මම දෙකේ පන්තියේ හිටියේ කොලඹ වේල්ස් කුමාර එකේ. අප්පච්චිට මාරුවක් හම්බවෙලා කොලඹ අවුරුදු ගානක් ඉන්න වුනු හින්ඳා. ඔය කාලෙත් මගේ ගණිතයට තිබ්බ උනන්දුව උපමා කරන්න පුලුවන් නයාටයි මුගටියාටයි විතරයි මයෙ හිතේ. ඒ තරන් ඔය විශයට මම අප්රමාන කැමැත්තක් තිබ්බේ. තාමත් එහෙමයි.
ඉතින් මම දෙකේ ක්ලාස් එකේ කියන්නේ 1973නේ වගේ වෙන්න ඇති. ඒ කාලේ තිබ්බ ගල් ලෑල්ල කියල එකක්. දැන් කාලේ තියන ටැබ් එකට සමානයි!! ඒත් ඉතින් ප්රොසෙසර් එක අපි. ගල් ලෑල්ලෙ ලියන්න ඕනෙ ගල් කූරෙන්. ඔක්කොම ගල් වැඩ තමා බන් පොඩි කාලෙ ඉඳන්. මම මේ ගල් ලෑල්ල විස්තර කරේ දැන් මේකෙ ඉන්න චුච්චන් නන්ඟිලා මල්ලිලා ඉතින් ඒ කාලේ ගිය ආත්මෙ හින්ඳා.
මගේ අම්ම කියනවා මම දැන් හරි විනීත කෙනෙක් වුනාට (අහෙම්..) ඒ කාලේ මම පට්ට ඇට්ටරයලු. අපිව ඉස්කෝලෙ යවල තියෙන්නේ මොරිස් මයිනර් කාර් එකක. කාර් එලවන අන්කල් සීරියස් පොරක්ලු. කාර් එකේ කොල්ලො කෙල්ලො දහයක් විතර යනවලු. මාව දාන්නේ පිටිපස්සෙ සීට් එකට මොකද මම ගියර් දාන හින්ඳා ඉස්සරහ හිටියොත්. මම අලුතින් පොඩි සෙල්ලම් පුරුදු වෙලා තියනවා ඔය දවස්වල. කාගෙ හරි නාහෙ මිරිකලා ‘අම්ම කියන්න’ කියන එක. ඇයි ඉතින් නාහෙ මිරිකලා කතා කරනකොට අමුතුම හඬක්නෙ එන්නේ! ඕක අහල මම ඉතින් හිනා වෙනවලු. එදත් ඕන් ඉස්කෝලෙ යන්න ගිහින් මයිනර් කබලේ ඉඳගෙන මම යන්න පටන් ඇරන්. ගාලු පාරෙ යනකොට මට අර සෙල්ලම මතක් වෙලා! අනේ පැන්න ගමන් අර ඩ්රයිවර් අන්කල්ගේ නාහෙ මිරිකලා ෆුල් ඩම් එක දාලා. ඒකා යකා වැහුන වගේ දඟලලා ඇයි ඉතින් පාර පේන් නෑනේ! ඒ අස්සෙ මම ඌට කියනවලු ‘අන්කල් අම්ම කියන්න’ කියලා!! ඌ මගේ අම්මව මතක් කරන්න ඇති ආයුබෝවන්. මගේ අත ගසල දාලා ඌ මට පට්ට යන්න බැනලා. මට ඉතින් බැනුම් අහන ඒවයේ ගානක් නෑ. හිනා වෙවී ගිහින්. එදාම හවස ඩ්රයිවර් අන්කලුයි අපේ අම්මයි අතර ලොකු උනුසුම් තත්වයක් ඇති වෙලා මොකද මිනිහ ආයෙ මාව ගෙනියන්න බෑ කියලා!!
හරි දැන් කියාන ආවේ ගල් ලෑල්ල ගැනනේ. ඉතින් දවසක් මම මූනත් පුක කරන් ඇවිත් ගෙදර ඉස්කෝලෙ ඇරිලා. අම්ම දැනගෙන මොකාක් හරි මරි වැඩක් කරන් කියලා. ‘ඇයි පුතේ?’ කියලා. මම නෙවෙයිලු කතා කරන්නේ. අම්ම ඉතින් පොත් බෑග් එක ඇරන් ඒකේ බඩු එලියට ගන්නකොට දැකලා ගල් ලෑල්ලෙ කෑලි! දැන් ගල් ලෑල්ල එක ලෑල්ලක් නෙවෙයි කෑලි හතක් විතර! සාමාන්යෙන් ගල් ලෑල්ල කඩා ගන්න එක මගේ විනෝදාන්ශයක් වගේ වැඩක් වුනත් අම්ම බැනල ‘මොකද සුසාන් මේ හැමදාම ගල් ලෑල්ල කඩා ගන්නේ?’ කියලා. මම කූල් එකේ කියනවලු ‘කැඩුන් නෑ අම්ම. මම ඒක කැඩුවා’ කියලා! අම්මට තවත් මල! ‘අහ්.. ඒ මොකද??’ කියල තරහින් අහලා. මම කූල් එකේ නැගිට්ටලු. නැගිටලා කියනවලු ‘අම්මා.. ඕන් ටීචර් ගනන් දුන්නා.. ඔක්කොම වැරදියි මගේ.. ගත්ත ගල් ලෑල්ල, තිබ්බ ඩෙස්ක් එකේ කකුලට හේත්තු කරලා.. දුන්න උල් සපත්තුවෙන් කෑලි යන්න’ කියලා! අනේ අම්ම ඕක තාම මට කියනවා. පරම්පරා දෙකකම උන් ගානක් වැරදුනොත් කියනවා ‘ඕන් ගනන් දුන්නා’ කියලා.
උඹලත් ගල් ලෑලි, ගල් කූරු පාවිච්චි කරාද?
උපුටා ගැනීම: Susantha Pethiyagoda