එලීනා (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එලීනා නොහිටියානං මෙලහකට මම මැරිලා.
එලීනාව මුලින්ම මට මුණ ගැහෙද්දි මං හිටියෙ ජීවිතේ කවර
කවමදාකවත් නොවැටුන ආගාධෙක පතුලෙ එරිලා.
අහ්..කියන්න අමතක වුනානේ.
මම එරික්.වයස අවුරුදු තිස් හතක් දැන්.
පොඩි කාලෙ මගෙ හිතේ තිබුන හීනේ වුනේ ලොකු වෙලා සිත්තරෙක් වෙන්න.එහෙමත් නැතිනම් ගගනගාමියෙක්.ඉඳහිට දවසක මං ජනකාන්ත නළුවෙක් වෙච්ච හීනත් තිබුණා.
ඒ වගේ පාට පිරිච්ච හීන දැකපු මම මේ අලු පාට මූසල නගරෙ දුම් රොටු අතර අතරමං වුණ එකට වග කියන්න ඕනෙ කවුද මන්දා.එයාලගෙ හැබෑ නොවුන හීන පස්සෙන් මාව රේස් දුවවපු අම්මලා තාත්තලාද ඔපමට්ටම් කරන මුවාවෙන් එකම අච්චුවේ ගඩොල් කපන්නා වගේ අපි ඔක්කොගෙම මොළගෙඩි එකම හැඩේකට කප්පාදු කරලා දාපු අධ්යාපන ක්රමේ ද එහෙමත් නැතිනම් මේ ඔක්කොම පෙන්නපු කැරට් අල පස්සෙ අඹන්න මගේ පාට හීන අමතක කරලා දාපු මම ද?
ඒ කොහොම වෙතත් ඒ වෙද්දි මම මේ මුස්පේන්තු ටවුමේ ගිනි පෙට්ටියාකර කාමර කෑල්ලකට කොටු වෙලා අවුරුද්දක් පිරෙන්නත් කිට්ටු වෙලා.අවුරුදු ගානක් කට්ට කාලා අන්තිමේ ජීවිතේ හොඳම කාලෙත් ඒ වෙනුවෙන්ම දිය කරලා ඇරලා උපාධියක් ගත්තට ඒ කරදහියට ගැලපෙන රස්සා හොයන එක කොහොමටවත්ම ලේසි වැඩක් උනේ නෑ.අවුරුදු හතරක ප්රේම කතාවට මැසේජ් එකකින්ම නැවතීමේ තිත තියාපු ජොඈන්ට දැන් කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. තාත්තත් දෙන්නම එක ළඟ කාලෙකම නොඑන ගමන් ගියාට පස්සෙ ගමත් එක්ක දුරින් හරි තිබුන ගනුදෙනු මං සදහටම අතෑරලා දැම්මා.
ඉතින් ඔන්න ඔහොම මම ගෙදරින් ශත වර්ෂ ගණනාවක් ඈත යාළු මිත්රයෙක් ළඟ පාතක නැති කොන්ක්රීට් කාන්තාරෙක ක්ලාක් උන්නැහේ කෙනෙක් උනා.උදේ වරුව කන්තෝරුවේ ඇබිත්තන් ඉඩක හිර වෙලා ගෙවෙද්දි නින්ද ළඟකටවත් නේන රෑ ගානක්ම ගෙවුනෙ ගිනිපෙට්ටියකට වඩා ටිකක් විතර ලොකු කුලී කාමරේ අස්සෙ.
ඒත් යන්තමට කාලා ලාවට ජේත්තුවට ඇඳලා ඉන්න මට පඩියක් ලැබුණා.මහ ලකයක් නැතත් වැටිලා ඉන්න කාමරයක් තිබුණා.ඉතින් මමත් ඔහේ වැටිලා උන්නා. කාත් කවුරුවත් නැති අලු පාට ජීවිතේ හුඟක් දවස්වල නින්ද අහළකටවත් ආවෙ නැති එක පුදුමයක් යැ.
ඉඳහිට දවසක ඕන් ඔහොම නින්ද අහළකවටත් නොඑන ජාමෙට මං කාමරේ තිබුණ එකම ජනේලේ ඇරලා ජනෙල් පඩියට ගොඩ වෙනවා.
ජනේලෙ ඇරුණෙ හතර වටෙන්ම මං වගේ තට්ටු නිවාස වාසී ඔහේ වැටුන ජීව්ත සිය දාස් ගාණක් ඔහේ වැටිලා උන්නු තට්ටු ගෙවල් පොදියක් එකිනෙකා දිහා බුම්මාගෙන බලං උන්නු මැද්දෑවකට.ඒත් රෑ මැදියමත් ගෙවිලා ගිය ඒ හුඟක් වෙලාවල අනිත් උන් හැමෝම වගේ හිටියෙ නිදි පැදුරුවල.
උන් කාටවත් මට වගේ නින්ද නොයන අසනීපයක් තියෙන්න නැතුවැති.
ඉඳහිට කාමර ජනේලෙකින් එළිය ඩිංගක් පෙරිලා ආවට මනුස්ස පරාණයක් ඔය ජනේලවලින් එබිලා බලලා නෑ කවදාවත්.
එලීනා ඇර.
ජීවිතේ සමහර පල්ලම්වලට අපි ඇදගෙන වැටෙන්නෙ එක සැරේට.කලින් කිසිම අනතුරු ඇඟවීමක් නැතුවම.ඒත් සති ගානක් තිස්සෙ ඉඳහිට දවසක සැරෙන් සැරේ ඔලුව ඇතුලෙ පුපුරු ගහන කැක්කුම ගැන ටිකක් හොයලා බැලුවනම් සමහරවිට මේ අසනීපෙ කලින් හොයාගන්න තිබ්බද කියලා නොහිතෙන වෙලාවල් නොතිබුනා නෙවෙයි.
ඔෆිස් එකේදි කලන්තෙ දාලා හදිසියෙ මාව ඉස්පිරිතාලෙ එක්කගෙන ගියේ බදාදා දවසක.දවස් දෙකක් යන්න කලියෙන් ඔලුව ඇතුලේ හැංගිලා උන්න මාරයා හොයාගෙන ඔපරේශන් කරලා ඉවර කළත් මගේ ඇඟේ පැත්තකට වෙනදා වගේම හොඳින් වැඩපළ කරගන්න පුළුවන් කම තිබුනෙ නෑ.අර තෙරපි මේ තෙරපි ඔක්කොම ඉවර වෙලා අමාරුවෙන් ඇවිදගන්න පුළුවන් විදිහෙන් ඉස්පිරිතාලෙන් එළියට එද්දි මාසයක් ගත වෙලා ඉවරයි.ඒ එළියට ආපු මාව මටත් අඳුරගන්න අමාරුයි.තව කරන්න කියන බෙහෙත්වලට සාක්කුවෙ මහ ලොකු සල්ලියක් ඉතුරු වෙලා තිබුනෙත් නෑ.
මට යන එන මං නැති උනත් කොන්ක්රීට් වනන්තරේට එක ක්ලාක් පුටුවක් මං එනකං තියාගෙන ඉන්න උවමනාවක් තිබුනෙත් නෑ.ඉතින් රස්සාවත් නැතුව යන පාටක් පේන්න තිබුනේ.
සිකුරාදා දවසක බැරිමරගාතෙ මං කාමරේට ඇවිත් වැටෙද්දි රෑ වෙලා.රෙන්ට් එක නොගෙවපු කාමරෙනුත් කවදා එළියට විසි වෙයිද කියලා හිතා ගන්න බෑ.
අවුරුදු තිස්පහක්ම ජීවිතේ මොනවද මං එකතු කරගෙන තිබුනෙ කියලා හිත හිතා අවසිහියෙන් වගේ දවස් ගානක් ගෙවෙන්න ඇති.ඇත්තටම තවදුරටත් ජීවත්වෙන්නෙ මොකටද? කා වෙනුවෙන්ද? උත්තර නැති ප්රශ්න මාව අර අඳුරු ආගාධෙ පතුලටම තල්ලු කරලා හුස්මක් කටක් ගන්න නොදී මට වද දිදී උන්නෙ.
ඒ වෙලාවෙ තමයි මම හිතුවෙ මේ ඔක්කොම කරදර වින්දා ඇති කියලා.ඔව් මට ඕනෙ උනා මේ කරදරකාරී ජීවිතෙන් සදහටම නිදහස් වෙන්න.
ඒක කරන්න තිබ්බ ලේසිම විදිහ මොකද්ද?
ඔව්..අර වෙනදා වගේම මං ගොඩ වෙනවා ජනෙල් පඩියට.
හැබැයි වෙනදා වගේ නෙවෙයි.මේ අන්තිම පාර….
ඉතින් අමාරුවෙන් අන්තිම වතාවට මං ජනෙල් පඩියට නැග ගත්තා.එතනින් පහළට ඩිංගක් බර උනාම මේ ඔක්කොම කරදරවල අවසානෙ එතන.
එලීනා මුණ ගැහුනෙ ඒ වෙලාවෙ.
මගේ ජනේලෙට හරියටම එහා පැත්තෙ ජනෙල් පඩිය උඩ රතුපාට කෙස්සක් වනාගෙන දුම් වලාවක් මැද්දෙන් එලීනා මගෙ දිහා බලාගෙන ලාවට හිනා වෙනවා.
“අහ් සමාවෙන්න මං ඔයාව බය කළාද?”
එලීනා දුම් වලාවල් පිහිදදා මගෙන් සමාව ඉල්ලනවා.
මොකක් කියාගන්නද හිතාගන්න බැරුව මං ගල්ගැහිලා ඉන්නවා.
“අහ් නෑ…”
“ඒක මිසක්.මං හිතුවා මං හින්දා ඔයා ඔතනින් ඇදගෙන වැටෙයි කියලා.මම එලීනා…හැබෑට මේ දවස්වල හරියට හීතලයි නේද?ඒත් මේ කාමරේ අස්සෙ හිර වෙලා ඉන්න ගියාම එපා වෙනවා.”
කාලෙක ඉඳන් දන්න කියන හාදයෙක් එක්ක වගේ ජිවිතේ පළවෙනි වතාවට දැක්ක මං එක්ක එලීනා කෝච්චි දුවන්නා වගේ කතාව පටන් ගන්නෙ එහෙම.
දෙයියනේ මිනිහෙකුට නිදහසේ මැරෙන්නවත් විදිහක් නැද්ද මේ ලෝකේ.ඔව් මට තරහ යනවා.ඒත් එලීනාට තනියෙන් කියවගන්න දීලා ජනේලෙ වහලා දාලා ආයෙ ඇඳට වැටෙන්නත් හයියක් මට නෑ.
අන්තිමේ එලීනගෙ කතාව ඉවර වෙද්දි එළි වෙන පාන්දරට කිට්ටුයි.බොහොම අමාරුවෙන් මම ආයෙ කාමරේ ඇතුලට බැහැ ගන්නකනුත් එලීනා මට අත වන වනා එහෙම්මම උන්නේ හිනා වෙවී.ඉතිම් මං කොහොමද ජනේලෙන් පනින්නේ?
එතන ඉඳන් දවස් ගානක් යනකන්ම මගේ ජීවිතේ ගෙවුනේ ඇඳයි ජනෙල් කණ්ඩියයි උඩ.ජීවිතේ එපා වෙලා ජනේලේ ඇරගන්න හැම වෙලාවකම ඉස්සරහ ජනෙල් පඩිය අද්දර එලීනගෙ කතා මල්ල දිග ඇරුනා.මේ ගෑනිට වෙන වැඩක් ඇත්තෙම නැද්ද කියලා මට හිතුන වෙලාවල් අනන්තයි.ඒ කොහොම වෙතත් ඒ හැම වෙලාවකම වගේ එලීනා හින්දා මට ඒ උත්සාහෙ අත අරින්න උනා.ඒ වෙනුවට එලීනගෙ අතේ තිබ්බ තේ කෝප්පෙ එහෙම නැතිනම් සිඟරට් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකනුත් අපි එක එක වල්පල් කතා කරකර හිටියා.අපි කිව්වට වැඩිපුරම කියෙව්වෙ එලීනා බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.ඒත් අතරින් පතර හූමිටි තියනවා ඇර එයා මං දොඩමලු වෙයි කියලා බලාපොරොත්තු වුනෙත් නෑ මං හිතන්නේ.
හැබැයි කොයිම වෙලාවකවත් එලීනා මගෙන් අසනීපෙ ගැනවත් රස්සාව ගැනවත් ඇහුවෙ නෑ.මං ඒ ගැන කියන්න ගියෙත් නෑ.ඒ වෙනුවට අපි නොසෑහෙන දේවල් කතා කළා.කොච්චර කතා කළාද කියනවනම් එහෙම දේවල් මගේ ජීවිතේ තිබ්බද කියලා මටත් අමතක වෙලා තිබ්බ හීනවල පාට එලීනා ආයෙ පරණ මතක පෙට්ටගම් අස්සෙන් එළියට ඇදලා ගත්තා.
මාව බලන්න ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් ඇවිත් ගියේ නෑවිත් බැරිකමට වගේ.ඒත් කමක් නෑ උන් එද්දි කෑම බීම ටිකක් උස්සගෙන ආවා.ඒ වෙද්දි මගේ කාමරේ තිබුන අඩුම කුඩුමත් ඉවර වේගෙන එන ගමන්.
බැරි වෙලාවත් උන් එලීනාව දැක්කොත් කියන බයට මං ජනේලේ නෑර ඉන්දැද්දි තමයි මට තේරුනේ දැන් මං ජනෙල් පඩියට ගොඩ වෙන්නෙ එලීනා දකින්න මිසක පහළ දකින හිතකින්ම නෙවෙයි කියලා.
සමහරවිට මට ජීවිතේ එපා වෙච්චි විත්තිය එලීනාට දැනෙන්න ඇති.ඒත් එලීනා ඒ ගැන වචනයක් වත් ඇහුවෙ නැති එක හොඳයි.එලීනා මට ජීවිතේ අත අරින්න එපා කියලා කිව්වෙත් නැහැ.ජීවිතේ අල්ලගෙන ඉන්න කියලා කිව්වෙත් නැහැ.ඒත් තොරතෝංචියක් නැති එලීනගෙ කතා අස්සෙ මගේ මතකවල හැංගිලා තිබ්බ හීන එක එක එළියට එද්දි පරාද වෙලා පැනලා දුවනවා වෙනුවට මං කොහොම හරි ආයෙමත් ජීවත් වෙනවා කියලා මගෙ හිතට කාවැදිලා තිබුනෙ මටත් හොරෙන්ම තමා.
අද මම සතියකට පස්සෙ එළියට බැස්සා.ඉස්පිරිතාලෙට ගිහින් ඊළඟ ප්රතිකාර කෙරෙන විදිහ ගැන හොයලා බැලුවා.ලේසි නැහැ.ඒත් මං දැන් අත අරින්න ලැහැස්ති නැහැ.ඒ එක ගමනෙන් සෑහෙන මහන්සි නිසා රස්සාවක් හොයාගන්න එක ගැන හිතන්න ඕනෙ හෙට.
අතේ ඉතුරු සල්ලිවලින් කාමරේට අඩුම කුඩුම ටිකක් ගන්න ගමන් පොඩි මල් පොකුරක් ගත්තා නෙවෙයි ගැණුනා.එලීනා මොනවා හිතයිද මන්දා.
එලීනගෙ කාමරේ තියෙන තට්ටුවට ගොඩ වෙද්දි වාරු නැති පැත්ත හොඳටෝම හෙම්බත් වෙලා හිටියෙ.කලින් කියලා එන්න මම නොම්මරයක්වත් ඉල්ලගෙන හිටියෙ නෑනේ.
කාමර ගනන් කරගෙන ඇවිදින් අනුමානෙට එලීනගෙ කියලා හිතෙන කාමරේ දොරට මම තට්ටු කරනවා.
“එලීනා…එලීනා…”
එලීනා නැති පාටයි.දැන් මේ මල්වලට මං මොනවා කරන්නද?
ආපහු හැරිලා එන්න හදද්දි එහා පැත්තෙ කාමරේ දොර යාන්තමට ඇරෙනවා.දොර අස්සෙන් සැකේට මා දිහා බලන්නේ බොහොම වියපත් නෝනෙක්.
“කාවද ඔහේ හොයන්නේ?”
“මේ එලීනා ඉන්නෙ මේ කාමරේ නෙවෙයිද?”
“ඔහේ කවුද එලීනගෙ? යාලුවෙක්ද? පවුලේ කෙනෙක් ද?”
දොර ළාවට ඇරෙනවා.
දැන් දීපල්ලකො උත්තර.
“නෑ මම මේ එහා බිල්ඩිමේ මේ කෙලින් කාමරේ ඉන්නෙ.අපි දෙන්නා ජනේලෙන් එබුන වෙලාවල ඔහේ නිකං කතා කරනවා විතරයි.”
දොර තව ටිකක් ඇරෙනවා.
“එන්න ඇතුලට.ඔහේට මහන්සි පාටයි.”
ඒ මට මුණගැහෙන්නෙ ඇග්නස්.මගේ දෙවනි අළුත් යාලුවා. ඇග්නසුත් කතාවට වැටුනම එලීනට දෙවනි නෑ.මගේ ගැන ඔක්කොම විස්තරත් හාරවුස්සන ගමන් එලීනා ගැන මම නොදන්න ගොඩක් දේවල් මට කියන්නෙ ඇග්නස් තමා.
එලීනා හෝටලේක වැඩ කරපු බවත් ඒ අතරෙ නීතිය ඉගෙන ගන්න පන්ති ගිය බවත් මට කියන්නෙ ඇග්නස්.එලීනා ඒ බිල්ඩිමේ හුඟ දෙනෙක්ගෙ හොඳම යාලුවෙක් විත්තිය කියද්දි නම් මට ටිකක් විතර ඉරිසියා හිතෙනවා.හෝටලේ රස්සාව එක දවසක අසාධාරණ විදිහට නැති වෙච්ච එකට තරහ ගිය පාර එලීනා මං වගේම ජනෙල් කණ්ඩියෙන් එළියට බර වෙලා තිබුනෙ අවුරුදු ගානකට කලින්.ඒත් ඒ වෙලේ එලීනගෙ හිත වෙනස් කරන්න තමන්වත් වෙන කවුරුත් යාලුවෙක්වත් ළඟ නොහිටපු එක ගැන ඇග්නස් තාමත් හිටියෙ හිතේ විස්සෝපෙන්.
එලීනගෙ බිල්ඩිමෙන් පහළට බැහැලා
මගේ කාමරේට එද්දි මං හිටියෙ තෝන්තුවාවෙන් මගෙ හිතේ.බඩු මල්ල අරගෙන ආවට මල් පොකුර මං දාලා ඇවිත් තිබුනෙ ඇග්නස් ගෙ කාමරේ.
මං ඇඬුවෙ එලීනා වෙනුවෙන්ද මං වෙනුවෙන්ද මන්දා.ඒ කොහොම වෙතත් ඇඳේ පෙරලීගෙන පොඩි එකෙක් වගේ අඬාපු මට එහෙම්මම නින්ද ගියා.
නැගිටිද්දි හොඳටෝම රෑ වෙලා.ජනේලෙ ඇරියට එලීනා නැති බව දැන දැනත් මම ජනේලේ අරිනවා.
එහා බිල්ඩිමේ ජනෙල් පියන් සෑහෙන ගානක් ඇරිලා.ඒ ඔක්කොගෙන්ම එබෙන්නෙ එලීනගෙ යාළුවො වෙන්න ඕනේ.ජීවිතේට දැකලා නැති එක එක වයස්වල එක එක ජාතියෙ මිනිස් පරාණ එක්කලා ඇග්නස් නෝනත් ජනේලෙන් මං එනතුරු බලාගෙන ඉන්නවා.ජීව්තේට නොදැක්ක මනුස්සයෙක් වෙනුවෙන් නිදි මරාගෙන ජනෙල් ඇරගෙන ඉන්න මනුස්ස පරාණ හින්දා මගේ ඇස් ආයෙමත් තෙත් වෙනවා.
ඒ ඔක්කොම මැද්දෙ හරියටම මගේ ජනේලෙ ඉස්සරහින් ජනෙල් පඩිය උඩ පුරුදු විදිහටම ප්ලේන්ටියකුත් අතේ තියාගෙන එලීනා ආදරෙන් හිනා වෙනවා.
ඔව්.අපි හැමෝගෙම ආදරේ තව කාවහරි ජීවත් කරවනවා.
ඉගිලෙන ලියමන්
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!