ෆලෝ මී කථා වස්තුව (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙලොව සෑම මිනිසෙකුම උපත ලබන්නේ අනන්ය වූ හැකියාවන් සමඟිනි. තනි තනිව සිටීමට භය වූ ග්රහයන් තෝරාගත් කොටු කීපයක එකා පිට එකා පොදිකන අමුතුම මුහුර්තයක් තුළ ඉපදුන මා හට ඇති එම හැකියාව වන්නේ තුන් හිතකවත් කරදරයක් කිරීමේ සිතුවිල්ලක් නොමැතිව මිනිස්සුන්ට නිර්මාණශීලී කරදර ඇති කිරීමේ දක්ෂතාවය ය.
කුඩා කල සිටම මේ විකිරණශීලි ජීවියාගේ ස්වභාවය වටහාගත් ගුරුදෙගුරුන් අතේ දුරටත් වඩා දුරක් තබාගෙන කටයුතු කිරීම මාගේ කටයුතු තවත් පහසු කෙරුණි. කැරපොත්තා සහ පොල් කුරුමිනියා හැරෙන්නට සියලුම වර්ගයේ සතුන් සමඟ ඇයි හොඳයි පැවැත්වූ මට හට සම්මත හා අසම්මත සුරතලුන් ගණනාවක් වූ අතර පෑනක තරම් දෙයක් ගැනීමට වත් මගේ “හාගත මල්ල” ඇර බැලීමට චිත්ත දහිරිය උපදවාගත හැකි කෙල්ලෙකු තබා කොල්ලෙකු වත් සරසවි ජීවිතය තුළ දී හෝ මට මුණගැසී නැත.
පිරිමින් විනිර්මුක්ත කලාපයක් වූ අප බාලිකාවේ සිටි එකම කොලු පුළුට ෆලෝ මී ය.. ඇට පෑදී ලෙල්ල හුටන් වී සිටි මේ බලු කොල්ලා ඇතුළත්වීමේ අංකය හෝ නොගෙන පාසල් ගතවූයේ බල්ලන් රැලක් එළවාගෙන ආ මොහොතක බලධාරීන්ට හොරෙනි. ඉක්මනින්ම බාලිකාවන්ගේ ආදරය අවධානය ලබාගත් මෙතුමාණෝ තමන්ගේ කටු බටු කැහැටු සිරුර පුලුකුට්ටියා වෙන්නට කෑම ද දිනාගත්තේ කුරා කූඹියෙකුටවත් අතුරු අන්තරාවක් නොකරමිනි. කොයි වෙලේ බැලුවත් කෙල්ලෙකුගේ පස්සෙන් යන මුන්දෑට අවසන දී “ෆලෝ මී” යන නම පට බැඳුණි.
නිතරම මාගේ කෑමපෙට්ටියෙන් භාගයකට හිමිකම් කියූ ෆලෝ මී සහ මා අතර වූයේ මටවත් තවම නොතේරෙන බැඳීමකි. ඌ ; මා පාසල් එන යන වෙලාව හොඳින් දැන සිටි අතර දෑස් නොපෙනීමේ ආබාධයකට ලක්ව සිටි මා කහ ඉරෙන් එහා මෙහා පැන්නවීම උගේ ප්රථම රාජකාරිය කරගත්තේ ය. සංගීත කාමරයේ දොරකඩ අපගේ පුහුණුවීම් බැලීමට පැය ගණන් ඉඳගෙන සිටිමින් ඌ පුදුමාකාර ලෙස ජීවිතය වින්ඳේ ය. ප්රධාන විභාගයන් ලියනා අතර තුර ද ගලටම ඇලීගත් කාවාටියෙකු පරිද්දෙන් ඌ මාගේ ඩෙස්කය ඉදිරිපිට බිම නිදාගත් අතර උගේ උරුලෑ සුගන්ධය නිසා ඌ පන්නා දැමීමට උත්සහ කළ ශාලාධිපති තුමාව පසුබැස්සුවේ යක්ෂාවේශයක් ගෙන ගොරවමිනි.
කෑමට අමතරව මාගෙන් ඌට යහමින් කරදර ද ලැබුණේ නිතරම කෙල්ලන්ගෙන් වැටෙන කොණ්ඩා පටි ගෙන උගේ නැට්ට දිගේ සමනළුන් ගැට ගැසීම, ජෙල් පෑනෙන් ඇහිබැමි ඇඳීම, මූණේ උපන් ලප තැබීම වැනි මගේ පඩත්තර ක්රියා හේතුවෙනි. වතාවක් කොණ්ඩාපටි රැසක් එකතුකර මා ඌට කරපටියක් ගෙතූ අතර පසුකාලිනව කෙල්ලන්ගෙන් වැටෙන බැජ් ඇහිදගත් සැනින් එම පටියේ පැළඳුවෙන් පාසල් බාලදක්ෂිකාවකටත් වඩා පදක්කම් ඌ සතුව තිබුණි.
මෙතුවක් අවිහිංසාවාදී ජීවිතයක් ගත කළ ෆලෝ මී එකවර ජේම්ස් බණ්ඩා වැනි පොරක් වූයේ මාගේ ද උදව් ඇතිව මා උසස්පෙළ සිංහල පේපරය ලියූ දිනය අමරණීය කරවමිණි.
එදින උදෑසන ව්යාකරණ පේපරය ලියා දහවල් ඉසිඹුවෙහි මාගේ මිතුරියන් සමඟ බත්මුල් ලිහාගෙන සුපුරුදු පරිදි පොරකා අහවර වන්නට පෙර දෙවෙනි පේපරයට සීනුව වැදුනි. ඒ වනවිට ද කා අහවර නැති පාන් භාගයක් වූ අතර මම ෆලෝ මී ට බත්පත තබා ඉතිරි පාන් භාගෙට කුමක් කරන්නදැයි කල්පනා කරමින් සිටියෙමි.. එසමයෙහි පාසල් සීනුවට තවත් ළණුවක් සම්බන්ධ කර තබන්නේ ශාලාධිපතින්ගේ පහසුව තකා ය. ශාලාධිපති ගණදෙවියන් සේ බෝල වූවත් සීනුව නාද කරන නිලධාරියා සූප්පා දැමූ තල් ඇටයක් මෙන් විය. ක්ෂණිකව ඔහුට විහිළුවක් කිරීමට සිත් වූයෙන් මා ලණුවේ මැද පාන් භාගය ගැට ගැසුවේ කාගෙත් ඇස් මාවෙත නොවන බවට සාක්ෂාත් කරගැනීමෙන් පසුවය. ඉන්පසු සුපුරුදු පරිදි මා ශාලාවට යන විටත් ෆලෝ මී ඩෙස්කය වෙත ගොසි සිටි අතර සාහිත්යයට මා කවදත් ප්රියකළ බැවින් විචාරයෙහි කිමිඳීගිය මට මද වෙලාවකින් පාන් භාගය අමතක විය.
මා තුන්වන විචාරයේ මැද සුවසේ වසන විට මාගේ ධ්යානය බිඳ දැමුවේ කාලය අහවර බව දක්වන සීනුව ය. එය නොනැවතී නාද වෙමින් පැවති අතර අත් ඔරලෝසුවක් නොවූ මා හට ශාලාවේ කෙලවර වූ ඔරලෝසුවද නොපෙනුනෙන් මා කාලය කළමනාකරණය කරගෙන නොමැතිව උත්තර ලියා ඇතිබව වැටහුණි. තිස්තුන්කෝටියක් තරු විසිව වටපිට බැලූ මට ළඟම අසල්වැසියා ද එවැනිම තත්වයකට පත්ව ඇති බව වැටහුනෙන් හැකි ඉක්මනින් ලියාගෙන ලියාගෙන යන්නට වූයේ නිකනුත් මුං ඇට පෙඟෙන්නට දැමූ විට කූරු ඇද්දාසේ පේන මගේ අත් අකුරු තවත් සංකීර්ණ මුහුණුවරක් ගෙන සෙනරත් පරණවිතාන මහතා වළෙන් නැඟිටුවාගෙන විත් පේපරය බලවන්න සිදුවන තරම් ඇදකුද වෙද්දී ය.
මොහොතකින් වෙඩි කෑ වල් ඌරෙකුගේ වේගයෙන් සහ මද කිපුණු හස්තියෙකු මෙන් තරහා ගනිමින් විභාග ශාලාවට කඩාපාත් වූ ශාලාධිපතිතුමාගෙන් නිකුත් වූ “ඵුස්සදේව යෝධයාගේ හක්ගෙඩි හඬ” මෙන් වූ නාදය ඇසුවානම් ඕනෑම ඔපෙරා ගායිකාවකට ඊරිසියා හිතෙනු ඇත. අනෙක් අතට එවැනි සද්දයක් ඇති කිරීමට හැකියාවක් ලැබුණා නම් ඕනෑම කෝච්චි එංජිමක් ඒ පිළිබඳව ආඩම්බර වෙනු ඇත.
” කෝ ඔයාගේ බල්ලා…? “
ලාවා මහෝඝයක් වැනි කෙළ වරුසාවක් මා සහ මගේ කන්ණාඩි කුට්ටම මත පතිත කරමින් ශාලාධිපති ස්ථානගත වූයේ මා ඉදිරියේ ය. හිටි ඉරියව්වෙන්ම මදක් එසවී බැලූ විට ෆලෝ මීයා අතුරුදහන් වී ඇති බව පෙනුනෙන් මම මා දන්නා අහිංසකම බැල්ම උපයෝගී කරගෙන වචනයක් හෝ නොදොඩා ඔහු දෙස බලා සිටි මට ඒ වනවිටත් සිතුනේ අං දෙකක් සහ වලිගයක් තිබුණානම් ඔහු කුළු හරකෙකුට කෙතරම් සමපාත වේද කියා ය. ( සැබවින්ම නැට්ටක් තිබුණානම් ඔහු මාගේ අහිංසක කම ඉදිරියේ ඔද සිඳුනෙන් එය තම පශ්චාත් භාගයේ නිධන් කරගන්නවා නොඅනුමානය. )
නැවත වදනක් හෝ නොදෙඩූ ඔහු ආපසු හැරීයන්නට පෙර අපට තව පැය එකහමාරක් උත්තර සැපයීම සඳහා කාලය ඇතිබව කාරුණිකව පැවසීය.
ශාලාවේ පසුපසට ගොස් සහෘද ගුරුභවතුන් සමඟ ප්රකාශ කළ ආකාරයට අනුව යම්කිසි නසරාණියෙක් විසින් සීනු ලණුවේ පාන් භාගයක් ගැටගසා ඇති අතර බඩගිනි වූ බල්ලා එය ගළවා ගැනීමට එහි එල්ලී ඇත.
( මෙම සිදුවීම 2011 වර්ශයේ අගෝස්තු මස සිදුවූවක් වන අතර මගේ අඹ යෙහෙළිය පවා එහි ඇත්ත දැනගන්නවා නම් දැන ගන්නේ අද ය. එසේම මම ද මේ වන විට පාසල් ගුරුවරියක වෙමි. මගේ අත්දැකීම් මත සිසුවෙකු තේරුම් ගැනීමට අවැසි සියුම් ම රහස මම දනිමි. දවසින් දවස සොඳුරු සිදුවීම් මවන මගේ වෘත්තියට හා දරුවන්ට මම බෙහෙවින් ආදරේ කරමි.)
~ ජ’මීලා ~
උපුටා ගැනීම: Nilmini Hettiarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!