අපි කුඩා කාලයේ ගැහැනු පිරිමි භේදයෙන් තොරව පව්ලේ සියලු දෙනාම එකතු වී කල ක්රීඩාවකි ගැහැනු පිරිමි මල් පලතුරු. පව්ලේ අය සමග කල එම ක්රීඩාවෙන් මම බොහෝ දේ ඉගෙන ගතිමි.
හොරෙන් බලා කොපි කිරීම,
නිර්මානශීලිවී අලුත් දේ සොයා ගැනීම,
ඕනෑම දෙයක් සාධාරනීය කිරීම,
තමන් යමක් කරමින් අනිකා එය කිරීම ගැන බැනීම,
වැඩියෙන් ලකුනු දමා අහු උනු විට අහිංසක මූනක් පෙන්වා සමාව ගැනීම එයින් සමහරකි.
ඒ සේරටම වඩා මතකයට එන්නේ මා සංස්කෘත භාෂාවේ ආභාෂය හෙල භාෂාවට ආ ගමන තවත් ඉදිරියට ගෙන යාමට නායකත්වය දුන් අයුරුත් අම්මා එයට අනුබල දීම පිලිබඳ සිද්දියකි.
ඒ දවසේත් අපි කවුරුත් පාඩම් වැඩ ඉවර කොට සාලයේ ඇති මේසය වටා වාඩිවී එම ක්රීඩාවෙ නිරත උනෙමු. අම්මාත් තාත්තාත් සාලයේ පුටු වල වාඩිවී පොත් පුවත් පත් කියවමින් උන් හ.
ලොකු අක්කා ‘ස’ යෝජනා කල විට සියල්ලෝම දඩි බිඩියේ ලියන්නට පටන් ගත්තෝ ය.
‘ස’ යන්නෙන් ඒ කාලයේ සාමාන්යයෙන් තිබූ වචන වූ ‘සරෝජා’ , ‘සරත්’, ‘සමන්මල්’, ‘සැපතිල්ලා’ මගෙ ඔලුවට ආවත් ‘ස’ පටන් ගන්නා සතෙක් මතක් උනේම නැත. කෙනෙක් ඉවර වී ‘ටයිම්’ කියල කියන කොටම මට සතෙක් මතක් වී එය ලිව්වෙමි.
පසුව අපි ලකුනු දමා ගන්නා විට, හැමෝම තමන් ලියූ දෙය කිව යුතු නිසා ලියූ නම් කෑ ගසා කීවෙමු. මේ වෙනතුරු කිසිම ආරවුලක් නැතිව ලකුනු දා ගත්තත් සතෙක් නම් කිරීමේදී මම ‘සිවලා’ කී විට කවුරුත් හිනාවෙන්නට පටන් ගෙන එයට ලකුනු නොදීමට තීරනය කල විට, මගෙ දරුනුම අවිය වූ හැඬීම පටන් ගෙන අම්මා දිහා හැරී
‘අම්මේ සිවලා කියන්නෙ සතෙක් නෙවෙයි ද? මම අහල තියෙනවා අම්මා සාහිත්යය ලම්යින්ට උගන්වන වෙලාවක ඒක කියනවා’
කී විට අම්මා පිලිතුරු දෙමින්
‘ඔව් සිවලා කියන්නෙ නරියට. මෙයා හරි’
කිව්වෙ හිනා වෙමින්. ඒ හිනා උනේ පොඩි පුතාගෙ දක්ෂ කමට වෙන්නැති.
මට ඒකට සම්පූර්න ලකුනු දීමට සහෝදර සහෝදරියන්ට සිදු විය. ඉන් පසු සිවලා, සාවා, සාතවාරිය, සම්බන්තොට (බොරු මේක නම් නැහැ) ආදිය ඉතා ජනප්රිය වචන ලෙස අපේ වචන මාලාවට එක් විය.
මම ඕස්ට්රේලියාවට සංක්රමනය වූ කාලයේ මෙල්බර්න් වලදී යාලුවන් එකතු වී අතීතකාමය ගැන කතා කරද්දී කිත්තා ගෑනු පිරිමි මල් පලතුරු කරමුද කියා ඇසූ විට අපි කවුරුත් එම යෝජනාවට කැමති උනෙමු. පොඩි කාලෙදි මෙන් ලකුනු දැමීම ගැන රන්ඩු වෙමින් කල ක්රීඩාවෙ උච්චම අවස්තාව ආවේ අශෝක් ‘ව’ එන පලතුරට වම්බොටු යන්න ලිවීමෙන්.
දක්ෂ කථිකයකු පාසල් කාලයේ විවාද කණ්ඩායම නියෝජනය කල එමෙන්ම දක්ෂ salesman කෙනෙකු වූ ඔහුට එස්කිමො කෙනෙකුට අයිස් පවා විකිනීමට හැකියාව තිබුනු නිසා ඕනෑම දෙයක් සාධාරනීය කිරීමේ හැකියාව ප්රයොජනයට ගෙන,
‘යකෝ පලතුරක් කියන්නේ තුරේ හැදෙන පලයට. වම්බටු තුරේ හැදුනු පලය තමයි වම්බොටු ගෙඩිය. ඒ නිසා ඒක පලතුරක්’
කී විට ඔහුට සම්පූර්න ලකුනු දීම හැර වෙන විකල්පයක් අපට නොතිබුනි. අශෝක් එයින් ජය ගත්තේ ය.
රෑ කෑමෙන් පසු මම
‘ආන්ටි, ෆ්රිජ් එකේ වම්වටු තියෙනව ද’
කියා අශොක්ගේ මවගෙන් ඇසූ විට
‘ඇයි අහන්නේ’ ආන්ටි පිලිතුරු දුන් විට
‘නැහැ තියනවා නම් ප්ලීස් කපා ගෙන එන්න අශෝක්ට ඩෙස(ර්)ට් එකට’
මේ පිලිතුරෙන් සියලු දෙනාම බිම පෙරලි පෙරලි හිනා උනු විට, අශෝක් බිබී හිටපු වතුර හතර වටේ ස්ප්රේ නොකලා නම් ඔහුට එය හිරවෙනු නොඅනුමානයි.
උපුටා ගැනීම: Devapriya Siriwardena