ඉස්සරෝම ගෙදර ඉදන් තනියෙන් කැම්පස් ගිය දවස මට අද වගේ මතකයි.
“නංගි දෙහිවල හන්දියෙන් බැහැලා 119 බස් එකක නැඟලා පිරිවෙන් හන්දියට ටිකට් ගන්න. එතනින් බැහැලා විජේරාමෙට බස්එකේ නඟින්න ( පාරෙන් එහා පැත්තේ කැම්පස් එක පැත්තට යන බස් නවත්තලා තියෙනවා.) “
ඒ මට කැම්පස් එකට යන්න පාර කියපු මැසේජ් එක. බහින තැන හරියට පුරුදුත් නැති හන්දා හුඟක් බයෙන් ඉඳියේ. වාසනාවට මගෙ එහා පැත්තේ සාරියක් එහෙම ඇඳගත්ත හුරුබුහුටි මිස් කෙනෙක් ඉඳියා . මුණේ දාඩියත් දාගෙන සැරින් සැරේට බහින තැන ළඟද කියල අහපු නිසා වෙන්නැති චූටි මිස් මට මඟ ලකුණක් පෙන්නුවා.
“මේ තමයි බොරලැස්ගමුව හන්දිය. මෙතන බස් එක ටික වෙලාවක් නවත්තලා තියාගන්නවා. ඊට පස්සෙ ෂෙඩ් එක පහු වෙද්දි ඉස්සරහට එන්න. තව කට්ටිය බහිනවා කැම්පස් එකට. බයවෙන්නෙපා “
කියලා චූටි මිස් සිරියාවට හිනා වුනා. ඊට පස්සෙ කැම්පස් එකෙන් එළියට එනකම්ම මං කරේ එහෙම. බස් එකෙන් බැහැලා ඊළඟට කරන්න නියමිත වෙලා තිබුණේ ත්රීවීල් එකක් අරන් කැම්පස් එක ගාවට යන එක. ඒත් රටතොට විස්තර බලාගෙන යන්න කියලමයි හිත කිව්වේ. ඉතින් මං ඇවිද්ද පය දහස් වටී කියලා බෑග් එකත් කරගහන් පයින්ම ගමන පිටත් වුණා. එදා පටන් කී දවසක් උදේ, රෑ වෙනසක් නැතුව ඒ වගේ ඇවිදන් යන්න ඇතිද? ඒ හැම දවසකම අලුත්ම දෙයක් මතක මල්ලට වැටුණා . ඒ යද්දී හම්බෙනවා පාර දෙපැත්තේ කුඹුරු . කොළඹ ඒ වගේ තැනක් තියෙයි කියලා හිතාගන්නවත් බෑ . හවසකට එහෙම කුඹුර ගාවින් ඇවිදන් යන්න මං හරිම ආසයි. නාගරික ජීවිත ඇතුළේ ගැමිකම ඉතිරිවෙලා තියෙනවා දැක්කම හිතට හරිම සතුටක් දැනෙනවා.
ඉතින් ඔහොම යද්දී මඟ දෙපැත්තේ හම්බෙනවා බෝඩිම්. දේශන ඉවරවෙලා බෝඩිම් ගේට්ටුව ඇරගෙන ඇතුළට යන මහන්සි මූණු, කඩචෝරු කකා පාරේ ඇවිදන් යන කැම්පස් ළමයි ඕනතරම් හම්බෙනවා ඒ හරියෙදි.
ඊට පස්සෙ තනිකරම වෙනස් තැනකට එනවා . කැම්පස් බිල්ඩිම් දහස් ගානක් මිනිස්සු ඉතිරි කරලා ගියපු අතීත කතා හංගගෙන මහා ආඩම්බරයකින් පාර දිහා බලන් ඉන්නවා. කාලෙකට පේළියට ඉන්දපු සූරියකාන්ත, කාලෙකට ජපන් රෝස පිරුණු ජපුර දිහා ඇහැල ගස් අස්සෙන් බලන් ඉන්න කැමති කෙනෙක් ඉන්නවා නම් යන්න ඕනා මහජන බැංකුවේ atm මැෂිම ගාවට. ඕනනම් එතනින් පාර පැනලා තැඹිලි ගෙඩියක් බිබී බලාගෙන ඉන්නත් පුළුවන් . රොබරෝසියා පිපෙන කාලෙට ජපුරේ වසන්තේ. ඈතට වඩා ළඟට ලස්සනයි . ගහ යටට ගියාම ඊටත් වඩා හැඩයි. එතන ඉඳන් පින්තූරයක් නොගත්ත කිසිම කෙනෙක් ජපුරේ නැතුව ඇති..!
විභාග කාලෙට, මහපොල කාලෙට ඒ බැංකුව මහබැංකුව වගේ. Atm එකේ ටර ටර සද්දෙ ජීවිතේ මිහිරිම සද්දෙ . එතනින් අතට ගත්ත සල්ලිවලින් ජීවිතේ අරපිරිමැස්මෙන් ගෙවපු කාලේ ආපහු එනවනම් එක දවසක්වත් නාස්ති නොකර ආපහු විඳින්න මං ආසයි.
එතනින් එහාට තියෙන්නෙ සුවහසක් කැම්පස් ජීවිත එළිය කරන්න පායපු ඉෂ්ට දේවතා කඩපේළි. සෙමෙස්ටර ගණන් මතක තියාගත්ත මැෂින් රත්වෙවී අපේ හිත් නිව්වා. කොටින්ම කරන්ට් ගියපු පැය කීපෙක විතරයි මැෂිමකට නිවනක් ලැබුණේ . ඇයි ඒ විතරද ඒ කඩවල මිනිස්සු . අපිට වඩා අපේ සෙමෙස්ටර ගැන දැනුවත් 

පාර අයිනෙ හිටපු මහත අන්කල්ගෙ චිකන් කෑම එක ගන්න මාසෙකට කීප පාරක් මාත් පෝළිමක ඉන්නවා. බෝඩිමට හැරෙන පාර ළඟ උළුදු වඩේ විකුණපු සීයා, වඩේ කරත්තෙ මල්ලි, උණු උණු කැවුම් ලොරිය, චුන් පාන් කරත්තෙ පුංචි මාලු පාන් ගොඩක් වෙලාවට අපේ තේ වෙලාව රස කරා.
ලෝගු ඇඳගත්ත ලස්සන අක්කලා හිනාවෙලා ඉන්න දැවැන්ත පෝස්ටර් ගහපු ස්ටූඩියෝ බලකාය ඊළඟට . ඒ හිනාවේ තියෙන්නෙ ආඩම්බරකමද, සතුටද නැත්තම් ඒ දෙකමද කියලා ඒ දිහා බලන් තර්ක කරන්න ඇවිදන් යන ගමන් මං පුරුදු වෙලා හිටියා. ඒ හිනාව පුදුමාකාර ඉවසීමක්, කැපවීමක් එක්ක මුහුවෙලා එන ආඩම්බරකාර සතුටක් කියලා මං පස්සෙ කාලෙක අත්වින්දා. ජීවිතේ සැහැල්ලුම කාලෙක අවසානෙ ඒ හිනාවෙන් ලකුණු වෙනවා කියලා දන්නවා නම් හිනාවෙනවට වඩා ගොඩක් අයට ඇඬෙන්නත් තිබ්බා .
කෑම ගැන කිව්වොත් විවිධාකාර කතන්දර එක්ක විජේරාමෙ කෑම කඩ කප් ගහලා තියෙන්නෙ. අපිට අහිතක් නොකරත් සමහර කඩ ගැන තිබුණ ජනප්රවාද නිසා ඒවට නොයා පරිස්සම් වෙන්න අපිත් හුරුවුණා. හවසකට පාර අයිනෙ කරත්තෙකින් ගෙනත් කාපු ඉඳිආප්ප මුලක, තෝසෙ එකක රස අදටවත් වෙන කඩේකින් මං විඳලා නෑ . පෝළිම වැඩි කඩේකින් කට්ටියටම බත් මුල් ගන්න නියෝජිතයෙක් පත් කරන වෙලාවලුත් තියෙනවා.
කැම්පස් එක ගාවින් ඉස්සරහට එද්දි වම් අත පැත්තේ තියෙනවා පන්සල. හිත නිවන්න පුළුවන් තැනක්. මොනතරම් සද්දයක් පාරේ තිබුණත් ඒ මොනවත් ඇහෙන්නේ නැති අපූරු පිහිටීමක්.
එතනින් එහාට කෑම කඩ. ලංකාව වටේටම තියෙන මාතර කඩයක් එහෙත් තියෙනවා. චිලීස් එකෙන් රයිස් එකක් ගන්න කොයි වෙලාවක බැලුවත් පස් හයදෙනෙකුට වඩා පෝළිම. කට්ටියක් එතනම තිබුණ බංකුවේ වාඩිවෙලා කනවා. ඒ දේවල් ඔක්කොම වුණේ හරිම සංකීර්ණ වටපිටාවක බොහොම නිශ්ශබ්දව. එතනින් එහාට ගියාම එළවළු කඩ, සිල්ලර කඩ , කීල්ස් වගේ සුපිරි වෙළෙදසැල් එහෙමත් හම්බෙනවා.
විජේරාමේ මං ආසම තැන බෝගහ. ඒ වටේ කැරකිලා අනිත් පැත්තට එද්දි හිතට අමුතුම හැඟීමක් දැනෙනවා. දෙනෝදාහක් මිනිස්සු උදේ හවස මේ පාරවල ඇවිඳින්න ඇති කියලා හිතද්දි ජීවිතේ හරි පුදුමයි කියලා හිතෙනවා. කුණු උඩින් පැන පැන හන්දියට ගිහින් පාන් ගෙඩියක් උස්සන් ආපු අතීතේ මේ තරම් රහට දැනෙයි කියලා හිතුණා නම් ඒ තත්පර ඊට වඩා හෙමින් ගෙවන්නත් තිබුණා .
මං විජේරාමෙට එන පාර දිගේ ජීවිතේ දැක්කා. සංකීර්ණ ලෝකවල අතරමන් නොවී හැම පුංචි දේකින්ම මිනිස්සුන්ට සතුට හොයාගන්න පුළුවන් . හරියට කොළඹ මැද්දෙ කුඹුරක සරුංගලයක් අරින පොඩි එකෙක් වගේ. පාර අයිනෙ භූමිතෙල් ලිපක හැදෙන උළුදු වඩයක් බඩගින්නට දිව්ය භෝජනයක් වෙන්න පුළුවන් . ඒ රහ තරු පහේ හෝටලේකින් නොලැබෙන්නත් පුළුවන් හිතේ සතුට නැත්නම්. පිරිවෙන් හන්දියෙන් විජේරාමෙට , විජේරාමෙන් පිරිවෙන් හන්දියට මාරුවෙන් මාරුවට දුවන බස් එකක තියෙන පරණ ගතිය එක්ක මුහු වෙච්ච අමුතුම හැඟීමක් තියෙනවා. ඒක දැනෙන්න ඒ බස් එකක යන්න තියෙන හේතුව ඉවරවෙලා බලන්න ඕනා. කොච්චර කට්ටක් කියලා හිතුවත් ඒ හැමදේකම පිරිලා තිබුණ ආදරේ මහ ගොඩයි. පාර පුරා කියව කියව ඇවිදින යාළුවෝ රෑන් අපේ හිත්වලට දීපු සතුට , සැනසීම ඉස්තරම් . අද එක එක දිහාවලට පියඹලා එයාලගෙම කූඩු හදන් හැමෝම සතුටින්.
ජීවිතේ හරි පුදුමයි . හේතු හොයාගෙන සතුටු වෙන්න ඕනාමයි. නැත්නම් සතුටු කාල ගැන නොදැනම වයසට යනවාමයි. විජේරාම ගමනෙදි හැමදාම මට හිතුණේ එහෙමයි..!


උපුටා ගැනීම: Dinithi Sithumini