( සමාවෙන්න. මට මේක මීට වඩා කෙටියෙන් කියන්න තේරෙන්නෙ නැති එකට )
.
.
අපේ රටේ සෞඛ්‍ය සෙවයෙන් එකක් ඉතුරු කරගෙන අනිත් ටික අයින් කරන්න වුණොත් මම අනිවාර්යෙන්ම ඉතුරුකරගන්න එකක් තමයි අපේ රටේ දරුවන්ට එන්නත් දෙන එක. මොකද මේ වෙනකල් ලන්කාවෙ ලොකු පොඩි බේදයක් නැතුව හැමෝටම සමානව ලැබුණු වගේම රටක් හැටියට වැඩිම මිනිස්සු ගනනක් ලෙඩ වලින් බේරගත්ත වැඩසටහන ඒක නිසා.
එන්නතක් දෙන්නෙ කාටද කියලා තීරණය කරණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කිසිම ප්‍රමුඛතාවයක් නැතුව හැමෝටම සමානව විදින එක.
හොඳම උදාහරණය රටේ බබාලට බෙහෙත් විදින එක. ලංකාවෙ හැමදෙනාටම සමානව ලැබෙන එකම දෙයක් තියෙනවා නම් ඒ තමයි බබාලට එන්නත් ලැබෙන එක. කිසිම වෙනසක් නෑ අදාල වයස සම්පූර්ණ වෙන හැම කෙනෙක්ටම ඒක ලැබෙනවා. මොකද ඒ ලෙඩ වලින් බේරෙන්න රටේ ඉපදෙන හැම දරුවටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. සල්ලි තිබ්බත් නැතත්. තාත්තා ලොක්කෙක් වුණත් නැතත්. මේ වෙනකල් අපි ඒක හරියටම කලා.
දෙවනි ක්‍රමය එහෙම නෑ. වසංගත ලෙඩ වලදි ලෙඩේ වලක්වගන්න එන්නත් තියෙන්නෙ ටිකයි නම්, ලැබෙන්නෙ හිමින් නම් අපිට තීරණය කරන්න වෙනවා ලැබෙන සීමිත එන්නත් ඉස්සරවෙලාම ගහන්නේ කාටද කියලා.
ඒක තීරණය කරන්න තියෙන්නේ එකම එක හේතුවක් මත විතරයි. සමාජයට වැඩිපුරම ආරක්ෂාවක් ලැබෙන්නේ කාට එන්නත විද්දොත් ද කියන එක මත විතරයි. එහෙම විද්දොත් විතරයි එන්නත් ටිකකින් රටකට උපරිම ආරක්ෂාවක් ලැබෙන්නේ.
උදාහරණයක් හැටියට දහදෙනෙක් ඉන්න ඔෆිස් එකකට එක එන්නතක් ලැබුණොත් මම ඒක විදින්නේ කඩේ ගිහින් බඩු ගේන , තේ හදල හැමෝම ලඟට ගිහින් දෙන කෙනාට. මොකද එයා ආරක්ෂා නොවුනොත් මුලු ඔෆිස් එකම ලොකු අවධානමකට වැටෙනවා. එහෙම නැතුව තියෙන එකම එන්නත ඔෆිස් එකේ ඒසී කාමරේ ඇතුළේ ඉන්න ලොක්කට විදලා හරියන්නේ නෑ.
දැන් කොවිඩ් එන්නත සැලකුවොත් මුලින් ම එන එන්නත් ටික මේ ලෙඩේ මර්ධනයට මූලිකවම දායක වෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීන් සමග කෙලින් ම ගැටෙන ආරක්ෂක අංශ වගේ තෝරාගත් කොටසකට දෙන එකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒත් ඒ ඒ අය කෙලින්ම ලෙඩ්ඩුත් එක්ක ගැටෙන නිසා ඔවුන් වැඩි අවධානමක ඉන්න නිසා නෙවෙයි , ඒ අය ලෙඩ වුණොත් ලෙඩ වෙන අනිත් අයට කොහොමත් ප්‍රථිකාර නැතිවෙන නිසා සෞඛ්‍ය සේවය බිඳ වැටුණොත් රටේ හැමෝම ලොකු අවධානමක වැටෙන එක නවත්තගන්න.
මේක හරියට හෝටල් වල වැඩකරන අයට හෙපටයිටිස් කියන එන්නත දෙනවා වගේ. ඒක හෝටල් වල අයට දෙන්නේ ඒ අයව ලෙඩෙන් බේරගන්න නෙවෙයි. ඒ අයට ලෙඩේ හැදුණොත් හෝටලේට කන්න එන හැමෝටම කෑම හරහා ලෙඩේ බෝවෙන එක නවත්තගන්න.
ප්රශ්නය පටන් ගන්නෙ මෙතනින් එහාට. ඊලඟට අපි කාටද එන්නත විදින්න ඕන කියන එක.
එහෙම නම් හිතන්න තියෙන්නෙ එකම දෙයයි. සීමිත එන්නත් ගානකින් වැඩිම ආරක්ෂාවක් ගන්න නම් කාටද විදින්න ඕනෙ කියලා.
පලවෙනි ම දේ තමයි ලෙඩේ හැදුණොත් ඉක්මනින්ම පැතිරෙන්න පුළුවන් පිරිස ට විදින එක. ඒ කියන්නේ ආදායම අඩු, එක ලඟ ගෙවල් තියෙන , එක ගෙදර එක කාමරේ ගොඩ දෙනෙක් ඉන්න තැන් වලට එන්නත ලබා දෙන එක. මොකද මේ වගේ පරිසර වල ඉන්න අය ගේ රස්සාව ගොඩක් වෙලාවට තැන් තැන් වල ට ගිහින් මොනව හරි දෙයක් කරන එක. ඒ කියන්නේ එහෙම තැනකට හැම තැනකින්ම ලෙඩේ බෝ වෙන්න වගේම එහෙම තැනකින් හැම තැනක්ටම ලෙඩේ බෝ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ කියන්නේ නාගරික මුඩුක්කු පරිසර වගේම පැල්පත් කියන්නේ අපි ඉක්මනින්ම ආරක්ෂා කරගන්න ඕන පරිසර. මොකද එහෙම තැනකට බෝ වුණොත් එක පාර ලෙඩ්ඩු ගොඩක් හැදෙනවා, ඒ කියන්නේ අපේ ඉස්පිරිතාල පිරෙනවා. ඊට පස්සෙ පපුවෙ අමාරුවක් හැදුනත් ඉඩ නැතුව මැරෙන්න වෙනවා.
මෙතනදි තව වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි කොයි තරම් සෞක්‍ය කාර්ය මණ්ඩලය හිටියත් රෝහල් පවත්වාගෙන යන්න සල්ලි ඕනෙ කියන එක. එහෙනම් තව දුරටත් මේක කරන්න නම් විදෙශ විණිමය ආරක්ෂා කරගන්න වෙනවා. එහෙනම් ඊලඟ වැදගත්ම කොටස වතු කම්කරු ජනතාව වගේම ඇඟලුම් කම්හල් වල සේවය කරණ තරුණ ළමයි ටික. මේ කණ්ඩායම් දෙකම වැඩ කරන්නේ කොවිඩ් පැතිරෙන්න අධික අවධානමක් තියෙන පරිසර වල. හැදෙන්න පටන් ගත්තම නවත්තන්න බෑ. නවතින්නෙ කම්හල් වැහිලා. ඊට පස්සෙ කොහොමත් කාටවත් එන්නත් තියා මොකුත්ම ගන්න බෑ, අනික මේ ළමයි නැවතිලා ඉන්නේ තැන් තැන් වල. යන්නේ පොදු ප්‍රවාහන සෙවාවල. ඒ නිසා ඒ වගේ තැනක ලෙඩේ පැතිරෙන එක නවත්තගන්නව කියන්නෙම අපි තව ගොඩ දෙනෙක් ආරක්ෂා කරගන්නවා කියන එක.
වතු කම්කරු ජනතාව ගේ ගෙවල් දොරවල් ගැන අපි හැමෝම දන්නවා. අනිත් එක අපිට විදෙශ විණිමය ගේන්න පරම්පරා ගනක් වතු වල කම්කරු රස්සා කරපු ඒ මිනිස්සුන්ගේ ජීවිතවල සෞඛ්යාරක්ෂිත බව හරිම අඩුයි. ලෙඩේ හැදුනොත් ඒ ජනතාවගෙන් වැඩි දෙනෙක් ට අමාරු වෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නෙ ආයෙමත් ඉස්පිරිතාල පිරෙන එක.
ඊලඟට රට පුරා තියෙන ආර්ථික මධ්‍යස්ථාන වල කම්කරු පිරිස. මුළු රටෙන් ම එන එළවලු පළතුරු මාලු ලොරි වලින් බාන්නෙ පටවන්නෙ මේ අය. ඒක කොහොමටවත් මීටරේ පරතරේ තියාගෙන කරන්න බෑ. මේක කොවිඩ් වලට අධික අවධානම් තත්වයක් වෙන්නෙ නුවර එළියේ ගොවියෙක් ගේ ඇඟේ තියෙන වෛරසය මේ මධ්‍යස්ථානය හරහා කොලඹ සුපිරි වෙලඳසැලකට යන්න තරම් හැකියාවක් තියෙන නිසා.
ඊට පස්සෙ මේ වගේම තව කණ්ඩායමක් තමයි පොදු ප්‍රවාහන සේවා වල රියදුරන්, කොන්දොස්තර වරුන් , ත්‍රී රෝද රථ රියදුරන්. මේ අයට හැදුණොත් මොකද වෙන්නෙ කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මේ කියන දේ හරියට තේරුම් ගත්තොත් ඔබට තේරෙයි දුම් රිය රියදුරන් මේ අවධානම් කොටසට අයිති වෙන්නෙ නෑ කියලා. මොකද ඔවුන් මගීන් එක්ක කෙලින් ම ගැටෙන්නේ නෑ. හැබැයි ටිකට් පරීක්ෂක වරු අයිති වෙනවා.
මේ වගේම කොටසක් තමයි හෝටල් වල වේටර් මහත්තුරු. ඒ අය ලඟට යන්නකොට පාරිභෝගිකය ඉන්නෙ මාස්ක් එක නැතුව.
මේ වෙලාවෙ බේරගන්න ඕන වැදගත් ම කොටසක් තමයි ඝර්භණී මව් වරුන් කියන්නේ. මොකද මේ අලුත් වෛරසය නිසා මේ වෙනකොටත් ඝර්භණී අම්මලා කීප දෙනෙක් ම මේ වෙනකොටත් මරනයට පත් වෙලා. හැබැයි ඒ අයට එන්නත දෙන්න බෑ. ඒ නිසා බිරිඳ ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් සැමියාට රෝගයෙන් ආරක්ෂා වෙන්න එන්නත දෙන එක ඉපදුනේ නැති දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක් වෙයි.
ඊලඟට මේ රටේ අම්මා ගොඩක් ඉන්නව මැදපෙරදිග. ඒ අයගෙ දරුවො ඉන්නෙ ආච්චි අම්මා ලඟ. බැරිවෙලාවත් ඒ ආච්චි අම්මට මොකක් හරි වුණොත් ඒ ළමයින්ට වෙන දේ අමුතුවෙන් කියන්න ඔනෙ නෑ. මම හිතන්නෙ පිට රටක ඉඳන් මෙහෙට සල්ලි හොයල එවන ඒ මිනිස්සු වෙනුවෙන් ඒ අයගෙ දරුවට ඉන්න එකම ආරක්ෂකයා පරිස්සම් කරල දෙන වගකීම අපිට තියෙනවා.
මේ වගේ තෝරාගත් පිරිසක් ඉක්මනින් එන්නත් කරගත්තොත් රටේ ගොඩක් දෙනෙකුට තියෙන අවධානම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.
ඊලඟ පියවර තමයි ලෙඩේ හැදුනොත් අමාරු වෙන වයසින් වැඩි, දියවැඩියාව වගේ නිදන්ගත රෝග තියෙන පිරිස එන්නත් කරගන්න එක. මොකද ඔවුන් නිසා තමයි රෝහල් වල දැඩි සත්කාර ඒකක පිරෙන්නේ. ඒ වගේම මරණ ප්‍රමානය වැඩි වෙන්නේ. මෙන්න මේ වෙලාවෙදි රෝගීන් සමග ගැටෙන සෞඛ්‍ය සේවය ඇතුළු අනෙකුත් සේවා වල අයගේ පවුල් වලට යම් ප්‍රමුඛතාවයක් දෙන්න වෙනවා. මොකද වෛරසයට නිරාවරණය වෙන්න ඔවුන්ට වැඩි අවධානමක් තියෙන නිසා.
තව වැදගත් කොටසක් තමයි වැඩිහිටි නිවාස වලට වෙලා ජීවිතය ගෙවන වැඩිහිටියන් සහ ඒ නිවාස වල සේවකයන්. ඒ තැන් වලට හැදුනා කියන්නේ රෝගීන් පොකුරක් නෙවෙයි ඒක මරණ පොකුරක් වෙන්න පුළුවන්.
හොඳින් හිතුවොත් තව මේකට එකතු කරන්නම ඕන පිරිසක් ඉන්නවා. ඒ තමයි සිරකරුවන් සහ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්. ඒත් එක්කම ලිංගික ශ්‍රමිකයන් වගේම සම්බාහන මධ්‍යස්තාන වල සේවය සපයන තරුණියන්. ඊට අමතරව තමන්ට හිතල පාලනයක් ඇතිකරගන්න බැරි මානසික ආබාධ සහිත පුද්ගලයන්. මේ ඕනෙම කෙනෙකුට ලෙඩේ හැදුනොත් නවතින්නෙ පොකුරක් හැදිලා.
මේක සම්පූර්ණ සැලැස්මක් නෙවෙයි. රටේ ජනතාවගෙන් සීයට අසූවකට විතර දෙන්න එන්නත් අපට තිබුණානම් මේ ප්‍රශ්න මොකුත් නැති වෙන්න තිබුණා. ඒත් අපි එච්චර වාසනාවන්ත නෑ. ඒ නිසා තියෙන එන්නත් ටික රටේ ජනතාවට වැඩිම ආරක්ෂාවක් ලැබෙන විදිහට දෙන්න පුළුවන් වුනා නම් අපිට එන්නතින් යම් සහනයක් ලබාගන්න පුළුවන්.
මේක ගෝලීය වසංගතයක්. ඒක දිනන්න පුළුවන් වෙන්නේ කැපකිරීම් කරන්න පුළුවන් ජනතාවකට විතරයි. රෝගය සාර්ථකව ජයගත්ත ගොඩක් රටවල් එහෙම කළේ ලොකු කැපකිරීම් එක්ක.
මේක හරියටම යුද්ධයක් තියෙන වෙලාවෙ වෙඩි නොවදින කබා කීපයක් ආවම ඒ ටික දෙන්නෙ කාටද කියල තීරණය කරනව වගේමයි. තමන්ගෙ කබාය ගලවල තමන්ට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක්ට දුන්නොත් මිසක් තමන්ට එකයි ගෙදර ඉන්න නෝනට එකයි බෙදාගන්න ගියොත් යුද්දෙ කෙලවර වෙන්නෙ ඉස්සරහ ඉන්න කෙනත් මැරිල ගෙවල් වල ඉන්න අයටත් මැරෙන්න වෙලා.
“මේ වෙලාවෙ මේ එන්නත අපිට නෙවෙයි අර පැල්පත් වල ඉන්න මිනිස්සු ටිකට විදින්න”,
“මම මැනේජර් වුණාට කමක් නෑ ඉස්සරවෙලා අර සිකියුරිටි ගාඩ් වැඩේ කරන මහත්තුරු දෙන්නාට විදල ඉන්න”,
“කිසිම ලෙඩක් නැති අපේ ගෙදර අයට කලින් දියවැඩියාවයි ප්‍රෙශර් එකයි තියෙන අල්ලපු ගෙදර තාත්තට විදින්න”,
“අපිට මොනව හරි කරගන්න පුළුවන්, ඒ නිසා ඊට කලින් අර දවස් පඩියට තේදළු කඩන වයසක අම්මල ටිකට විදින්න”
වගේ දේවල් මේ රටෙන් ඇහෙන්න ගත්තොත් අපිට මේ වසංගතය පාලනය කරගන්න පුළුවන් වෙයි. නැත්තං බෑ.
සතුරාට එරෙහිව පාවිච්චි කරන්න තියෙන ලොකුම ආයුධය යුද්දෙ ඉවරවෙන්න කලින් ආචාර වෙඩි මුර තියන්න නාස්ති කරන්න එපා.
උපුටා ගැනීම: Nuwan Thotawaththa