ගැලපුන තැන නතර වෙන්න (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
‘මං බඳිනවා අයිස්’
දුරකතනයේ තිරය මත ඇඳුන කෙටි පණිවිඩය මං කියෙව්වේ සියවෙනි වතාවට විතර වෙන්න ඕනේ.
කොච්චර කියෙව්වත් මට හිතුනේ ඊළඟ පාර කියවද්දි ඒ වචන ටික නැතුව වෙන වචන ටිකක් තියේවී කියලා.
ඒ නිසාම එකසිය එක්වෙනි වතාවටත් මං එකම මැසේජ් එක කියෙව්වා. නෑ ඒක වෙනස් වෙන්නේ නෑ. එයා බඳිනවා කියලම තමයි ඒකේ තියෙන්නේ.
එතනින් එහාට ඉස්සරහට හිතනවා වෙනුවට මගේ හිත අතීතෙට ගියා.
මං ජීවිතේ දැකපු අපූරූම පිරිමින්ගෙන් කෙනෙක් එයා. අපේ හමුවීම අහම්බයක් නෙවෙයි. ඒක පතාගෙනම එන්න ඇති අපි. ඒ හමුවීම ලඟින්ම හිමිවීම වෙනුවට අහිමිවීම ලියවෙන්න ඇත්තෙත් පතාගෙන ආපූ පුරුද්දටමයි.
අපි කවදා කොහේ කොහොම මුණගැහුන ද මට මතක නෑ. කොහොම හරි අවුරුදු විසි හතක් උන ජීවිතෙන් දහ අටක් විතරම එයාගේ මතක එක්ක බැඳිලා තියෙනවා.
එයා තේශ්. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උනත් එයා මගේ හොඳම යාලුවා උනා.
මට දැනුන විදිහට මට ජීවිතේ හිටපු මාව දන්න එකම මනුස්සයා එයා. මං හැරුනත් එයා දන්නවා මාව කියවන්න. මගේ ඇහිපිල්ලමක වෙනසක් එයාට දැනෙනවා තදින්ම.
මීට අවුරුදු දෙකකට විතර කලින් දවසක එයා අපි පුරුදු විදිහටම උණු කෝපී කෝප්ප දෙකක් අතේ තියාගෙන අපි දෙන්නම ආස අවන්හලේ කොනේම මේසේක වාඩී වෙලා වැස්ස දිහා බලාගෙනයි හිටියේ.
” අයිස් මේ අහන්න “
එයා මට ඉස්සර ඉඳන්ම කිව්වේ අයිස් කියලා. කවදාවත්ම ඒකට හේතුවක් එයා කියලා තිබ්බේ නෑ.
” ම්ම් කියන්න “
කෝපී උගුරක රස බලන ගමන්මයි මං කිව්වේ.
” ඔයාට පුලුවන් ද අයිස් ජීවිත කාලේම මං එක්ක කෝපී බොන්න ? “
කෝපී කෝප්පේ පැත්තකින් තියලා මගේ ඇස් දිහාම බලාගෙන එයා ඒක කියපු විදිහ මට තාම මතකයි.
මෝඩ මොලේට එක පාරටම එයා කියපු නොතේරුනත් තප්පර කාලකට විතර පස්සේ බීපූ කෝපි උගුරත් ඉස්මොලේ ගියේ ඒ වචන වල බර දැනුන නිසාමයි.
දෙන්න ඕනේ උත්තරේ මොකක් උනත් මම කරේ නැගිටලා තෙමි තෙමීම ගෙදර ආපූ එක.
සමහර විට මට තිබ්බේ මට දැනුන උත්තරේ එයාට ඒ තප්පරේම කියලා එන්න. එහෙම උනා නම් මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා.
ගෙදර ආපූ වෙලාවේ ඉඳන් හිත හරිම නොසන්සුන්. එයාගේ වචන ආයේ ආයේම ඇහෙනවා වගේ.
මං දෙන්න ඕනේ උත්තරේ මොකද්ද ? මං මගෙන්ම ඇහුවා.
ජීවිත කාලේම තේශ් එක්ක කෝපී බොන්න මගේ අකමැත්තක් තිබුණේ නෑ. ඒත් මං හොයන කෙනා තේශ්මද කියලා මට සැකයක් දැනුනා.
ජීවිතේ ගැන සැකයක් දැනෙන හැම් වෙලාවෙම මට කතා කරන්න හිටියේ තේශ්. ඒත් එදා තේශ් එක්ක කතා කරන්න බැරි තැනකයි මං හිටියේ ඉතින් මං කතා කරන්න අම්මව තෝරගත්ත.
අම්මා එක්ක කතා කරල ඉවර වෙද්දි මට අම්මව හරි තේශ්ව හරි තෝරගන්න සිද්ධ කරන තරමට දෛවය මට නපුරු වෙලා තිබ්බා.
ඒක එහෙම වෙන්න තිබුණේ එකම හේතුවයි. ඒ තේශ්ගේ නමට පිටිපස්සෙන් එකතු වෙලා තිබුණ එයාගේ වාසගම.
අකුරු පහ හයක නමක් ඒ විදිහට මගේ ජීවිතේම වෙනස් කරා.
අම්මා තේශ්ගෙන් ඈත් වෙන්න කිව්වාම තමයි මං තේරුම් ගත්තේ ජීවිතෙන් භාගයක්ම පිරිලා තියෙන්නේ තේශ්ගෙන් කියලා.
මං අම්මා එක්ක නිහඬව සටන් කරා මගේ ආදරේ ලබාගන්න. හඬා වැලපුනා. ඒත් අම්මගේ තීරණේ වෙනසක් උනේ නෑ.
මට ගැලපෙනම කෙනා තේශ් කියලා පිලිගන්න අම්මා කැමති උනේම නෑ.
ඉතින් අවසානෙට මට උනේ අකමැත්තෙන් උනත් පිළිගන්න මට ගැලපෙනම කෙනා තේශ් උනාට තේශ්ට ගැලපෙනම කෙනා මං නොවෙන්න ඇති කියන එක.
අවුරුදු දෙකක් තේශ් මං වෙනුවෙන් වේදනා වින්දා. ආදරේ නැතත් එයාට එයාගේ හොඳම යාලුවා නැති උන එක දරාගන්න බැරි උනා.
ඒත් මට එයා වෙනුවෙන් කරන්න දෙයක් තිබ්බේ නෑ. මව් සෙනෙහස ඉස්සරහ අනිත් හැමදේම බොඳ වෙලා ගියා.
‘ ඔයා ඉන්නවද ‘
කල්පනා දැහැන් බිඳුනේ ආයේම තේශ්ගෙන් ආපූ පණිවිඩයක් දුරකතන තිරයේ ඇඳුන නිසයි.
මොනා කියන්න ද හිතාගන්න බෑ. තේශ්ට මං වෙනුවෙන් බලන් ඉන්න කියන්න ආත්මාර්ථකාමී වෙන්න බෑ. අම්මා අතෑරලා තේශ් ලඟට යන්න තරම් ආත්මාර්ථකාමී වෙන්නත් බෑ.
ඇස් වල පොරකන කඳුලු කැට කඩාගෙන වැටෙද්දි හොඳ හුස්මක් අරන් මං ටයිප් කරා.
‘ බෙස්ට් විශස් තේශ්. හැමදාම සතුටින් ඉන්න ‘
ඒ මැසේජ් එකේ ඉරි දෙක නිල් පාට වෙනවා එක්කම අනිත් පැත්තට දුරකතනය නාද වෙන්න ගත්තේ ඇමතුම තේශ්ගෙන් වෙද්දියි.
කඳුලු පිහිදගෙන හුස්මක් අරගෙන කෝල් එක ගත්තේ කොහොමටවත්ම මේක මගාරින බැරි තරම් ඔහු මාව දන්නවා කියලා මං දන්න නිසාමයි.
” චුට්ටක්වත් දුක නැද්ද අයිස් ? “
කොහොම කියන්නද හදවත කඩාගෙන වැටෙන්න තරම් වේදනාවකින් බර වෙලා කියලා.
“මේක සතුටු වෙන්න ඕනේ පණිවිඩයක් නේ තේශ් ඇයි ඉතින් දුක ?”
” තමුසේ කවදාවත්ම මට ආදරේ කරේ නැද්ද අයිස් ? “
” ඔයා මගේ හොඳම යාලුවා විතරයි තේශ් එදත් අදත් හැමදාටමත් “
මේ තරම් ලස්සනට මං කොහොම බොරු කියනවද මන්දා.
” මං වැරදි ඇති අයිස්. ඒත් මට දැනුනා ඔය ඇස් වල ආදරයක්. ඇස් වල නෙවෙයි අයිස් මට ඔයා ඔය කියන වචන වලත් ආදරේ දැනෙනවා “
ඒ දැනෙන ආදරේ මගේ හිතේ පිරිලා තියෙනවා කියලා කොහොම කියන්නද තේශ්. මං වැටෙන කඳුලු ආපහු පිහිදන ගමන් හිතුවා.
” දැනෙන හැම දේම හරි නෑ තේශ්. දැන් එයා එක්ක සතුටින් ඉන්න. අම්මලා ඔයාට වැරැද්දක් කරන්නේ නෑ. “
ගෙදරින් හොයපු එයාගේ මනමාලී නොදැකම මං ආශිර්වාද කරේ මට කරන්න පුලුවන් එකම දේ ඒක නිසයි.
” මට බඳින්න ඕනේ නෑ අයිස්. ඒත් අප්පච්චිලගේ කීමට පිටුපාන්න බෑ තවත්. මං දන්නෑ මං බඳින කෙල්ල කව්රු උනත් තමුසේ තරන් මට ඒකිව දැනෙයි ද කියලා හැබැයි මං උත්සාහ කරන්නම් උඹව අමතක කරන්න “
ඒ වචන වලට හිත කෑලි කෑලි වෙලා යනවා දැනුනත් මං හිනා උනා.
” එයාගේ ආදරේ ලැබෙද්දී ඔයාට ආදරේ නොකරපු මාව අමතක වෙයි තේශ් “
මම මටම රිද්දගත්තා ඒ වචන වලින්.
” හරි අයිස්. ඔයාගේ තීරණේ ඒක නම් මං ආයේ මේ ගැන කතා කරන්නෑ. මේ දේවල් වලට මගේ කැමැත්ත දෙන්න කලින් මට ආපහු එක පාරක් ඔයාගෙන් අහන්න හිතුනා. අහේතුකවම මට හිතෙනවා උඹ මට ආදරෙයි කියලා. ඒත් මං වැරදි ඇති. කමක් නෑ මං තියන්නම් “
වැරදි නෑ කියලා කියන්න ඕනේ උනත් මට කියවුණේ හ්ම්ම් කියලා විතරයි.
” පරිස්සමින් ඉන්න අයිස්. ඔයාට ඕනේ විදිහට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා විශ් කරනවා. මට නොලැබෙන ආදරේ ඔයාට ලැබෙයි “
මට ඕනේ ආදරෙත් අරගෙනයි ඔයා යන්නේ කියලා කියන්න හිතුනත් මට ඒකට අවසරයක් දුන්නේ නෑ මගේ හදවත.
” හරි තේශ් පරිස්සමින් ඉන්න. ඔයාගේ ජීවිතේ පටන් ගන්න. මං කියලා කෙනෙක් අමතක කරලම”
වේදනාවකින් උනත් ඒ වචන ටික කියලා මං දුරකතනය අයින් කරේ මෙතනින් එහාට දරාගැනීම ඉවරයි කියන්න ඉකිගැහෙද්දී.
ඉතින් මේ තප්පරෙයෙන් පසුව මට එයා එක්ක තිබුණ හැම බැඳීමකටම තිත තියන්න වෙනවා එයා ජීවිතේ අලුතින් පටන් ගනියි. මං ඒ ගැන සතුටු වෙන්න ඕනේ අඬලා හරියන්නේ නෑ කියලා හිතෙද්දී මං කඳුලු පිහිදාගත්තා.
පැයකට එහා ඔහේ ගෙවෙන්න ඇති. එහෙ මෙහේ උන හිත එකලස් කරගන්න උත්සාහ කරමින් මං කල්පනා කරා අපි ගැනම.
ජීවිතේ හැටි එහෙමයි ඉතින්. හමුවෙන හැම කෙනෙක්ම හිමිවෙන්නේ නෑ. ඒත් එයා අවුරුදු ගානක් එකතු කරපු මතක මට හුස්ම ගන්න කියලා දෙයි.
අපි අපේ නොවුනත් කිසිදාක
හිනාවෙන්නට මතක ඇති සදහටම!
තේශ් ගැන තියන අවසාන සටහන මං ඒ විදිහට සටහන් කරලා නැගිට්ටේ ජීවිතේ කියන පොතේ ආදරේ කියන මාතෘකාවකට තිත තියලමයි.
” දෝණී ඔයාට තෑග්ගක් තියෙනවා “
අම්මගේ කටහඬේ තිබ්බේ බර බවක්. හරියටම එයත් අඬලා වගේ.
” මොකද්ද අම්මා ? “
මං අහද්දී අම්මා ඇහෙන් මට පෙන්නුවේ දොර. ඒත් එතන මොනවත්ම තිබුණේ නෑ.
” මොනවත්ම නෑනේ අම්මා “
මං ඇහුවේ පුදුමෙන්මයි.
” මොනවත් නෑ එතන. ඒත් ඔයාට ඕනේ දේ හොයාගෙන යන්න පුලුවන් එතනින් “
අම්මා කියපු දේ මට හරියටම තේරුනේ නැති නිසා මං අම්මා දිහා බලද්දි එයා ඇස් වලින්ම මොනාද කිව්වා. හරියටම මට මාව හොයාගන්න කිව්වා වගේ හැඟීමක්.
” වැඩක් නෑ අම්මා. හොයාගෙන යන්න මුකුත් ඉතුරු නෑ. එන්න අපි කුස්සියට යන් උණු උණු කෝපී එකක් බොමු “
මං අවංකවමයි එහෙම කිව්වේ.
” නෑ දෝණී. ගැලපෙන්නම ඕනේ තැන ගැලපුන තැන නතර වෙන්න ඕනේ. මට දවසක පසුතැවෙන්න ඕනේ නෑ ඔයාට ඔයාව නැති කරා කියලා ඒ නිසා යන්න “
අම්මා ආයේම කිව්වේ පුංචි කාලේ එක චොකලට් එකක් කාලා දෙවෙනි එක කන්න අහනකොට තරවටුවක් රඳවගත්ත හිනාවෙන් චොකලට් එකක් දෙනවා වගේ හිනාවෙලයි.
ඉතින් මං එතනින් මිදිලා හිත නැවතුන තැන හොයන්න අඩියක් ඉස්සරහට තිබ්බා.
තේශ්!
මම දන්නෑ මං පරක්කු වැඩිවෙයිද කියලා ඒත් එක පාරක් හරි උත්සාහ කරන එකේ වරදක් නෑ.
මම මටම එහෙම කියාගෙන දොරෙන් එලියට පියෑඹුවා.
ඉතින් ජීවිතේ හැටි එහෙමයි. සමහර විට සමහර දේ ලැබෙන්න පරක්කු වෙනවා ඒත් ඒ දේවල් අපිට අයිති නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා.
සමහර විට තේශ් ආපහු හැරෙන එකක් නෑ. ඒත් මං උත්සාහ කරනවා. එකම එක වතාවකට.
එහෙම හිතලා පැයකට පස්සේ මං හිටියේ තේශ්ගේ ගේ ඉස්සරහ.
” අයිස්! “
දොර ඇරපු ගමන් වචනයක්වත් නොකියා තේශ් මාව තුරුල් කරගත්තා.
” තේශ් ඒත්… “
මං තේශ්ගෙන් මිදෙන්න හැදුවේ හැමදේම පැහැදිලි කරලා දෙන්නයි.
” මුකුත්ම කියන්න එපා. ඔයාගේ අයිස් කැට වගේ දිලිසෙන ඇස් වල මං විතරයි ඉන්නේ. ඉතින් මට බෑ ඔයාව මගෑරගන්න. අකමැත්තෙන් උනත් තමුසේ මගේ “
ඒ වචන ඇහුනාම පැහැදිලි කරන්න ඕනේ හැමදේම එක හාදුවක තියලා තේශ්ගේ පපුවෙන් තවරන ගමන් මං තවත් එයාට තුරුල් උනේ හුස්මක් පවා එයාටම ලියලා දෙන්න මටම පොරොන්දු වෙන ගමන්මයි.
හමුවේවි කොතැනම හරි පතාගෙන ආ ඒ ප්රේමය
ඕනේ වෙන්නේ බලාගෙන ඉන්න හොඳ ඉවසීමක් විතරයි!
ඈතින් ඇහුන හඬක් එහෙම කොඳුරනවා මට ඇහුනා. ඉතින් මං සැනසිල්ලේ ඇස් පියාගෙන පතාගෙන ආපූ ප්රේමය තුරුලේ නිවුණා.
” අසීමාන්තික වූ ප්රේමයන්
එක තැනක වෙන් වී ගියද නොහඬාම
අවසානයට පෙර දිනෙක
හමුවේවී රැගෙන පෙර සෙනෙහසම “
උපුටා ගැනීම: තා රා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!