අමුතු අයගෙන් වගේම ෆේක් අකවුන්ට් වලින් එන එෆ්බී රික්වෙස්ට් ගැන ඔයාලට මට වඩා හුඟාක් අත්දැකීම් ඇති. ඒත් මට හිතුන ඒ සම්බන්ධ මගේ අත්දැකීම් කීපයක් ඔයාලත් එක්ක බෙදාහදා ගන්න. මොකද කොයිතරම් දැන උගත් බුද්ධිමත් කෙනෙක් උනත් නොසිතූ විදිහට නොසිතූ මොහොතක රැවටෙන්න පුළුවන් බව මේ ලිපිය කියවද්දි ඔයාලට තේරෙයි.
මම සාමාන්‍යයෙන් රික්වෙස්ට් එකක් ආව පමණින් ඇක්සෙප්ට් කරන්නෙ නෑ එයා කවුද කියල යම් අවබෝධයක් නැතුව. මම වැඩ කරන ආයතනයෙ නම් ඕනම තරාතිරමක කෙනෙක්ව ඇක්සෙප්ට් කරනව මම. මමම රික්වෙස්ට් එකක් දාන්නෙ නම් උපරිම පැහැදීමක් තියෙන කෙනෙකුට විතරයි. ඒ තරම් ෆිල්ටර් කරලත් සමාජයේ වැදඅඅඅගත් තනතුරු වල ඉන්න, ෆේක් නොවෙන ඇත්තම අකවුන්ට් වලින්ම ආව බව තේරෙන සමහරක් අය කරපු දේවල් හින්ද මම දැන් තවත් ෆිල්ටර් කරනව.
මොකද කියනවනම් ඒ වගේ ආව සමහර වැදඅඅඅගත් මහත්තුරු සමහරෙක්ට රෑට නින්ද යන්නැති ලෙඩ තියෙන හින්දද කොහෙද මහ රෑ දොලහට එකට දෙකට තුනට වගේ යක්කු ගස් නගින, මේ මම නම් ගොරෝ ගොරෝ ඔලුවෙ ඉඳන් දෙපතුලට පොරෝගෙන නිදියන වෙලාවලට, හායි .., හූයි.. , හව් ආ යූ .. , යූ ආ ස්වීට් .. , ආ යූ ස්ලීපිං.. , මෙකී නොකී එකී කතා ඉන්බොක්ස් දාල තියෙනව පහුවදා උදේටයි මම දකින්නේ.
අනේ ඉතිං මගෙ හිත් පොජ්ජ මේව දැකල කොච්චර එයාල වෙනුවෙන් උනු වෙනවද කියනව නම් අනේ පව් නේද මෙයාල කියල උන්දල විතරක් නෙමෙයි උන්දලගේ අසරණ මව්තුමියන් ගැනත් දුකේ බැරුව ඒ මව්තුමියලත් ආදරෙන් සිහිපත් කරල මම උන්දලාව අන්ප්‍රෙන්ඩ් කරල බ්ලොක් කරලත් දාන එක තමා එහෙව් දවසට මගේ දවසේ ප්‍රථම රාජකාරීය වෙන්නෙ. මොකද ඒ වැඩේ නොකර වෙන වැඩක් මට කරන්න විදිහක් නෑ මගේ ඇඟේ ඉන්න පතන්දෝරු මාළුවො ටික සන්සුන් කරල උන්ගෙ ඩාන්ස් කිරිල්ල නවත්තන්නැතුව. ලව් කරන වයසෙ පුතෙක් ඉන්න මට මොන උලව් ලව්ද අනේ කෙල්ල කාලෙවත් එහෙම ගායක් නොතිබුණු කොට.
මේ ගැන ලියන්න ගියොත් නම් මට පොත් එකසිය ගානක්ම ලිව්වැකි. මගේ අද කතාව මේක නෙමෙයිනෙ ඉතිං.
මේ ළඟදි දවසක් මම බුකියෙ සැරිසරමින් ඉද්දි, ඇත්තම කිව්වොත් මේ ගෲප් වල කතා කියව කියව ඉද්දී හොඳටම දන්න කෙනෙක්ගෙන් ෆේරන්ඩ් රික්වෙස්ට් එකක් ආව. එයා මම වැඩ කරන ආයතනයෙම වැඩ කරල විශ්‍රාම ගිය හරීම වැදගත් ආචාරශීලී නිවුනු සැනසුනු ගති පැවතුම් වලින් යුක්ත කාන්තාවක්. පුද්ගලිකව ලොකු සමීප කමක් මට නොතිබුණාට මගේ රාජකාරී වලදී ඉතාම සමීපව වැඩ කරපු ඇත්තටම මම ගරු කරන චරිතයක්. ප්‍රොෆයිල් පික්චර් අරව මේව විස්තර ඔක්කොම හරියටම හරි. අළුත්ම අකවුන්ට් එකක්. ප්රෙන්ඩ් ලිස්ට් එකේ හිටිය ටික දෙනත් මම දන්න අය.
විශ්‍රාම සුවයෙන් ඉන්න ගමන් කම්මැලි කමටත් එක්ක එෆ්බී අකවුන්ට් එකක් ඕපන් කරල වෙන්නැති කියල හිතල මම ඇක්සෙප්ට් කලා. මෙන්න සෙනිකව මගේ වෝල් එකේ තියෙන ඔක්කෝටම මෙතුමිය ලයික් කමෙන්ට් දාලා මදිවට මගෙ දුක සැප ද අහගෙන ඉන්බොක්ස් ද ආපි.
” හොඳින් ඉන්නව මිස් ” කියල විතරක් මමත් රිප්ලයි කලාම මෙන්න තව මැසේජ් වැලක්ම එවනව. මුකුත් නරක දෙයක් නොකිව්වට මට ඒ මැසේජ් හරි අසාමාන්‍යයි. මොකද මෙතුමිය හරිම විනීත ගති පැවතුම් තියෙන කෙනෙක් නිසා ඒ වගේ ඇදල ගත්ත දමල ගැහුව ස්ටයිල් එකෙන් මැසේජ් කරයි කියල කීයටවත් හිතන්න බෑ. ඒ නිසා මම රිප්ලයි කලේ නෑ. මේ ගැන සැකය හිතේ තියාගෙන ඉද්දි මට හිතුන කෝල ප්රෙන්ඩ් අවස්ථාව අරන් සැකේ දුරු කරගන්න.
මෙන්න එතුමියට කතා කලාම කිව්වෙ නැද්ද අනේ බලන්නකො මට වෙච්ච දෙයක් මගෙ නමින් කවුදෝ ෆේක් අකවුන්ට් එකක් හදල අහවලාටත් අසභ්‍ය මැසේජ් යවල කියල. ඉතිං ඒ කිව්ව අහවලත් මගේ මිතුරියක්. අපි තුන් දෙනාම එකටමයි වැඩ කලෙත්. මම ඒ ප්රෙන්ඩ්තුමියටත් කතා කලා. එයාට උන දේ නම් ටිකක් දරුණුයි. සභ්‍ය නොවෙන ෆොටෝ සහ වචන සහිත මැසෙජුත් එවල අර වැදගත් කාන්තාවගෙ නමින්. මම මේක කිව්වෙම අපි හොඳට ලකුණු දීලා ඉන්න ඇත්තටම වැදගත් අයගෙ නමින් කිසිම සැකක් නොහිතෙන්න ප්‍රොෆයිල් හදාගෙන වෙන මිනිස්සු එනව ඉතිං පරිස්සමින් හොඳේ.
අනෙක් කතාව ටිකක් වෙනස් ඒත් ජනප්‍රියම ක්‍රමයක්. ඔන්න ඉතිං මම කොයිතරම් ලොව පුරා ජනප්‍රිය චරිතයක්ද කියනව නම් යුරෝප් ඔසී වගේ රට වල ඉන්න ස්පෙෂලිස්ට් ඩොක්ටර්ස්ලගෙන් සැලකිය යුතු තරම් ප්රෙන්ඩ් රික්වෙස්ට් ප්‍රමාණයක් මට ඇවිත් තියෙනව. අනේ ඉතිං මං මදු කිරි බීල තණකොල කාල හැදුන නෙමෙයි හින්ද හොර දොස්තරයි හොඳ දොස්තරයි අඳුර ගන්න ඒ තරම් අමාරු නැති හින්ද මම කවදාවත් ඒව ඇක්සෙප්ට් කරල නම් නෑ. මොකද ඉතිං ඒ තරම් දියුණු රටක භාරදූර රාජකාරී කරන උත්තමයෙකුට මේ පුංචි දුපතක ඉන්න ගෑනුන්ට රික්වෙස්ට් දදා ඉන්න වෙලාවකුත් ගායකුත් නැති බව තේරුම් ගන්න උකුණු මොලෙන් සීයෙන් පංගුවක් තිබුණත් ඇති කියල මට හිතුනට ඒක එහෙම්ම නෙමෙයි කියල හිතෙන සිද්ධියක් උනා ළඟදි.
දවසක් මගෙ ස්කෑම් මැසේජ් වල හායි හූයි හව් ආ යූ කියල යූකේ වල ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් මැසේජ් දාල තිබුණ. මට හිනා ගියා ඉතිං අනේ ගොනෝ මං අහුවෙයිද කියල. ඒත් මට මේක හොයන්න හිතුන. මොකද මම අහු නොවුනට කවුරු හරි අහුවෙයිනෙ ඉතිං. විස්වාස පොඩි මල්ලියෙකුට කිව්ව හොයපන් මූ ගැන කියල. කොල්ල මට හැරෙන තැපෑලෙන් ඩිටේල් රිපෝට් එකක් එව්ව.
සාරාංශය මෙහෙමයි. මේ මෑන්ට එකම නමින් අකවුන්ට් ගොඩක් තියෙනව. එක අකවුන්ට් එකක් දවස් දෙක තුකනට වඩා තිබිල නෑ අළුත් ඒව ආයෙ ආයෙම හදල. ඒ අකවුන්ට් කීපෙක එයාට ලංකාවෙ ලේඩි කෙනෙක් මැසේජ් දාලා තිබුණ. ඒ මැසේජ් වල හැටියට මෑන්ස් ඒ ලේඩිගේ සල්ලි වලටයි විදල තියෙන්නෙ. මම පොඩි අවිනීත වැඩකුත් කලා. ඒ ලේඩි කවුද කියල එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුව. එයා වගේම එයාගෙ හස්බන්ඩ්නුත් රටේ වැදගත් වෘත්තීන් වල නිරත වෙලා ඉන්න ඉහලම දැන උගත් දෙපලක්. ඉතිං සාමාන්‍ය අය ගැන කවර කතාද කියල මට නිකමට හිතුත. ඒ මැසේජ් වල අනන්‍යතාවය නැතුව මම පහලින් දානව ඔයාලත් දැනුවත් වෙන්න කියල.
ඔන්න අනේ මම නම් ෆේක් නෙමෙයි වගේම මට වෙන අකවුන්ට්නුත් නෑ මගේ නමින් වෙන අකවුන්ට් තිබුණොත් ඒ මමත් නෙමෙයි හොඳේ.
උපුටා ගැනීම: Kumari Dayananda