අර බේබි ෆාම් එක සාධාරණය කරන ගොඩාක් දෙනෙක් කියන්නේ ළමයි ගබ්සා කරන්නේ නැතිව විකුණන එක හොඳයි කියලා. ඔය ගැන මම දාපු පෝස්ට් එකකට කෙනෙක් මාත් එක්ක හෙනට තර්ක කළා. පස්සේ මට බැනලා කමෙන්ට් අයින් කරගත්තා. එයත් මතු කරපු ප්‍රධාන තර්කය තමයි ළමයි ගබ්සා කරන රටේ ඒ ළමයිව මේ ලෝකෙට අරගෙන දරුවන් නැති අයට විකුණන එක හොඳයි කියන එක.
ඇත්තටම ගබ්සා කරන එක වැරැදිද…? කිසිම තර්කයක් නැහැ ආගමික, සංස්කෘතික සහ සදාචාර වගේම එකී මෙකී නොකී හැම පැත්තෙන්ම බැලුවත් ගබ්සාව වැරැදි දෙයක්. ඒ නිසා තමයි ගබ්සා කිරීම ලංකාව තුළ නීතියෙන් තහනම් කරලා තියෙන්නේ.
ඇත්තටම කාන්තාවෝ තමන්ගේ කුස තුළ ඉන්න නූපන් කළලයක් ගබ්සා කරන්නේ ඇයි? මේකට තියෙන එකම විසඳුම ඒ කළලය දරුවෙක් විදිහට එළියට අරගෙන කවුරුහරි බ්‍රෝකර් කෙනෙක් හරහා කාටහරි විකුණන එකද?
ගබ්සාව ගැන වැඩියෙන්ම ප්‍රතිවිරුද්ධ තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ පිරිමි. ඒත් කාන්තාවකගේ කුස තුළට ඒ කළලය තැන්පත් කරන පිරිමියා, ඒ කළලය දරුවෙක් විදිහට මේ ලෝකෙට එනකම්ම අර කාන්තාව එක්ක ඉන්නවා නම් කිසිම ගෑණියෙක් ගබ්සාවකට පෙළඹෙන්නේ නැහැ. ලංකාවේ කිසිම ගෑණියෙක් කැමැත්තෙන් ගබ්සා කරගන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ.
ගොඩාක් වෙලාවට ගබ්සාවට හේතුව වෙන්නේ අනවශ්‍ය දරු උපතක්. අපි හිතමු දැන් අවුරුදු 20-21 ක තරුණියක් තමන්ගේ පෙම්වතා අතින් ගැබ් ගත්තා කියලා. මේක දැනගත්තු පෙම්වතා පැදුරටත් නොකියා පැනලා යනවා. එහෙම නැත්නම් පෙම්වතා ඒ වෙද්දිත් විවාහකයෙක් (මේ වගේ දේවල් ඕන තරම් වෙනවනේ) නැතිනම් වංචාකාරයෙක්. එතකොට අර ගැබ් ගත්තු තරුණියගේ මානසිකත්වය කොහොම වෙන්න පුළුවන්ද?
ඔය ගබ්සාව ගැන පොර ටෝක් දෙන එක පිරිමියෙක් වත් කැමැතිද වෙන මිනිහෙක් අතින් බඩ වුණු ගෑණියෙක්ව බාරගන්න…?
මේ විදිහේ ඛේදවාචකයකට මුහුණු දීපු තරුණියකට ඉස්සෙල්ලම අපහාස කරන්නේ එයාගේ පවුලේ කට්ටිය. මොකද ලංකාව වගේ අවුරුදු 2500 ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක අවිවාහක තරුණියක් බඩ වෙනවා කියන්නේ මාරම මාර නවනිංගිරාවක්නේ. ඉතින් අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ විතරක් නෙමෙයි, නැන්දලා, මාමලා, බාප්පලා වගේම පුංචි අම්මලත් ඒ තරුණිය දිහා බලන්නේ තමන්ගේ පරම්පරාව දැලි ගාන්න ආපු හැතිරියෙක් විදිහට.
ඊට පස්සේ ප්‍රශ්නේ එන්නේ අසල්වැසියන්ගෙන්. උපත් පාලන පෙති අරන් දකින දකින එකා එක්ක රූම් අස්සේ බඩ ගාන අහල පහළ අක්කලා නංගිලට මේක රස කර කර හපන්න පුලුවන් තාලේ චුවින්ගම් එකක්. වයසක ගෑණියෙක්ගේ චීත්තයක් දැක්කත් කෙලින් වෙන කොල්ලන්ට අනුව නම් ඒ තරුණිය “වටේ ගිහින් බඩ වුණු” එකක්.
මේ ඔක්කොම විඳ දරාගත්තයි කියමුකෝ. ඔන්න ඊට පස්සේ ඉතින් ගමේ ක්ලිනික් එකට යනවා. එතැනින් අහනවා “තාත්තා කෝ’ කියලා. දැන් දීපන්කෝ උත්තර. වින්නඹු අම්මයි නර්ස් නෝනයි කමක් නෑ කියමුකෝ. ක්ලිනික් ඇවිත් ඉන්න ගමේ අනික් බඩදරු මායියෝ ඉතින් අර තරුණිය දිහා බලන්නේ හරියට දරුණු බෝවෙන රෝගයක් තියෙන කෙනෙක් දිහා බලන විදිහට.
මේවත් කොහොම හරි ඉවසගෙන ළමයව මේ ලෝකෙට ගත්තයි කියමුකෝ. ඊළගට උප්පැන්න සහතිකේ “පියාගේ නම” කියන කෑල්ල එනවා. දැන් දීපන්කෝ උත්තර…
ලංකාව වගේ සිංහල බහුජ්ජ රටක තාත්තා කෙනෙක් නැතිව හම්බ වෙන ළමයා ළමයෙක් නෙමෙයි, “අවජාතකයෙක්” තාත්තා නැති ළමයි මුහුණ දෙන, තාත්තා නැති ළමයින්ට විඳින්න වෙන ලොකුම වේදනාව තමයි ඔය “අවජාතක” කියන ලේබල් එක. ඉස්කෝලේදි ඔය ළමයි හරියට අසරණ වෙනවා. ඒක දරුවෙක්ට දරාගැනීමේ සීමාව ඉක්මවා ගියපු එකක්.
ඔය අපි හෙන ගැම්මට කියනවනේ අපි සීගිරිය හදනකොට සුද්දෝ කොළ අතු ඇඳගෙන හිටියයි කියලා. හම්මේ ඉතින් කියනකොටත් ඇඟෙ මයිල් කෙලින් වෙනවා. ඒත් එදා කොළ අතු ඇඳන් හිටපු වැද්දෝ අවිවාහක කාන්තාවක් දරුවෙකු බිහි කරන එක සාමාන්‍ය දෙයක් විදිහට හිතන කොට එදා සීගිරි ගල උඩ තියෙන පොකුණට ජල මාර්ගයක් හදපු අපි ඒක දකින්නේ මාරම මාර “අවමානයක්” විදිහට.
ඒ රටවල කාන්තාවක් “I am a single mother” කිව්වාම අනෙක් හැමෝම ඒ කාන්තාවගේ ධෛර්යය අගය කරනවා. අපි මොකද කරන්නේ අර ගෑනිට “වෛශ්‍යාවක්” ගානට දානවා. අර ළමයා “අවජාතකයෙක්”.
මේ කාන්තාව කොහොම හරි ළමයව ලොකු මහත් කළා කියමුකෝ. ඒත් ඒ ළමයා දවසක ලොකු මහත් වෙලා කසාදයක් බඳින්න යනකොටත් ඔය “ජාතකේ” ප්රශ්නය එනවා. ඔය ගබ්සාව ගැන ලොකු ටෝක් දෙන බහුතරයක් දෙනා තමන්ගේ ළමයින්ව බඳින්න එක කොල්ලගේ හරි කෙල්ලගේ හරි ජාතකේ හොයනවා.
ඉතින් විනාඩි 5 ක කාලයක් වැය කරලා ගෑණියෙක්ගේ බඩට කළලයක් රිංගලා මාරු වෙන පිරිමින්ට නම් මම මේ කලින් කියපු දේවල් මහ දේවල් නෙමෙයි. ඉතින් ඒ අය ඔය විනෝදයට වගේ “හම්මේ ගබ්සා කරන්න එපෝ… ඒක අපේ සදාචාරය පටහැනියි… ප්‍රාණඝාතය බුද්ධාගමෙන් තහනම් කරලා තියෙනෝ” වගේ ලොරි ටෝක් දෙනවා.
ඒත් මේ වගේ නින්දා අපහාසවලට තනියම මුහුණ දෙනවට වඩා තාම මේ ලෝකෙට ආපු නැති කළලය විනාශ කරලා ජීවිතේ ඉස්සරහට යනවා කියලා කවුරුම හරි කාන්තාවකට හිතුණොත් මම ඒ හැඟීම ගැන වැරැදියට හිතන්නේ නැහැ. මොකද ඒක ඒ කාන්තාවගේ දරාගැනීමේ හැකියාව සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්… ඇයගේ ශරීරය ගැන තීරණය ගැනීමේ අයිතිය ඇයට දිය යුතුයි.
ඒත් මේකට විසඳුම අර බේබි ෆාම්කාරයා කරපු දේ නම් නෙමෙයි. මොකද ඌ කළේ ගෑණුන්ගේ ගර්භාෂය කුලියට අරගෙන ඒක ඇතුළේ ළමයි හදලා, ඒ ළමයිව කාටහරි විකුණලා ගානක් කපා ගන්න එක.
– අනිල් කරුණාරත්න –