මේ වෙද්දී මිනිසුන් රහිත පද්ධතීන් ලොව පුරා හමුදාවන්හි අත්යාවශ්ය අංගයක් බවට පත් වි හමාරය.මිනිසුන් සහිත පද්ධතී සමග බලද්දී නූතන සංග්රාමය භූමියේ සහ ඉන් ඔබ්බට,සෑම තැනකම පාහේ මිනිසුන් රහිත පද්ධතීන් වේගයෙන් ආදේශ වෙමින් තිබේ.ආරම්භයේදී ඔත්තු බැලීමේ කටයුතු සඳහා භාවිතා කලද දශක කිහිපයක සිට සන්නද්ධ මිනිසුන් රහිත ගුවන් යානා(ඩ්රෝන්),නියතාර්ථ බෝම්බ/මිසයිල දියත් කිරීමට යොදා ගැනේ.ඩ්රෝන් යානා සතු වාසි වන්නේ සෙබලුන්ගේ ජීවිතවලට අවදානමක් ඇති නොවන ලෙස සතුරු භූමියට ඇතුල් වීමේ හැකියාව,මෙහෙයුම් වියදම අවම වීම,වේගවත් දියත් කිරීමක් සිදු කිරීමට හැකිවීම සහ පියාසර කාලය දීර්ඝ වීම යන කාරණාය.MQ-1 ප්රඩේටර් වැනි ඩ්රෝන් යානා 1990 දශකයේ මැද භාගයේ පටන් ක්රියාන්විතයන්හි යෙදවූ එක්සත් ජනපදය,නූතන මිනිසුන් රහිත පද්ධතීන්වල පුරෝගාමියා වන අතර සන්නද්ධ සහ සන්නද්ධ නොවන ඩ්රෝන් යානා සේවයේ යෙදවීම අතින් ලොව අන් කිසිදු ජාතියකට වඩා අත්දැකීම්වලින් පිරිපුන්ය.කෙසේවෙතත්,තරඟය උග්ර වී තිබේ.ඒ චීනය,රුසියාව,ඊශ්රායලය ආදී තරඟකරුවන්ගේ පැමිණීමත් සමගයි.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවයේ යොදා තිබෙන ඩ්රෝන් යානා සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයකි.
MQ-1 ප්රඩේටර්
1990 දශකයේදී සංවර්ධනය කල,ප්රධාන වශයෙන් පෙරික්සුම් සහ ඔත්තු බැලීම් සඳහා නිෂ්පාදනය කල ජෙනරල් ඇටොමික්ස් MQ-1 ප්රඩේටර් යානය1995 වර්ෂයේ පටන් එක්සත් ජනපද ගුවන් හමුදාව සහ මධ්යම බුද්ධි තොරතුරු කාර්යාංශය වෙනුවෙන් සේවය ලබා දෙයි.විද්යුත්-ප්රකාශ සංවේදක කිහිපයක් රැගෙන යන යානය පසුකාලීනව AGM-114 හෙල්ෆයර් මිසයිල දෙකක් ගෙන යාමට නවීකරණය කරන ලදි.MQ-1C ග්රේ ඊගල් යානය 2009 වර්ෂයේදී හඳුන්වා දුන්නේ MQ-1 යානයේ යාවත්කාලීන කල සංස්කරණයක් වශයෙනි.
RQ-4 ග්ලෝබල් හොක්
නෝත්රොප් ග්රාමෙන් සමාගමේ RQ-4 ග්ලෝබල් හොක් ඩ්රෝන් යානයට දිනයක් ඇතුලත වර්ග කිලෝ මීටර් 100,000 භූමි ප්රදේශයක ඔත්තු බැලීමට හැකියාව තිබේ.එය සතුව තිබෙන්නේ අධි-විභේදන synthetic aperture වර්ගයේ රේඩාර් පද්ධතියකි.ඊට අමතරව දිගු දුර විද්යුත් ප්රකාශ/ අධෝරක්ත සංවේදක උපාංගවලින්ද සමන්විතය.පියාසර කාලයද පුළුල් නිසා වැඩි කාලයක් ගුවනේ රැදෙමින් වැඩි වර්ගඵලයක් ආවරණය කරමින් පෙරික්සුම් කටයුතු සිදු කල හැකිය.රයන් ඇරොනොටිකල් සමාගම සැලසුම් කලද RQ-4 යානය දැන් නෝත්රොප් ග්රාමෙන් සමාගමේ කොටසකි.එය ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබයි.
RQ-7B ෂැඩෝ
එක්සත් ජනපදය,ඕස්ට්රේලියාව සහ ස්වීඩනය යන රටවල හමුදා AAI RQ-7 ෂැඩෝ නම් ඩ්රෝන් යානය භාවිතා කරන්නේ ඔත්තු බැලීම,ගවේෂණ කටයුතු,සංග්රාමික හානි තක්සේරු කිරීම සහ ඉලක්ක ප්රතිග්රහණය යන කටයුතු සඳහාය.RQ-7 යානය ට්රේලරයක සවි කල කැටපෝල ක්රියාව පදනම් කර ගත් උපකරණයක් ඔස්සේ ගුවනට නිකුත් කරයි.එය නැවත ගොඩබසින විට රැහැනක් මගින් නවතා ගනු ලැබේ(ගුවන් යානා ප්රවාහන නෞකාවලදී ජෙට් යානා නෞකාවේ ධාවන පථය මත ගොඩබසින විට නවතා ගැනීමට භාවිතා කරන්නේද මෙම ක්රමයයි).මෙම යානය සතු විද්යුත්-ප්රකාශ/ අධෝරක්ත කැමරාව මගින් ගොඩබිම් පාලන මධ්යස්ථානය එවෙලේම වීඩියෝ දර්ශන සපයනු ලැබේ.
MQ-8 ෆයර් ස්කවුට්
නෝත්රොප් ග්රාමෙන් සමාගම විසින් නිෂ්පාදනය කරන MQ-8 ෆයර් ස්කවුට් ඩ්රෝන් යානය පෙනුමෙන් හෙලිකොප්ටර් යානයකට සමානය.ලබා දෙන මෙහෙයුම මත පදනම් ව MQ-8 යානය ඔත්තු බැලීමට සහ අවට වටපිටාව සම්බන්ධව සෝදිසියෙන් සිටීමට,අවි රැගෙන යාමට සහ නිරවද්යව ඉලක්ක ගැනීමට සහාය වීම ආදී කටයුතු සඳහා භාවිතා කල හැකිය.යානය ගුවන්,පාබල සහ නාවික හමුදාවන්ට භාවිතා කල හැකි පරිදි නිපදවා තිබේ.MQ-8C ෆයිර් ස්කවුට් යානය එහි සහෝදරයන් වන MQ-8A සහ MQ-8B යානාවලට වඩා ප්රමාණයෙන් විශාල අතර එය බෙල් 407 හෙලිකොප්ටරයේ රාමුව මත පදනම්ව නිෂ්පාදනය කර ඇත.
MQ-9 ඊපර්
ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව වෙනුවෙන් ජෙනරල් ඇටොමික්ස් සමාගම නිෂ්පාදනය කල MQ-9 රීපර් යානය දුරස්ථව පාලනය කිරීමටත්,ස්වයංපාලනය යටතේ පියාසර කිරීමටත් හැකි ඩ්රෝන් යානයකි.එය එහි පුර්වජයා වන MQ-1 යානයට වඩා විශාල සහ වඩාත් බලවත් මෙන්ම ප්රඩේටර් යානයට වඩා තුන් ගුණයක වේගයෙන් පියාසර කල හැකිය.ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී හිටපු ජෙරනල් මයිකල් මොස්ලි පවසන පරිදි රීපර් ඩ්රෝන් යානය නිසා,ඩ්රෝන් යානාවල ප්රාථමික කාර්යයන් වූ බුද්ධි තොරතුරු,අවේක්ෂණය සහ පෙරික්සුම් යන භූමිකාව සැබෑ දඩයම්කරුවෙක්-ඝාතකයෙක් යන භූමිකාවට මාරු විය.
CQ-10 ස්නෝගූස්
CQ-10 ස්නෝගූස් යනු විශේෂ බලකා සඳහා නැවත සැපයුම් ලබා දීමට භාවිතා කල හැකි විසර්ජන පද්ධතියකි.ගුවන් මගින් හෙළන මෙම ඩ්රෝන් යානය ගෝලීය පිහිටුම් පද්ධතියේ උපකාරය සහිතව ස්වාධීනව, ලබා දුන් පිහිටුම ආසන්නයට ගොඩබසින්නේ එහි තිබෙන පැරෂූටය ආධාරයෙනි.මෙහි අනෙක් සංස්කරණය හෙලිකොප්ටරයක් මෙන් ක්රියා කිරීමට භ්රමණයක් සවි කර තිබේ.එහි ගෙන යා හැකි භාණ්ඩවල උපරිම බර කිලෝ ග්රෑම් 270කි.
RQ-21 බ්ලැක්ජැක්
බෝයින් ඉන්සිටියු සමාගම සැලසුම් කල RQ-21 බ්ලැක්ජැක් යානය නාවික හමුදාව සඳහා අවශ්ය කල කුඩා උපායමාර්ගික මිනිසුන් රහිත ගුවන් පද්ධතියක අවශ්යතාවය සම්පූර්ණ කලේය.කැටපෝල් ක්රමය මගින් ගුවන් ගත කරන මෙම යානය රැහනක් මගින් ආපසු ඩැහැ ගැනීමෙන් පසුව පොළොවට ගෙන්වා ගනියි.පසුගිය සමයේදී RQ-21 යානා එක්සත් ජනපද මැරීන් බලකාය වෙත සපයන ලද්දේ ඉදිරිපෙළ පෙරික්සුම් සඳහාය.
RQ-170 සෙන්ටිනෙල්
දැනට ඇමෙරිකානු මධ්යම බුද්ධි තොරතුරු කාර්යාංශය යටතේ මෙහෙයුම් සිදු කරන ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ RQ-170 සෙන්ටිනෙල් ඩ්රෝන් යානය සම්බන්ධව එක්සත් ජනපද ගුවන් හමුදාව වැඩි දුර තොරතුරු අනාවරණය කර නොමැත.කෙසේවෙතත්,ආරක්ෂක විශේෂඥයෝ පවසන පරිදි යානය ඇමෙරිකානු ගුවන් හමුදාවේ ස්ටෙල්ත් පෙරික්සුම් භූමිකාව සම්පූර්ණ කර තිබේ.
බ්ලැක් හොනට් නැනෝ
නෝර්වේ රාජ්යයේ ප්රොක්ස් ඩයිනැමික්ස් සමාගම විසින් සැලසුම් කල බ්ලැක් හොනට් නැනෝ යානය ක්ෂුද්ර ඩ්රෝන් යානයකි.මෙම යානය යොදාගෙන අවට වටපිටාව සම්බන්ධව විමසිල්ලෙන් පසුවිය හැකිය.මිනිත්තු 20ක කාලයක් ඇතුලට සෙබලෙකුට බ්ලැක් හොනට් යානයක් මෙහෙයවන අයුරු පුහුණු කරවිමට පුලුවනි. දැනට බ්ලැක් හොනට් නැනෝ යානා එක්සත් ජනපදය,මහා බ්රිතාන්යය,ප්රංශය,ජර්මනිය,ඉන්දියාව, ඕස්ට්රේලියාව,නෝර්වේ සහ නෙදර්ලන්තය යන රටවල සේවයේ යොදවා ඇත.
ස්කෑන් ඊගල්
බෝයින් ඉන්සිටියු සමාගමේ ස්කෑන් ඊගල් ඩ්රෝන් යානය සංග්රාම භූමියේ පෙරික්සුම් සහ ස්වයංක්රීය අවේක්ෂණ රාජකාරි සඳහා යොදා ගැනේ.කුඩා,පහළ උස මට්ටමවල මෙහෙයුම් කල හැකි ස්කෑන් ඊගල් යානයක පියාසර කාලය පැයක් 20ක්ද උපරිම පියාසර වේගය නාවික සැතපුම් 80ක්ද වේ.කැටපෝල ක්රමයෙන් ගුවන් ගත කරන මෙම යානය නැවත ගෙන්වා ගන්නේ දොඹකරයක තිබෙන රැහැනක අමුණා ගැනීමෙනි.
ඇවෙන්ජර්
ජෙනරල් ඇටොමික්ස් සමාගමේ අවෙන්ජර් ඩ්රෝන් යානය,ඊට පෙර හඳුන්වා දුන් MQ-1 ප්රඩේටර් සහ MQ-9 රීපර් යානා මෙන් නොව ටර්බෝෆෑන් එන්ජිමකින් සමන්විතය.එහි අභ්යන්තර අවි ගබඩාව සහ හැඩය ගත් පිටමග නිසා අධෝරක්ත සහ රේඩාර් සංඥා අවම කිරීම හරහා ස්ටෙල්ත් හැකියාවක් ලැබී තිබේ.2009 වර්ෂයේදී සිය මංගල ගුවන් ගමන සිදු කරන ඇවෙන්ජර් යානය Lynx synthetic aperture නම් රේඩාර් පද්ධතිය සහ එෆ්-35 ලයිට්නින් II යානයේ භාවිතා කරන විද්යුත්-ප්රකාශ ඉලක්ක කිරීමේ පද්ධතිය රැගෙන යයි.දැනට තිබෙන සන්නිවේදන ජාලවලට සම්බන්ධ වූ පොදු ගොඩබිම් පාලන මධ්යස්ථානයක් අවෙන්ජර් මෙන්ම MQ-1 සහ යන MQ-9 ඩ්රෝන් යානා සඳහාද භාවිතා කරාවි…
……………..අන්තර්ජාලය ඇසුරෙනි…………..

උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න