ඔන්න ඉතින් සෑහෙන්න කාලයක් මගේ ක්රෂ් එකක් වෙලා උන්න අසල්වාසී කොළු ඉස්කෝලේ ඉගෙන ගත්තු සුදුම සුදු කොල්ලෙක් ට හා හා පුරා හා කිව්වට පස්සේ ඉස්සිස්සෙල්ලම ගියා හෙනරත්ගොඩ උද්භිද උද්යානයේ අධ්යාපන චාරිකාවකට. තනියම නෙමේ , තව උන්දැගේ සහචරයෝ හතර පස් දෙනෙකුත් එක්ක. මන් තමයි එකම කෙලි පරාණේ. ගැන්සියේ නම් ගම් ටික තාම මතකයි සහ ඔක්කොම බුකියේ මිත්රයෝ ඒත් ඉතින් මේ වගේ කුප්ප සිද්දි වමාර වමාර ලියල මං ගන්න හීනි ආතල් එක හින්ද උන් ටික අපහසුතාවයට පත් කරන්නේ මක්කටයි නේ?
90 දශකේ මැද හරියේ, පරණ මිනුවන්ගොඩ පාරේ වෙල් හුළං වැදී වැදී ගම්පහ ටවුමේ ඉඳන් පේළියට, කීකරුව තමා කට්ටිය චාරිකාව ගියේ ඕන්. ඒ කාලේ ඉස්ටයිල් එකට සායේ වාටියෙන් පාර අතුගාන ගමන්, මග දිගට තුත්තිරි අමුණ ගන්න ගමන්.
කවුරු , කොහේදී , කොහොම දකී ද කියල බයට කොර වෙලා තිබ්බ යටි බඩත් අමාරුවෙන් දරාගෙන, මට වඩා අවුරුදු දෙකක් ජ්යෙෂ්ට කොළු නඩේ කියන නසරානි කතා වලට කොයි මොහොතේ සුළු දිය පහවෙයි ද කියල හිත හිත ගිය ගමන අදටත් හිතේ අමරණීයයි. වෙන මොන කෙහෙල් මලක් හන්දා වත් නෙමේ ඒ , එහෙම ගිය එකම ගමන හන්දා. ඊට පස්සේ යන්න කොල්ලෙක් සෙට් උනේ නෑමයි අප්පා. පස්සෙන් පහු උසස් පෙළ ලංවෙද්දි ගම්පහ සෝබෝන් එකේ දවසෙම පන්ති තිබ්බ සමහර දාට දවල් කෑමට ලැබුණු පැය දෙක තුනක විවේකයේත් බත් මුල් ටිකත් ඇන්න අපි රිංගුවේ මල් වත්තට. කනවට වඩා ඉතින් කලේ තැන තැන උණ්ඩි වෙලා උන්නු කොළු කෙල්ලන්ට කෝචොක් කරපු එක තමා ඉතිං.
ඕන් ඉතිං හරියටම මල් වත්තේ ගේට්ටුව ඉස්සරහ දකුණු පැත්තේ ගෙදර පදිංචි කෘෂි කර්මය ටීචර් අහම්බෙන් වත් එයාගේ මිදුලේ නෑ නේද කියල රබර් ඇහැ දාල බලල රිංගුවා කට්ටිය ඇතුලට. නෑ නෑ වැටෙන් නෙමේ, ගේට්ටුවෙන් ටිකට් අරන් පිළිවෙලට.
දැන් ඕන් කට්ටිය පාරවල් දිගේ ඇවිදිනවා. ඒ වෙද්දී සුළි සුළඟට පෙරළිලා තිබ්බ, ලංකාවේ මුළින්ම රෝපණය කල රබර් ගහත් නමෝ විත්තියෙන් ඇහැ ගැහුනේ එදා. වටයක් ගහල සුදු කොල්ලයි මායි විතරක් තඩි ගහක මුලක් ගාව තනි කොරල අනිත් උන් පල්ලම් බැස්සේ යාලු ෆිට් එකට. මාත් ඉතින් එයා ළඟ තනියෙන් ඉන්න උණු ලැජ්ජාව ඉහින් කනින් බේරෙද්දී, පැත්තකට නැවිලා තිබ්බ (ගහ නම් දැන් මතක නෑ) අතු කෑල්ලක් අල්ල ගත්තේ හරියට පින්තුර වල මහමායා දේවිය ලුම්බිණි සල් උයනේ සල් අත්ත අල්ලන් හිටියහේ කියල මතක් උනේ මේක ලියද්දි.
අරයත් ඉතින් ඕන් හේත්තු උනා ඒ අත්තේ කඳටම. පටන් ගත්තේ නැතෑ සිංදුවක්.
ගැඩවිල් සන් මාපිළා ….
ගේ ඇතුලට රිංගලා ….
ඒ ඒ ඒ ඒ ……..
ගේ හැමතැන හැඩි කළා…
“අහල තියනවද”?
මාත් වැනුවා ඔලුව “ඔව්” කියන්න.
මනුස්සයට හිනා ගියා බකස් ගාල. එතකොට තමයි මීටර් උනේ.
” නෑ , නෑ ඒවගේ වෙන එකක් අහල තියෙන්නේ “
ලැජ්ජාවට කියා ගත්තට ඊට පස්සේ මටත් හිනා.
බාගෙට ලංසි උනාට ඉංග්රීසි සින්දු අහන පුරුද්දක් ඒ කාලේ මට තිබ්බේ නෑ. ඇහුවත් පට්ට රොමැන්ටික් සින්දු විතරයි. බොනියම් ල සහ කණ්ඩායම් සංගීතය තිබ්බේ මගේ වින්දන පරාසයෙන් හුඟක් ඈත. ඊට ටික දවසකට පස්සේ අපිවත් නොදන්නා හේතුවකට අපි ඈත් උනා. ඒත් අදටත් BoneyM ලගේ “By the Rivers of Babylon” ඇහෙද්දී මට ඒක මතක් වෙනවා සහ මං තාම කියන්නේ ” ගැඩවිල් සන් මාපිළා……….” තමයි.



ඕක වෙලා දැන් අවුරුදුම 26 ක්. විශ්වාස කරන්න එදා දැනිච්ච ඒ නෝන්ඩි සහගත විළි ලැජ්ජාව අදටත් ඒ ලෙසටම දැනෙනවා හිතවතුනි 





උපුටා ගැනීම: Brenda Yvonne