පුංචි කාලේ අපි කරන එක එක විකාර වැඩ පස්සේ කාලේක මතක් වෙද්දි එන හැගීම…මම හිතන්නේ ඒක අපි හැමෝටම පොදු අමුතුම කික් එකක්.අද උදේ පාන්දර වැඩට එද්දි එළුවෙක් පස්සේ ළමයෙක් පන්නන විදිහ දැකලා තමයි එක පාරටම මගේ මොලේ අතීතෙට දුවලා ගියේ.මේ කතාව මට රස මතකයක් උනාට මේකේ ප්රධාන භූමිකාව මම නෙවෙයි.එළුවෙක්
මම පොඩිකාලේ අහන්ඩ ආසම වචනයක් තමයි “ගමේ යනවා” කියන එක.මේ සිද්දිය වෙන දවස්වල මම ජීවත් වෙලා හිටියේ පොළොන්නරුවේ.ඒ කාලේ අපේ ආච්චිඅම්මගේ ගම උන නිට්ටම්බුවට යනවා කිව්වහම ෆුල් හැපි.මොකද මට වඩා අවුරුදු කිහිපයකට බාල නෑදෑ කමට මාමා වෙන මල්ලි කෙනෙක් තමයි ඒ ගමේ මගේ බෙස්ටා.
ඉතින් මිත්රවරුණි මම දවසක් ගමේ යද්දී මෙන්න බොලේ ලොකු එළුවෙක් බෙස්ටගේ ගෙදර ඉන්නවා.බෙස්ටත් ලෑලි කෑලී ටිකක් අරගෙන කැඩිච්ච කැරකෙන පුටුවක රෝද ටිකකුත් වටකරගෙන ලොකු වැඩක්.මිනිහා එතකොට පුංචි කොල්ලා උණත් පට්ටම වැඩ්ඩා.කාර්මික දැනුම අතින් අදටත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ එයා.
මම ටිකක් ලංවෙලා බැලුවා.
“මොකක්ද ඔය පණ දාගෙන හදන්නේ.කොහෙන්ද මේ එළුවෙක්”
මගේ ප්රශ්ණ වලට උත්තර දෙන්ඩ ඕනෙම හින්දා පුංචි මිත්රයා වැඩේ නවත්තලා මා දිහා බැලුවා.
“මට සෙම නේ..ඒ හින්දා අම්මලා එළුවෙක් හදනවා.මම පොඩි වැඩක් කරන්නේ .උදව් වෙන්ඩකෝ අයියේ…”
එතැන් සිට අපි දෙන්නා රහසිගතව මිසයිලයක් හදනවා වගේ උවමනාවෙන්,ඇගිලිවලට මිටියෙන් තල තලා අපේ පුංචි නිර්මාණය කරා..ඒක අපූරූ කරත්තයක්.රෝද ටිකත් හොදට කැරකෙනවා.ටික වෙලාවක් රෝද එහෙම පරික්ශා කරපු පුංචි මිත්රයා
“දැන් මේක පදින්ඩ පුළුවන් කියලා බොහෝම උනන්දුවෙන් හිනාඋනා.මට ප්රශ්න පත්තරයයි.
” කොහොමද මේක පදින්නේ.හැඩ්ල් එකක් වත් නෑනෙ”
ටිකක් ඉන්ඩකෝ..පුංචි මිත්රයා ගෙනාවේ ටිකක් දිග කඹයක්.එක පැත්තක් කරත්තේ ගැටගහපු මිත්රයා අනික් පැත්ත එළුවා දිහාට අරන් යනවා දැක්කහම මට ආවේ කියාගන්ඩ බැරි සතුටක්…
අපි මේක පදින්නේ ආන් අර පල්ලමේ.දැන් එළුවත් අරන් පල්ලමට අපි යනවා.හරියට මහා වීරයෝ වගේ.පල්ලමේ මුදුනටම ආපු අපි කරත්තෙන් ඉදගත්තා.එළුවා හෙල්ලෙන්නෙවත් නෑ.පුංචි මිත්රයා එලුවගේ පස්සට එකක් දුන්නා.මූ කුලප්පු වෙලා දුවන්ඩ ගත්තා.කඹේ කැඩුණා.එළුවා පැත්තක.අපි පැත්තක.කරත්තේ රෝද ටික තවත් පැත්තක.යාන්තමට අතක් පයක් නොකැඩී මූණ කට,කකුල්,අත පය සේරම පතුරු ගහගත්තා.පුංචි මිත්රයාගේ අම්මා එළුවව වික්කා.අපේ අම්මා මට ගැහුවා.
උපුටා ගැනීම: බුද්ධි එස් විජේසූරිය