ඉස්සර හරි ගානට හැඩට තිබුණ මගෙ ෆිගර් එක මේ වන විට අවුට් ගොස් ඇති තරම ගැන මා දිවා රෑ සෝක භරිතව කල්පනා කරමි.
කණ්නාඩියෙන් බැලුවාම එතරම්ම අවුල් ගතියක් මට නම් නොපෙනුනත් බී එම් අයි මදිවාට තව තවත් මොන මොනවාදෝ ගනං සූත්තර වගයකට මගේ සරීරයේ දිග පලල වල් මැන දමා ගණන් හදා අපේ පුතා කියන නෝන්ඩි කතා අසන විට මට වහ උවත් කන්නට හිතේ.
වැඩියෙන්ම ඉවසුම් නොදෙන්නේ බඩ තඩිය නිසා බෙල්ට් එක දැම්මත් ඉනෙන් පහලට ලිස්ස ලිස්සා වැටෙන කලිසම උස්ස උස්සා ඉන්න ගමනුත් අපේ හබියා එයා රිතික් රොෂාන් කියල හිතාගෙන වගේ පුතාගෙ කතා වලට උල්පන්දම් දෙමින් හුරේ දමා හිනාවෙන එකය.
ඔෆීස් එකට ගිය විට එහි ඉන්නා මද සුළඟට උවද ගසාගෙන යන සයිස් කටුසු මොඩල් සෙට් එක කියන්නෙ උන් ඔක්කොගේම වාහන වලට දැමීමට තරම් ටයර් මා සතු බවය.
ඒ කතාව ගැන මට හරි අවබෝධයක් නැති උවද ඉන්නා ටික කාලයේ සිනාසී ෆන් එකේ ඉන්න ඕනෑ යැයි සිතා මාද උන් සමගම එකතුවී හුරේ දමා සිනාසෙනු දුටු එකියක් මගෙන් ඇසුවේ තමන්ටම හිනාවෙන තරමටම තත්ත්වය දරුණු උනේ හබියා ඔලුවටවත් හොඳ පාරක් දුන්නාද කියාය.
“ගෙදර ගියත් තෝ නසී..
ඔෆිස් ගියත් තෝ නසී ..”
කියා මටම කියා ගනිමින් මේ දුක් කරදර වලින් මිදීම සඳහා මා නොකල දෙයක් නැත. කාලයක් සරීරයට අධික දුක් දී නොකා නොබී දුෂ්කරක්‍රියා කල නමුත් ගෙදර උන්දලා මදිවාට ඔෆීස් සෙට් එකත් තලු මර මරා කන කෑම බීම වලට කෙල ගිලලාම බඩේ ගෑස් හැදුන හින්දා ඒක පිටින් දමා ඩයට් කිරිල්ල අතෑර දමන ලදී.
පසු කාලෙකදී ජිම් ගිහින් කොල්ලන් කෙල්ලන් එක්ක හරි හරියට වියායාම කර යන්තම් පිලිවෙලක් වේගන එද්දීම කොරෝනාව පරහට හිටීම හින්දා ඒ වැඩපිලිවෙල උපන් ගෙයිම අලු දූලි විය.
ජිම් ගමන නවතා මාස දෙක තුනක් යද්දී උදේ ඔපිස් යාමට සාරි හැට්ට ඇඳීමේදී අත් දෙක රිංගවා ගැනීම සඳහා මුළු පවුලම ඇහරවා උදව් ඉල්ලීමට සිදුවීම නිසා මගේ ආත්ම ගවුරවේ ලොම් හැලී හොරි හැදී පාරෙ ලගින බල්ලකුටත් වඩා අන්තෙට වැටුනේ මේ උදවිය කියන කතා නිසා මිස මගේ පවුරුසයේ කිසි අඩුපාඩුවක් නිසා නොවේය.
අවසානයේ පිටි කෑම, තෙල් කෑම හා පැණි රස කෑම සදහා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මා ඒකමතිකව තීරණය කරන ලද්දෙ ෆිගර් එක හදාගැනීම කෙසේ වෙතත් අවනම්බු කතා ඇසීමට බැරි නිසාම බව දිවුරාම කියමි.
එහෙත් මගේ නව ප්‍රතිපත්ති මාලාව එලිදක්වා එක සති දෙකක් ක්‍රියාත්මක කිරීමටත් පෙර මා කඩාකප්පල්කරුවන්ගේ බරපතල හිංසනයන්ට ලක්විය.
මා තැම්බූ එලවලුයි මාලු පෙතියි අමාරුවෙන් ගිලදමද්දී ගෙදර උදවිය කවදාවත් නැති විදිහට කුස්සියට බැස චිකන් බුරියානි හදා මට පෙන්න පෙන්නා කයි. බතට මිශ්‍ර කල බැදපු කජුමද එකයි දෙකයි කිය කියා මට පේන්නට ගනන් කර කර උන්දලා කනවිට අමාරුවෙන් ගිලගත් තැම්බූ ගෝවාකොල ටික මට ඔක්කාරයට එයි.
ඉර හැතැක්මක් තරං ලංවූ පහුගිය කාලයේ ඉහින් කනින් දාඩිය බේරෙන හැන්දෑවක තේ වේලට මා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් කා ග්‍රීන් ටී බොන විට මුන්දලා චොකලට් කේක් හා මැජික්කෝන් තලු මර මර කා බඩජාරි බඩවල් වලට අයිස් කෝපිද වක්කරති.
ගමනක් බිමනක් යද්දී කඩ කෑම වල තෙලුයි පිටියි කියා මා කඩල තම්බන් ගෙනියද්දී මේ පිරිස හොඳ හොඳ රෙස්ටුරන්ට් වල වාහනය නවතා හොට් ඩෝග්ද කුල් ඩෝග්ද අර ඩෝග්ද මේ ඩෝග්ද කියා මට පෙනෙන්නට ගිල නොදමන්නේ පාරේ ඉන්න ඩෝග්ලා පමණය. ඒවා කා ඩෙසර්ට් එකට චොකලට් වලින් වැඩ දැමූ වැනිල සුවඳ ඉහිරෙන අයිස්ක්‍රීම් ද කන විට මට පපුවේ කැක්කුම එන්නට වාගේ හිරවෙන ගතියක් දැනේ. මෙවැනි අවස්ථාවල මට සිදුවන්නේ කඩල කනවාට වඩා කෙල ගිලීමටය. මේ නිසා මගේ ඛේට ග්‍රන්ථි අධික්රියාකාරී වී ඉදිමීමෙන් දොස්තර ලඟටද යාමට විය.
ගෙදර උවදුරු වලින් ගැලවී ඔෆීස් ගිහින් උදේට කව්පි ටිකක් රහ නොබලා අමාරුවෙන් ගිල දමා පැයක් හමාරක් යන විට අපේ ඔෆිස් එකේ සංග්‍රහ කටයුතු සඳහා පී එච් ඩී ගසා සිටින පද්මා මිස් උණු උණු තඩි ලැවරියා පෙට්ටියක් හෝ කජු අලුවා පාර්සලයක් හෝ ගෙදරම හැදූ කටේ තියන්නත් කලින් දියවෙන පදමේ කේක් පලඟානක් රැගෙන ආවේ නැත්නම් ඒ අපේ ඔෆීසිය විය නොහැකි අතර නැතහොත් පද්මා මිස් නිවාඩු දිනක් විය යුතුය.
එසේ ගෙනෙන කෑම ගැන පද්මා මිස්ගෙ මූලික හැඳින්වීම අසා සිටීමෙන් පමණක් උවද කෑම දිරවීම සඳහා අවශ්‍ය සියළු අම්ල වලින් ආමාශය පිරී ඉතිරී යන්නෙ වැහි කාලයට කළුගඟ පිටාර ගලනවාටත් වැඩි වේගයකිනි. එහෙම වෙලාවට මට කල්පනා කෝටියකි. ප්‍රස්නද කෝටියකි.
කනවද .. නැද්ද..
කනවද .. නැද්ද..
ඇගෙ සිත රිදවීමට බැරිය.
මම ඔෆිස් එකේ කන බොන ඒවා ගෙදර අය දැන ගන්නේ නැත.
මගෙ අළුත් ඩයට් ප්ලෑන් තාම ඔෆිස් සෙට් එක දන්නේද නැත.
ඒ නිසා මට මෙතන මගේ සිතැඟි පරිදි ඕනෑ දෙයක් කෑ හැකිය.
අවසාන තීරණය ඇය රැගෙන ආ කජු අලුවා වලින් එක් කෑල්ලක් පමණක් ගෙන ඉන් කුඩා කොටසක් පමණක් කා පද්මා මිස්ගේ සිත පිනවීමය.
කුඩා අලුවා කෑල්ලක් කටේ තියනකොටම එහි ප්‍රණීත රසය කටේ දිවේ පමණක් නොව ලේ නහර පුරාම පැතිරී යද්දී ඊටත් වැඩි වේගෙන් කටේ දියවෙන අලුවා කැබැල්ල තහවුරු කරන්නේ එය නියමම පදමකට අළුත්ම රිසිපියකට සාදා ඇති බවය.
ඔන්නොහෙ කජු මදයක් හැපෙන කල් කනවා කියා තව පොඩ්ඩක් කා දමමි. මේ වන විට මේසය මත තිබූ ලිපිගොනුව වසා පුටුවේ කැරකෙමින් පද්මා මිස් කඩදාසි ප්ලේටය මත තබා ගොස් ඇති අලුවා කැබලි තුන හතර එකින් එක ඛේටයේ දිය කර හරිමින් මා කල්පනා කරන්නේ මේ අලුවා රිසිපිය පද්මා මිස්ගෙන් අදම ඉල්ලාගෙන වීකෙන්ඩ් එකේ ට්‍රයි කල යුතු බවය.
උපුටා ගැනීම: Kumari Dayananda