප් එකේ ඉදියොත් සමහර විට එයාට මතක් වෙයි.
කොහොම උනත් හිතට හෙන ගහපු ඒ හැන්දෑව මට නම් සදාකාලිකව අමතක වෙන්නෑ.
එකෝමත් එක හැන්දෑවක
වැඩ ගොඩක හිර උනු වෙලාවක
ඒ ගැන හිත හිතා යන කොට
මහ හයියෙන් ගැහුවා හෙනයක් මට
පුදුමේ කියන්නෙම අහන්නකෝ
වැස්සක සේයාවක් වත් නැති කොට
හිත පෙඟෙන්නම මාව තෙමුනා
සීතලෙන් ඇඟ කීරි ගැහුනා
එදා ඇත්තට නොවැටුනත් වැහි
අදත් ඉඳහිට වැටෙන කොට පොද
ගෙවාගන්නේ කොහොමද මං පැය
පණ පිටින් මං දැවී දැවුනා
හෙන ගැහුව ඒ තප්පරේ හින්දම
පණ පිටින් මං මැරිලා යනකොට
පිටගම් ගිය හින්දා නොකියම
ඉන්න තැනකට ඇවිත් මරනවා
උපුටා ගැනීම: Kumi De Silva